නීතිපතිවරයා ඉලක්ක කරගමින් සිදුවන ප්‍රකාශ සම්බන්ධව නීතීඥ සංගමයෙන් නිවේදනයක්……

නීතිපතිවරයා ඉලක්ක කරගනිමින් මෑතකාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන සටහන් පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය කනස්සල්ල පළ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කර ඇත්තේ මෙම සමාජ මාධ්‍ය සටහන් මගින් පුද්ගලයින් නීතිපති ධුරයේ ස්වාධීනත්වයට අසාධාරණ ලෙස බාධා කිරීමට උත්සාහ දරන බවය.

අපරාධමය නඩු කටයුතුවලට අදාළව නීතිපතිවරයා අර්ධ අධිකරණමය හෙවත් (quasi-judicial) කාර්යභාරයක් ඉටු කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

විමර්ශන නිලධාරීන් තමන් වෙත ඉදිරිපත් කරනු ලබන කරුණු පදනම් කරගෙන, සැකකරුවෙකුට එරෙහිව චෝදනා ගොනු කරන්නේද නැද්ද යන්න හෝ අධිචෝදනා ඉදිරිපත් කරන්නේද නැද්ද යන්න පිළිබඳව නීතිපතිවරයා තීරණය කළ යුතු බවද එම නිවේදනයේ සදහන් වේ.

එහිදී අදාළ කරුණු නීත්‍යානුකූලව පිළිගත හැකි සාක්ෂි ද යන්න සහ එම කරුණු මත පදනම්ව වරදකරු කිරීමේ සාධාරණ සම්භාවිතාවක් පවතින්නේ ද යන්න සලකා බැලීමට නීතිපතිවරයාට සිදුවන බව ද නිතීඥ සංගමය සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

නීතිපතිවරයාගේ තීරණ, අභියාචනාධිකරණය හමුවේ රිට් ආඥාවක් මගින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් සමාලෝචනය කළ හැකි බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අධිකරණ නිලධාරීන් සහ අර්ධ අධිකරණ නිලධාරීන් නීතියට අනුව තීරණ ගත යුතු බවත්, එම තීරණ ඇතැම් විට මහජන මතය අනුව සිදු නොවන්නට ඉඩ ඇති බවත් වටහා ගත යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්…..

ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් දසදෙනා ජනවාරි 28 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත්වරයා අද (19) නියෝග කළේය.

ඒ සැකකරුවන්ට එරෙහිව වෙරළ සංරක්ෂණ පනත යටතේ ඉදිරිපත් කර ඇති චෝදනා ඉවත්කර ගැනීම නීතිපතිවරයා සහ ත්‍රිකුණාමලය වරාය පොලීසිය ප්‍රතික්ෂේප කිරීමත් සමඟය.

ත්‍රි‍කුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේ යැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කර තිබූ පැමිණිල්ලකට අදාළ නඩුව ඉකුත් ජනවාරි 14 වනදා ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබීය.

එහිදි එම නඩුවේ සැකකරුවන් ලෙස නම්කර සිටි සැකකරුවන් 11 දෙනා අතරින් 09 දෙනෙකු අධිකරණයේ පෙනී සිටියේය.

එම පිරිස අතරට ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන්ද ඇතුළත් විය.

එහිදි ත්‍රිකුණාමලය පොලීසිය සැකකරුවන්ට එරෙහිව වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සහ අනවරස ඉදිකිරීම් යන චෝදනා යටතේ කරුණු දක්වා තිබු අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලු ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

අනතුරුව රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් බන්ධනාගාරය තුළ උපවාසයක් ආරම්භ කර තිබූ අතර පසුව එය තාවකාලිකව නවතා තිබුණි.

එවන් පසුබිමක අදාළ නඩුව ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවීය.

එහිදි රක්ෂිත බන්ධනාගාරගත කර සිටී භික්ෂුන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් 09 දෙනා බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර තවත් සැකකරුවෙකු නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වී තිබුණි.

