අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු ගැන හෙළිකරගත් කරුණු….

අකුරේගොඩදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් වෙඩික්කරුගෙන් කරුණු රැසක් හෙළිකර ගැනීමට පොලිසියට හැකිව තිබේ.

හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ වෙඩික්කරු අම්බලන්ගොඩ දෙල්දූවේදී ඊයේ (21) ප.ව. 6.20ට පමණ අත්අඩංගුවට ගනු ලැබීය.

නීතීඥවරයාට ටී-56 ගිනිඅවියෙන් වෙඩිතැබීම සිදුකර ඇත්තේ මොහු බවට සැකකරන අතර, 46 හැවිරිදි ඔහු සුනිල් රංජිත් නම් 2009 වසරේදී ලබාදුන් පොදු සමා කාලයේදී යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වූ අයෙක් බව මේ වනවිට අනාවරණය වී තිබේ.

ඔහු අම්බලන්ගොඩ, දෙල්දූව ප්‍රදේශයේ තම මිතුරෙකුගේ නිවසක නැවතී හිඳිමින් යාබද කුරුඳු ඉඩමක වැඩකටයුතු කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්විය.

බස්නාහිර පළාත දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතාගේ උපදෙස්මත, හෝමාගම කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ මහතාගේ අධීක්ෂණයෙන් හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති අමිල් ගෝවින මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ආර්.එම්.ආර් චතුරංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ රාත්‍රියේම විමර්ශන සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන එනු ලැබීය.

සැකකරුගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී ඔහු අදාළ ඝාතනය සිදුකළේ යැයි පිළිගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

අදාළ ඝාතනයෙන් පසුව තමන් කොට්ටාවට ආසන්න ස්ථානයකදී මෝටර් රථයෙන් බැස බස් රථයක නැග අම්බලන්ගොඩට පැමිණි බව සැකකරු පවසා තිබේ.

දැඩි මත්ලෝලියෙකු වන සැකකරු ‘කරන්දෙණියේ සුද්දා’ සමග සෘජු සබදතා ඇති අයෙක් බව පොලීසිය පැවසීය.

මෙම ඝාතනය ද කරන්දෙණියේ සුද්දා දුරකථනයෙන් තමන් අමතා ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත සිදුකළ එකක් බව සැකකරු පවසා ඇත.

ඝාතනයෙන් අනතුරුව සුද්දා තමන්ට රුපියල් ලක්ෂයක මුදලක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ලබාදුන් බවද පොලිසියට පවසා තිබේ.

එමෙන්ම ඔහුට මින් පෙරත් අවශ්‍ය සෑම අවස්ථාවකදීම කරන්දෙණියේ සුද්දා මුදල් ලබා ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.

ඒ අනුව පොලිසිය සැකපළ කරන්නේ මොහු කරන්දෙණියේ සුද්දාගේ කුලී ඝාතකයෙකු ලෙස කටයුතු කර ඇති බවය.

කෙසේ වෙතත් ඔහු සිදුකළ වෙනත් ඝාතන සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නොමැත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇති බලතල අනුව සැකකාර වෙඩික්කරුගෙන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය මේ වනවිට අවසර ලබාගෙන තිබේ.

මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් 12කින් විමර්ශන ක්‍රියාත්මක අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 9දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවේ සිටි කතක් පලායාමේ සිද්ධියකට පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්….

රැඳවුම් නියෝග මත ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ අත්අඩංගුවේ සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් පලායාමේ සිද්ධියට අදාළව පොලිස් සැරයන්වරුන් දෙදෙනකුගේ සහ පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනමට ලක්කර තිබේ.

පොලිස් මුලස්ථානය ප්‍රකාශ කළේ, මෙලෙස වැඩ තහනමට ලක් කරඇත්තේ රාත්‍රී කාර්යභාර නිලධාරී ලෙස කටයුතු කළ සහ උපසේවක ලෙස රාජකාරී කළ සැරයන්වරු දෙදෙනා සහ  සැකකාරියගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් කොස්තාපල්වරිය බවය.

මොරටුව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ ස්ථාපිත විශේෂ මෙහෙයුම් ඒකකයේ කණ්ඩායමක් විසින් අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිනිය පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණි.

රත්මලාන මැලිබන් හන්දිය අත්තිඩිය ප්‍රධාන මාර්ගයේදී මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබූ අතර, එහිදී ඇය සතුවූ  හෙරොයින් ප්‍රමාණය මිලිගෑම් 36,650ක් තිබී ඇත.

අදාළ සැකකාරිය රැදවුම් නියෝග මත ගල්කිස්ස පොලිස් ස්ථානයේ රඳවා සිටියදී පසුගිය 16 වැනිදා ශාරීරික අවශ්‍යතාවයක් ඇති බව පවසා කොස්තාපල්වරියක් සමග  වැසිකිලියකට යාමේදී ඇය අත්අඩංගුවෙන් මිදී මාර්ගයේ නවතා තිබූ යතුරුපැදියක නැග පලා ගොස් තිබුණි.

කෙසේ නමුත් පලාගිය සැකකාරියව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පැය 8කට පසු එදිනම තලවතුගොඩ කිඹුලාඇල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

සංඝ සමුළුවේදී රජයට සංඝ ප්‍රඥප්තියක් පනවයි…..

බුදුදහමට සහ මහා සංඝරත්නයට වර්තමානයේ එල්ල වෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පැවැති ‘මහා සඟ සමුළුව’ අද (20) පස්වරුවේ කොළඹදී පැවැත්විණි.

ඒ බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේදීය.

එහිදී වර්තමානයේදී බුද්ධ ශාසනය, භික්ෂුන් වහන්සේ සහ ජනතාව මුහුණ දෙන සමාජීය අර්බුද සමනය කිරීම උදෙසා මෙරට සියලුම භික්ෂූන් වහන්සේලා සහ බෞද්ධ නායකයින් එක්ව සංඝ ප්‍රඥප්තියක් ප්‍රකාශයට පත් කෙරිණි.

ඒ අනුව අදාළ සංඝ ප්‍රතිඥාව සියලු හිමිවරුන්ගේ අත්සන් සහිතව ඉදිරියේදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමටද නියමිත බව මොරටුව, ලුනාව බෝධිරාජාරාමාධිපති, කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යනාංශාධිපති පූජ්‍ය මහාචාර්ය අගලකඩ සිරි සුමන හිමියන් සඳහන් කළේය.

