අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 29,414ක් පීඩාවට…

පසුගිය දින කිහිපය තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 18කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහිදී පවුල් 7395කට අයත් පුද්ගලයින් 29,414 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව එම මධ්‍යස්ථානය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

මේ අතර දිස්ත්‍රික්ක 11කට නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය ද තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.

මේ අතර මේ දක්වා ලැබුණු වර්ෂාව පතනය හේතුවෙන් නිල්වලා ගඟ, ගිං ගඟ, කළු ගඟ සහ අත්තනගලු ඕයේ ජල මට්ටම් ඉහළ මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වැලි ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රථයකට පොලීසියෙන් වෙඩි….

යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේදී අනවසරයෙන් වැලි ජාවාරම් කළ පුද්ගලයෙකු පැදවු ට්‍රැක්ටර් රථයකට ද පොලීසිය විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.

කොඩිකාමම් පොලීසියේ ස්ථානාධිපතිවරයා පැවසුවේ මෙම ට්‍රැක්ටර් රථය නවත්වන ලෙස පොලිස් නිලධාරීන් නිසින් අණ කර ඇති බවත් එහිදී ට්‍රැක්ටර් රථයේ රියදුරු විසින් පොලිස් නිලධාරීන්ව අනතුරට ලක් කිරීමට උත්සහා දරා ඇති බවත්ය.

එහිදී පොලීසිය විසින් ට්‍රැක්ටර් රථයේ රෝදයකට වෙඩි තැබීමට කටයුතු කළ බව අප කළ විමසීමකදී පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

පසුගිය 24 වනදා මෙම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.

වෙඩි වැදීමෙන් ට්‍රැක්ටර් රථයේ රෝදයකට හානි සිදුව ඇති අතර ට්‍රැක්ටර් රථය පැදවු 18 හැවිරිදි තරුණයෙකු ද තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය.

තුවාල ලැබු පුද්ගලයා පොලිස් ආරක්ෂාව යටතේ යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

රත්මලානේ දී පොලීසිය වෙඩිතැබූ වෑන් රථය ගැන කරුණු හෙළිවෙයි….

රත්මලානේ දී අද (25) පස්වරුවේ අණ නොතකා ධාවනය කළ වෑන් රථයට පොලිස් නිලධාරීන් හඹාගොස් වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබේ.

අදාළ වෑන් රථය ප.ව. 5.25ට පමණ පිළියන්දල සුවාරපොළ ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර, මොරටුව කටුබැද්ද හරහා පැමිණෙමින් තිබියදී බස්නාහිර දකුණ රථවාහන කොට්ඨාසයට අනුයුක්ත රථවාහන නිලධාරීන් රථය නවතන ලෙස දැනුම් දී ඇත.

කෙසේ නමුත් එම රථය අණ නොතකා ඉදිරියට ධාවනය වී ඇති අතර, ඒ හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් පසුපස හඹා ගොස් තිබේ.

එහිදී රත්මලාන බෙලෙක්කඩේ හංදිය ප්‍රදේශයේදී රථයේ ඉදිරිපස රෝදයට හා පසුපස රෝදයකට පොලීසිය වෙඩිතබා ඇති අතර, එහිදී ද රථය නොනවත්වාම ධාවනය කර ඇත.

කෙසේ නමුත් රත්මලාන දුම්රියපොළ ඉදිරිපිට දී වෑන් රථයේ රියදුරු රථය නවත්වා පලායෑමට උත්සාහ දරා තිබේ.

එහිදී ඔහු බිම ඇද වැටීමෙන් මුඛය ආසන්නයේ තුවාල සිදුව ඇති අතර, ඒ හේතුවෙන් 1990 ගිලන්රථ සේවාව මගින් ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පැවසීය.

පොලීසිය විසින් රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහු ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි සංචාරක ප්‍රවාහන කුළී ගමන් රියදුරෙක් බවය.

මෙම වාහනය පිළියන්දල සිට රත්මලාන දුම්රියපොළ අසල දක්වා ගමන්කිරීමේදී මාර්ගයේ ධාවනය කරන ලද රථ වාහන කිහිපයක් ද අනතුරට ලක්කරමින් පැමිණ ඇති බවටද මේ වනවිට තොරතුරු අණාවරණය වී ඇත.

