දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා රුමේෂ් තරංග….

ඉන්දියාවේ රාංචි හි පැවති 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලාංකික හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග දක්ෂතම පිරිමි ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබ තිබේ.

ඊයේ  (26) පැවති පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කීමට රුමේෂ් තරංග සමත් විය.

ඔහු ඉසව්ව ජයග්‍රහණය කළේ මීටර් 84.29ක දුරක් හෙල්ල විසිකරමින්ය.

බිබිල – පස්සර මාර්ගය ආශ්‍රිතව පවතින නාය යෑම් ස්ථාවර කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක්….

බිබිල – පස්සර මාර්ගය ආශ්‍රිතව පවතින නාය යෑම් ස්ථාවර කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එක්ව විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා පැවසුවේ මේ වන විට ඒ සඳහා වූ ව්‍යාපෘති කටයුතු ද ආරම්භ වී ඇති බවය.

ඒ අනුව ඉදිරි වසර ඇතුළත මෙම නායයෑම් ස්ථාව කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරනු ඇති බවත් ඒ මහතා අදහස් දක්වමින් පැවසීය.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් අවදානම් ගණනාවක් සිදුවීමේ හැකියාව ඇති බවත් මේ වන විට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් විසින් මෙම ප්‍රදේශ අධ්‍යණය කර නාය යෑම් ඇතිවන ස්ථාන හඳුනාගනිමින් එම ස්ථාන ස්ථාවර කිරීමේ කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් ඒ මහතා පැවසීය.

තවද කොස්ලන්ද මාර්ගය ආශ්‍රිතවද නාය යෑම් සිදුවීම් කිහිපයක් වාර්තා වන බවත්  එම ස්ථාන සඳහා මීට පෙර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති මගින් ඇතැම් ස්ථාන මේ වන විට නිරීක්ෂණය කරමින් අදාළ උපකරණ සවිකර නිරීක්ෂණය කරමින් පවතින බවද ඔහු පැවසීය.

එමෙන්ම එම ප්‍රදේශයේ ඇතැම් ස්ථාන සඳහා වැඩිදුර අධ්‍යනය කටයුතු සිදුකරමින් ඉදිරියේදී ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයා දියේ ගිලී මරුට…..

රස්නායකපුර පොලිස් වසමේ මුඩත්තව වැවෙහි ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 68ක් වූ මොන්නෑකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පුද්ගලයා ටියුබයක් ආධාරයෙන් මාළු ඇල්ලීම සිදු කරන අයෙකු වන අතර ඔහු නිවසට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් නිවැසියන් විසින් සොයා බැලීමේදී වැවෙහි මැදට වන්නට තිබී ඔහුගේ මෘත ශරීරය හමු වී ඇති බව පොලීසිය පැවසුවේය.

මෘත ශරීරය නිකවැරටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර රස්නායකපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

පොලිස් සැරයන්වරයාට මරු කැඳවූ අනතුර…..

වැල්ලවාය පොලිස් වසමේ වැල්ලවාය තණමල්විල මාර්ගයේ ආදාවෙලයාය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ගමන් කළ යුද හමුදාවට අයත් බස් රථයක් ඊට ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 36ක් වූ රජමාවත, වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයෙකි.

මෘත ශරීරය වැල්ලවාය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ පිරිසක් අත්අඩංගුවට….

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු කරමින් සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මෙම පුද්ගලයින් දියබෙදුම සහ කපුගොල්ලෑව ප්‍රදේශයන් හිදී අත්අඩංගුවට ගත් බවය.

ඒ අනුව ඊයේ (26) අලුයම් කාලයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දියබෙදුම පොලිස් වසමේ නුවරගේයාය ප්‍රදේශයේදී පොළොන්නරුව අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.

එහිදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 20-43 වයස්වල පසුවන පුත්තලම හා අත්තනකඩවල ප්‍රදේශයන් හී පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධ ඉදිරි විමර්ශන දියබෙදුම පොලීසිය විසින් සිදුකරති.