එම කරුණු 10කින් යුත් සංඝ ප්‍රතිඥාව පහතින්,

01අර්හත් මහා මහින්ද මා හිමියන් වහන්සේ ශ්‍රී සද්ධර්මය රැගෙන විත් එය මේ භූමියෙහි ස්ථාපනය කිරීමේ දී එවකට ශ්‍රී ලංකාවේ රාජ්‍ය කළ දෙවන පෑතිස් මහරජාණන්ගේ පූර්ණ අනුග්‍රහයෙන් සිදුවූ බවත්, එදා සිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ බුද්ධාගම එකිනෙකට සම්බන්ධව පැවති බවත් එම සම්බන්ධය මත සදාචාරාත්මක දේශයක් ගොඩනැගීමේ වගකීම පාලකයාට මෙන්ම ආගමට පැවරුණු බවත් හා බුදු දහමේ ඉගැන්වීම් රාජ්‍යානුශාසනා කිරීමේ කාර්යභාරය ඓතිහාසිකව භික්ෂූන් වහන්සේ විසින් සිදු කර ඇති බැවින් මේ අයිතිය පිළිගන්නා ලෙස අපි රජයට අවධාරණය කර සිටිමු.
02. පෙර රජදරුවන් විසින් සුරක්ෂිත කොට පෝෂණය කරන ලද බුදු දහමත් ඒ හා බැඳුණු සියලු සංස්කෘතීන් ද සිද්ධස්ථානය ආරක්ෂා කිරීමේ වගකීම උඩරට ගිවිසුමෙන් ද තහවුරුව, 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද සම්මත කොට අධිකරණය මගින් ද බුද්ධ සාසනය යන්න නිර්වචනය කොට ඇති බැවින් මෙම ව්‍යවස්ථානුකූල අයිතිය රජය විසින් ආරක්ෂා කළ යුතු බව ද අපි රජයට අවධාරණය කර කියමු.
03. ජාතියේ එක්සත්කමත්, සමගියත්, සහජිවනයත් රඳා පවතින්නේ ඓතිහාසිකව ගොඩනැගුණු ගිහි පැවිදි සම්බන්ධතාව නිසා බවත්, සොළීන්ට බටහිර කුමන්ත්‍රණකරුවන්ට මෙන්ම කොටි සංවිධානයට පවා මේ සම්බන්ධතාව විනාශ කරලන්නට නොහැකි වූ බවත්, විවිධ ස්වභාවික විපත් හා ව්‍යාධීන් සමනය කරලන්නට මෙම ගිහි පැවිදි සම්බන්ධතාව හේතු වූ බවත්, එය බිඳ දමන්නට විරසක කරන්නට සමාජ මාධ්‍ය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන විසින් ගෙන යන අදුරදර්ශී ක්‍රියාමාර්ග පරාජය කරන්නට රජය විසින් අවශ්‍ය කටයුතු යෙදිය යුතු බව අපි අවධාරණය කර කියා සිටිමු.
04. අතීත පාලකයන් බුදු දහම කෙරෙහි මහත් ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් කටයුතු කළ බවද, නොබොහොසත්හු ලක්දිව රජ නොවිය යුතු බවට ශිලා ලේඛන ගත කර ඇති බැවින් ද, බුදු දහමින් නිර්දේශිත පරිදි බෞද්ධ දේශපාලන දර්ශනයට අනුගතව විශේෂයෙන් දසරාජ ධර්ම සතර සංග්‍රහ වස්තු ක්‍රියාවට නංවමින් පාලනය කිරීමේ අවශ්‍යතාව ද, සතර අගතියෙන් තොරව රට පාලනය කිරීමේ අවශ්‍යතාව ද අපි ආණ්ඩුවට අවධාරණය කර කියා සිටිමු.
05. අතීතයේ සිට ම බුද්ධ ප්‍රතිමාව ලංකාවේ සැදැහැවත් බෞද්ධ ජනතාවගේ මහත් ගෞරවයට ලක් වූ උතුම් පූජනීය වස්තුවක් වූ බව ද සමාධි, අවුකන, ගල් විහාර වැනි මහා නිර්මාණ පැරණි රජ දරුවන් මහත් පරිශ්‍රමයෙන් ඉදි කළේ ජනතාවගේ ශුද්ධාව දියුණු කරනු පිණිස බවත්, අද දක්වා මෙම ආගමික හා සංස්කෘතික උරුමයන් මහත් වන්දනාවට ලක් වන බවත්, එබැවින් බුද්ධ ප්‍රතිමාවට නිගරු වන කවර ආකාර හෝ ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව හෝ වෙනත් කවර සමාජ ආයතන විසින් හෝ සිදු නොකළ යුතු බවත්, ඊට අවශ්‍ය පියවර නීත්‍යානුකූලව ගත යුතු බවත් අපි ආණ්ඩුවට අවධාරණය කර කියා සිටිමු.
