කෝටි ගාණනක විදෙස් දුම්වැටි තොගයක් සමග තිදෙනෙක් අත්අඩංගුවට….

රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර ඔවුන් අලුත්ගම, යටියන්තොට සහ මාවනැල්ල ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයන් තිදෙනෙක් බව වාර්තා වේ.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ තිබී ” ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි 119,000ක් අඩංගු දුම්වැටි කාටූන් 595ක් පොලීසිය විසින් සොයා ගෙන ඇත.

අදාළ පුද්ගලයින් තිදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 03ක් බැගින් වූ දඩ මුදලක් ගෙවීමට නියෝග කර තිබේ.

බෝට්ටුවක් පෙරළීයාමෙන් තරුණයෙකු මරුට…..

පාලකුඩාව කලපුවේ බෝට්ටුවක් පෙරළී‍යාමෙන් සිදු වූ අනතුරකින් තරුණයෙකු මියගොස් ඇති බව කල්පිටිය පොලීසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ පාලකුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වයස අවුරුදු 22ක් වන තරුණයෙකි.

කාර්මික දෝෂයකට ලක්ව තිබූ බෝට්ටු ඇන්ජිමක් අළුත්වැඩියා කර පරීක්ෂා කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

අනතුරින් කලපුවේ ගිලීගිය තරුණයාව ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ප්‍රතිකාර සඳහා කල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මිය ගොස් තිබේ.

කල්පිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ…..

ඊයේ (25) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 7.75 මට්ටමේම නොවෙනස්ව පවතිනු ඇත.

දේශීය හා ගෝලීය ප්‍රවණතා ඉතා දැඩිව සලකා බැලීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ.

වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, උද්ධමනය 5%ක ඉලක්කයක් කරා මෙහෙයවීමට සහාය වනු ඇතැයි මණ්ඩලයේ අදහසයි.

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසැලකට දඩ…

දේශිය රතු කැකුළු සම්බා සහල් පාලන මිලට වැඩියෙන් අලෙවි කිරීම සම්බන්ධයෙන් රත්නපුර නගරයේ ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැලක් වරද පිළිගෙන තිබේ.

පාරිභෝගික අධිකාරිය පැවසුවේ රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ වෙළෙඳසැල් හිමියාට රුපියල් 500,000ක දඩ මුදලක් නියම කර ඇති බවය.

කිරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් රත්නපුර නගරයේ තොග වෙළදසැලකට රුපියල් 200,000ක දඩ මුදලක් ද රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියම කර ඇත.

මේ අතර පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කරන ලද අංක 2451/41 දරණ ගැසට් නිවේදනය අනුව පොලිතින් බහාලුම් මලු හෙවත් සිලි සිලි මළු සඳහා මුදල් අයනොකර ලබාදීම සම්බන්ධයෙන් වරද පිළිගත් ව්‍යාපාරිකයෙකුට ද රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 10,000ක දඩ මුදලක් නියම කර ඇති බව සඳහන් වේ

අදත් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි….

පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 6 බැගින් සහ දොරටු 4ක් අඩි 4 බැගින් විවෘත කර ඇති බවය.

ඒ අනුව එම ජලාශයෙන් තත්පරයට ඝන අඩි 19,400 බැගින් දැදුරුඔයට නිකුත් කෙරෙන බව වාරියපොළ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කර සිටී.

එමෙන්ම තබ්බෝව ජලාශයේ ද වාන් දොරටු 4ක් අඟල් 3 බැගින් විවෘත කර ඇති අතර වාන් දොරටු 4ක් අඟල් 2 බැගින් විවෘත කර ඇති බව වාර්තා වෙයි.

ඉන් තත්පරයට ඝන අඩි 3,720 බැගින් මී ඔයට ජලය මුදා හරින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

දැදුරු ඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමක්….

දැදුරු ඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බවය.

එමෙන්ම මේ වන විට දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර මේ වන විට ත්ත්තපරයට ඝන අඩි 19,400ක් තරම් සීඝ්‍රතාවයකින් දැදුරු ඔයට ජලය මුදා හරිමින් පවතින බවත් මේ වන විට ජලාශයට ලැබෙන ජල ධාරිතාවය අනුව මෙම ප්‍රමාණය ඉදිරියේදී තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බවත් එම නිවේදනයේ සඳහන්ව ඇත.

මේ හේතුවෙන් දැදුරු ඔය දෝණියේ පිහිටි වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රවේශ වෙත ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

මේ අතර අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලටද පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වර්ෂා තත්ත්වය මත වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් අත්තනගලු ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 24 දක්වා වූ කාලය තුළ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන, සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

ඒ අනුව මෙම ප්‍රදේශ ආශ්‍රිතව පහත්බිම් හරහා වැටී ඇති මාර්ග, ඇතැම් ස්ථානවලින් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවත් මෙම තත්ත්වය සම්බන්ධව දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසත් එම ප්‍රදේශවල පදිංචි මහජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රථ වාහන රියදුරන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක්ද සිදුකරන තිබේ.

පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට…..

පොතුවිල් පොලිස් වසමේ හුලංනුගේ 12 කණුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් කාන්තාවකට උදැල්ලකින් පහරදී ඝාතනය කර තිබේ.

ඊයේ (22) සවස් කාලයේ මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, හුලංනුගේ, පොතුවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි කාන්තාවකි.

පුද්ගලික ආරවුලක් මත මෙම අපරාධය සිදු කර ඇති බවට දැනට සිදු කරනලද  විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 59 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොතුවිල් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.

අයහපත් කාලගුණයෙන් පුද්ගල මරණ 09ක්….

අයහපත් කාලගුණික තත්ත්වයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 09 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ පැවති වැසි තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවී ඇති අතර මාර්ගවලට ගල් පෙරළීමේ සිදුවීම් කිහිපයක් ද වාර්තා වී ඇති බවය.

මේ අතර දිස්ත්‍රික්ක 10ක් සඳහා තවදුරටත් නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ කොළඹ, කළුතර, ගාල්ල, මහනුවර, කෑගල්ල, මාතර, රත්නපුර, බදුල්ල, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇගවීම් මෙලෙස තවදුරටත් දීර්ඝ කර ඇති බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව දින කිහිපයක සිට දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇඳහැලෙන්නේ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන්ය.

ඒ අනුව මේ දිනවල සවස් කාලයේ තදවැසි ඇදහැලෙයි.

එමෙන්ම නාගොඩ හරහා හමාගිය තද සුළඟකින් මාපලගම – ගාල්ල ප්‍රධාන මාර්ගයේ විදුලි රැහැන් පද්ධතියට ගස් කඩාවැටීමෙන් මාර්ගයේ ගමනාගමනයටත් බාධා එල්ල වී තිබුණි.

මාතර දිස්ත්‍රික්කයටත් ඇඳහැලුණු තද වැසි සමඟ දෙනියාය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවුණි.

දෛනික කටයුතුවලට බාධා එල්ල වූ ජනතාවට ප්‍රවාහන පහසුකම් සපයනු ලැබුවේ ආරක්ෂක අංශ මැදිහත්වීමෙන්ය.

මාතර – කොටපළ මාර්ගය ඌරුබොක්ක බද්දන්වල ප්‍රදේශයෙන් ජලයෙන් යටවීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් අඩාල වුණි.

මාතර දිස්ත්‍රික් සහන සේවා ඒකකය පවසන්නේ අයහපත් කාලගුණයෙන් මාතර පවුල් 100ක පුද්ගලයින් 363දෙනෙකු පීඩාවට පත්ව ඇති බවය.

එමෙන්ම ඌරුබොකු ඔය, කටුවන නගරය ආසන්නයෙන් පිටාරගැලීමෙන් එම නගරය හා අවට ප්‍රදේශ ඊයේ රාත්‍රියේ ජලයෙන් යටවිය.

මේ අතර ඇදහැලුණු තද වැසි සමඟ කළුතර බුලත්සිංහල ප්‍රදේශයේ පහත්බිම් හා මාර්ග රැසක්ද ජලයෙන් යටවී තිබුණි.

බැංකු කාඩ්පතින් බස් රථයේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව හෙට සිට….

බැංකු කාඩ්පතින් බස් රථයේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව හෙට සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව මෙහි සමාරම්භක වැඩසටහන හෙට පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී සිදු කිරීමට නියමිතය.

ඩිජිටල් අමාත්‍යාංශ සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව මෙහෙයවන මෙම වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ බස් ගාස්තු ලබා දුන් පසු ඉතිරි මුදල් ලබා නොදීම විශාල ගැටලුවක් ව තිබූ බවත් එයට විසඳුමක් ලෙස මෙසේ බැංකු කාඩ්පතක් හරහා බස්‍ ගාස්තු ගෙවිය හැකි ක්‍රමය හඳුන්වා දෙන බවය.

එමෙන්ම බස් රථයේ මගී ප්‍රවේශපත්‍රයෙන් වංචා දූෂණ රැසක් සිදුවන බවත් මේ හේතුව මත බස් රථයේ ප්‍රවේශපත්‍ර බැංකු කාඩ් මගින් ගෙවීමට අවස්ථාව සලසා දෙන ලෙස විශාල ඉල්ලීමක්ද ලැබුණු බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

‘රටම එකට‘ ජාතික මෙහෙයුමෙන් පුද්ගලයින් 1,017දෙනෙකු අත්අඩංගුවට….

විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ‘රටම එකට‘ ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා ඊයේ දිනයේ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 1,017දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 319ක් , අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 585ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 586ක් සහ කොකේන් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

සැකකරුවන් අතරින් 21දෙනෙකු පිළිබදව වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව ද වාර්තා වේ.

එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවට හඳුනාගත් සැකකරුවන් 29දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේය.