අප්‍රේල් ගෙවුණු දින 5ට සංචාරකයින් 26,800ක් මෙරටට ඇවිත්…..

අප්‍රේල් මාසයේ මුල් දින 5 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 26,800ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 7,562ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 28%ක් වේ.

එමෙන්ම, රුසියාවෙන් 1,623ක්, ජර්මනියෙන් 1,090ක්, එක්සත් රාජධානියෙන් 2,854ක්, චීනයෙන් 1,537ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 2,794 ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

තවද, 2026 ජනවාරි 01 සිට අප්‍රේල් 05 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 767,434ක් ලෙස වාර්තා වී තිබේ.

ඒ අතරින් ඉන්දියාවෙන් 154,835ක්, රුසියාවෙන් 67,541ක් සහ එක්සත් රාජධානියෙන් 81,274ක් සංචාරකයින් පැමිණ ඇති බවද එම අධිකාරිය සඳහන් කළේය.

රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට…..

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ රයිස් ඇන්ඩ් කරි කෑම මිල රු 20කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පවසා සිටියේ, පොල්තෙල් මිල අඩුවීම හේතුවෙන් කෙටි කෑම මිල රුපියල් 10කින් පහත දැමීමට තීරණය කළ බවය.

ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි  ගෑස් මිල විශාල ප්‍රමාණයකින් ඉහළ යෑම හේතුවෙන් මෙලෙස කෑම මිල ගණන් ඉහළ නංවා ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

උත්සව සමයේ පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක්….

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව උදෙසා විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසුවේ ඒ අනුව පසුගිය 20 වැනිදා සිට මේ දක්වා වැටලීම් 1,000කට අධික ප්‍රමාණයක් සිදුකර අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇති බවය.

පසුගිය කාලය තුළ සහල් සඟවා තබා ගැනීම, වැඩි මිලට අලෙවි කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ව්‍යාපාරිකයින් 170කට අධික ප්‍රමාණයකට නීතිමය පියවර ගෙන ඔවුන්ට ලබා දිය යුතු නීතිමය දඬුවම් ලබා දුන් බවද ඒ මහතා මෙහිදී පැවසුවේය.

මෙම වසරේ මේ දක්වා පමණක් වැටලීම් 5,000කට ආසන්න ප්‍රමාණයක් සිදුකර අවශ්‍ය පියවර ගෙන ඇති බවද ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම මැදපෙරදිග මතුව ඇති යුද ගැටුම් හමුවේ මේ වන විට යම් භාණ්ඩවල මිල ඉහළ යෑමක් පෙන්නුම් කරන බවත් කෙසේ වෙතත් භාණ්ඩවල හිඟයක් ඇති නොවීමට ආනයනකරුවන්, දේශීය නිෂ්පාදකයින් සහ භාණ්ඩ සපයන්නන් අතර නිතරම සාකච්ඡා පවත්වන බවත් පැවසූ ඒ මහතා ඒ සඳහා අවශ්‍ය පියවරයන් ගන්නා බවද පැවසුවේය.

තවද මේ වන විට මෙරට පෞද්ගලික අංශය විසින් නිකුත් කරන ගෑස්වල යම් ගෑස් හිඟයක් පවතින නමුත් එම සමාගමට මේ වන විටත් ගෑස් නෞකාවක් රට තුළට පැමිණ ඇතැයි ද එම ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා වූ නිෂ්පාදන කටයුතු ඔවුන් මේ වන විට සිදුකරමින් පවතින බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම කටයුතු පිළිබඳව අවධානය යොමු කරමින් ගෑස් සඟවා තබා ගැනීමට කටයුතු නොකරන ලෙස තමන් වෙළෙඳ ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටින බවත් පැවසූ ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ එසේ කළ හොත් නීතිමය පියවර ගැනීමටද අධිකාරිය කටයුතු කරන බවය.

අලුත් අවුරුද්දට මෙට්‍රික් ටොන් 7,000ක ලාෆ්ස් ගෑස් නැවක්…..

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් මෙට්‍රික් ටොන් 7,000ක LPG ගෑස් නෞකාවක් දිවයිනට පැමිණ ඇති බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.

ලාෆ්ස් ගෑස් සමාගම පැවසුවේ ගෑස් තොගය රැගත් රැගත් ‘ඇන්ඩෝවර්’ (ANDOVER) නෞකාව හම්බන්තොට ලාෆ්ස් පර්යන්තය වෙත සාර්ථකව සේන්දු වී ඇති බවය.

ඒ අනුව ගෑස් සිලින්ඩර් පිරවීම සහ බෙදාහැරීමේ කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇති අතර, දිවයිනේ සෑම ප්‍රදේශයකටම කාර්යක්ෂමව ගෑස් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බව සඳහන් වේ.

මෙම ගෑස් තොගය ලොව පිළිගත් සහ විශ්වාසදායක බලශක්ති සැපයුම්කරුවෙකු වන නෙදර්ලන්තයේ ‘SHV Energy’ සමාගමෙන් ලබාගෙන තිබේ.

IMF නියෝජිතයන් සහ හඳුන්නෙත්ති අතර සාකච්ඡාවක්…..

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අතර විශේෂ සාකච්ඡාවක් අද (06) පවත්වා තිබේ.

එහිදී මෙරට කාර්මික අංශය සතු විභවතාවන් සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා කර්මාන්ත ක්ෂේත්‍රය ලබා දෙන දායකත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටලු සහ ඔවුන් නගාසිටුවීම සඳහා රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දු පිළිබඳව මෙහිදී අමාත්‍යවරයා නියෝජිත පිරිස දැනුවත් කළේය.

ශ්‍රී ලංකාව දැනට ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ කාර්මික අංශයේ වර්ධනය කෙරෙහි ඇති වැදගත්කම මෙහිදී IMF නියෝජිතයන්ගේ ඇගයීමට ලක්විය.

නිෂ්පාදන ආර්ථිකයක් කරා යන ගමනේදී පවතින බාධක ඉවත් කිරීම, අපනයන ක්‍රියාවලිය සරල කිරීම සහ විදේශීය ආයෝජන සඳහා හිතකර වටපිටාවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමඟ සමගාමීව දේශීය කර්මාන්තකරුවන්ට ලබාදිය හැකි සහන සහ මූල්‍ය පහසුකම් පිළිබඳවද දෙපාර්ශවය අතර සාකච්ඡා වූ බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කළේය.

නොනවතින යුද ගැටුම් මැද ඉහළ යන ඉන්ධන සහ ගෑස් මිල……

වර්තමාන භූ-දේශපාලනික තත්ත්වය මත, අම‍ෙරිකා-ඉරාන යුදමය ගැටුම ගෝලීය බලශක්ති වෙළෙඳපොළට සහ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතින අතර එයින් ලෝක ආර්ථිකය දරුණු ලෙස කඩාවැටීමකට ලක්වෙමින් පවතින බව ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.

යුද්ධය ආරම්භ වීමට පෙර පැවති මිලට වඩා මේ වන විට මිල ගණන් 30% සිට 45% දක්වා ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

අමෙරිකාවේ පෙට්‍රල් මිල ගැලුමකට ඩොලර් 4 දක්වා ඉහළ ගොස් ඇති අතර, ශ්‍රී ලංකාව වැනි ආනයන මත යැපෙන රටවලට මෙය දැඩි බලපෑමක් එල්ල කරයි.

දියර ස්වභාවික වායු (LNG) ප්‍රවාහනයට බාධා පැමිණීම නිසා යුරෝපයේ සහ ආසියාවේ බලශක්ති පිරිවැය අධික වී ඇත.

මෙය ඉතිහාසයේ වාර්තා වූ විශාලතම සැපයුම් අර්බුදය ලෙස ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) හඳුන්වයි.

යුද්ධයට පෙර බ්‍රෙන්ට් බැරලයක් ඩොලර් 80-85 මට්ටමේ පැවති අතර, දැනට එය ඩොලර් 120 සීමාව පසු කර ඇත.

ඇතැම් විශ්ලේෂකයන් පවසන්නේ මෙය ඩොලර් 140 දක්වා ඉහළ යා හැකි බවයි.

ලෝකයේ තෙල් සැපයුමෙන් 20%ක් සහ දියර ස්වභාවික වායු (LNG) සැපයුමෙන් විශාල ප්‍රමාණයක් ගමන් කරන හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් අවහිර කිරීම නිසා මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

කටාර් රාජ්‍යයේ ගෑස් නිෂ්පාදන මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර සහ ප්‍රවාහන බාධා නිසා ආසියාවේ සහ යුරෝපයේ ගෑස් මිල 140%කින් පමණ ඉහළ ගොස් ඇත.

ඒ අනුව, වඩාත්ම දරුණු බලපෑම එල්ල වී ඇත්තේ ගෑස් මිලටයි.

