රත්‍රං මිලේ වෙනසක්…..

මෙරට රත්‍රං මිල ගණන් රුපියල්  4,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද (15) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 369,900ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය (11) වනදා එය දැක්වුණේ රු. 366,200ක් ලෙසය.

මේ අතර සෙනසුරාදා රු. 398,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 402,000ක් දක්වා ඉහළ ගොස්ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

අලුත් අවුරුදු සමයේ CTBයට බිලියනයක ආදායමක්……

අලුත් අවුරුදු සේවා සැපයීමෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයට දින 6ක් තුළ රුපියල් බිලියනයක ආදායමක් හිමි වූ බව එහි  සභාපති සජීව නන්දන කනගරත්න මහතා පවසයි.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාමට පැමිණි ජනතාවට සේවා සැපයීම තුළින් එම ආදායම හිමිකර ගත් බවය.

ඒ අනුව පසුගිය 11 වනදා ඉතිහාසයේ වැඩිම අදායම ඉපයූ දිනය ලෙස වාර්තාගත වන අතර එම සංඛ්‍යාව රුපියල් මිලියන 213ක් වන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනගරත්න මහතා සඳහන් කළේය.

මේ අතර අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹ සහ ප්‍රධාන නගර වෙත පැමිණීමට අද සිට විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ කොළඹ සිට පෞද්ගලික බස් රථ යොදා ගනිමින් මගීන් ලක්ෂ 4කට අධික සංඛ්‍යාවක් අලුත් අවුරුදු සඳහා ගම්බිම් බලා ගොස් ඇති බවය.

බස් රථවල අධික ලෙස මුදල් අය කරනු ලබන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ ක්ෂණික දුරකථන අංකය වන 1955 අමතා පැමිණිලි සිදු කළ හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ ගම්බිම් බලා ගොස් සිටින ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සැපයීමට බස් රථ 4000ට වැඩි සංඛ්‍යාවක් යොදවා ඇති බවය.

2026 වසරේ පළමු කාර්තුවේ බදු ආදායම රුපියල් බිලියන 606ක්…..

2026 වර්ෂයේ පළමු කාර්තුව තුළ රුපියල් මිලියන 606,002ක බදු ආදායමක් රැස්කරගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

එය 2025 වසරේ පළමු කාර්තුව හා සංසන්දනය කිරීමේදී සියයට 17.7ක වර්ධනයක් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම ආදායම සඳහා ආදායම් බද්ද, එකතු කළ අගය මත බද්ද, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඇතුළුව සියලුම බදු සිය දායකත්වය ලබාදී තිබේ.

2026 වසරේ ඉලක්කගත බදු ආදායමෙන් සියයට 25ක් පළමු කාර්තුව තුළදී රැස්කරගෙන තිබීමත් විශේෂත්වයකි.

මෙරට උද්ධමනය සියයට 5.2ක් දක්වා ඉහළ යා හැකියි – ආසියානු සංවර්ධන බැංකුව…..

මෙරට උද්ධමනය 2025 වසරේ පැවැති -0.5 මට්ටමේ සිට 2026 වසරේදී 5.2%ක් දක්වා ඉහළ යා හැකි බව ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර තිබේ.

එම බැංකුව විසින් අද (10) දින ප්‍රකාශයට පත් කරන ලද Asian Development Outlook (ADO) April 2026 වාර්තාවේ මේ බව සඳහන් කර ඇත.

පවතින මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම උද්ධමනය ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපානු ඇති බවත් එම බැංකුව නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

මීට අමතරව විදෙස් ප්‍රේෂණ පැමිණීම අඩුවීම, වෙළෙඳාම සහ සංචාරක ව්‍යාපාරයට ඇති වන බාධා ද උද්ධමනය ඉහළ යාමට බලපානු ඇති බවත් මේ හේතුවෙන් ගෘහස්ථ ආදායම් සහ බාහිර ආරක්ෂණ මත බර පැටවෙනු ඇති බවත් පෙන්වාදී ඇති ආසියානු සංවර්ධන බැංකුව අදාළ වාර්තාව තුළින් සඳහන් කර ඇත්තේ ඒ තුළින් ආර්ථික වර්ධනයට බාධා ඇති විය හැකි බවය.

එමෙන්ම 2024 සහ 2025 වසරවලදී අඛණ්ඩව අත්පත් කරගනු ලැබූ 5.0ක ශක්තිමත් වර්ධනයෙන් පසු 2026 වසරේදී මෙරට ආර්ථිකය 4.0%ක මධ්‍යස්ථ වර්ධනයක් පෙන්නුම් කරනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වේ.

පස්වන සහ හයවන සමාලෝචන සඳහා ශ්‍රී ලංකාව සමඟ IMF නිලධාරී මට්ටමේ එකඟතාවයකට….

