ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 113 ඉක්මවයි….

මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 96.90ක් ලෙස සටහන් වී ඇති අතර, අද දහවල් වනවිට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 113.70ක් ලෙස  දැක්වුණි.

කෙසේ වෙතත්, අද උදෑසන ආසියානු වෙළඳපොළ ආරම්භයේදී තෙල් මිල දැක්වු‍ණේ, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 112.00ක් ලෙසය. එය පෙර දිනයට සාපේක්ෂව 4%ක ඉහළ යාමකි.

 

රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට…..

ලෝක රන් මිල පහළ යාමට සමගාමීව මෙරට රත්‍රං මිල ගණන් සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි.

ඒ අනුව, අද (19) දහවල් වනවිට කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 362,500ක් දක්වා පහළ ගොස් තිබේ. එය සමස්තයක් ලෙස රුපියල් 13,000කින් අඩුවීමක් ලෙස සඳහන් වේ.

අද උදෑසන වනවිට රත්‍රං මිල රුපියල් 9,000කින් පහළ ගොස් තිබූ අතර, එම ප්‍රවණතාවය දිගටම පවත්වාගෙන යමින් දහවල් වනවිට තවත් රුපියල් 4,000කින් අඩු වී ඇත.

ඊයේ (18) දිනයේදී කැරට් 22 රන් පවුමක මිල රුපියල් 374,400ක් ලෙස සටහන් වූ අතර, එය අද වනවිට පැහැදිලි ලෙස පහළ වැටී ඇත.

මේ අතර, ඊයේ රුපියල් 407,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල ද අද වනවිට රුපියල් 394,000ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

ඉන්ධන මිල කළමනාකරණය සඳහා ගත හැකි පියවර ගැන සාකච්ඡාවක්….

මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ උද්ගතව ඇති ආර්ථික අභියෝග සහ ඊට මුහුණදීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

‍අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙය පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ බලශක්ති සැපයුම් ජාල බිඳ වැටීම හේතුවෙන් ලෝකයේ සියලු රටවලට මුහුණ දීමට සිදුව ඇති බලශක්ති අර්බුදය සහ ඒ හමුවේ ඉදිරි මාස කිහිපය තුළ ලෝක ඉන්ධන වෙළෙඳපොළ තුළ ඇති විය හැකි ප්‍රවණතා පිළිබඳව මෙහිදී පුළුල් ලෙස අවධානය යොමු කෙරිණි.

උද්ගතව ඇති අර්බුදය හමුවේ මෙරට ආර්ථිකයට අවම බලපෑමක් වන පරිදි සහ 2025 වසරේදී ලබා ගත් ආර්ථික ජයග්‍රහණ තිරසාරව ඉදිරියට ගෙන යා හැකි අන්දමින් බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ ආර්ථික හැකිළීම අවම වන පරිදි මිල කළමනාකරණයට ගත හැකි පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

ඒ සඳහා සහනාධාර ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමේ හැකියාව සොයා බලන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, මහබැංකු අධිපති පී. නන්දාල් වීරසිංහ, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන්….

ශ්‍රීලන්කන් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකා රජය, ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ අමෙරිකානු ඩොලර් මිලියන 175ක ජාත්‍යන්තර බැඳුම්කර (International Bond) ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහන් කළේ, අදාළ ගනුදෙනුව සඳහා 99%කට වැඩි පිරිසක් සහභාගී වී ඇති බවය.

එය ගුවන් සමාගමේ ආර්ථික ප්‍රතිසාධනයේ වැදගත් පියවරක් ලෙස සැලකෙන බව එහි සඳහන්ය.

අදාළ ගිවිසුම යටතේ 16%ක කප්පාදුවක් සහ නව බැඳුම්කර නිකුත් කිරීමක් සිදුකර ඇත.

එමගින් ශ්‍රීලන්කන් ගුවන් සේවයට මූල්‍ය ස්ථායීත්වය ශක්තිමත් කිරීමට මෙන්ම රටේ සමස්ත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහාය හැකි බවත් එම නිවේදනයේ දැක්වේ.