06. බෞද්ධ අධ්‍යාපනයේ මූලස්ථානය අනුරාධපුර මහා විහාරය වන බවත්, එතැන් සිට භික්ෂුන් වහන්සේලා රටේ ජනතාවගේ ප්‍රධාන ආචාර්යයන් වහන්සේ වූ බවත්, එයින් සදාචාර සම්පන්න සිසු පරපුරක් ගොඩනැගුණු බවත්, උසස් සාහිත්‍ය කලාවන් රටට උරුම කරමින් භික්ෂුව අධ්‍යාපනිකව ඉටුකළ මෙහෙවර අගය කළ යුතු බවත්, විද්‍යෙදය, විද්‍යාලංකාර පිරිවෙන් අරඹා සහ ඒ ඔස්සේ විශ්ව විද්‍යාල දක්වා ලංකාවේ බෞද්ධ අධ්‍යාපනය දියුණු වු අයුරු පදනම් කොට නුතන පිරිවෙන් සහ පාසල් අධ්‍යාපනය ගොඩනැංවීම සිදු කළ යුතු බවත්, විෂය මාලා සංවර්ධනයේ දී බෞද්ධ අධ්‍යාපන මූලධර්ම කෙරෙහි සැලකිලිමත් විය යුතු බවත් අපි රජයට අවධාරණය කර කියා සිටිමු.
07. පෙර ජනාධිපතිවරුන් විසින් අමාත්‍ය ධුරය දරමින් ක්‍රියාත්මක කරන ලද බුද්ධ ශාසන අමාත්‍යාංශය මේ වනවිට නිසි අමාත්‍යවරයෙකු නොමැති වීමෙන් අකර්මණය වී දියාරු වී සහ අවස්ථාවට පැමිණ ඇති බැවින් අමාත්‍යංශයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් සේවා සපයා ගැනීමට පැමිණෙන භික්ෂූන් වහන්සේලාට, බෞද්ධ ජනතාවට ඒවා කාර්යක්ෂමව ඉටු කර දීමට එහි නිලධාරීන් අපොහොසත්ව ඇති හෙයින් බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව කාර්යක්ෂම ආයතනයක් බවට පත් කරවන්නට අපි රජයට අවධාරණය කර සිටිමු.
08. බෞද්ධයන්ගේ ප්‍රාර්ථනාවක් වන “දේවෝ වස්සතු කාලෙන නම් ගාථාවෙහි එන පරිදි රටෙහි ආර්ථික, දේශපාලන, සමාජයීය දියුණුවෙහි මූලික පදනම ලෙස සැලකෙන දැහැමි රාජ්‍ය පාලනයක් පිළිබඳ ජනතාවගේ ඓතිහාසික ප්‍රාර්ථනා මල්ඵල ගන්වන ලෙසින් රාජ්‍ය මෙහෙයවන ලෙස අපි රජයට අවධාරණය කරමු.
09. බෞද්ධ පුරාවස්තු, පුජනීය ස්ථාන, විහාර, දේවාලගම් පෞද්ගලිකව භික්ෂූන්ගේ නොව රටේ ජාතියේ උරුමයන් වන බැවින් කවරාකාරයෙන් හෝ ඒවාට හානියක් නොවන පරිදි ආරක්ෂා කිරීමේ වගකීම රජයට පැවරී තිබෙන බව අපි අවධාරණය කර කියා සිටිමු.
10. ශ්‍රී ලංකාවේ කවර තැනක හෝ භික්ෂුවට සීලාදී ගුණ ධර්මයන් වඩමින් ගෞරවනීය ලෙස තමාගේත් ලෝකවාසී ජනතාවගේත් මෙලොව පරලොව දෙකෙහි අභිවෘද්ධියට හේතුවන ලෙස පරාර්ථ චර්යාවෙහි යෙදෙන විට උන් වහන්සේලාට නිග්‍රහ වන ලෙසින් අදහස් ප්‍රකාශ කිරීම, මත පැතිරවීම, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් විවිධ අපහාස උපහාසයට ලක් කිරීම්, චෝදනා කිරීම ආදී භික්ෂු ගෞරවය කෙලෙසන ආකාරයේ කටයුතු රාජ්‍ය යටතේ සිදු නොවිය යුතු බව අපි රජයට අවධාරණය කර කියා සිටිමු.

