මෙරට රන් පවුම යළි ලක්ෂ 4ට ළංවෙයි….

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ.

අද (25) වනවිට ලෝක රන් මිල අවුන්සයක් ඩොලර්  4,569 දක්වා ඉහළ ‍ගොස් ඇත.

ඒ අනුව, කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි අද උදෑසන නිකුත්කළ නවතම දත්ත අනුව රත්‍රං මිලේ සමස්ථ වැඩිවීම රුපියල් 8,000ක් බව සඳහන්ය.

ඒ අනුව අද දිනයේ “කැරට් 22” රන් පවුමක් මිල රු. 361,500ක් ලෙස දැක්වුණි.

මේ අතර ඊයේ දිනයේ දී රු. 385,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 393,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ADBයෙන් ශ්‍රී ලංකාවට අනුමත කර තිබූ ඩොලර් මිලියන 380ක මුදල ඉහළ දමයි….

ආසියානු සංවර්ධන බැංකුවෙන් මෙම වසර සඳහා ශ්‍රී ලංකාවට අනුමත කර තිබූ ඩොලර් මිලියන 380ක මුදල, ඩොලර් මිලියන 480දක්වා ඉහළ නැංවීමටත්, උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඉන් ඩොලර් මිලියන 200ක් කඩිනමින් ශ්‍රී ලංකාවට ලබා දීමටත් ආසියානු සංවර්ධන බැංකුව විසින් එකඟතාව පළ කර තිබේ.

මෙරටට පැමිණ සිටින ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති Masato Kanda මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කෙරිණි.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර දිට්වා ආපදා තත්ත්වයෙන් පසු රට යළි ගොඩනැඟීමේ රජයේ වැඩපිළිවෙළට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය.

පශ්චාත් ආපදා තත්ත්වය සහ වත්මන් මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ වුවද ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී අගය කළ ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ යටිතල පහසුකම් යළි ගොඩනැඟීම
සඳහා අවශ්‍ය ඕනෑම සහායක් ලබා දීමට සූදානම් බවද පැවසීය.

දිට්වා සුළි කුණාටු ආපදා තත්ත්වයේදී  ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙතෙක් ලබා දෙනු ලැබූ ආධාර මෙන්ම ශ්‍රී ලංකාව සමඟ ගෙන යන පුළුල් සංවර්ධන සහයෝගීතාව මෙහිදී අගය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යමින් ආර්ථික සංවර්ධනය අත්පත් කර ගැනීම වත්මන් රජයේ අපේක්ෂාව බව පැවසීය.

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය සියැසින් දැකබලා ගැනීමට තමන්ට අවස්ථාව ලැබුණු බව මෙහිදී සඳහන් කළ ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා, මධ්‍යම කඳුකරයේ ජල පද්ධතීන් ආරක්ෂා කර ගනිමින් නැවත මෙවන් තත්ත්වයක් ඇති නොවීමට ක්‍රියාත්මක කළයුතු  වැඩසටහන් සඳහා සහාය වීමට සූදානම් බවද පැවසීය.

ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි දකුණු ආසියානු කලාපීය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් Sona Shrestha, සභාපති කාර්යාලයේ ප්‍රධාන උපදේශක Keiichiro Inui, සභාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක Manisha Pradhananga යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, ආසියානු සංවර්ධන බැංකුවේ විධායක අධ්‍යක්ෂ (විකල්ප) මහින්ද සිරිවර්ධන, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සමන්ත බණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

යල කන්නය සඳහා පොහොර ගොවිජන මධ්‍යස්ථාන හරහා පමණයි….

මෙම වසරේ යල කන්නය සඳහා පොහොර ලබා දීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින ගොවිජන මධ්‍යස්ථාන මගින් පමණක් සිදු කිරීමට රජය තීරණය කර ඇතැයි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසයි.

මේ දිනවල පවතින මැදපෙරදිග යුදමය තත්ත්වයන් තුළ ඉදිරියේදී පොහොරවල මිල ඉහළ යා හැකිව යන උපකල්පනය මත යම් යම් පාර්ශ්වයන් පොහොර රැස් කිරීමට උත්සාහ කිරීම මත රජය විසින් මෙම තීරණය ගත් බව ඒ මහතා අදහස් දක්වමින් සඳහන් කළේය.

