මේ වසරේ පළමු කාර්තුවේ සුරාබදු ආදායම වාර්තා අතරට…..

2026 වර්ෂයේ පළමු කාර්තුව තුළ වාර්තාගත සුරාබදු ආදායමක් උපයාගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, 2026 මාර්තු 31 වන විට සුරාබදු ආදායම රුපියල් බිලියන 70.4ක් ලෙස වාර්තා වී ඇති අතර, එම කාලසීමාව සඳහා නියමිතව තිබූ රුපියල් බිලියන 61.95ක ඉලක්කයද ඉක්මවා ගොස් ඇති බවය.

ඒ අනුව ඉලක්කගත ආදායමට සාපේක්ෂව 113.6%ක ඉහළ ප්‍රතිශතයක් වාර්තා වී තිබේ.

තවද, මෙම ආදායම 2025 වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව 114.8%ක වර්ධනයක් බවද සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

නව රජයේ නිසි මගපෙන්වීම හා සියලු ශ්‍රේණිවල සුරා බදු නිලධාරීන්ගේ පුර්ණ කැපවීම හේතු වෙන් මෙලෙස වාර්තාගත සුරාබදු ආදායමක් උපයාගැනීමට හැකිවූ බව සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. පේමරත්න මහතා ප්‍රකාශ කර සිටියි.

මත්පැන් නිෂ්පාදනාගාර සහ ස්කාගාර නිරන්තරයෙන් දැඩිව අධීක්ෂණය කිරීම, මත්පැන් බෝතල් මත ආරක්ෂිත මුද්‍රා යෙදීම, නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයට එරෙහිව වැටලීම් වැඩි කිරීම සහ බලපත්‍ර ස්ථාන නිරන්තර පරීක්ෂාවට ලක් කිරීම වැනි ක්‍රියාමාර්ග මෙම ආදායම් වර්ධනයට දායක වී ඇතැයිද ඔහු පැවසීය.

රාජ්‍ය ආදායම උපයන ආයතන අතර තෙවන ස්ථානය හිමි මෙම දෙපාර්තමේන්තුව, 2026 වර්ෂය සඳහා රුපියල් බිලියන 245ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට අපේක්ෂා කරන බවද සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මහ බැංකුවේ තවත් වාර්තා දෙකක් ජනපතිට…..

ශ්‍රී ලංකා මහ බැංකුවේ “වාර්ෂික ආර්ථික විවරණය 2025” සහ “මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2025” වාර්තා ද්විත්වය මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීම අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් වාර්තා ද්විත්වය මෙලෙස ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් පිළිගැන්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන එහි මුඛ්‍ය ප්‍රකාශනය වන 2025 වාර්ෂික ආර්ථික විවරණය මගින්  “සාර්ව ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව පවත්වා ගැනීම සහ ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රතිපත්තිමය හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ තුළින් අනුබල ලබමින් 2025 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය පෙර වසරවලදී සාක්ෂාත් කරගත් ප්‍රගතිය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සමත්ව තිබෙන බවත්, වෙළෙඳ සහ භූ දේශපාලනික ප්‍රවණතා ආශ්‍රිත ගෝලීය අවිනිශ්චිතතා ඉහළ යෑම මෙන්ම, 2025 වසර අග භාගයේදී ඇති වූ අයහපත් කාලගුණ තත්ත්ව සහ ව්‍යසනකාරී ස්වභාවික විපත්වල බලපෑම මධ්‍යයේ වුවද දේශීය ආර්ථික ක්‍රියාකාරකම්හි ඔරොත්තු දීමේ හැකියාව පැවතුණු බවත්, සාර්ව ආර්ථික තත්ත්වයන් වර්ධනය වීම සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය වැඩිදියුණු වීම මෙන්ම, ඒ තුළින් වැඩිදියුණු වූ ආයෝජන විශ්වාසය මගින් කම්පනවලට වඩාත් ඵලදායීව මුහුණ දීම සඳහා අවශ්‍ය ස්වාරක්ෂක ගොඩනැංවීමට ආර්ථිකය සතු හැකියාව වැඩිදියුණු කරමින් තිරසාර ආර්ථික වර්ධනයට මග පාදා තිබෙන බවත් පෙන්වා දී තිබේ.

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පොල් කර්මාන්තයේ පුනරුදයට නව නිලධාරින් 56ක්…..

පොල් වගා කිරීමේ මණ්ඩලයට සහ පොල් සංවර්ධන අධිකාරිය සඳහා නව නිලධාරින් 56 දෙනෙකුට පත්වීමේ ලිපි ප්‍රදානය කර තිබේ.