අකුරේගොඩ ඝාතනයේ සැකකරුවෙකු සොයන්න පොලීසිය මහජන සහාය පතයි…..

අකුරේගොඩදී නීතිඥයෙකුට හා ඔහුගේ බිරිඳට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයෙකුගේ මුහුණේ තිබිය හැකි විවිධ ස්වරූප ඇතුළත් ඡායාරූපයක් අද (20) පොලිසිය මාධ්‍යවෙත නිකුත් කර තිබේ.

අදාළ පුද්ගලයා උස අඩි 5යි අගල් 5ක් පමණ වන වයස අවුරුදු 44ක් පමණ වන අයෙක් වන අතර ඔහුගේ දකුණු පස කම්මුලට පහළින් මුහුණේ කැපුම් තුවාල කැළලක් ඇති බව පොලිසිය පවසයි.

ඔහු ගැන තොරතුරු වෙතොත් තිරයේ පහත සඳහන් අංක වෙත දැනුම්දෙන මෙන් පොලිසිය මහජනයාගෙන් ඉල්ලා සිටී.

මොඩියුල විමර්ශන කඩිනම් කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝග….

ගැටලු සහගත මොඩියුලය පිළිබඳ සිදුකෙරන විමර්ශන කඩිනම් කර එයට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නැයි ගංගොඩවිල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (20) නියෝග කර තිබේ.

ඒ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල 6වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය තුළ දරුවන්ට නුසුදුසු වෙබ් අඩවියක නමක් සඳහන් වීම සම්බන්ධයෙන් වූ නිතී කෘත්‍යය අද (20) කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් පවත්වමින් සිටී.

බහාලුම් නිෂ්කාශනයේ ප්‍රමාදයක් නිසා නැවතත් තදබදයක්…..

බහාලුම් නිෂ්කාශන කටයුතුවල මතුවී ඇති ප්‍රමාදයක් හේතුවෙන් නැවතත් බහාලුම් තදබදයක් හටගෙන තිබේ.

බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පෙන්වා දෙන්නේ, බහාලුම් නිෂ්කාශන කටයුතු සඳහා කාර්යක්ෂම ක්‍රමවේදයක් නොමැතිකම ඇතුළු කරුණු මීට බලපා ඇති බවය.

කොළඹ වරාය පරිශ්‍රයේ ආනයනික බහාලුම් පිටකිරීමේ සහ ඒවා වරායෙන් පිටත අංගනවලදී පරීක්ෂා කිරීමේ මෙලෙස දැඩි ප්‍රමාදයක් මතුවී තිබේ.

ඊට අමතරව ඔරුගොඩවත්ත බහාලුම් පරිශ්‍රයේද තදබදයක් මතුවී තිබූ අතර, ඒ හේතුවෙන් බහාලුම් රථ රියදුරන්ද දැඩි අපහසුතාවට පත්වී සිටී.

මේ අතර, බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ, ඉදිරි මාසයේදී බහාලුම් විශාල ප්‍රමාණයක් ආනයනය කිරීමට නියමිත බැවින් මෙම තදබදය තවත් උග්‍රවනු ඇති බවය.

ඒ හේතුවෙන් ආරක්ෂක අංශ යොදවා හෝ මෙම තදබදය අවම කිරීමට පියවර ගන්නා ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටී.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රේගු අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පැවසුවේ, මේ වනවිට බහාලුම් නිෂ්කාශනයේ යම් තදබදයක් පැවතියද එය සාමාන්‍ය තත්ත්වයක් බවය.

පොල්ගස්ඕවිට ඩිලාට දින 90ක රැඳවුම් නියෝග….

අකුරේගොඩදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආයුධ ප්‍රවාහනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ‘පොල්ගස්ඕවිට ඩිලා’ නැමැත්තාව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය අද (20) අවසර ලබා ගෙන ඇත.

28 හැවිරිදි පුද්ගලයෙකු වන මොහු පසුගිය 17වනදා පස්වරුවේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

තලංගම, අකුරේගොඩදී ඉකුත් සිකුරාදා පස්වරුවේ නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කර තිබුණි.

පසුව පොලිස්පතිවරයාගේ උපදෙස්මත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පොලිස් කණ්ඩායම් 12ක් පත්කරනු ලැබීය.

ඒ අනුව, සිදුකළ විමර්ශනවලදී බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් ඉකුත් 16වනදා පස්වරුවේ ඝාතනය සඳහා වෙඩික්කරුවන් භාවිත කළ ගිනිඅවි ප්‍රවාහනය කළ සොහොයුරන් දෙදෙනකු කොට්ටාවේදී අත්අඩංගුවට ගැනුණි.

ඒ අනුව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුගේ උපදෙස් මත අදාළ තරුණයන් දෙදෙනා ගිනිඅවි ප්‍රවාහනය කළ බවත් ඒ සඳහා මෙම පුද්ගලයාද එක්ව ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

ජනපති යළි දිවයිනට….