ඒ අනුව වී වගාවට අවශ්‍ය සියලුම පොහොර ගොවිජන මධ්‍යස්ථාන හරහා වී වගාකරුවන්ට ලබා දීමට පියවර ගන්නා බවද ඒ මහතා පැවසීය.

දිවයින පුරා ගොවිජන මධ්‍යස්ථාන 566ක් පිහිටා තිබෙන බවත් දැනටත් ප්‍රධාන වී වගාකරන ප්‍රදේශවල ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන්ගේ පොහොර අවශ්‍යතා සඳහා පොහොර නිකුත් කරන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශිත පොහොර ප්‍රමාණය ගොවීන් වෙත ලබා ගත හැකි බවද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරත් සඳහන් කළේය.

ගොවිජන මධ්‍යස්ථානය සතුව සියලුම ගොවීන්ගේ නම් සහ ඔවුන් වගා කරන භූමි ප්‍රමාණය පවතින බවත් ඒ අනුව ඉඩමේ ප්‍රමාණයට සරිලන පොහොර ප්‍රමාණය ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් ගොවීන්ට ලබා දීමට පියවර ගන්නා බවද ඒ මහතා පැවසීය

යල කන්නය සඳහා අවශ්‍ය වන පොහොර ප්‍රමාණය පිළිබඳව ගැටලුවක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලය සහතික කර ඇති බැවින් පොහොර පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොගත යුතු බවත් තමන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණය අවශ්‍ය පරිදි ලබා ගන්නා ලෙසත් ඒ මහතා සියලු ගොවීන්ගෙන් ඉල්ලීමක්ද සිදු කළේය.

යුෆෝරියා සිලෝන් සංචාරක ප්‍රවර්ධන වැඩසටහන ඇරඹේ….

ශ්‍රී ලංකාව ආගන්තුක සත්කාරකත්වයෙන් ඉහල රටක් බව නැවතත් සනාථ කරමින්  රට තුල සිටින විදේශීය  සංචාරකයින්ට, තෙල් අර්බුදයෙන් පීඩා නොවිද ලාංකේය සංස්කෘතික හා කර්මාන්ත අත්දැකීම් තිලිණ කරමින් , ලෙහෙසියෙන් ගමන් කිරීමට හැකි කොළඹ 07 මහවැලි කේන්ද්‍ර පරිශ්‍රයේදී මෙම වැඩසටහන පැවැත්වේ. මහවැලි උපදේශක කාර්‍යංශය , මහවැලි අධිකාරිය ,මහවැලි කේන්ද්‍රය හා ජාතික තරුණ සේවා සභාව එක්ව වැඩසටහන ක්‍රියාත්මක කරයි.

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති නිල සංචාරයක් සඳහා දිවයිනට…..

ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම, ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා පැවැත්වීම සහ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශවල හානිය නිරීක්ෂණය කිරීමේ අරමුණින් තෙදින නිල සංචාරයක් සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති Masato Kanda මහතා අද (23) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය.

කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී සභාපතිවරයාව පිළිගන්නා ලදී.

මේ අතර ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා අද (23) පෙරවරුවේ කොළඹ වරාය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට නියමිත අතර, කොළඹදී පෞද්ගලික අංශයේ නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට සහභාගී වීමටද නියමිතය. එමෙන්ම Masato Kanda මහතා ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික මෙහෙයුම් කාර්යාලය (SLRM) වෙත යාමටද නියමිතව තිබේ.

හෙට (24) දින සභාපතිවරයා ඇතුළු දූත පිරිස “දිට්වා” සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතය. මීට අමතරව, සුළි කුණාටුවෙන් පීඩාවට පත් අම්බලන්කන්ද ප්‍රදේශයේද නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට නියමිත අතර  එහිදී ජනතාව සමඟ අදහස් හුවමාරු කර ගැනීමටත්, සිදුව ඇති හානිය සෘජුවම දැක බලා ගැනීමටත් සැලසුම් කර ඇත.

අනතුරුව ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වීමට නියමිතය. මෙම හමුවේදී ආර්ථික පුනර්ජීවනය, සංවර්ධන මූල්‍යකරණය සහ ශ්‍රී ලංකාව හා ආසියානු සංවර්ධන බැංකුව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාවය ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා සමඟ එහි දකුණු ආසියානු කලාපීය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් Sona Shrestha, සභාපති කාර්යාලයේ ප්‍රධාන උපදේශක Keiichiro Inui, සභාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක Manisha Pradhananga යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ පිරිසක් මෙම සංචාරයට එක්ව සිටී.

ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්…..

ශ්‍රී ලංකාව සිය මිතුරෙකු බවත් ඕනෑම අවස්ථාවක මෙරටට උදව් කිරීමට ඉරානය සුදානම් බවත් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් (Alireza Delkhosh) මහතා පවසයි.

මෙරට ඉරාන තානාපති කාර්යාලයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ශ්‍රී ලංකාව තෙල් හෝ වෙනත් ඕනෑම අත්‍යවශ්‍ය භාණ්ඩ ඉල්ලා සිටියහොත්, ඉරානය එම භාණ්ඩ ශ්‍රී ලංකාවට ලබාදීමට සුදානම් බවය.

හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය සිය මිත්‍ර රටවලට වසා දමා නොමැති බවද අලිරේසා ඩෙල්කෝෂ් මහතා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව කරදරයක වැටෙනු දැකීමට තම රටට අවශ්‍යතාවයක් නොමැති බවත්, ශ්‍රී ලංකාව ඉරානයට ඉතා ගෞරවනීය රටක් වන බවද ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් මහතා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම පසුගිය දා අමෙරිකානු සම්මැරීනයක් මඟින් එල්ලකළ ටෝපිඩෝ ප්‍රහාරයකින් මුහුදුබත් වූ ඉරානයේ ‘IRIS Dena’ යුද නෞකාවේ සිටි පිරිස මුදාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළේ ඉරාන ඉල්ලීමක් කිරීමට පළමුව බවද පැවසු අලිරේසා ඩෙල්කෝෂ් මහතා ශ්‍රී ලංකාව විසින් සිදුකළ එම උපකාරය ද මෙහිදී සිහිපත් කළේය.

මේ අතර ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට ඉරාන රජය සුදානම් බවද ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් මහතා වැඩිදුරටත් පැවසීය.

ඉරානය තුළ පදිංචිව සිටින විදේශිකයන් ආරක්ෂා කිරීම සඳහා පුළුල් යටිතල පහසුකම් ස්ථාපිත කර ඇති බවත් තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. අද වන විට ඔවුන්ට බලපාන කිසිදු ගැටලුවක් වාර්තා වී නොමැති බවත්, ඔවුන්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් ඔහු අවධාරණය කළේය.

ඔහු තවදුරටත් පවසා සිටියේ, “ඔවුන් තම රටවලට ආපසු යාමට කැමති නම්, තුර්කිය වැනි අසල්වැසි රටවල් හරහා ඔවුන්ගේ ගමන් පහසුකම් සැලසිය හැකියි” යනුවෙනි.

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට…..

අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රු.10 කින් ඉහළ නැංවීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඉන්ධන මිල ඉහළ යාමත් සමග මෙම පියවර ගෙන ඇති අතර ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 130ක් දක්වා ඉහළ නංවන බව එම සංගමය සඳහන් කළේය.

එමෙන්ම අනෙකුත් සියලු බේකරි නිෂ්පාදන මිල ගණන්ද අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් මිල ඉහළ නැංවීමටද බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ආනයනික කිරිපිටි සහ තිරිඟු පිටි මිලෙහි වෙනසක් නැහැ….

මෙරට ආනයනික කිරිපිටි මිල සහ තිරිඟු පිටි මිල කිසිසේත් ඉහළ නොදමන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශ පවසයි.

කිරිපිටි ආනයනකරුවන් හා තිරිඟු පිටි සමාගම් අද (23) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා හමුවූ අවස්ථාවේදී මේ බව සහතිකවී ඇත.

පවතින යුදමය තත්ත්වය හේතුවෙන් සැපයුම් හා බෙදාහැරීමේ ජාලයන්ට එල්ලවී ඇති බලපෑම් හා අඛණ්ඩ සැපයුමක් පවත්වා ගෙන යාම පිළිබඳ සාකච්ඡාවක් මෙම දෙපිරිස අතර පවත්වා තිබේ.

එහිදී ඔවුන් එම පොරොන්දුව ලබා දුන් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය නිවේදනය කළේය.