හෝමුස් සමුද්‍ර සන්ධියේ අවහිරතා නිසා සැපයුම අඩාල වීමෙන් ගෝලීය වෙළෙඳපොළේ ද ගෑස් මිල 140%කින් පමණ ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ආසියානු රටවල ගෑස් මිල කෙටි කාලයක් තුළ 50%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක ඉන්ධන වෙළෙඳපොළ “අර්බුදකාරී කලාපයකට” (Crisis Zone) ඇතුළු වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

පසුගිය දින 14 තුළ පමණක් බොරතෙල් මිල බැරලයකට ඩොලර් 35 කින් පමණ වැඩි වී ඇති අතර, මෙය 1970 දශකයේ ඇති වූ තෙල් අර්බුදයෙන් පසු වාර්තා වූ දරුණුතම මිල ඉහළ යාම ලෙස සැලකේ.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව් ගමනාගමනය 70% කින් පමණ අඩුවීම මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුවයි.

ලොව පුරා බොහෝ රටවල පිරවුම්හල් අසල ඉන්ධන මිල ගණන් දිනපතා වෙනස් වන අයුරු දැකගත හැකිය.

අමෙරිකාවේ පෙට්‍රල් ගැලුමක මිල ඩොලර් 4.50 ඉක්මවා ඇති අතර, යුරෝපයේ ඇතැම් රටවල ලීටරයක මිල යුරෝ 2.50 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම ඉහළ යාම හුදෙක් ඉන්ධනවලට පමණක් සීමා නොවී, නැව් ගාස්තු ඉහළ යාම හරහා ආහාර සහ ඖෂධ මිල කෙරෙහිද දැඩි ලෙස බලපාමින් පවතී‍.

යුද්ධය තවදුරටත් ඇදී ගියහොත් බොරතෙල් බැරලයක මිල ඩොලර් 150 සීමාව දක්වා යා හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය ආයතන අනතුරු අඟවයි.
* ගෝලීය ආර්ථික අවපාතය

ඉන්ධන මිල ඉහළ යාම නිසා ප්‍රවාහන හා නිෂ්පාදන වියදම් වැඩි වී ඇති අතර, එය ලෝකය පුරා උද්ධමනය ඉහළ යාමට හේතු වී තිබේ. මෙය නව ආර්ථික අවපාතයක (Recession) ලක්ෂණ පෙන්වන බව සඳහන් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ තෙල් මිල 10% කින් වැඩි වන සෑම අවස්ථාවකම ගෝලීය ආර්ථික වර්ධනය 0.2% කින් පමණ පහත වැටෙන බවය.

ආසියානු සහ යුරෝපීය රටවල් බොහොමයක් ඉන්ධන සලාක ක්‍රම හඳුන්වා දීමට පවා පෙළඹී ඇත.

මෙම යුදමය තත්ත්වය අප්‍රේල් මාසය අවසානය දක්වා පැවතුණහොත්, ලෝක ආර්ථික වර්ධනය සැලකිය යුතු ලෙස පහත වැටෙනු ඇති බවට ලෝක වෙළඳ සංවිධානය (WTO) අනතුරු අඟවයි.

ඉන්ධන ආනයනය මත බෙහෙවින් යැපෙන යුරෝපා රටවල් සහ චීනය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවලට මෙම බලශක්ති අර්බුදය දැඩි ආර්ථික පීඩනයක් එල්ල කරමින් පවතී.
*ශ්‍රී ලංකාවට ඇති බලපෑම

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය සහ ඒ ආශ්‍රිත බලශක්ති අර්බුදය ශ්‍රී ලංකාව වැනි රටවලට බලපාන ආකාරය ඉතාමත් බරපතළය.

ශ්‍රී ලංකාව සිය බලශක්ති අවශ්‍යතාවලින් වැඩි ප්‍රමාණයක් ආනයනය කරන බැවින් ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම සෘජුවම රටට බලපායි.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල බැරලයක් ඩොලර් 120 ඉක්මවා යාම නිසා, මෙරට ඉන්ධන මිල ද සැලකිය යුතු ලෙස වාර කිහිපයකදී ඉහළ ගියේය.

ඒ අනුව ප්‍රවාහන ගාස්තු ද ඉහළ දැමීට සිදුවිය.

ශ්‍රී ලංකාවට ගෑස් සපයන ප්‍රධාන මාර්ග මැදපෙරදිග හරහා පවතින බැවින්, ගෑස් හිඟයක් ඇති වීමට හෝ මිල දෙගුණයකින් පමණ ඉහළ යාමට ඇති ඉඩකඩ ඉතා ඉහළ මට්ටමක පවති.

මෑත කාලීනව ද දෙවතාවක් ගෑස් මිල ඉහළ ගියේය.

ඉන්ධන ආනයනය සඳහා වැඩි ඩොලර් ප්‍රමාණයක් වැය කිරීමට සිදුවීම නිසා රටේ විදේශ විනිමය සංචිතයට දැඩි පීඩනයක් එල්ල වේ.

