පියුමි සහ තාඹුගල රු කෝටි 40කට අධික බදු වංචා කරලා…..

රුපියල් මිලියන 289කට අධික ආදායම් බදු නොගෙවීම හේතුවෙන් ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලිට එරෙහිව මහාධිකරණයේ නඩු පවරන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.

2022 හා 2023 වර්ෂවලට අදාළව ඇය මෙලෙස ආදායම් බදු ගෙවීම පැහැරහැර ඇති බව සඳහන් ය.

එමෙන්ම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන විරංජිත් තාඹුගල නමැත්තාද එම වර්ෂ දෙකට අදාළව ආදායම් බදු ගෙවීම පැහැර හැර ඇති බව එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබේ.

බදු අපරාධ වැරදිවලට අදාළ විමර්ශනවල ප්‍රගති වාර්තා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ ඊයේ කැඳවනු ලැබීය.

එහිදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ, රජයට බදු නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් පියුමි හංසමාලි හා අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගලට එරෙහිව ඉදිරියේදී කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බවය.

එම දෙදෙනාට එරෙහි විමර්ශන වාර්තා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව ඔවුන් දෙදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ඉදිරියේදී අධිචෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බවත් දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය.

2022 හා 2023 වර්ෂවලට අදාළව පුද්ගල ආදායම් බද්ද නොගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 194ක් හා ලොලියා නමැති සමාගමක් පවත්වාගෙන ගොස් මිලියන 95ක් ආදායම් බදු නොගෙවීම වෙනුවෙන් පියුමි හංසමාලිට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බවද නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණයට දැනුම්දුනි.

එමෙන්ම එම වර්ෂ දෙකට අදාළව රුපියල් මිලියන 194ක පුද්ගල ආදායම් බද්ද හා අතිරේක ආදායම් බද්ද දඩය හා පොළිය සමග නොගෙවීම වෙනුවෙන් තාඹුගලට එරෙහිවත්, එසේ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඒ රජයට හිමි විය යුතු බදු නොගෙවීම මගින් සාවද්‍ය පරිහරණය යන වැරැද්ද සිදුකර ඇති බවට මෙම සැකකරුවන් දෙදෙනාට එරෙහිව චෝදනා ගොනු කරමිනි.

තීරු බදු ප්‍රතිශතය අඩු කිරීම ගැන රජයෙන් පැහැදිලි කිරීමක්…..

අමෙරිකාව, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත පැනවූ අන්‍යේන්‍ය තීරු බදු ප්‍රතිශතය සියයට 30 සිට 20 දක්වා අඩුකර තිබේ.

ධවල මන්දිරය නිවේදනය කළේ, මෙම නව තීරු බදු ප්‍රතිශත ක්‍රියාවට නැංවෙන්නේ, අගෝස්තු මස 7 වනදා සිට බවය.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ මුදල් අමාත්‍යාංශ ලේකම්  ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේ,

“මේ අභියෝගත් එක්කම අලුත් අවස්ථාත් ලැබී තිබෙනවා. ඒකෙන් පෙනෙන්නේ රටවල් දෙකටම.. අන්‍යේන්‍ය වශයෙන් අවශ්‍ය කරන ප්‍රතිලාභ මේ තුළින් ඉදිරියේදී අපිට උදාවෙන්නට නියමිතයි. මේක විශාල ජයග්‍රහණයක් විදියට තමයි රටක් ලෙස අපි දකින්නේ. මෙම සාකච්ඡා අපි ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.”

මේ අතර අමෙරිකාව මෙරටට පැනවූ තීරු බදු අනුපාතය 20% දක්වා අඩුකිරීම ගැන සතුට පළකරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් X පණිවුඩයක් තබා තිබුණි.

ඔහු පවසන්නේ ඉන්දියාවට 25%ක තීරුබදු අනුපාතයක් පනවද්දී ශ්‍රී ලංකාව, බංගල්දේශය හා වියට්නාමයට 20%ක සමාන තීරුබදු අනුපාතයක් පනවා ඇති බවය.