ඒ, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විසිනි.

දිගුකාලීනව පැවති මානව සම්පත් හිඟය පිරවීම තුළින් පොල් ක්ෂේත්‍රයේ පරිපාලන, තාක්ෂණික සහ ක්ෂේත්‍ර මට්ටමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

ඒ අනුව අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ, ප්‍රාදේශීය කළමණාකරු, ව්‍යාප්ත නිලධාරි, පර්යේෂණාගාර සහායක, කාර්මික සහකාර, ක්ෂේත්‍ර නිලධාරි, ගොවිපල සැලසුම් නිලධාරි ඇතුළු පුරප්පාඩු වූ තනතුරු රැසකට අදාළ පත්වීම් එහිදී ලබාදී ඇත.

අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගවල ආදායම රු. මිලියන 441 ඉක්මවයි….

අලුත් අවුරුදු සමයේ 10 වෙනිදා සිට 18 වෙනිදා දක්වා අධිවේගී මාර්ග භාවිතා කළ රථ වාහන වලින් රුපියල් මිලියන 441 කට වැඩි  මුදලක් උපයා ගැනීමට හැකි වූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි මහතා පවසයි.

එම කාලය තුල රථ වාහන 1,170,830ක් අධිවේගී මාර්ගය භාවිතා කිරීමෙන් මෙම ආදායම ලබා ගැනීමට හැකි වී ඇති බව ඒ මහතා සඳහන් කළේය.

දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය, කොළඹ – කටුනායක මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගයන්වලින් ධාවනය වූ වාහන වලින් එම ආදායම උපයා ඇතැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.

*අප්‍රේල් 10 වෙනිදා,
අධිවේගී මාර්ගය භාවිත කළ රථ වාහන ගණන 161,847ක් – ආදායම රුපියල් මිලියන 59.8 ක්.

*අප්‍රේල් 11 වෙනිදා,
අධිවේගී මාර්ගය භාවිත කළ රථ වාහන ගණන 153,807ක් – ආදායම රුපියල් මිලියන 58.2 ක්

*අප්‍රේල් 12 වෙනිදා,
අධිවේගී මාර්ගය භාවිත කළ රථ වාහන ගණන 118,684ක් – ආදායම රුපියල් මිලියන 45.2 ක්

*අප්‍රේල් 13 වෙනිදා,
අධිවේගී මාර්ගය භාවිත කළ රථ වාහන ගණන 84,211ක් – ආදායම රුපියල් මිලියන 31.6 ක්

*අප්‍රේල් 14 වෙනිදා,
අධිවේගී මාර්ගය භාවිත කළ රථ වාහන ගණන 91,776ක් – ආදායම රුපියල් මිලියන 34.3 ක්

*අප්‍රේල් 15 වෙනිදා,
අධිවේගී මාර්ගය භාවිත කළ රථ වාහන ගණන 139,480ක් – ආදායම රුපියල් මිලියන 52.5 ක්

අප්‍රේල් 16 වෙනිදා,
ආදායම රුපියල් මිලියන 53 ක්

*අප්‍රේල් 17 වෙනිදා,
අධිවේගී මාර්ගය භාවිත කළ රථ වාහන ගණන 138,944 ක් – ආදායම රුපියල් මිලියන  53  ක්

*අප්‍රේල් 18 වෙනිදා,
අධිවේගී මාර්ගය භාවිත කළ රථ වාහන ගණන 141,813 ක් – ආදායම රුපියල් මිලියන   53 කට වැඩි

මැයි මාසයේදීත් ලිට්‍රෝ අඛණ්ඩ ගෑස් සැපයුමක්….

මැයි මාසය සඳහා ද අඛණ්ඩ ගෑස් සැපයුමක් ලබාදිය හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

අප්‍රේල් මාසය සඳහා ගෑස් මෙට්‍රික්ටොන් 20,500ක් මේ වනවිට මෙරටට ලැබී ඇති බවත් තවත් මෙට්‍රික්ටොන් 17,500ක් ලැබීමට නියමිතය බවත් එම සමාගම පැවසීය.

ලිට්‍රෝ ගෑස් සමාගම පෙන්වා දෙන්නේ එම තොග මාලදිවයිනේ පාවෙන ගබඩාව තුළ ගබඩා කර ඇත බවය.

ඊට අමතරව තවත් ගෑස් මෙට්‍රික්ටොන් 20,000ක නෞකාවක් දකුණු අප්‍රිකාව හරහා මාලදිවයින වෙත ළඟා වෙමින් පවතින බවද ලිට්‍රෝ සමාගම පවසයි.

මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගම සැලසුම් කළ පරිදි මෙම උත්සව සමයේ පාරිභෝගිකයන්ගේ ඉල්ලුමට සරිලන ලෙස අවශ්‍ය ගෑස් ප්‍රමාණයන් වෙළඳපොළට නිකුත් කළ බවද සඳහන් කරයි.

එමෙන්ම උත්සව සමයෙන් පසුවද වෙළෙඳපොළට අවශ්‍ය ගෑස් තොග නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවත් අප්‍රේල් මස 16 සිට නැවතත් සාමාන්‍ය පරිදි ගෑස් පිරවීම් සහ බෙදාහැරීම් කටයුතු ඇරඹූ බවත් පෙන්වා දෙයි.

අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි….

අදානි සමූහයේ නිර්මාතෘ සහ සභාපති ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ.

ඒ අනුව වසර ගණනාවක් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටි බිලියනපති මුකේෂ් අම්බානිට දෙවන ස්ථානය දක්වා පසුබැසීමට සිදුව ඇත.

බ්ලූම්බර්ග් බිලියනපති දර්ශකයට අනුව අදානිගේ ශූද්ධ වත්කම් මේ වනවිට ඩොලර් බිලියන 92.6ක් දක්වා ඉහළගොස් තිබේ.

අම්බානිගේ වත්මන් ශූද්ධ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 90.8ක් බව එම දර්ශකයේ දැක්වේ.

කෙසේ නමුත් මෙම දෙදෙනාම ලොව ධනවත්ම පුද්ගලයින් 20 දෙනා අතර සිටියි. ඒ අනුව අදානිට ලොව 19වන ස්ථානයත්, අම්බානිට 20වන ස්ථානයත් හිමිව ඇත.

ලොව ධනවත්ම පුද්ගලයන් අතර පළමු 8 දෙනාම අමෙරිකානුවන් වන අතර, එලොන් මස්ක් තවමත් එහි පෙරමුණේ පසුවෙයි. ඔහු ඩොලර් බිලියන 656ක ශූද්ධ වත්කමකට හිමිකම් කියයි.

දෙවන ස්ථානයේ ලැරී පේජ් පසුවන අතර, ඔහු ඩොලර් බිලියන 286ක හිමිකම් කියයි.

ඩොලර් බිලියන 269ක ශූද්ධ වත්කමකට හිමිකම් කියන ජෙෆ් බෙසොස්ට මෙහි තෙවන ස්ථානය හිමිව තිබේ.

හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා නැවත QR ක්‍රමය…..

හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට නැවත පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමය ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පැවසුවේ ඒ අනුව පෙර පැවති ඉන්ධන කෝටාව යළි සක්‍රීය වන බවය.

උත්සව සමය හේතුවෙන් පසුගිය 11 වැනි දින මධ්‍යම රාත්‍රියෙට් සිට හෙට දිනය දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී QR ක්‍රමය සැලකිල්ලට නොගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබීය.

කෙසේ නමුත් ඔත්තේ ඉරට්ටේ ක්‍රමය සැලකිල්ලට ගැනීමට එහිදී තීරණය වූ අතර ඩීසල් වාහන සඳහා QR ක්‍රමය එළෙසින්ම ක්‍රියාත්මක කිරීමටද එහිදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තේය.

ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රියේ සිට සියලු වාහන සඳහා QR ක්‍රමවේදය සක්‍රීය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.

තෙල් මිල ගැන ඇමති නලින්දගෙන් ඉඟියක්…

පවතින මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ වුවද මෙරට තෙල් සහ විදුලි සැපයුම අඛණ්ඩව ලබාදෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කළුතර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ලෝක වෙළෙඳපොළේ තෙල් මිලෙහි සිදුවන උච්ඡාවචනයන් සමඟ තෙල් මිලේ යම් ඉහළයෑමක් සිදුවිය හැකි බවය.

එසේ සිදුවුවත් සමස්ත මිල ඉහළ දැමීමක් නොව එයින් සැලකිය යුතු කොටසක් භාණ්ඩාගාරය මඟින් දරාගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මේ වනවිට ඉහළ දමා ඇති තෙල් මිල ගණන් යුදමය තත්ත්වය පහව ගිය පසු හැකි ඉක්මනින් අඩුකිරීම රජයේ අපේක්ෂාව බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පැමිණෙන පළමු බොරතෙල් නෞකාව හෙට දිවයිනට….

මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පැමිණෙන පළමු බොරතෙල් රැගත් නෞකාව හෙට (17) දිනයේ මෙරටට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසයි.