ඉහත වාහනයේ ලියාපදිංචි අයිතිකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර දකුණ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

සෙව්වන්දිට රට පනින්න බෝට්ටුව දුන් තැනැත්තාගෙන් හෙළිදරව්වක්..

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලාගිය බෝට්ටුව සැපයූ ආනන්දන් නමැත්තා, දීර්ඝ කාලයක සිට ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට කේරල ගංජා ප්‍රවාහනය කළ ජාවාරම්කරුවෙකු සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර තිබේ.

ඒ අනුව එම සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ අතර ඒ කේරල ගංජා කිලෝ 10කට අධික ප්‍රමාණයක් සමඟය.

සැකකරු කිළිනොච්චියේ පදිංචිකරුවෙක් වන අතර ගංජා තොගය, පොල් වත්තක භූගත බංකරයක ගබඩා කර තිබූ බව පොලිසිය පවසයි.

සැකකරු කේරල ගංජා මෙරටට ආනයනය කරන අතරතුරදී පාතාල කල්ලි සාමාජිකයන් ඉන්දියාවට රැගෙන ගියාද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

සැකකරු දින 7ක රැඳවුම් නියෝග මත රඳවා ගනිමින් මේ වන විට ප්‍රශ්න කෙරේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ මෙහෙයවීමෙන්, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේතුංග මහතාගේ සහ විමර්ශන අංක 1 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර යන නිලධාරීන් යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

බැකෝ සමන්ගෙන් අල්ලස් ගත් ඌවේ හිටපු ප්‍රවාහන බලධාරියෙකු ගැන තොරතුරු හෙළිවෙයි….

තමාට අයත් සුඛෝපභෝගී බස් රථයක් මොනරාගල – කොළඹ මාර්ගයේ ධාවනය කිරීම සඳහා ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු ඔහුගෙන් මාසිකව රුපියල් ලක්ෂ තුන හමාරක අල්ලස් මුදලක් ලබාගත් බව බැකෝ සමන් අනාවරණය කර තිබේ.

ඒ අනුව එම සභාපතිවරයා ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ඉදිරි සතියේදී බස්නාහිර උතුර පළාත් අපරාධ කොට්ඨාසය වෙත කැඳවීමට නියමිතය.

කෙහෙල්බද්දර පද්මේ සමග ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ බැකෝ සමන් නැමැත්තා මේවන විට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි.

ඔහුට අයත් රුපියල් කෝටි 8කට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගී බස් රථ 2ක් සොයා ගැනීමට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය පසුගියදා සමත් වුණේ ඒ අනුවය.

ඔහු හෙළි කර ඇත්තේ මෙම බස් රථ දෙකෙන් එකක් කොළඹ – මොනරාගල මාර්ගයේ ධාවනය සඳහා බලපත්‍රයක් සකස් කර ගැනීම වෙනුවෙන් ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයෙක් තමාගෙන් රුපියල් ලක්ෂ තුනහමාර බැගින් අල්ලස් මුදලක් මාසිකව ලබාගත් බවය.

එම බලපත්‍රය ඉකුත් මාර්තු මාසයේ කල් ඉකුත් වී ඇති අතර එහිදී හිටපු සභාපතිවරයා බැකෝ සමන්ගේ පාර්ශ්වයට දන්වා ඇත්තේ”ප්‍රශ්නයක් වුණොත් මම බලාගන්නම් බස් එක දුවන්න ” යනුවෙනි.

බැකෝ සමන් අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහුගේ මස්සිනා මෙම මුදල් ගනුදෙනු සියල්ල සිදුකර ඇති අතර ඒ අනුව පසුගිය මාසයේදී ද හිටපු සභාපතිවරයාගේ ගිණුමට එම මුදල බැර කර ඇති බව සඳහන් වේ.

ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයාට එම තනතුර අහිමි වීමෙන් පසුවත් ඔහුට එම මුදල ලබාදුන් බවත් ඒ තමාට කළ උපකාරය වෙනුවෙන් බවත් බැකෝ සමන් පවසා ඇත.