එමෙන්ම අපේ අපනයනකරුවන්ට සැබෑ වාසියක් අත්කරදීමට නම් එම අනුපාතය 15% දක්වා අඩු කරගැනීම සඳහා අමෙරිකාව සමඟ තවදුරටත් සාකච්ඡාවල නිරතවිය යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

අමෙරිකානු තීරු බද්ද සියයට 20ක් දක්වා අඩුකරයි…..

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ.

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන 30%ක අන්‍යොන්‍ය තීරුබදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබූ අතර, එය අද (1) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි.

ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයට අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම මෙලෙස තීරුබදු අනුපාත පහත හෙළා තිබේ.

ඒ අනුව දකුණු ආසියානු රටවල්වන බංග්ලාදේශයෙන් 20%ක්, පාකිස්තානයෙන් 19%ක් දක්වා ද අඩුකර තිබේ.

කෙසේ වෙතත් අමෙරිකාව ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකෙරෙන තීරුබදු ප්‍රතිශතය වෙනස්කර නොමැති අතර, එය 25% සීමාවේ එලෙසින්ම පවතියි.

මේ අතර 50%ක දැවැන්ත තීරු බදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබූ බ්‍රසීලයේ ආනයන මත පනවන බද්ද 10%ක් දක්වා අඩුකර තිබීමද විශේෂත්වයක්ය.

එමෙන්ම අමෙරිකාවේ ප්‍රධානම මිතුරු රාජ්‍යයක් වන ඊශ්‍රායලයෙන් අයකරන තීරු බදු අනුපාතයද 15%ක් දක්වා පහත හෙළා ඇත.

මෙම පහත දැමූ තීරුබදු අනුපාත අතර ඉහළම ප්‍රතිශතය 41%ක් වන අතර, එය සිරියාව වෙනුවෙන් දක්වා තිබේ.

එමෙන්ම ලාඕසයෙන් හා මියන්මාරයෙන් 40% බැගින් අය කරන බවද ධවල මන්දිරය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

අගෝස්තු මස ඉන්ධන මිලේ වෙනසක් නොවෙයි…..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව, අගෝස්තු මස ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදු නොවන බව එම සංස්ථාවක නිවේදනය කරයි.

NSB හි රුපියල් ලක්ෂ 1800ක වංචාවකට නිලධාරීන් ඇතුළු සැකකරුවන් 5ක් රිමාන්ඩ්….

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) නිලධාරින් ඉතා සූක්ෂම අයුරින් රුපියල් ලක්ෂ 1800 ක් වංචා කර ඇතැයි නීතිපතිවරයා කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර වෙත ඊයේ (30) දන්වා සිටියේය.

අදාළ බැංකුවේ තිබූ රුපියල් ලක්ෂ 1800 ක මහජනතාවගේ මුදල් මෙලෙස අවභාවිත කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද පුළුල් විමර්ශනයේදී අනාවරණ වී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය වෙත දන්වා සිටියේය.

අදාළ රාජ්‍ය බැංකුවේ ණය දෙන අංශයේ මෙම මහා පරිමාණ වංචාව සිදුව ඇතැයි දන්වා සිටි රජයේ නීතිඥවරයා එම වංචාවට අදාළව අදාළ බැංකුවේ ප්‍රධාන ශාඛාවේ ණය කළමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයා මේ වන විට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර ඇතැයිද දන්වා සිටියේය.