මැදපෙරදිග කලාපයෙන් ඉන්ධන සහ ගෑස් ආනයනය කිරීමට වැය වන පිරිවැය පසුගිය සති කිහිපයේ 35%කින් පමණ ඉහළ ගොස් ඇත.

2026 අප්‍රේල් මස මුල් සතිය වන විට පවතින දත්ත අනුව, අමෙරිකා-ඉරාන ගැටුම ආරම්භ වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉතා කෙටි කාලයක් තුළ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

සයිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 28කින් ඉහළට……

සයිනොපෙක් සමාගම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුපර් ඩීසල් මිල රුපියල් 28කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව රුපියල් 572ක්ව පැවති එහි මිල රුපියල් 600ක් දක්වා ඉහළ ගොස් ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා ඔටෝ ඩීසල් (LAD) රජය අනුමත කළ මිල ගණන් යටතේම අලෙවිකරන බවය….

ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීම හෙට….

හෙට (06) සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් 5,000 දක්වා වූ සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරනු ලබන සේවා ගාස්තුව (Merchant Discount Rate) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මූල්‍ය ආයතන කටයුතු කර ඇත.

මෙහි අරමුණ වන්නේ කුඩා පරිමාණ වෙළෙඳුන්ට කිසිදු අමතර වියදමකින් තොරව ඩිජිටල් ගෙවීම් භාර ගැනීමට අවස්ථාව ලබාදීම බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ  ප්‍රධානත්වයෙන් හෙට නිල වශයෙන් දියත් කෙරේ.

ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (cash-lite) ආර්ථිකයක් කරා මෙහෙයවීම මෙහි මූලික අරමුණයි.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඉතා ශක්තිමත් ඩිජිටල් මූල්‍ය යටිතල පහසුකමක් පවතින අතර, මෙරට වැඩිහිටි ජනගහනයෙන් 89%කට බැංකු පහසුකම් පවතී.

එමෙන්ම එක් කාර්තුවක් තුළ රුපියල් ට්‍රිලියන 6.3ක වටිනාකමකින් යුත් ගනුදෙනු මිලියන 68ක් සිදු කරන CEFTS පද්ධතිය මෙන්ම, මූල්‍ය ආයතන 20කට අධික සංඛ්‍යාවක සහයෝගය ඇතිව වෙළෙඳ මධ්‍යස්ථාන 450,000ක පිළිගැනීමට ලක්ව ඇති LankaQR පද්ධතියද අද වන විට සක්‍රීයව පවතී. කෙසේ වෙතත්, තවමත් ආර්ථිකය තුළ රුපියල් ට්‍රිලියන 1.48ක මුදල් නෝට්ටු සංසරණය වන අතර, 2025 තුන්වන කාර්තුව වන විට LankaQR මඟින් සිදු වූයේ මසකට රුපියල් 395,000ක පමණ වූ ඉතා සුළු ගනුදෙනු ප්‍රමාණයකි. මෙම පරතරය අවම කිරීම සඳහා හෙට ඇරඹෙන ව්‍යාපෘතිය යටතේ විශේෂ උපායමාර්ග කිහිපයක් ක්‍රියාත්මක වේ.

එමෙන්ම, QR භාවිතය දිරිමත් කිරීම සඳහා පාරිභෝගිකයන් සහ වෙළෙඳුන් වෙනුවෙන් විශේෂ දිනුම් ඇදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වන අතර, එහිදී සතිපතා සහ මාසිකව පළමු, දෙවන සහ තෙවන ජයග්‍රාහකයින් සඳහා රුපියල් 1,000,000 දක්වා වූ වටිනා ත්‍යාග දිනා ගැනීමට අවස්ථාව හිමි වේ.

මෙම වැඩසටහනේ සාර්ථකත්වය උදෙසා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම ජාතික මට්ටමේ ප්‍රචාරණ ව්‍යාපාරයක්ද හෙට සිට ආරම්භ කෙරෙන අතර දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි සැකසූ “සමාජ දෘශ්‍යතා දර්ශකය” (Social Visibility Index) මඟින් මෙම වැඩසටහනේ විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කර ඇත.