ඉන්ධන මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය තම නිෂ්පාදන පිරිවැයට යම් බලපෑමක් එල්ල කළ ද මෙම අසීරු අවස්ථාවේ ජනතාව වෙනුවෙන් රජය සමඟ එක්ව ජනතාවට යම් සහනයක් ලබාදීම අපේක්ෂාව බව එම සමාගම් ප්‍රකාශ කර ඇත.

තවත් මාස තුනක කාලයකට ප්‍රමාණවත් ආනයනික කිරි පිටි හා තිරිඟු පිටි තොග සැපයීම පිළිබඳ සහතික විය හැකි බවත්, එළඹෙන අලුත් අවුරුදු සමය අවසන් වන තෙක් කිසිදු ආකාරයක මිල වැඩි කිරීමක් සිදු නොකරන බවත් ආනයනික කිරිපිටි සමාගම් සහ තිරිඟු පිටි සමාගම් අමාත්‍යවරයා වෙත තහවුරුවක් ලබා දුනි.

එමෙන්ම ඉන්ධන කෝටාව හේතුවෙන් බෙදා හැරීම්වලට බලපෑම් එල්ල වී ඇති බව ආනයනික කිරි පිටි හා තිරිඟු පිටි සමාගම් අමාත්‍යවරයාට පෙන්වාදෙන ලදී.

ආහාර බෙදා හැරීමේ ක්ෂේත්‍රයේ නියුතු ප්‍රවාහන සේවා සපයන්නන්ගේ ඉන්ධන අවශ්‍යතා හඳුනා ගැනීමට සහ එම අංශයේ සැලසුම්කරණය විධිමත් කිරීම අරමුණු කර ගනිමින් හඳුන්වා දුන් විශේෂ දත්ත රැස්කිරීමේ වැඩසටහනට ලියාපදිංචි වන ලෙස එහිදී අමාත්‍යවරයා සමාගම් වෙත උපදෙස් ලබා දුන් බව වැඩිදුරටත් සඳහන්ය.

අද මධ්‍යම රාත්‍රියේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තුව සියයට 20කින් ඉහළට…..

ඉන්ධන මිල ගණන් ඉහළ යාමත් සමග අද (22) මධ්‍යම රාත්‍රියේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තුව 20%කින් ඉහළ නංවන බව බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා පැවසුවේ පවතින තත්ත්වය මත ආනයන අපනයන කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යාම අරමුණින් මෙම පියවර ගත් බවය.

කොළඹ වරාය නියෝජනය කරන සියලු සංගම් ඒකාබද්ධව එහි විධායක කමිටුව විසින් මෙම තීරණය ගත් බවත් පැවසූ ඒ මහතා පැවසුවේ මේ වන විට මෙම ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධව සියලු පාර්ශ්ව දැනුවත් කරමින් පවතින බවය.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ  බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා,

“මේ මිල වැඩි කිරීම නොකර ආනයන අපනයන බහාලුම් ප්‍රවාහන සේවාව කරගෙන යාමේ හැකියාවක් නැහැ මොකද මේ වෙනකොටත් දැඩි අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා ආනයනික භාණ්ඩ නිෂ්කාශනය ප්‍රමාදයත් එක්ක. අපි රජයෙන් ඉල්ලීමක් කරනවා මේ ආනයනික භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ ප්‍රමාදය ඉතා ඉක්මනින් කඩිනමින් විසඳීමට කටයුතු කරන්න. මොකද මෙහි වැඩිපුර අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවීමත් සහ ඉන්ධන අපතේ යාමත් සිදුවෙනවා දිගු පෝලිම්වල රැඳී සිටීමත් නිසා”

එමෙන්ම මේ සම්බන්ධව අදහස් දක්වමින් ලංකා භාණ්ඩ ප්‍රවාහන සේවා සංගමයේ ලේකම් ඉනාම් කෆූර් මහතාද පැවසුවේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම හේතුවෙන් බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවය.

බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලිය සඳහා අවම වශයෙන් දින 4-5ක කාලයක් ගත වන බවත් එම කාලය තුළ දිනකට රුපියල් 15,000 බැගින් ප්‍රමාද ගාස්තුද ගෙවීමට සිදුවී ඇති බවත් පෙන්වා දුන් ඒ මහතා පැවසුවේ ඉන්ධන මිල ගණන් ඉහළ යෑමත් සමග මෙම තත්ත්වය තවත් ඉහළ යා හැකි බවත් ඒ අනුව බහාලුම් ප්‍රමාද ගාස්තුද ඉහළ දැමීමට සිදුවන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා භාණ්ඩ ප්‍රවාහන සේවා සංගමයේ ලේකම් ඉනාම් කෆූර් මහතා,

“අපි ගණනය කරලා බැලුවොත් සාමාන්‍යයෙන් බහලුම් ප්‍රවාහන රථයකට රුපියල් 25,000ක් වැනි කුළියක් අයකරනවා කොළඹ අවට ඩිලිවරිවලට. දැන් වැඩිවීමක් ගත්තානම් අපි දැන් ප්‍රමාද ගාස්තු ගෙවනවා ලොරියට රුපියල් 15,000ක්. ඒවගේ පස් ගුණයක් ඒ කියන්නේ 75,000ක් ප්‍රමාද ගාස්තු හැටියට අය වෙනවා. ඒකත් එක්කම අර 25,000 කුළියත් අය වෙනවා. දැන් 30%ක් වැනි මුදලකින් ඩීසල් වැඩි වෙලා තියෙනවා මේ වැඩි කිරීම එක්ක බැලුවාම 400%කින් වගේ  වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. වරායේ තියන බහාලුම් ටික නිෂ්කාශනය කරගන්න දවස් 4-5ක් විතර යනවා. දවසින් කරන්න පුළුවන් කුළිය දවස් 5ක් විතර ගියාම ඒ කුළී රථ හිමිකරුවාට අලාභයක් වෙනවා. දැන් අපි යන්නේ නිවාඩු මාසයකට ඒ නිසා අපිට පුළුවන් වෙන්න ඕනේ ඉතා ඉක්මනින් නිෂ්කාශනය කරලා ජනතාවට ලබා දෙන්න. ලංකාවට එන භාණ්ඩ ප්‍රමාදයක් නැතිව ජනතාවට භුක්ති විඳින්න අපි අවස්ථාව සලසලා දෙන්න ඕනේ”

බස් ගාස්තුව ඉහළ යාම 10%කට වඩා වැඩි අගයකින්….

ලංකා සුදු ඩීසල් මිල ගණන්වල වැඩිවීම, බස් ගාස්තු ඉහළ නැංවීමේ සූත්‍රයට ගැලපූ විට මේ වනවිට පවතින බස් ගාස්තුවට සියයට 10කට වඩා වැඩි අගයකින් බලපා ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කර ඇත්තේ ඒ අනුව නව බස් ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක කිරීමට හෙට (23) දිනයේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට නියමිත බවය.

වර්තමානයේ ක්‍රියාත්මක වන පසුගිය වසරේ ජූලි මස 04 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද බස් ගාස්තුව වන අතර එය ගණනය කිරීමේදී එම මාසයේදී ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 289ක්ව පැවැති බවත් ඒ අනුව එම මිලට ගලපා බස් ගාස්තුව ප්‍රකාශට පත් කළ බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ එම නිවේදනයේ සඳහන් කර තිබේ.

නමුත් ඊයේ දින සිදුවූ ඉන්ධන මිල වැඩිවීමත් සමග රුපියල් 303 සිට 382 දක්වා ඩීසල් ලීටරයක මිල ඉහළ ගොස් ඇති බවත් එය රුපියල් 79කින් වැඩිවී ඇති බවත් මෙම කාල සීමාව තුළ ලංකා සුදු ඩීසල් මිලෙහි සමස්ත වැඩිවීම රුපියල් 93ක් බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දී ඇත.

ඒ අනුව එය බස්ගාස්තු සූත්‍රයට ගැලපූ විට සියයට 10කට වඩා වැඩි අගයකික් බස් ගාස්තු වැඩි වීමට මෙය බලපා ඇති බවත් මේ හේතුවෙන් නව බස්ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාගැනීම සඳහා හෙට දිනයේදී පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා යොමු කර ඇති බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කෙසේවෙතත් බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් හෙට (23) දිනයේ බස් ධාවන කටයුතු වලින් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ බස් ගාස්තු ඉහල දමන තෙක් බස් ගාස්තු ධාවනය සිදුකිරීමට හැකියාවක් නොමැති බවයි.

මේ අතර හෙට දිනයේ දී අන්තර් පළාත් බස් රථ ද ධාවන කටයුතුවලින් ඉවත් වන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පැවසීය.