මෙම මහා පරිමාණ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියට එම රාජ්‍ය බැංකුවේ ඉහළ කළමනාකාරීත්වයේ පිරිසක්ද සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බැවින්, ඒ පිළිබඳවද විමර්ශන පවත්වන බව රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

ව්‍යාජ ලේඛන සකස් කරමින් ණය අයැදුම්පත් කරන පිරිසකට ඉතා සැලසුම් සහගතව අදාළ බැංකුවේ සැකකාර නිලධාරියා රුපියල් ලක්ෂ ගණනින් ණය මුදල් දී ඇති බවත්, එම ණය මුදල් අනුමත කර දීම වෙනුවෙන් එම බැංකුවේ ඇතැම් පිරිස් රුපියල් ලක්ෂ ගණනින් කොමිස් මුදල් පවා ගෙන තිබීම පුදුම සහගත කරුණක් බවද රජයේ නීතිඥවරයා අධිකරණය වෙත දන්වා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කරමින් මෙසේ පැවැසීය.

“අදාළ රාජ්‍ය බැංකුවේ තිබූ රුපියල් ලක්ෂ 1800 ක රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන පවත්වමින් සිටිනවා

මෙම අපරාධය ඉතා සංවිධානාත්මකව සූක්ෂම අයුරින් කර ඇති බවද පේනවා.

මෙම රාජ්‍ය බැංකුවේ ප්‍රධාන ශාඛාවේ ණය කළමනාකරු වශයෙන් කටයුතු කළ බව කියන ක්‍රිෂාන් අබේගුණවර්ධන නමැති නඩුවේ තුන්වැනි සැකකරු වටා එකතු වෙමින්, අනෙකුත් සැකකරුවන් මෙලෙස මුදල් වංචා කර ඇති බවද හෙළිවෙලා.

අදාළ බැංකුවේ ණය ගනුදෙනු අංශයේ මෙම මහා පරිමාණ වංචාව සිදු වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් මූලිකව එම බැංකුවේ ණය ගොනු 10 ක් පිළිබඳ විමර්ශන පැවැත් වූවා. අනතුරුව ණය ගිණුම් 46 ක් පිළිබඳ විමර්ශන පැවැත් වූවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාරගේ උපදෙස් පරිදි අංශ කීපයක් ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මීට අදාළ විමර්ශන කරනවා. මෙය ඉතා විශාල විමර්ශනයක් බව කිව හැකිය.

මෙම නඩුවේ පළමු වැනි සැකකාරිය වන බාලසූරියගේ දිලිනි මහේෂිකා පෙරේරා සහ 04 වැනි සැකකාරිය වන ශානිකා ප්‍රියදර්ශනී අදාළ බැංකුවෙන් ණය අයැදුම් කිරීම සඳහා කූට ලේඛන සකස් කර වාර්තා ඉදිරිපත් කර තිබෙනවා.

මෙම නඩුවේ එක් සැකකාරියක් බොරැල්ල ප්‍රදේශයේ කොමියුනිකේෂන් එකක් පවත්වාගෙන ගොස් තිබෙනවා. එම ස්ථානයට විවිධ ආයතනවල ලෙටර් හෙඩ් මුද්‍රා සහතික පිටපත් ගැනීමට පැමිණෙනවා. ඒවායේ පිටපත් අදාළ සැකකාරිය තබාගෙන ව්‍යාජ දත්ත ඇතුළත් කර ණය අයැදුම්පත් කර තිබෙනවා. මෙම නඩුවේ සැකකාරියන් දෙදෙනා කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතන 02 ක විධායක ශ්‍රේණියේ නිලධාරිනියන් දෙදෙනකු ලෙසත්, ඉතා ඉහළ වැටුප් ගන්නා අය බවත් සඳහන් කර ණය අයැදුම්පත් කර තිබෙනවා.

අදාළ ආයතනවල ප්‍රධානීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ප්‍රකාශ සටහන් කරගත්තා. එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම සැකකාරියන් දෙදෙනා ඔවුන්ගේ ආයතනවල නිලධාරිනියන් නොවන බවයි.