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ සිදුකෙරෙන ඒකාබද්ධ පස්වන සහ හයවන සමාලෝචනය අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර නිලධාරී මට්ටමේ එකඟතාවකට  එළැඹ තිබේ.

මෙම සමාලෝචනය IMF විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 700ක මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou මහතාගේ නායකත්වයෙන් යුත් IMF දූත පිරිසක් මාර්තු 26 සිට අප්‍රේල් 9 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ.

සංචාරය අවසානයේ නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ විධායක මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දී ඇති සමස්ත මූල්‍ය සහාය අමෙරිකානු ඩොලර් බිලියන 2.4 දක්වා ඉහළ යන බවය.

NDB බැංකුවේ මූල්‍ය වංචාව ගැන රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මහබැංකුවෙන් කරුණු විමසයි….

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව NDB බැංකුවේ සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාව පිළිබඳ ශ්‍රී ලංකා මහබැංකුවෙන් කරුණු විමසීමක් සිදු කර තිබේ.

ඒ, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් මස 07 වෙනිදා රැස්වූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකා මහ බැංකුව  නෛතික අවශ්‍යතා අනුව මාස හතරකට වරක් පාර්ලිමේන්තුවේ පෙනි සිටිය යුතුය.

ඒ අනුව  ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.

එහිදී NDB බැංකුවේ සිදුවී ඇතැයි කියන මූල්‍ය වංචාව පිළිබඳ මෙහිදී කාරක සභාවේ අවධානය යොමු වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.‍

මෙම  ගැටලුවේ බරපතළකම සහ මේ සඳහා කඩිනමින් කාරක සභාවේ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් දැනට සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා කාරක සභාවට දැනුම් දුන්නේය.

අවශ්‍ය තොරතුරු රැස් කළ පසු හැකි ඉක්මනින් මහ බැංකුව, කාරක සභාවට මේ සම්බන්ධව වාර්තා කරන බව ද ඔහු තවදුරටත් පැවසීය.

මෙම සිදුවීමට සම්බන්ධ  බැංකුවේ ආයතනික පාලනයේ සැලකිය යුතු අඩුපාඩු, ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාළ දෙපාර්තමේන්තු මගින් සිදුකළ යුතු අධීක්ෂණයේ අඩුපාඩු සහ  තොරතුරු වාර්තා කිරීමේ ප්‍රමාදයන් පිළිබඳව කාරක සභාවට නිරීක්ෂණය වූ අතර ඒ පිළිබඳව කාරක සභාවේ දැඩි අවධානය යොමු විය.

එවැනි අඩුපාඩු පිළිගත නොහැකි බව කාරක සභාව අවධාරණය කළ අතර එම තත්ත්වයන් වහාම නිවැරදි කිරීමට පියවර ගත යුතු බවට උපදෙස් ලබාදීම සිදුවිය.

මෙම කාරණය සමීපව නිරීක්ෂණය කිරීම අඛණ්ඩව සිදුකරන බවත්, පූර්ණ වගවීම, විනිවිදභාවය සහ මූල්‍ය පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සහ සහතික කිරීම සඳහා අධීක්ෂණ කටයුතු සිදුකරන බවත් කාරක සභාව විසින් අවධාරණය කරන ලදී…

ලාෆ්ස් අද සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට එකඟත්වය….

උත්සව සමයේ ලාෆ්ස් ගෑස් ඉල්ලුම සපුරාලීම සඳහා දිනකට ගෑස් සිලින්ඩර 30,000ක් නිකුත් කරනු ලබන බව එම සමාගම නිවේදනය කරයි.

——————–

උත්සව සමයේදී හිඟයකින් තොරව ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින් වෙත ලබා දීමේ කටයුතු අද (08) සිට ආරම්භ කරන බවට එම සමාගම දැනුම් දී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, වෙළෙඳ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අදාළ නීතිමය කටයුතු සම්බන්ධයෙන් සමාඟම දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවය.

හම්බන්තොට වරායට ලාෆ්ස් ගෑස් මෙට්ට්‍රක් ටොන් 7,000ක් රැගත් නෞකාවක් පසුගිය 6 වෙනිදා දිවයිනට පැමිණි බව ලාෆ්ස් ගෑස් සමාගම පසුගිය දා නිවේදනය කළේය.

අදාළ ගෑස් තොග ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින් සඳහා අද දිනයේ සිට බෙදාහැරීමට පියවර ගන්නා බවට එම සමාගම දැනුම් දුන් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් පැවසීය.

මේ අතර උත්සව සමයට සමගාමීව වැටලීම් හා විමර්ශන වැඩපිළිවලක් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පවසයි.