IMF දූත පිරිසක් එළැඹෙන සතියේදී දිවයිනට…..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මාර්තු 26වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙ බව IMF සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් අද (19) ප්‍රකාශ කළාය.

අදාළ නියෝජිත පිරිස අප්‍රේල් 9වැනිදා ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ 5වන හා 6වන සමාලෝචන සම්පූර්ණ කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව ජූලි කොසැක් මහත්මිය පවසයි.

QR සම්බන්ධ ගැටලු විසඳාගැනීමට නව ක්ෂණික ඇමතුම් අංකයක්…

ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය සම්බන්ධ ගැටලු විසඳාගැනීමට නව ක්ෂණික සහාය සේවාවක් ආරම්භ කර ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

පාරිභෝගිකයින් ලියාපදිංචි වීමේදී හෝ පද්ධතිය භාවිතා කිරීමේදී මුහුණ දෙන තාක්ෂණික ගැටලු සහ බාධාවන් කඩිනමින් විසඳා දීම මෙහි අරමුණ බව සඳහන්ය.

ඒ අනුව, වාහන ලියාපදිංචි කිරීමේදී ඇතිවන ඕනෑම ගැටලුවක් සඳහා සහාය ලබා ගැනීමට 076 019 1919 යන අංකයට WhatsApp ඔස්සේ පණිවිඩයක් යොමු කළ හැකි බව සඳහන් වේ.

මෙම සේවාව හරහා පද්ධතිය භාවිතය පිළිබඳ මඟපෙන්වීම් සහ තාක්ෂණික සහාය ලබා දෙන අතර, වංචනික ක්‍රියාකාරකම් හෝ පද්ධතිය අවභාවිත කරන පුද්ගලයින් පිළිබඳ තොරතුරුද දැනුම් දීමට හැකි වේ.

එමෙන්ම, ඉන්ධන ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමට රජය විසින් අනුමත කළ නිල වෙබ් අඩවිය https://fuelpass.gov.lk/ පමණක් භාවිත කරන ලෙසද ජනතාවට දැනුම් දී ඇත.

2025දී ආර්ථික වර්ධනය 5%ක්……

2025 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සියයට 5ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය වසරේ ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර තුනම වර්ධනයක් පෙන්නුම් කරන බවය.

එහිදී කැපී පෙනෙන වර්ධනයක් කර්මාන්ත අංශය වාර්තා කර තිබේ.

ආර්ථිකයේ ප්‍රධාන සංරචක තුන වන කෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා ක්ෂේත්‍රයන් 2025 වසරේදී පිළිවෙළින් 1.4%, 7.8% සහ 3.3% ලෙස වර්ධනය වී ඇති බව ද සඳහන් වේ.

2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී මෙරට ආර්ථිකය සැලකිය යුතු මට්ටමක ස්ථාවරත්වයක් සහ වර්ධනයක් අත්කරගෙන ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කල නවතම වාර්තාවල දැක්වෙයි.

තවද, 2025 වසරේ සිව්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය 4.8%ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය වසර අවසානයේ ආර්ථික ක්‍රියාකාරකම්වල සෘජු වර්ධනයක් පෙන්නුම් කරන බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

බ්‍රිතාන්‍ය ගුවන් සමාගම ශ්‍රී ලංකාව සමග යළි ගුවන් ගමන් අරඹයි…

එළැඹෙන ශීත සෘතුව වෙනුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් සමාගම ශ්‍රී ලංකාව බලා ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කර තිබේ.

ඒ අනුව සතියට තුන්වතාවක් ලන්ඩන් ගැට්වික් ගුවන්තොටුපොළේ සිට මෙරට බලා 2026 ඔක්තෝබර් 23 දින සිට සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලැබෙයි.

මෙම ගුවන්ගමන් සඳහා ටිකට්පත් අලෙවිය ඊයේ (17) සිට ආරම්භ වුණි.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම මෙරට සිට ලන්ඩන් බලා සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරන එකම ගුවන් සේවයයි.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලේ සුළු අඩුවීමක්….

ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලය මිල අද (18) දිනයේ දී ශත 67කින් එනම් 0.65% පහළ වැටී ඇති අතර, ඒ අනුව බොරතෙල් බැරලයක මිල ඩොලර් 102.75ක් ලෙස සටහන් විය.

ඊයේ (17) දිනයේ දී ලෝක වෙළෙඳපොළහි බොරතෙල් මිල 3%කින් ඉහළ ගොස් තිබුණි.

එසේම, අමෙරිකානු බොරතෙල් බැරලය මිලද ඩොලර් 1.18කින් එනම් 1.23% පහළ ගොස් ඇති අතර, ඒ අනුව බොරතෙල් බැරලයක මිල ඩොලර් 95.03ක් ලෙස වාර්තා වී ඇත.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද සුළු ලෙස පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාක රජය සහ කර්ඩිෂ් බලධාරීන් අතර තුර්කිය හි සෙයිහාන් වරාය හරහා තෙල් අපනයන නැවත ආරම්භ කිරීමට එකඟතාවකට පැමිණීමත් සමග මැදපෙරදිග තෙල් සැපයුම පිළිබඳ මෙම වාතාවරණය උදාවී තිබේ.

ගෑස් නැව් දෙකක් දිවයිනට….

ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) රැගත් නෞකා දෙකක් අද (18) උදෑසන උස්වැටකෙයියාව තල්දියවත්ත, ගෑස් ගොඩබාන බෝයාව වෙත පැමිණ තිබුණි.

“අද දෙරණ” වාර්තාකරු පැවසුවේ ඉන් ගෑස් ගොඩබෑමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවය.

මේ අතර ඉන්ධන නෞකාවක් ද අද උදෑසන දිවයිනට පැමිණ තිබුණි.

මේ අතර ඊයේ (17) දිනයේ දී විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, මාර්තු මාසය තුළ ලිට්‍රෝ ගෑස් මෙට්‍රික්ටොන් 38,000ක් දැනටමත් රටට ගෙනවිත් ඇති බවය.

ඉදිරි දින දෙකක් ඇතුළත මෙට්‍රික් ටොන් 33,000ක් ගෑස් තොග රටට ලැබීමට නියමිත බව ද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

ඒ අනුව, රට තුළ ගෑස් සැපයුම ස්ථාවර කර ගැනීමට සහ පවතින අවශ්‍යතා සපුරාලීමට හැකි වනු ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“අපිට මාර්තු මාසයේ ගෑස් අවශ්‍යතාව තිබුණේ මෙට්‍රික් ටොන් 33,000යි. එහෙත් පෞද්ගලික සමාගමක් ගෑස් සැපයුම අඩපණ කර තිබෙන නිසා මාර්තු මාසයට අපි 38,000ක් ඇනවුම් කළා. ඊට අවශ්‍ය වන ගෑස් තමයි අපේ ලිට්‍රෝ සමාගම ආනයනය කරන්නේ. ඒ මෙට්‍රික් ටොන් 38,000ම දැන් ලැබී තිබෙනවා. 

සමහර ඒවා වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා. සමහර ඒවා දේශීය ගබඩාවල තිබෙනවා. අනෙක් ඒවා මාලදිවයිනේ පාවෙන ගබඩාවල තැන්පත් කර තිබෙනවා. අපි තව ගෑස් නැවක් ඇනවුම් කර තිබෙනවා. ඒ අනුව හෙට හෝ අනිද්දා මෙට්‍රික් ටොන් 33,000ක ගෑස් නැවක් ලැබීමට නියමිතව තිබෙනවා. ඒ නිසා ගෑස් වෙළෙඳපොළෙහි අර්බුදයක් මතු වන්නේ නැහැ. 

ඊළඟට ගෑස් සපයන්න තිබෙන්නේ අප්‍රේල් 21-23 කාලයේ. ඒ කාලයේදී ඊළඟ නැව ඔවුන් අපට ලබා දේවි කියල අපට විශ්වාසයක් තිබෙනවා. ගෑස් වෙළෙඳපොළේ අර්බුදයක් ඇති වීමේ අනතුර අඩුයි.”