මෙම නඩුවේ තුන්වැනි සැකකරු වන අදාළ බැංකුවේ ණය කළමනාකරු ලෙස කටයුතු කළ තැනැත්තාට රුපියල් ලක්ෂ 30 දක්වා ණය අනුමත කළ හැකි වෙනවා. එම නිසා අදාළ සැකකරු රුපියල් ලක්ෂ 29, 28 වැනි ආකාරයේ රුපියල් ලක්ෂ 30 ට අඩුවෙන් ණය අනුමත කර තිබෙනවා.

නමුත් 03 වන සැකකරුට අදාළ බැංකුවේ ඉහළ කළමනාකාරිත්වයේ සහයෝගයක් නොමැතිව මෙම වංචාවන් කළ නොහැකියි. එම නිසා අදාළ රාජ්‍ය බැංකුවේ ඉහළ කළමනාකාරිත්වය සිටින පිරිසක් ගැනත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කරනවා. එම පුද්ගලයන් කුමන තරාතිරමක රැකියාව කළත් වරදක් අනාවරණය වන්නේ නම් ඔවුන් වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා.

රටේ මිනිසුන්ගේ රුපියල් ලක්ෂ 1800 ක් මෙහෙම හොරකම් කරන්න ඉඩ දෙන්න බැහැ. මෙම සිද්ධිය පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් පරිදි පුළුල් විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පවත්වන විට දැන් ගොඩක් අය කලබල වෙලා තියෙනවා.

මෙම නඩුවේ 04 වැනි සැකකාරිය වන හානිකා ප්‍රියදර්ශනී නමැත්තිය විසින් ජාතික හැඳුනුම්පත් 02 ක් සකස් කර තිබෙනවා. එම සැකකාරිය ක්‍රිබ් එකට යෑම නිසා වෙනත් ජාතික හැඳුනුම්පතක් සකස්කර ණය අයැදුම්පත් ඉදිරිපත් කර තිබෙනවා. සමහරු කූට ලේඛන සකස් කරලා. ඒවා භාවිත කරලා රටිනුත් පැනලා ගිහිල්ලා තියෙනවා.

මෙම නඩුවෙ 02 වැනි සැකකරු වන ජයසූරිය මුදියන්සේලාගේ ධර්මකීර්ති නමැත්තා කටාර් රාජ්‍යයේ සිට ලංකාවට ඒමේදී අත්අඩංගුවට ගත්තා. නඩුවේ 05 වැනි සැකකරු වන රාජරත්නම් නිරෝෂන් නමැත්තා කටාර් රාජ්‍යය වෙත යෑමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත්තා. ඔවුන්ට එරෙහිව විදෙස් ගමන් තහනම් නියෝග ගෙන තිබූ නිසා එලෙස අත්අඩංගුවට ගත්තා. ඔවුන් ණය ගැනීම සඳහා කූට ලේඛන සකස් කර තිබෙනවා.

මෙහෙම රටේ මිනිසුන්ගේ සල්ලි සමග සෙල්ලම් කරන්න ඉඩ දෙන්න බැහැ. එම නිසා සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඔවුන් සියලු දෙනා රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඉල්ලා සිටිනවා.”

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කිංස්ලි හෙට්ටිආරච්චි, තරිඳු වික්‍රමනායක ඇතුළු නීතිඥවරුන් තම සේවාදායකයන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.

සැකකරුවන් 05 දෙනා ලබන මස 13 වන දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය, එදිනට සැකකරුවන් සම්බන්ධයෙන් අනාවරණ වී ඇති සාක්ෂි පිළිබඳ සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

කොළඹ උද්ධමනය ඉහල යයි…..

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 ජුනි මාසයේ වාර්තා වූ -0.6% සිට 2025 ජූලි මාසයේ දී -0.3%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර කාණ්ඩයේ උද්ධමනය 2025 ජූලි මාසයේ දී 1.5%ක් දක්වා අඩු වී ඇති අතර, 2025 ජුනි මාසයේ දී එය වාර්තා වූයේ 4.3%ක්  ලෙසය.