මේ අතර ඊයේ දහවල් කාලයේදී හොරොව්පොතාන, කපුගොල්ලෑව පොලිස් වසමේ දුටුවැව ප්‍රදේශයේදී කපුගොල්ලෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.

එහිදී ද පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු කරමින් සිටි සැකකරුවෙකු කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමග අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවුරුදු 65ක් වූ දුටුවැව, කපුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධ ඉදිරි විමර්ශන කපුගොල්ලෑව පොලීසිය විසින් සිදුකරනු ලබයි.

පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක් දිවයිනට….

දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස මේ වන විට පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක ප්‍රමාණයක් දිවයිනට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

ඒ අනුව පසුගිය 23 වනදා එහි පළමු තොගය දිවයිනට පැමිණ ඇති බව සදහන් වේ.

මීට අමතරව පසුගිය සිකුරාදා සහ  සෙනසුරාදා යන දින තුළ ද ආනයනික පොන්නි සම්බා සහල් තොගයක් මෙරටට රැගෙන විත් ඇති බව ශ්‍රී ලංකා රේගුව පැවසුවේය.

දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස පසුගිය 15 වනදා සිට  ජී.ආර් 11 පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබුණි.

ඒ අනුව ආනයනකරුවන්ට ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවෙන් නිදහස් කිරීමට රජය පියවර ගැනුණි.

ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව එක් ආනයනකරුවකුට එහිදී මෙට්‍රික්ටොන් 520ක උපරිමයකට යටත්ව  සහල් ආනයනයට අවසර ලබා දෙනු ලැබීය.

මෙරට ඇස්තමේන්තුගත වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික්ටොන් ලක්ෂ 24ක් පමණ වන අතර එයින් වාර්ෂික කීරි සම්බා පරිභෝජනය සියයට 10 ක්, එනම් මෙට්‍රික්ටොන් ලක්ෂ 2ක් පමණ වේ.

හෙරොයින් සමග ඉන්දීය ජාතිකයෙක් ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට….

රුපියල් මිලියන 84.96ක් වටිනා හෙරොයින් තොගයක් සමග විදෙස් ජාතිකයෙකු, කටුනායක ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 39ක් වන ඉන්දීය ජාතිකයෙකි.

මෙම පුද්ගලයා ඊයේ (26) පස්වරු 04.15ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 832ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගය කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයක දී මෙරට මත්ද්‍රව්‍ය නියෝජිතයන් වෙත භාර දීමට සැළසුම් කර තිබූ බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් මෙම ඉන්දීය ජාතිකයා අද (27) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.

ඉන්දීය සුපිරි නළු සතිෂ් ෂා අභාවප්‍රාප්ත වෙයි…..

කෘතහස්ත බොලිවුඩ් නළු සතිෂ් ෂා මියගොස් තිබේ.

මුම්බායිහි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් ඇති අතර මිය යන විට 74 හැවිරිදි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සතිෂ් ෂා දිගු කාලයක පටන් වකුගඩු රෝගයකින් පීඩා විදිමින් සිට ඇත.

දශක පහකට ආසන්න සිය රංගන දිවිය තුළ ඔහු ජානේ භි දෝ යාරෝ, මේ හූ නා සහ ඕම් ශාන්ති ඕම් වැනි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය 250කට වැඩි සංඛ්‍යාවකට දායක වී තිබේ.

වැලිගම සභාපති ඝාතනයේ සැකකරුවන් FCID භාරදෙයි….

වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, සෙසු සැකකරුවන් හා සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත භාර දී තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය අංශය පවසා සිටියේ, එම කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරන බවය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියක් කැකිරාව ප්‍රදේශයේදී අද (26) අළුයම දී අත්අඩංගුවට ගෙන තිබුණි.