එහිදි සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය නියෝජනය කරමින් සැකකාර භික්ෂුන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල කියා සිටියේ ප්‍රශ්නගත බුදු පිළිම සිදුවීමට අදාළව මුල් අවස්ථාවේ දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව මහෙස්ත්‍රාත්වරයෙකුට ඇප දිය හැකි චෝදනා ඉදිරිපත් කර තිබුණද, පසුව ද්වේශ සහගත ලෙස ඇප ලබාදීමේ බලය නොමැති වෙරළ සංරක්ෂණ පනත යටතේ වන චෝදනා ඉදිරිපත් කර ඇති බවය.

කෙසේ වෙතත් පෙර නඩුවාරයේ නීතිපතිවරයා කළ යෝජනාව වූ ප්‍රශ්නගත බුදුපිළිමයේ ආවරණය ලෙස පවතින ඉදිකිරීම ඉවත් කරන්නේනම් වෙරළ සංරක්ෂණ පනත යටතේ ඇති චෝදනා ඉවත් කළ හැකි බවට වූ මතය අනුව යමින් එම ආවරණය ඉවත් කිරීමට තමන් සූදානම් බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේය.

එබැවින් වෙරළ සංරක්ෂණ පනත යටතේ ඇති චෝදනා ඉවත්කර සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙස නීතිඥවරුන් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් මෙහිදි ත්‍රිකුණාමලය වරාය පොලීසිය ඊට විරෝධය පළ කරමින් කියා සිටියේ තමන්ට එරෙහිව ඉහළ අධිකරණ හමුවේ ගොනුකර ඇති රිට් සහ මූලික අයිතිවාසිකම් නඩු ඉවත්කර ගන්නාතුරු සැකකරුවන්ට එරෙහිව වෙරළ සංරක්ෂණ පනත යටතේ ගොනුකර ඇති චෝදනා ඉවත්කරගත නොහැකි බවය.

එහිදී රජයේ නීතිඥවරයාද කියා සිටියේ අදාළ රිට් සහ මූලික අයිතිවාසිකම් පෙත්සම් නඩුකර පිළිබඳ තමන් වැඩිදුර අධ්‍යයනය කළ යුතු බවය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත්වරයා සැකකාර පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේ සිව්දෙනා සහ සෙසු සැකකරුවන් හයදෙනා ජනවාරි 28 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

වෛද්‍යවරුන් ලබන 23 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරයි…..

ජනවාරි 23 වැනිදා සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වෘත්තීය ක්‍රියමාර්ග ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

අද (19) දින පැවැති විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බව එම සංගමය සඳහන් කරයි.

2026 වර්ෂය සඳහා වූ අයවැය යෝජනා තුළින් වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය සේවාවේ සැබෑ ගැටලු සඳහා විසදුම් නොලැබීම නිසා වෛද්‍ය ප්‍රජාව තුළ දැඩි නොසන්සුතාවක් නිර්මාණය වූ බව ඔවුහු පවසති.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් තමන් විසින් සිදු කිරීමට යෝජිත වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

කෙසේ වෙතත් අදාළ සාකච්ඡා සිදු නොවීම සහ එකඟතා ඉටු නොවීම මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එළඹීමට තීරණය කළ බව එම සංගමය පෙන්වා දෙයි.

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ව අනිවාර්ය නිවාඩු යැවේ…..

උද්ගතව ඇති 6 ශ්‍රේණියේ මොඩියුල අර්බුදය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දර්ශන සමරවීර මහතා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

තවද එම සිද්ධිය සම්බන්ධයෙන් එම ආයතනයේම තවත් නිලධාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.

මනුෂගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉල්ලා අස්කරගනී…..

කොරියානු වීසා සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.

පෙත්සම අද (19) එස්. තුරෙයි රාජා මහතා ප්‍රමූඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණි.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සහ ජනාධිපති නීතිඥ ලක්මාලි කරුණානායක මහත්මිය කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ සීමිත විරෝධතා වග උත්තරකරුවන් වෙනුවෙන් තමන් ගොනුකර ඇති බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ දිවුරුම් ප්‍රකාශයක් ද වග උත්තරකාර පාර්ශවය විසින් අධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමක් නොකරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති බව සඳහන් කළේය.

ඒ අනුව පෙත්සම පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අවසර ලබා දුන් බවය අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

ගල්අඟුරු වාර්තාවේ දත්ත වෙනස් කිරීමට බලපෑම්?