එහි කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා පැවසුවේ මෙම නෞකාවෙන් බොරතෙල් මෙට්‍රික් ටොන් 97,500ක් මෙරටට රැගෙන එන බවය.

එමෙන්ම තවත් නෞකාවක් මෙමස අග වන විට ලංකාවට පැමිනීමට නියමිත බවද ඒ මහතා පැවසීය.

“යුද තත්ත්වයෙන් පස්සේ ලංකාට එන බොර තෙල් නෞකාව ලංකාවට ලඟා වෙනවා මෙට්‍රික් ටොන් 97,500ක් සමඟ. ඒ වගේම තවත් නෞකාවක් මෙමස අග එන්න නියමිව තිබෙනවා. එවගේම අමෙරිකාවේ සිට එන WTI නෞකාව, නැව්ගත කරමින් තිබෙනවා. අද දිනයේදී වගේ යාත්‍රා කිරීමට පටන්ගනියි ලංකාව බලා.  ඒ අනුව මෙතෙක් කල් ලංකා ඛනිජතෙල් සංස්ථාවට ගැටලුවක්ව තිබූ බොර තෙල් සැපයුම තහවුරු කර ගැනීම ප්‍රශ්නයත් මේ වන විට අවසන් වෙලා තියෙනවා.”

බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන් ?

ලෝක වෙ‍ෙළඳපොළේ බොරතෙල් බැරලයක් සඳහා වන වැඩිම මිල, එනම් අමෙරිකානු ඩොලර් 286ක් ගෙවමින් ශ්‍රී ලංකාව බොරතෙල් මිලට ගෙන ඇතැයි ‘මිඩ්ල් ඊස්ට් අයි’ වෙබ් අඩවිය අනාවරණ කරයි.

ඒ, HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් එල්හෙඩ්‍රි මහතා සිදුකළ බව කියන ප්‍රකාශයක් උපුටා දක්වමිනි.

කෙසේවෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ එම පුවත අසත්‍යයක් බවය.

මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමට පෙර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල පැවතුණේ අමෙරිකානු ඩොලර් 70 ත් 80 ත් අතර මිලකටය.

එහෙත් පෙබරවාරි 28 වෙනිදා යුද්ධය ආරම්භ වීමෙන් පසු එම බැරලයක මිල අමෙරිකානු ඩොලර් 119 දක්වා ඉහළ ගිය අතර එය නැවතත් ඩොලර් 100 න් පහළට පැමිණ තිබේ.

ඒ අතර ලෝක වෙළෙඳපොළේ පවතින සාමාන්‍ය බොරතෙල් මිලට වඩා අතිශය ඉහළ මිලක් ගෙවමින් ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයක් සඳහා ඩොලර් 286 මිලක් ගෙවා ඇති බවට ‘මිඩ්ල් ඊස්ට් අයි’ වෙබ් අඩවිය අනාවරණ කරයි.

එහි සඳහන් වන්නේ පසුගිය අඟහරුවාදා හොංකොං හි පැවති ආයෝජන සමුළුවකදී HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් එල්හෙඩ්‍රි මහතා ඒ පිළිබඳ මෙලෙස ප්‍රකාශයක් කර ඇති බවය.

“මාව කණස්සල්ලට පත් කළේ ප්‍රධාන සිරස්තල වල පැවසෙන මිල ගණන් ‍නො‍වේ. මම අදහස් කළේ තෙල් මිල ඩොලර් 100, 110 ට වඩා වැඩියි. ප්‍රායෝගිකව ගතහොත් ඔබ දැන් මැදපෙරදිගින් තෙල් ලබා ගැනීමට උත්සහ කරනවා නම් ඔබට ඩොලර් 140, 150ක් ගෙවීමට සිදුවනු ඇති. මම ඇසූ පරිදි තෙල් බැරලයකට ඉහළම මිල ගෙවා ඇත්තේ ශ්‍රී ලංකාව. ඩොලර් 286 ක්. “

එම වාර්තාව සම්බන්ධයෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව අද පස්වරුවේ ප්‍රතිචාර දැක්වීය.

නිවේදනයක් නිකුත් කරමින් තෙල් සංස්ථාව පවසන්නේ බොර තෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 286 බැගින් මිලට ගත් බවට පැතිර යන පුවත සම්පූර්ණ අසත්‍යයක් බවය.

පවතින යුදමය තත්ත්වය හමුවේ වුවද තෙල් සංස්ථාව බොරතෙල් මිලදී ගනු ලබන්නේ බැරලයක් අමෙරිකානු ඩොලර් 71ත් – 113ත් අතර මිල ගණන් යටතේ බව එම සංස්ථාව සඳහන් කරයි.