එම අවස්ථාවේ දී පලාගිය ප්‍රධාන සැකකරු අද සවස මහරගම නාවින්න ප්‍රදේශයේදී විශේෂ විමර්ශන කණ්ඩායමක්, පොලිස් විශේෂ කාර්ය බලකාය, රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් හා ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අත්අඩංගුවට ගන්නා ලදී.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධව පොලිස් කණ්ඩායම් කිහිපයක් මගින් විමර්ශන සිදුකරනු ලබයි.

මෙම ඝාතනයට අදාළ විමර්ශන කටයුතු පොලිස්පතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙහෙයවන ලදී.

ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දකුණු පළාත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවය, අණදෙන නිලධාරී පොලිස් විශේෂ කාර්ය බලකාය, නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසාව, නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත දකුණ, අධ්‍යක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අධ්‍යක්ෂ අපරාධ වාර්තා කොට්ඨාසය හා අධ්‍යක්ෂ දක්ෂිණ අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාස මගින් ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කරන ලදී.

වැලිගම ප්‍රා.ස. සභාපති ඝාතනයට අවශ්‍ය සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතයි….

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.

පසුගිය 22 වන දින වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධ අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළේය.

එම විමර්ශන කටයුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් ඒකාබද්ධව කඩිනමින් විමර්ශන ආරම්භ කරන ලදී.

ඒ අනුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සැලසුම් සහගත මෙහෙයුමකින් පසු අනුරාධපුර කොට්ඨාසයේ කැකිරාව පොලිස් වසමේ නිවාස 50 ප්‍රදේශයේ, මෙම අපරාධයට අදාළ සැකකරුවන් සැඟවී සිටින බවට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව, එම කොට්ඨාසයේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්ගේද සහාය සහිතව අද (26) අලුයම් කාලයේදී කමතක් සඳහා භාවිතා කරන ලද, අත්හැර දමන ලද නිවසක් සහිත ඉඩමක් වටලා පරීක්ෂා කර තිබුණි.

එහිදී සැකකරුවෙකු හා සැකකාරියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සමඟ සිටි තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු පොලීසිය සමඟ පොර බැදීමක් සිදුකර ඇති අතර එහිදී පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ප්‍රතිකාර ලබාගැනීමට යොමුකර ඇති බවද පොලීසිය පවසයි.

මෙහිදී සැකකරුවන් විසින් අපරාධයට භාවිතා කරන ලද යතුරුපැදිවලින් එක් යතුරුපැදියක්, රුපියල් ලක්ෂ දොලහකට අධික මුදල් ප්‍රමාණයක්, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය භාවිතයට යොදා ගන්නා උපකරණ පොලිස් භාරයට ගෙන ඇත.

මේ අතර මෙම සැකකරුවන්ට පහසුකම් සලසන ලද එම ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

එමෙන්ම මෙම සැකකරුවන් සමඟ පොලිස් නිලධාරින් පොර බඳින අවස්ථාවේ පලාගිය සැකකරුවෙකු වන කොන්තපෙන, බැඳිපිට, අඟුළුගම ප්‍රදේශයේ පදිංචි හක්මන පරනලියනගේ නුවන් තාරක යන අය අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.

මෙම සැකකරු අඩි 5 අගල් 6ක් පමණ උසැති අතර, දකුණු අතේ ඉහළ බාහුවේ ඉංග්‍රිසියෙන් ANURADA ලෙස ද වම් අතේ “හිතුමතේ ජීවිතේ” ලෙස පච්ච සලකුණු ඇත.

මෙම සැකකරුගේ ඡායාරූප මේ සමඟ ඔබ වෙත යොමු කරන අතර මොහු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටී.

පොලිස්පතිට කියන්න (WhatsApp)- 071 859 8888
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය – 011 233 7162 / 071 859 2087

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව, දකුණු පළාත් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශ, මාතර හා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශ, පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුධ හමුදා නිලධාරීන් ඒකාබද්ධව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරමින් පවතී.