ප්‍රමිතියෙන් තොර බවට චෝදනා එල්වන ගල්අඟුරු තොගවල ගුණාත්මකභාවය පිරික්සන පරීක්ෂණ වාර්තාවේ දත්ත වෙනස් කිරීමට ආණ්ඩුව බලපෑම් එල්ල කිරීම, මෙතෙක් එම වාර්තාව නිකුත් නොකිරීමට හේතුව බවට පාර්ශ්ව කිහිපයක් රජයට චෝදනා කරයි.

මේ අතර නොරොච්චෝලේ බලාගාරය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය අද (19) පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද එම මණ්ඩලය අවලංගු කර තිබුණි.

එම මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මෙම ගල් අඟුරු අර්බුදය සම්බන්ධයෙන්ද කරුණු දැක්වීමට නියමිතව තිබූ බවය.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීමෙන් රුපියල් කෝටි දහසකට ආසන්න පාඩුවක් සිදුව ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.වී.චානක මහතා පසුගියදා පාරිලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මේ ප්‍රකාශයත් සමඟ රට තුළ ඇතිවූයේ ආන්දෝලනාත්මක තත්ත්වයකි.

කෙසේ වෙතත් බලශක්ති අමාත්‍යාංශය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ගොඩබෑම් වරායේ තත්ත්ව පරීක්ෂණ වාර්තාව මෙතෙක් නිකුත් වී නොමැති නිසා ගල්අඟුරුවල ගුණාත්මකභාවය පිළිබඳ නිවැරදි අදහසක් පළ කිරීමට නොහැකි බවය.

එසේම ගිවිසුමට අනුව ගල්අඟුරුවල ගුණාත්මකභාවය පහත මට්ටමක ඇත්නම් දඩමුදල් අයකරන බවත් එම නිවේදනයේ දැක් වේ.

2025දී ඉලක්කය ඉක්මවා ගිය දේශීය ආදායම් නිලධාරීන්ට 2026දී ලැබුණු ඉලක්කය….

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහා මෙම වසර තුළ රුපියල් බිලියන 2402ක ආදායම් ඉලක්කයක් හිමිවී ඇති බව එහි කොමසාරිස් නන්දන කුමාර මහතා පවසයි.

ඔහු පවසන්නේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව විගණන කටයුතු සිදුකිරීම සඳහා මේ වනවිට ගිවිසුමක් අත්සන් කර ඇති අතර එමගින් ලබාදී ඇති ඉලක්කය සම්පූර්ණ කරගැනීමට අපේක්ෂා කරන බවය.

පසුගිය වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහා රුපියල් බිලියන 2202ක ඉලක්කයක් හිමිව තිබූ අතර එම ඉලක්කය පසු කරමින් රුපියල් බිලියන 2244ක ආදායමක් උපයා ගැනීමට හැකිවූ බවද දේශීය ආදායම් කොමසාරිස් නන්දන කුමාර මහතා පැවසීය.

මේ අතර මිලියන 12ක පිරිසකට මේ වන විට ‘ටින්‘ අංක නිකුත් කර ඇති බව ද දේශීය ආදායම් කොමසාරිස්වරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

“2005 වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දුන්න ආදායම් ඉලක්කය වුණේ රුපියල් බිලියන 2202ක්. එම ආදායම් ඉලක්කය අදාළ වර්ෂයේදී සපුරා ගැනීමට හැකි වුණා. එහිදී අපිට පුළුවන් වුණා රුපියල් බිලියන 2244ක් එකතු කරගන්න.”

“එය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දුන්නු ඉලක්කය ඉක්මවා රු. බිලියන 42ක අතිරේක ආදායමක්. දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ උපයාගත් වැඩිම ආදායම තමයි මේක. 2026 වසර සඳහා දී තිබෙන ඉලක්කය රුපියල් බිලියන 2402ක්.”

“මෙම ඉලක්කය ළඟා කරගන්න අපි බලාපොරොත්තුවෙන්නේ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අත්සන් කරපු අවබෝධතා ගිවිසුමක් හරහා. ඒකාබද්ධව විගණන කටයුතු කරන්න මෙම ගිවිසුම අත්සන් කළා.”

“මේ වෙද්දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මිලියන 12කට TIN අංක ලබාදී තිබෙනවා. මිලියන 17ක් අපේක්ෂා කරනවා.”