එමෙන්ම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2025 ජූලි මාසයේ දී -1.2%ක් දක්වා වැඩි වී ඇති අතර, එය 2025 ජුනි මාසයේ දී -2.8%ක් ලෙස වාර්තා විය.

BYD රථ දහසකට වඩා හම්බන්තොට සිරවෙයි…..

BYD ATTO 3 ඇටෝ ත්‍රී වර්ගයේ මෝටර් රථ දහසක් පමණ හම්බන්තොට වරායෙන් නිදහස් නොකර තබාගැනීම පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුවිය.

කෙසේ වෙතත් අදාළ මෝටර් රථවල එකම බලයලත් බෙදාහැරීමේ ආයතනය වන ජෝන් කීල්ස් සමාගම පවසන්නේ, ඔවුන්ගේ සියලුම වාහන දේශීය නීති රෙගුලාසිවලට අනුකූල බවට සහතික කරන බවය.

මේ අතර CROSS BORDER ණයවර ලිපි විවෘත කරමින් කොන්දේසි සපුරා නොමැතිව ආනයනය කළ රථවාහන ප්‍රතිඅපනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් දිලිප් සිල්වා මහතා, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ප්‍රකාශ කළේය.

CROSS BOARDER LC හෙවත් දේශසීමා ණයවර ලිපි විවෘත කර ආනයනය කරන ලද රථවාහන 500කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට හම්බන්තොට වරායේ නිශ්කාශනය නොකර ගාල්කර තිබේ.

මේ අතර BYD ATTO 3 වර්ගයේ මෝටර් රථ දහසක් පමණ ද හම්බන්තොට වරායෙන් නිෂ්කාශනය නොකර ශ්‍රී ලංකා රේගුව රඳවා තබාගෙන තිබේ.

ඊට හේතු වී ඇත්තේ මෙරටට ආනයනය කරන ලද ATTO 3 මාදිලියේ රථවල මෝටර් බලය 100kW ලෙස නිෂ්පාදනය කර පැමිණියද, එම මාදිලියෙන්ම වෙනත් රටවලට ආනයනය කරන වාහනවල මෝටර් බලය 150kW වීම හේතුවෙන් පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වයයි.

100kW මෝටර් රථ සඳහා අඩු රේගු බද්දක් අය කෙරෙන අතර, 150kW සඳහා වැඩි රේගු බද්දක් නිෂ්කාශනයේදී අය කෙරේ.

එමෙන්ම මෙම BYD වාහන මාදිලි පිළිබඳ මෑතකාලයේ පළවන පුවත සම්බන්ධයෙන් එම රථවාහන සඳහා මෙරට එකම බලයලත් බෙදාහැරීමේ ආයතනය වන John Keels CG Auto පුද්ගලික සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ චීනයේ BYD වෙතින් ආනයනය කරන ලද වාහන 100 kW මාදිලි බව ජනතාවට සහතික කරන බවය.

එම වාහන සිංගප්පූරුව වැනි ජාත්‍යන්තර වෙළෙඳපොළවල අලෙවිවන වාහන මාදිලි බවද එම නිවේදනයේ සඳහන්.

එම සමාගම පෙන්වාදෙන්නේ මෙම වාහන motor power චීනයේ BYD හි පරීක්ෂණ වාර්තා මගින් තහවුුරු කර ඇති බවත්, ස්වාධීන පරීක්ෂණ ආයතනයක් එය වැඩිදුරටත් සහතික කර ඇති බවය.

මෙරට වගකිව යුතු සමාගමක් ලෙස John Keels CG Auto පුද්ගලික සමාගම ආනයනය කරනු ලබන සියලුම වාහන දේශීය නීති රෙගුලාසිවලට සම්පූර්ණයෙන්ම අනුකූල බවට සහතික කරන බව එම සමාගම පවසයි.