මේ පිළිබඳ ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා හිටපු සභාපතිවරයා ඉදිරි සතියේදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත කැඳවීමට නියමිතය.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් දුන් සේවා දිගුව අවලංගු කිරීම ගැන ඇමතිට ප්‍රශංසා…

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම්කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදුන් සේවා දිගුව අවලංගු කිරීමට බලශක්ති අමාත්‍යවරයා ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව ප්‍රශංසාව පළ කරන බව ලංකා විදුලිබල මණ්ඩල කාර්මික ශිල්පීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති කෝසල වික්‍රමසිංහ මහතා පැවසුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියාකලාපයට වෘත්තීය සමිති රැසක් විරෝධය පළ කර තිබූ බවය.

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම්කාර්යාලයේ අධ්‍යක්ෂ පුබුදු නිරෝෂන් මහතාගේ සේවා කාලය දීර්ඝ කර ඇති බව දන්වමින් බලශක්ති අමාත්‍යාංශ ලේකම් උදයංග හේමපාල මහතා පසුගියදා 15 වෙනිදා ලිපියක් යොමු කර තිබුණි.

ලබන වසරේ ජුනි 26 වෙනිදා දක්වා ඔහුගේ ධුර කාලය දීර්ඝ කරන අතර ඒ සඳහා බලශක්ති අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වූ බව අමාත්‍යංශ ලේකම්වරයා එම ලිපියෙන් සඳහන් කර ඇත.

කෙසේවෙතත් පුබුදු නිරෝෂන් මහතාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමේ තීරණය බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට නියෝග කර ඇත.

ඊට අදාළව පසුගිය 22 වැනිදා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඔහුගේ සේවා කාලය දිර්ඝ කිරීම සඳහා තමන් කිසිදු ලෙසකින් අනුමැතියක් ලබා දී නොමැති බවය.

එවැනි දීර්ඝ කිරීමක් සඳහා අනුමැතිය ඉල්ලා සිටීම ද වැරදි නිරූපණයක් ඇති කරන්නක් බව අදාළ ලිපිය මඟින් අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම් දී ඇත.

ඒ අනුව පසුගිය 15 වැනිදා නිකුත් කර ඇති එම ලිපිය ඇතුළුව අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා ගෙන ඇති සියලු ක්‍රියාමාර්ග වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්කර ගන්නා ලෙස බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සිය ලිපියෙන් දැනුම් දී ඇත.

ආපදාවට පත් වෙළෙඳ නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව මුදා ගැනේ…

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී ආපදාවට ලක් වූ වෙළෙද නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගෙන තිබේ.

වියට්නාමයේ සිට ඊජිප්තුව බලා යාත්‍රා කරමින් සිටි, එම්.වී. ඉන්ටග්‍රිටි ස්ටාර් නම් අදාළ වෙළෙද නෞකාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 100ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේදී කාර්මික දෝශයකට ලක්ව තිබුණි.

ඒ සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නාවික හමුදාවට ලද තොරතුරක් මත නෞකාවේ කාර්ය මණ්ඩලය මුදා ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර තිබූ අතර ශ්‍රී ලංකා නාවික සමුදුර නෞකාව ඒ සඳහා අනියුක්ත කෙරිණි.

ඒ අනුව ආපදාවට ලක්වූ නෞකාවේ සිටි ඉන්දීය, තුර්කි සහ අසර්බයිජාන් ජාතිකයින්ගෙන් සමන්විත 14 දෙනෙකුගෙන් යුත් කාර්යමණ්ඩලය නිරුපද්‍රිතව මුදාගැනීමට හැකි වූ බව නාවික හමුදාව සඳහන් කළේය.

අදාළ පිරිස මේ වන විට හම්බන්තොට වරාය වෙත රැගෙන එමින් සිටින බව නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේය.

ආපදාවට ලක්වූ නෞකාව සම්බන්ධයෙන් එම නෞකාව හිමි සමාගම විසින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇත.

ගුරුවරු නොමග යවන ව්‍යාජ ‘Whatsapp’ සමූහයක්

‘නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා බිහිවෙන අධ්‍යාපන සභාව’  මැයෙන් එක් එක් අධ්‍යාපන කලාපයන්හි ගුරුවරු ඒකරාශි කිරීම සඳහා ව්‍යාජ ‘Whatsapp’ සමූහයක් පවත්වා ගෙන යන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසා සිටියේ, එම සමූහය අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හෝ එහි අනුදැනුම මත පවත්වාගෙන නොයන බවය.