මෙම වැඩසටහන ශ්‍රී ලංකාව හුදෙක් තාක්ෂණික පියවරක් තැබීම පමණක් නොව, රටේ අනාගත ගෙවීම් පද්ධතිය ඩිජිටල් සහ සියලු දෙනා ඇතුළත් ආර්ථිකයක් බවට පත් කිරීමේ ජාතික වැඩපිළිවෙළෙහි සුවිශේෂී පියවරකි. QR ගනුදෙනු ආරම්භ කිරීම ඔස්සේ වේගවත්, ආරක්ෂිත සහ විනිවිදභාවයකින් යුතු ඩිජිටල් ගෙවීම් හුරුපුරුද්ද ඇති කරමින් කුමන ප්‍රදේශයක ජීවත්වුවද, කුමන භාෂාවක් කතා කළද රටේ සෑම පුරවැසියෙකුම ඩිජිටල් ආර්ථිකයේ කොටස්කරුවන් කරගැනීම රජයේ අපේක්ෂාවයි.

තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට OPEC+ තීරණය කරයි….

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පාලනය කිරීම සහ ස්ථාවරව පවත්වා ගැනීම සඳහා පිහිටුවා ගත් ‘OPEC+’සංවිධානය එළැඹෙන මැයි මාසයේ දී තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට අද (5) සිය එකඟතාව පළකර තිබේ.

ඔපෙක් (OPEC) සහ ඔපෙක් නොවන (තෙල් අපනයනය කරන රටවල්) 10කින් සැදුම්ලත් සංගමයක් වන මෙම ජාත්‍යන්තර සන්ධානයේ සාමාජික රටවල් 8ක් මෙම එකඟතාවට පැමිණ ඇත.

ඒ අනුව සෞදි අරාබිය, රුසියාව, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, කසකස්තානය, ඇල්ජීරියාව සහ ඕමානය මෙම එකඟතාව පළකර ඇති අතර, ඔවුන් දිනක නිෂ්පාදනය බැරල් 206,000කින් වැඩි කිරීමට තීරණය කර තිබේ.

‘OPEC+’සන්ධානය පවසන්නේ එම රටවල් ඔවුන්ගේ ඒකාබද්ධ නිෂ්පාදනය වැඩි කිරීමත් සමග දිනක නිපදවන බැරල් ප්‍රමාණය බැරල් මිලියන 33.7ක් දක්වා ඉහළ දැමීමට හැකිවනු ඇති බවය.

කෙසේ නමුත් දිනක නිෂ්පාදනය වැඩිකළඳ ගුවන් ප්‍රහාරවලින් හානියට පත් බලශක්ති යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීමට දිගු කාලයක් ගතවනු ඇති බව එම සංවිධානය පවසයි.

එමෙන්ම යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර හෝ ජාත්‍යන්තර සමුද්‍රීය මාර්ග කඩාකප්පල් කිරීම් හරහා බලශක්ති සැපයුමට සිදුවන ඕනෑම බාධාවකින් වෙළෙඳපොළ අස්ථාවරත්වය තවදුරටත් වැඩි කරන බවට සංවිධානය අනතුරු ඇඟවීය.

මැදපෙරදිග යුද්ධයත් සමග ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ලෝකයේ තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ ගෝලීය වෙළඳපොළවලින් ඇණහිට ඇති බව විදෙස් වාර්තා පවසයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහලයයි…..

නිවේදනය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 775කින් ඉහළ දැමෙන අතර, එහි නව මිල රු. 4,765කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 308කින් ඉහළ නැංවෙන අතර, එහි නව මිල රු. 1,910ක් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 140කින් ඉහළ නැංවෙන අතර, එහි නව මිල රුපියල් 890කි.

මේ අතර අප්‍රේල් මාසය සඳහා ඇනවුම් කර ඇති මෙට්‍රික් ටොන් 38,000ක තොග මේ වනවිට, සම්පූර්ණයෙන්ම මාලදිවයිනේ පාවෙන ගබඩාවේ (Floating Storage) ඇති බවත්, ඒ හේතුවෙන් මෙම මාසයේදී ද දිවයින පුරා අඛණ්ඩ සැපයුමක් ලබා දිය හැකි බව එම සමාගම පවසයි.

ඊට අමතරව මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවක් දකුණු අප්‍රිකාව හරහා මාලදිවයින වෙත ළඟා වෙමින් පවතින බවත් එම නිවේදනයේ දැක්වේ.

එමෙන්ම මෙට්‍රික් ටොන් 20,000ක් සමග තවත් නෞකාවක් දකුණු අමෙරිකාවේ සිට පිටත්ව ඇති හෙයින්, මැයි මාසයේ දීද අඛණ්ඩ ගෑස් සැපයුමක් පවත්වා ගෙන යාමට අවශ්‍ය තොග පවතින බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

යුධමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළ LP ගෑස් මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත්, ආනයනික වියදමද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් මෙම නිවේදනයේ දැක්වේ

ඒ් සමගම ලාෆ්ස් ගෑස් මිලද ඉහළ දමා තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,070කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 5,700ක් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 418කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 2,280කි.