ශ්‍රී ලාංකික පුරවැසියන්ට මාලදිවයිනෙන් නොමිලේ දින 90ක On-Arrival සංචාරක වීසා…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින් සංචාරයට සමගාමීව, සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය කර ඇත.මෙම වීසා බලපත්‍ර නිකුත් කිරීම 2025 ජූලි 29 වන දින සිට ක්‍රියාත්මක වන අතර, එම වීසා ලබා ගැනීම සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තිබීම සහ මාලදිවයිනේ රැඳී සිටින කාලය තුළ සිය වියදම් සඳහා ප්‍රමාණවත් මුදල් තමන් සන්තකයේ ඇති බවට සනාථ කිරීම අවශ්‍ය වේ.මාලදිවයින් ජනරජය සහ ශ්‍රී ලංකාව අතර වන වීසා පහසුකම් සැපයීම පිළිබඳ ගිවිසුමේ විධිවිධාන සහ මාලදිවයිනේ ආගමන නීති සහ රෙගුලාසිවලට යටත්ව දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව අරමුණු කර මෙම වීසා පහසුකම සපයන බව මාලදිවයින් රජය සඳහන් කරයි.  තම රජය ශ්‍රී ලංකාව වෙත දක්වන ඉහළ ප්‍රමුඛතාව මෙමගින් යළි තහවුරු කෙරෙන බව මාලදිවයින් රජය වැඩිදුරටත් සඳහන් කරයි.

බීඩි සඳහා දුම්කොළ බද්ද වැඩි කිරීමට මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය….

බීඩි සඳහා දුම්කොළ බද්ද වැඩි කිරීමේ ගැසට් පත්‍රයට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමව තිබේ.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන සෑම බීඩි වර්ගයක් සඳහාම අය කරනු ලබන දුම්කොළ බද්ද 2025 අප්‍රේල් 02 වන දින සිට බලපැවැත්වෙන පරිදි රු. 2 සිට රු. 3 දක්වා වැඩි කිරීම සඳහා වන 2025 අප්‍රේල් 01 දිනැති අංක 2430/16 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය රජය විසින් නිකුත් කර තිබුණි.

මේ පිළිබඳ සලකා බලනු ලැබුයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

අදාළ බදු ඉහළ නැංවීම 2025 අයවැය මගින් ප්‍රකාශයට පත් කරන ලද අතර, එය 1999 අංක 8 දරන දුම්කොළ බදු පනත යටතේ, 2 වන වගන්තියට අනුකූලව මුදල් අමාත්‍යවරයා විසින් කරන ලද නියෝගයක් මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙහිදී අදහස් දැක්වූ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ පසුගිය වසරේ බීඩි නිෂ්පාදකයින් සඳහා බලපත්‍ර 1,140ක් නිකුත් කර ඇති නමුත්, බදු ඉහළ නැංවීමේන් අනතුරුව මෙම වසරේ බලපත්‍ර අලුත් කර ඇත්තේ 840ක් පමණක් බවය.

බීඩි නිෂ්පාදන බදු ආදායමද අපේක්ෂා කළ මට්ටමට වඩා පහත වැටී ඇති අතර, පසුගිය වසරේ අපේක්ෂිත ඉලක්කය රුපියල් බිලියන 2ක් වුවද ලැබී ඇත්තේ රුපියල් මිලියන 1,055ක් පමණක් බවත්, මෙම වසරේ මේ දක්වා රැස් කර ඇත්තේ රුපියල් මිලියන 469ක් පමණක් බවත් මෙහිදී අනාවරණය විය.

මෙහිදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේ මහා පරිමාණ අනීතික බීඩි ජාවාරම සහ එවැනි ක්‍රියා සඳහා ප්‍රමාණවත් නෛතික ක්‍රියාමාර්ග නොගැනීම මෙම අඩුපාඩු සඳහා හේතු වී ඇති බවය.