එමෙන්ම එමගින් සිදු කරන කටයුතු කෙරෙහි අමාත්‍යාංශය කිසිදු වගකීමක් නොදරන බවත් එම නිවේදනයේ දැක්වේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ රජය අපහසුතාවට පත්කිරීමේ අරමුණින් පවත්වාගෙන යන මෙවැනි ව්‍යාජ සමූහයන්ට නොරැවටෙන ලෙසත්, ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් අදාළ පාර්ශ්වයන්ගෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

වහාම නගරාධිපතිරු සහ නාගරික මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුළු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න – නාමල් රාජපක්ෂ…..

මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව වහාම තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලා සිටියි.මෙහිදී නාමල් රාජපක්ෂ විශේෂයෙන්ම නගර සභාවල නගරාධිපතිවරුන් හා නාගරික මන්ත්‍රීන්ට ප්‍රාදේශීය සභා සභාපතිවරු හා මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදිය යුතු බවත් නාමල් රාජපක්ෂ වැඩි දුරටත් පැවසීය

පසුගියදා ඝාතනය වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පොලිස්පතිවරයාට තමාට ජීවිතාරක්ෂාවක් අවශ්‍ය බවට දන්වා සිටියත් අවශ්‍ය ආරක්ෂාව ලබානොදුන් බවත් නාමල් රාජපක්ෂ පැවසීය.තවද කෙනෙක් මිය ගියාට පසු ඔහුගේ අතීතක්‍රියාවන් ගැන පවසා එම ඝාතනය වසා ගැනීමට පොලිස් ඇමති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ සිදු කල කතාව පිළිබඳව තමා ඉතා කණස්සල්ලට පත්වූ බවද නාමල් රාජපක්ෂ පැවසීය.එදා වැලිගම සභාපතිවරයා තමන්ට ආරක්ෂාව ලබාදෙන මෙන් කළ ඉල්ලීම ඉටු කලානම් අදත් ඔහු ජීවතුන් අතර බව නාමල්‍ රාජපක්ෂ අවධාරණය කළේය.

යමක් සිදුවීමට පෙර පුර්වාරක්ෂාවීම සුදුසු බව ආණ්ඩුවට මතක් කර දෙන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.එමනිසා මහජන නියෝජිතයින්ට ආරක්ෂාව ලබාදෙන ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.දවසේ වෙඩිල්ල නතර උණු බවට පොලිස් නියෝජ්‍ය ඇමති සුනිල් වටගල ප්‍රකාශ කළද ආණ්ඩුවේ අවශ්‍යතා වලට මෙම වෙඩි පත්තුවෙන බවට සැකයක් මතුවන බවද නාමල් රාජපක්ෂ පැවසීය

ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු….

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති අඩු පීඩන කලාපය අද (25) උදෑසන 05.30ට පමණ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ වර්ධනය වූ එම පීඩන අවපාතය මඩකලපුවේ සිට කිලෝමීටර් 900ක් පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 10.9ත්, නැගෙනහිර දේශාංශ 89.0ත් ආශ්‍රිතව ස්ථාන ගතව පැවතුණු බවය.

එමෙන්ම මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දිශාවට ගමන් කරමින් හෙට (26) දින ගැඹුරු පීඩන අවපාතයක් සහ 27 වැනි දින සුළිකුණාටුවක් දක්වා තව දුරටත් වර්ධනය වන බවත් පසුව එළැඹෙන පැය 48 තුළදී අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 05ත් 15ක් සහ නැගෙනහිර දේශාංශ 80-95ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙනතුරු ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම මේ වන විටත් එම ප්‍රදේශ ආශ්‍රිතව ධීවර කටයුතුවල යෙදී සිටී නම් එම මුහුදු ප්‍රදේශවලින් හැකි ඉක්මනින් ඉවත්වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අදාළ පාර්ශ්වයන් වෙත දැනුම් දී ඇත.

තවද නැවත දැනුම්දෙන තුරු කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.