මෙරට නිල විදෙස් සංචිත වත්කම් සියයට 3.5කින් පහළට….

ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිත වත්කම් 2026 පෙබරවාරි මාසයේ පැවති අමෙරිකානු ඩොලර් මිලියන 7,270 සිට 2026 මාර්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 7,019 දක්වා 3.5% කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙය සඳහා චීන මහජන බැංකුව යටතේ හුවමාරු ගිවිසුමෙන් ලැබුණු මුදල් ද ඇතුළත් වෙයි.

NDB වංචා සිද්ධියට කළමනාකරුවෙකු ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට…..

NDB බැංකුවේ අභ්‍යන්තර මුදල් වංචා සිද්ධිය සම්බන්ධයෙන් එම බැංකුවේ කළමනාකරුවෙකු ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බවය.

NDB බැංකුව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ, මෙම සිද්ධිය හේතුවෙන් කිසිදු ගනුදෙනුකරුවෙකුගේ ගිණුම් හෝ තැන්පතුවලට බලපෑමක් සිදුවී නොමැති බවය.

සියලුම සේවාවන් සාමාන්‍ය පරිදි බාධාවකින් තොරව පවත්වාගෙන යන බවද බැංකුව පවසයි.

මෙම වංචාව බැංකුවේ නිශ්චිත මෙහෙයුම් අංශයකට සීමා වූ අතර, එයට සේවකයින් කිහිප දෙනෙකුගේ සම්බන්ධතාවයක් හඳුනාගෙන ඇත. සිද්ධිය අනාවරණය වූ වහාම අදාළ සේවකයින් තාවකාලිකව සේවයෙන් ඉවත් කර ඇති අතර, සාක්ෂි සහ වාර්තා ආරක්ෂිතව රඳවාගෙන ඇති බවද සඳහන් වේ.

තවද, අදාළ අංශය දැඩි අධීක්ෂණයට යටත් කර ඇති අතර, අභ්‍යන්තර පාලන, වාර්තාකරණ හා ආරක්ෂණ පද්ධති තවදුරටත් ශක්තිමත් කරමින් පවතින බව බැංකුව පවසයි.

බැංකුව අනාවරණය කරන්නේ, අතිශය නරකම තත්ත්වයකදී වුවද, මෙම සිද්ධියෙන් සිදුවිය හැකි අලාභය 2026 මාර්තු 31 අවසන් වන කාර්තුව සඳහා රුපියල් බිලියන 4.0ක් පමණ බවයි.

කෙසේ වෙතත්, බැංකුවේ මූල්‍ය ශක්තිය තවදුරටත් ස්ථාවර බව අවධාරණය කරයි.

2025 වසර සඳහා බැංකුව රුපියල් බිලියන 11ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති අතර, 2026 මාර්තු 31 වන විට සමස්ත වත්කම් පදනම රුපියල් බිලියන 990ක් පමණ වන බවද සඳහන් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කර ඇති අතර, අවශ්‍ය නියාමන අධීක්ෂණ සහ සහාය ලබාදී ඇත. නියාමන උපදෙස් අනුව, 2026 අප්‍රේල් 6 දින ගෙවීමට නියමිත මුදල් ලාභාංශය තාවකාලිකව අත්හිටුවා ඇති අතර, Scrip Dividend යෝජනාව සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක වේ.

මෙම සිද්ධිය පිළිබඳ ස්වාධීන වෝහාරික විගණනයක් සිදු කිරීම සඳහා ස්වාධීන විමර්ශන විශේෂඥයෙකු පත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.

NDB බැංකුව අවසානයේ සඳහන් කරන්නේ, විනිවිදභාවය, වගකීම සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා තම කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යන බවය.

මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, තහවුරු නොකළ තොරතුරු, කටකතා හෝ අනුමාන ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසය.

BOI වැඩබලන සභාපති ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන පත් කෙරේ…..

ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) වැඩබලන සභාපති ලෙස පත් කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එම පත් කිරීම සිදුකර ඇත.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) වසර 23කට අධික විශිෂ්ඨ සේවා පළපුරුද්දක් ඇති විශේෂ ශ්‍රේණියේ නිළධාරියෙකු  වන ආචාර්ය ජයවර්ධන මහතා, රාජ්‍ය පරිපාලනය, ප්‍රතිපත්ති සම්පාදනය සහ මහා පරිමාණ ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ හසල අත්දැකීමක් ඇති ජ්‍යෙෂ්ඨ රජයේ නිළධාරියෙකි.

ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා වැඩ ආරම්භ කිරීම කොළඹ 01 ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී අද (08) සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මිය ඇතුළු ඉහල නිළධාරීන් සහභාගි වූහ.