මෙහිදී කාරක සභා සාමාජිකයින් විමසා සිටියේ බලපත්‍ර අලුත් කිරීම් අඩුවීම සහ බීඩි නිෂ්පාදකයන් නීතිවිරෝධී වෙළෙඳපොළවල් වෙත ආකර්ෂණයවීම බදු බර වැඩිවීමේ ප්‍රතිඵලයක්ද යන්නයි.

ඉහළ බදු පැනවීමෙන් නීත්‍යානුකූල ව්‍යාපාර නීතිවිරෝධී තත්ත්වයට යොමුවිය හැකි බවට වන ආර්ථික මූලධර්මය හුවා දක්වමින් කමිටු සාමාජිකයන් පෙන්වා දුන්නේ බීඩි බදු අඩු කිරීමෙන් කර්මාන්තය සඳහා නීත්‍යානුකූල නිෂ්පාදකයන්ගේ සහභාගීත්වය වැඩි කළ හැකි අතර එමගින් සමස්ත ආදායම් රැස් කිරීම ඉහළ නැංවිය හැකි බවය.

ආදායම් ඉලක්ක සපුරා ගැනීමේදී අනාගත බදු ගැලපීම් සඳහා ඒවායේ කාර්යක්ෂමතාව පෙන්නුම් කිරීමට අදාළ විද්‍යාත්මක සාක්ෂි මත තීරණ ගන්නා ලෙස කමිටුව මෙහිදී දැනුම් දුන්නේය.

ශ්‍රීලංකන් ගුවන් සේවය ‘දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය‘ ලෙසින් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවරදී පැවැත්වුණු ‘International Tourism Conclave and Travel Awards’ හිදී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවයට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත් විය. මෙය දකුණු ආසියාවත් ලෝකයත් යා කරමින්, ශ්‍රීලංකන් ගුවන් සේවයටම ආවේණික වූ සුවිශේෂී සත්කාරකත්වය ඔස්සේ මගීන්ට විශිෂ්ටතම සේවාවක් සැලසීම වෙනුවෙන් හිමි වූ සුවිශේෂී සම්මානයකි. විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් මෙම සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තීරණය කරන ලද අතර, මෙය දකුණු ආසියාවේ ජනප්‍රියම ගුවන් සේවයක් ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරන ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකි වේ.

“දකුණු ආසියාවේ ගුවන් මගීන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීම සඳහා අප දරන උත්සාහය බෙහෙවින් සාර්ථක වී ඇති බවට මෙම සම්මානය මනා සාක්ෂියක්. ප්‍රධාන ගමනාන්ත රාශියක් වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කරමින් අප ලබාදෙන විශිෂ්ට සේවාව නිසා මෙම කලාපයේ ජනප්‍රියම ගුවන් සේවයක් බවට පත්වීමට අපට හැකි වී තිබෙනවා. මෙම සම්මානය, අපගේ මගීන්ට පෙරටත් වඩාත් උසස් සේවාවක් ලබාදීම සඳහා අප දිරිගන්වනු ඇති බවට සැකයක් නැහැ.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ වාණිජ ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා පැවසීය.

ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වන විට ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ දිල්ලි, මුම්බායි, චෙන්නායි හා බෙංගලූරු වැනි ප්‍රධාන නගර අතර මෙන්ම Tier-2 කාණ්ඩයේ උප ප්‍රධාන නගර අතර සතියකට ගුවන් ගමන් වාර 90 කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරයි. ඉන්දියාවේ තිරුචිරපල්ලි වෙතද ශ්‍රීලංකන් ගුවන් සේවය සතියකට වාර 8 ක් පියාසර කරන අතර, එම නගරය වෙත ගුවන් ගමන් ආරම්භ කළ ප්‍රථම ජාත්‍යන්තර ගුවන් සේවය ශ්‍රීලංකන් ගුවන් සේවය වීම විශේෂත්වයකි.