නවදිල්ලි නුවර පැවැති ‘AI Impact 2026’ සමුළුවට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය සංචාරය නිමවා අද (20) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිස අද රාත්‍රී 10.04ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. – 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ලාෆ්ස් ගෑස් සැපයුම ගැන නිවේදනයක්…..

වෙළෙඳපොළේ ලාෆ්ස් සන්නාමය සහිත එල් පී ගෑස් සිලින්ඩරවල තාවකාලික හිඟයක් පවතින බවට සංසරණය වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් එම සමාගම නිවේනදයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය අනුව, වර්තමානයේ ගෘහස්ත ගෑස් සිලින්ඩර හිඟයට ප්‍රධාන හේතුව වී ඇත්තේ හම්බන්තොට වරාය පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති මෙට්‍රික් ටොන් 30,000ක එල් පී ගෑස් ආනයන-අපනයන ගබඩා පර්යන්තය දේශීය සැපයුම සඳහා භාවිතා කිරීමට බලපා ඇති රෙගුලාසිමය සීමාවන් බවය.

එම ගබඩා පර්යන්තය දේශීය මෙහෙයුම් සඳහා කඩිනමින් නිදහස් කරගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු වෙනුවෙන් අදාළ රජයේ බලධාරීන් සමඟ නිරන්තර සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවද සමාගම සඳහන් කරයි.

මේ අතර, දේශීය ගෘහස්ත එල් පී ගෑස් ඉල්ලුම සපුරාලීම සඳහා ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් ඍජුවම ගෑස් තොග කොළඹ වරාය හරහා මෙරටට ආනයනය කිරීමට අවශ්‍ය සැලසුම් මේ වනවිට සකස් කර ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

ගෑස් තොග කොළඹ වරායට ළඟා වූ වහාම සමාගමට අයත් සිලින්ඩර පිරවුම් පර්යන්තයේදී එම ගෑස් සිලින්ඩරගත කර, දිවයින පුරා අඛණ්ඩව බෙදාහැරීමට කටයුතු සූදානම් කර ඇති බවද සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

මෙරට තුළ අඛණ්ඩ එල් පී ගෑස් සැපයුමක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු කටයුතු ක්‍රියාත්මක කර ඇති බවට මහජනතාව වෙත ලාෆ්ස් ගෑස් සමාගම දැනුම් දී තිබේ.

බෙදුම්වාදයට එරෙහිව කටයුතු කරන ලෙස ජනපතිට බලකෙරෙන මහජන පෙත්සමක්….

බෙදුම්වාදයට හා බෙදුම්වාදී බලවේගවලට එරෙහිව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාට බලකරමින් මහජන පෙත්සමකට අත්සන් ගැනීම අද (19) ආරම්භ විය.

එම මහජන පෙත්සමට අත්සන් ගැනීම පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙනේදී අද උදෑසන ආරම්භ වූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

ඒ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්දරතන හිමිගේ මූලිකත්වයෙනි.

මෙම අවස්ථාවට ආචාර්ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම ඇතුළු ජාතික සංවිධාන 60ක සාමාජිකයින් ද සහභාගි වී සිටියේය.

මෙම මහජන පෙත්සම ජනාධිපතිවරයාට භාරදීමට නියමිතය.

මේ අතර වර්තමානයේ බුදුදහමට හා මහා සංඝරත්නයට එල්ලවෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මහා සඟ සමුළුව හෙට පස්වරු 2ට කොළඹ බෞද්ධ මහා සම්මේලනයේදී ආරම්භ වීමට නියමිතය.

මොනරාගල එක්සත් භික්ෂු සංසදයද අද පැවසුවේ බුදුදහම නොසලකාහරින වත්මන් ආණ්ඩුවට විරෝධය පාමින් මෙම සඟ සමුළුවට හෙට (20) සහභාගී වන බවය.

මේ අතර පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමියන් අද මල්වතු මහ නාහිමියන් බැහැදැක සංඝයාවහන්සේට සිදුකෙරෙන ගැරහීම් සහ හෙට පැවැත්වෙන සඟ සමුළුව පිළිබඳ දැනුම්වත් කර තිබේ.