2026 දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනයේ තීරණය මාර්තු අවසානයේ…..

2026 වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ (PUCSL) තීරණය මෙම මස අවසානය වනවිට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

අප්‍රේල් සිට ජූනි දක්වා වන කාල සීමාවට අදාළව 13.56%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගියදා මහජන උපයෝගීතා කොමිසමට යෝජනාවලියක් භාර දී තිබුණි.

ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට උපයෝගීතා කොමිසම පියවර ගෙන ඇති අතර, එහි තෙවන දිනය ලෙස අද දිනයේ මහජන අදහස් විමසීමේ කටයුතු මාතලේ දිස්ත්‍රික්කයේදී සිදුකෙරේ.

ලංකාවටත් Work From Home යන්න වෙයි ද? – වෙළෙඳ ඇමතිගෙන් පිළිතුරක්……

පවතින අර්බුදය හමුවේ ලොව සෙසු රටවල් නිවසේ සිට වැඩ කිරීමට යොමු වූව ද දැනට මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නොවන බව වෙළෙඳ වාණිජ හා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඉදිරියේදී එවැනි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඒ පිළිබඳව ද අවධානය යොමු කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

බලශක්තිය ද ආරක්ෂා කරගනිමින් ජනතාවට ඉදිරියට ගමන් කර හැකි වාතාවරණය නිර්මාණය කිරීමට රජය කටයුතු කරන බව ද ඔහු කීය.

ගෑස් ගබඩාවක් ඉදිකිරීමට හා සපුගස්කන්ද හා මුදුරාජවෙල තෙල් ටැංකි ඉදිකරනවා සේම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි දහය නවීකරණය කිරීමට කටයුතු කිරීමට නියමිතය.

පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොලේ මිල ඉහළ යාම තුළින් ආනයනික භාණ්ඩවල මිල ඉහළ යාමට පාරිභෝගික ජනතාවට මුහුණදීමට සිදුවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු ගැටුම් පවතින රාජ්‍යයන්වල නායකින් ගනු ලබන තීන්දු තීරණ අනුව ඉන්ධන මිල වෙනස් වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඉන්ධන තොග ලබාගැනීමේ ශ්‍රී ලංකාවේ ඉල්ලීමට ඉන්දියාවෙන් ධනාත්මක ප්‍රතිචාර….

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතාගෙන් සිදුකළ ඉල්ලීමට ඉන්දියාවෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබී තිබේ.

මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ මෙරට බලශක්ති අවශ්‍යතාවයට එල්ල විය හැකි බලපෑම් අවම කරගැනීම වෙනුවෙන් මෙම ඉල්ලීම සිදු කර ඇත.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසා සිටියේ, අමාත්‍ය විජිත හේරත් මහතා පසුගිය මාර්තු 06 වනදා ඉන්දියාවේ සිදුකළ සංචාරය අතරතුර දී එරට විදේශ අමාත්‍යවරයා හා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවය.

මැදපෙරදිග යුධමය තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් එහිදී අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ සාකච්ඡාවක නිරත විය.

ඒ අනුව අමාත්‍යවරයාගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය ධනාත්මක ප්‍රතිචාරය ලබා දී ඇති අතර, ඒ සඳහා ගත යුතු ඉදිරි පියවර සහ ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමින් පවතින බවත් දන්වා ඇත.

මෙමඟින් ඉදිරි කාලසීමාව තුළ මෙරටට අවශ්‍ය ඉන්ධන සැපයුම අඛණ්ඩව සහ සුරක්ෂිතව පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කෙරෙනු ඇති බව අදාල නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

යාපනය දිස්ත්‍රික්කය තුළ සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය මෙම වසරේදී…..

සංචාරක සංවර්ධන වැඩසටහන 2026-2028 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම සහ යාපනය දිස්ත්‍රික්කය තුළ සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය 2026 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීම සඳහා කැබ්නට් අනුමැතිය හිමි වී ති‌බේ.

තිරසර සංචාරක කර්මාන්තයක් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරක විභවතාව පවතින ගමනාන්ත හඳුනා ගෙන ඒවායේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අවධානය යොමු කරමින් පළාත් 09ම ආවරණය වන පරිදි 2026-2028 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස සංචාරක සංවර්ධන වැඩසටහනක් සකස් කරනු ලැබ ඇත. ඒ සඳහා මුළු දළ ඇස්තමේන්තුව රුපියල් මිලියන 2,667.03ක් වේ.

එමෙන්ම, යාපනය දිස්ත්‍රික්කය තුළ සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 131.02ක ඇස්තමේන්තුගත වියදමකින් යුතු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබා දී තිබේ.

පෙරවරුවේ උඩ ගිය කොටස් වෙළෙඳපොළ පස්වරුවේ පසු බසී…..

අද (11) දිනයේ දී ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 26.97ක පහළ යාමක් වාර්තා කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 22,351.55ක් ලෙසින් සටහන් විය.

දිනය තුළ ගනුදෙනු ආරම්භ වී මුල් පැය භාගය තුළ දී ඒකක 22,500 ක් ඉක්මවා ඒකක 150කට ආසන්න අගයයකින් සියලු කොටස් මිල දර්ශකයේ ධන වර්ධනයක් දකිනු හැකි වුවද මධ්‍යහ්නය වන විට එය ක්‍රමිකව සෘණ අගයයක් දක්වා පරිවර්තනය වනු දැකිය හැකි විය.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 0.72ක ඉතා සුළු අගයයකින් පහළ ගොස් තිබෙන අතර එය දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 6,279.70ක් ලෙසින් වාර්තා වී තිබේ.