මීට අමතරව ශ්‍රීලංකන් ගුවන් සේවය මදුරෙයි වෙත සතියකට ගුවන් ගමන් වාර 6 ක්ද, හයිද්‍රාබාද් සහ තිරුවනන්තපුරම් වෙත සතියකට ගුවන් ගමන් වාර 4 ක්ද ක්‍රියාත්මක කරයි. තවද කේරළයේ කොචි නගරයේ සිට ශ්‍රී ලංකාව දක්වා දිනපතා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් ක්‍රියාත්මක වේ. මේ නිසා ඉන්දියාවේ ප්‍රධාන නගර මෙන්ම උප ප්‍රධාන නගර වෙත පහසුවෙන් ගමන් කිරීමට සංචාරකයන්ට අවස්ථාව උදා කර දෙමින් ඉන්දියාවේ සංචාරක කර්මාන්තයේ වර්ධනයට කැපීපෙනෙන දායකත්වයක් ලබාදෙන ගුවන් සේවයක් ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය නොයෙක් වර ඇගයීමට ලක් වී ඇත.

ඉන්දියාව යනු ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයන් පැමිණෙන රට වන අතර, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් අතරින් පහෙන් එකක්ම ඉන්දියානු ජාතිකයන් ලෙස සැලකේ. මේ අතරින් විශේෂයෙන්ම චෙන්නායි, බෙංගලූරු, දිල්ලි සහ මුම්බායි වැනි නගරවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමුතතම තේරීම බවට පත් වී ඇත්තේ ශ්‍රීලංකන් ගුවන් සේවයයි. මේ නිසා ඉන්දියාව ශ්‍රීලංකන් ගුවන් සේවයට වාණිජ හා සංස්කෘතික වශයෙන් අතිශය වැදගත් වෙළඳපොළක් බවට පත් වී ඇත.

දකුණු ආසියාව තුළ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් සඳහා Wide-body සහ Narrow-body යන කාණ්ඩ දෙකටම අයත් ගුවන් යානා භාවිතා වේ. මෙම ගුවන් යානාවල Business Class සහ Economy Class ආසන ඇතුළත්ය. මෙම ගුවන් යානාවල ගමන් කරන මගීන්ට, ශ්‍රීලංකන් ගුවන් සේවයේ සම්මානනීය ශ්‍රී ලාංකික ආහාරපාන එකතුව ඇතුළුව විවිධ සම්ප්‍රදායන්ට අයත් ප්‍රණීත ආහාරපාන රස විඳීමට අවස්ථාව හිමි වේ.

මීට අමතරව ඉන්දියාව ඉලක්ක කරගෙන සැලසුම් කළ සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් පෙළක්ද ශ්‍රීලංකන් ගුවන් සේවය මගින් ක්‍රියාවට නංවා ඇත. රාමායණයේ සඳහන් ස්ථාන ආවරණය වන පරිදි සැලසුම් කර ක්‍රියාවට නැංවූ අතිසාර්ථක Ramayana Trail වැඩසටහන ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. තවද ඉන්දියාව වෙනුවෙන් විශේෂ නිවාඩු පැකේජ සහ විශේෂ දීමනා රාශියක්ද ශ්‍රීලංකන් ගුවන් සේවය මගින් හඳුන්වා දී තිබේ.

මීට අමතරව ව්‍යාපාරික රැස්වීම්, උත්සව හා ප්‍රදර්ශන ආදිය වෙනුවෙන් පැමිණෙන MICE (Meetings, Incentives, Conferences, and Exhibitions) කාණ්ඩයේ සංචාරකයන් සහ, ශ්‍රී ලංකාවේදී තම විවාහ මංගලෝත්සව පැවැත්වීමට බලාපොරොත්තු වන්නන් වෙනුවෙන් විශේෂ විසඳුම් හා සේවාවන් එකතුවක් හඳුන්වා දීමටද ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන ඇත.