පාතාලයේ දෙදෙනෙකු ඩුබායි රාජ්‍යයේදී කොටුවෙයි….

පුද්ගල ඝාතන සිද්ධින් කිහිපයක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටින ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු හා වංචා කිරීමේ සිද්ධීන් රැසකට සම්බන්ධ කාන්තාවක් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එම පිරිස අතර හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාට කඳානේදී වෙඩිතැබීමේ සිද්ධිය මෙහෙයවූ රංජිත් කුමාර හෙවත් කොණ්ඩ රංජි නම් අපරාධකරුගේ ප්‍රධානතම ගෝලයා වන චූටි මල්ලී නැමැත්තාද සිටින බවත් වාර්තා වේ.

එමෙන්ම ඇල්පිටියේ සිදු වූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ ඌරගත ඉන්දික නම් අපරාධකරුගේ සමීපතමයෙක්වන රවීන් චමින්ද වීරසිංහ හෙවත් පුංචා නම් අපරාධකරු ද ඒ අතර වන බවද පොලිසිය පැවසුවේය.

එමෙන්ම මෙහිදී වංචා රැසකට සම්බන්ධව සිටින කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය මෙරට තුළ සිදුකළ වංචා සිද්ධීන් රැසකට පොලිසියට අවශ්‍යව සිටින සැකකාරියක බවද පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව මෙම සැකකරුවන් රැගෙන ඒමට කාන්තා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු නිලධාරීන් 6 දෙනෙකු ඩුබායි රාජ්‍ය බලා මේ වන විට පිටවගොස් තිබේ.

එමෙන්ම කොණ්ඩ රංජි නැමැත්තා ද සිය අත්අඩංගුවේ පසුවන බව ඩුබායි රාජ්‍ය මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇති බවත් ඒ අනුව ඔහුව ද කඩිනමින් දිවයිනට රැගෙන ඒමට කටයුතු කරන බවත් පොලසිය සඳහන් කළේය.

IMF දූත පිරිසක් එළැඹෙන සතියේදී ශ්‍රී ලංකාවට…….

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් එළැඹෙන 22 වැනිදා සිට 28 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව IMF සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් පවසයි.

පසුගියදා ඇතිවූ දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය තක්සේරු කිරීමට සහ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහන සඳහා ප්‍රතිපත්තිමය කරුණු සාකච්ඡා කිරීමට මෙම දූත පිරිස මෙරට සංචාරය කරනු ඇති බව ඇය පැවසීය.

මෙගාවොට් 20 ක ධාරිතාවයකින් යුත් ‘මන්නාරම වින්ඩ්ස්කේප්’ සුළං විදුලි බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ…

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට අනුකූලව පෞද්ගලික ආයතනයක් විසින් මන්නාරමේ ඉදිකළ, මෙගාවොට් 20ක ධාරිතාවයකින් යුත් ‘මන්නාරම වින්ඩ්ස්කේප්’ සුළං විදුලි බලාගාරය අද (15) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරිණි.

‘මන්නාරම වින්ඩ්ස්කේප්’ සුළං විදුලි ව්‍යාපෘතිය යටතේ මෙරට බලශක්ති ඉතිහාසයේ පළමු වතාවට, එක් ටර්බයිනයක ධාරිතාව මෙගාවොට් 05 ක් වූ මෙරට ස්ථාපිත විශාලතම සුළං ටර්බයින 04ක් බලගැන්වේ.‍

මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය හෝ පෞද්ගලික අංශය යටතේ මෙගාවොට් 5 (5 MW) ධාරිතාවෙන් යුතු ටර්බයින භාවිතයෙන් නිමකළ ප්‍රථම සුළං බල ව්‍යාපෘතිය වන අතර පූර්ණ දේශීය සමාගමක් මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

සුළං විදුලි බලාගාරය විවෘත කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීමේ අවස්ථාවට එක් වූ ජනාධිපතිවරයා ටර්බයින ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවටද එක් විය.

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කාම් ඉල්යාස් යන මහත්වරු සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයන්ද,   ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරු ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානිහුද, මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ. කනකේෂ්වරන්,  ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ශර්ලි කුමාර, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර යන මහත්වරුද, ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.