අද දින රු. බිලියන 4.31 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී ඇත.

දිනය තුළ දේශීය මිල දී ගැනීම් රු. බිලියන 4.22ක් හා දේශීය විකිණුම් රු. බිලියන 4.20ක් ලෙසින් සටහන්ව ඇති අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 91ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 113ක් ලෙසින් වාර්තා වේ.

ජපානයේ නව රැකියා ක්ෂේත්‍රයක් ශ්‍රී ලාංකිකයින්ට විවෘත වෙයි…..

තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් (TITP) ලෙස ජපානයේ වන වගා ක්ෂේත්‍රයේ පුහුණුව ලැබීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව හිමිව තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා IM Japan ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව මෙම අවස්ථාව හිමිව ඇත.

පළමුවරට වන වගා ක්ෂේත්‍රයේ පුහුණු අවස්ථා හිමිවූ තරුණයින් තිදෙනෙකු අද දින (11) ජපානය බලා පිටත්ව ගිය අතර, එම පිරිසට ගුවන් ටිකට්පත් පිරිනැමීම කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාංශයේදී සිදුවිය.

මෙම ක්ෂේත්‍රයට අමතරව තවත් ක්ෂේත්‍ර 7ක පුහුණු අවස්ථා මේ වන විට ශ්‍රි ලාංකිකයින්ට හිමිවන අතර, ඉන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු අවස්ථා හිමිවූ පුහුණු ලාභීන් 6දෙනෙකුද මෙම පිරිසත් සමග අද දින ජපානය බලා පි‍ටත්ව ගියේය.

මෙම අවබෝධතා ගිවිසුම අනුව වයස අවුරුදු 18-30 අතර, තරුණ තරුණියන්ට ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් ලෙස පුහුණුව ලැබීමට අවස්ථාව හිමිවේ.

මේ සඳහා ජපන් භාෂා දැනුම අනිවාර්ය වන අතර, JFT හෝ JLPT N5 මට්ටම හා කුසලතා පරීක්ෂණය සමත් කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැකිය.

අයදුම් කිරීම සඳහා උසස් පෙළ විභාගයට පෙනීසිටීම අනිවාර්ය වන අතර, ශරීරයේ Tattoo නොතිබීමද අනිවාර්ය අවශ්‍යතාවයකි.

මේ වන විට කාර්යාංශය මැදිහත්වී පුහුණු ලාභීන් 659ක පිරිසක් මෙම වැඩසටහන යටතේ ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යොමුකර ඇත.

නියමිත පුහුණු කාලසීමාව සාර්ථකව අවසන්කර මෙරටට පැමිණි පුහුණුලාභින්, සඳහා ව්‍යාපාර ආරම්භ කිරීමට සහාය දීමේ වැඩපිළිවෙලක්ද මෙම පුහුණු වැඩසටහන යටතේ ක්‍රියාත්මකව පවතී.

ලාෆ්ස් ගෑස් මිලත් රුපියල් 300කින් ඉහළට….

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව රු. 4,330ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දමා තිබේ.

මිල සංශෝධනයට අනුව නව මිල රු. 4,630ක් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 120කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව රු. 1742ක්ව පැවති එහි නව මිල රු. 1,862කි.

ලිට්‍රෝ ගෑස් මිල රුපියල් 300කින් ඉහළට…

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 3990කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 1602ක් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 56කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 750කි.

වසර දෙකකට පසු බොරතෙල් මිල ඉහළට….

මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් බොරතෙල් මිලේ සීඝ්‍ර වැඩිවීමක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ (6) තිබූ අගයට වඩා 9%කින් ඉහළගොස් ඇති අතර, මේ වනවිට එහි අගය අමෙරිකානු ඩොලර් 93 ඉක්මවා ගොස් තිබේ.

මෙලෙස තෙල් මිල ඉහළගොස් ඇත්තේ වසර 2කට පසුවය.

අවසන්වරට 2023 වසරේදී සැප්තැම්බර් – නොවැම්බර් කාලසීමාවේ බොරතෙල් මිල ඉහළගොස් තිබී ඇත.

මාස දෙකක් තුළ රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 1.4 ඉක්මවයි….

2026 වසරේ පෙබරවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 729ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවකට මේ බව සඳහන් වෙයි.

2025 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 548.1ක් ලෙස වාර්තා වී තිබුණි.

ඒ අනුව, 2026 වසරේ පෙබරවාරි මාසයේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 180.9කින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් 2026 ජනවාරි මාසයේ දී ඩොලර් මිලියන 751.1ක විදෙස් ප්‍රේෂණ ප්‍රමණයක් මෙරටට ලැබී තිබූ අතර පෙබරවාරි මාසයේ දී එහි සුළු අඩු වීමක් දැක ගත හැක.

මේ අතර, 2026 වසරේ ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලය තුළ විදේශ සේවා නියුක්තිකයන් විසින් මෙරටට එවා ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 1.48ක් බවද මහ බැංකුව සඳහන් කරයි.

එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 32ක වැඩිවීමක් බව ද වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.