දැඩි ආරක්ෂීත ක්ෂීරපායි සත්වකු මෙන්ම දුර්ලභ සත්වයකු ලෙස සැලකෙන හඳුන් දිවියකු මරා මස් කළ අයෙක් වනජීවියට කොටු වෙයි.

ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් කහල්ල පල්ලේ කැලේ අභය භූමිය තුළ දී අද(28) පස්වරුවේ සිදුකරන ලද මුර සංචාරයකදී දැඩි ආරක්ෂීත ක්ෂීරපායි සත්වකු මෙන්ම දුර්ලභ සත්වයකු ලෙස සැලකෙන හඳුන් දිවියකු මරා මස් කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
කහල්ල පල්ලේකැලේ අභය භූමියට අයත් කරවිලගල ප්‍රෙද්ශයේදී සැකකරු මෙම හඳුන් දිවියා ඝාතනය කර ඇති බවත් ඝාතනය කර තිබූ හඳුන් දිවියා මස් කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවත් වනජීවී නිලධාරීහු පවසති. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ අවට පරීක්ෂා කර ඇති වනජීවී නිලධාරීන් ඒ ආසන්නයේ තිබී බඳින තුවක්කුවක් ද සොයා ගෙන තිබේ.
සැකකරු විසින් ඝාතනය කර ඇති හඳුන් දිවියා උස දෙකක් පමණ වන වයස අවුරුදු 06ක් පමණ වන හොඳින් වැඩුනු එකෙකු බව වන ජීවී නිලධාරිහු පවසති.
සැකකරු මස් කරමින් සිටි හඳුන් දිවියාගේ හිස හා පාද මෙන්ම සම ඇතුළු ශරීර කොටස් රැසක් ද හඳුන් දිවියා මස් කිරීමට සැකකරු භාවිතා කළ ලොකු හා කුඩා පිහියා දෙකක් ද, මස් කළ හඳුන් දිවියාගේ මස් තොගයක් ද මෙහිදී සැකකරු සමග අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීහු සමත්ව තිබිණ.
අත්අඩංගුවට පත් සැකකරු පලාගල කරවිලගල ප්‍රෙද්ශයේ පදිංචි වයස අවුරුදු 60ක පමණ වන පුද්ගලයකු බව වනජීවී නිලධාරීහු පවසති.
බළල් කුළයේ දෙවන විශාලතම සත්වයා ලෙස හඳුනාගෙන ඇති හඳුන් දිවියා ඉංග්‍රීසි බසින් Fishing Cat ලෙස හඳුන්වනු ලබන අතර, සත්ව විද්‍යාත්මක නාමයෙන් Prionailurus Viverrinus ලෙස හඳුන්වන හඳුන් දිවියා වසර 12ක පමණ ආයු කාලයක් හිමි සත්වයකු බවද වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.
වනසත්ව හා වෘක්ෂ ලතා ආරක්ෂක පනත යටතේ හඳුන් දිවියා දැඩි ආරක්ෂීත ක්ෂීරපායි සත්වයකු ලෙස නම් කර ඇති වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ඝනයේ සත්වයකු වන බව ද වනජීවී නිලධාරීහු පෙන්වා දෙයි.
හඳුන්දිවි දඩයම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ එම සැකකරු හෙට(29) කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.

කුෂාන් ජයවර්ධන – කැකිරාව

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, ඔහුගේ ධුර කාලය තුළ සිදු වූ බව කියන විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයක කොටසක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

රුපියල් මිලියන 50 ඉක්ම වූ ණය ලබාගෙන ඇති ව්‍යාපාරිකයින් සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමට ලබාදී තිබුණු සහන කාලය අද (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි‍.

2015 මාර්තු 31 වැනිදාට පෙර බැංකු සමග සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පමණක් අදාළ සහනය හිමිවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටියේ.

එමෙන්ම, රුපියල් මිලියන 25 – 50 අතර ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබාදුන් සහන කාලය, ලබන සැප්තැම්බර් 30 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ‍.

නිසි තොරතුරු සටහන් කර නොමැති ලුණු පැකට් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නවා – පාරිභෝගික අධිකාරිය

නිසි ආකාරයෙන් තොරතුරු සටහන් නොවන ලුණු පැකට් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඒ අනුව, ආනයනකරුගේ හෝ දේශීය නිෂ්පාදකයාගේ තොරතුරු, සිල්ලර මිල ආදිය සඳහන් නොවන ලුණු පැකට් වෙළඳපොළට නිකුත් කිරීමට ඇතැම් ආනයනකරුවන් සහ නිෂ්පාදකයින් කටයුතු කර ඇති බවයි එම අධිකාරිය පැවසුවේ.

භාණ්ඩ සැපයු ආනයනකරුගේ හෝ නිෂ්පාදකයාගේ නිවැරදි තොරතුරු සහ මිල ගණන් සහිත විධිමත් බිල්පතක් තමන් සතුව තබාගන්නා ලෙසද, එවැනි බිල්පතක් නොමැතිව භාණ්ඩ ළඟ තබා ගන්නේ නම් ඒ සම්බන්ධව නීතිමය පියවර ගන්නා බවද පාරිභෝගික අධිකාරිය ව්‍යාපාරිකයන් හට දන්වා සිටිනවා.

නිසි තොරතුරු සඳහන් නොවන ලුණු නිෂ්පාදන මිලදී ගැනීම හා අලෙවි කිරීම සිදු නොකරන ලෙස දැනුම් දෙන බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් පවසන්නේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාස​යේ ප්‍රථම වතාවට ඒකක 18,000 සීමාව පසු කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (30) ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒකක 18,000 සීමාව පසු කළා.

ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 260 කට වඩා ඉහළ යාමකින් පසු ඒකක 18,016.35ක් ලෙස සටහන් වී තිබුණා.

ට්‍රම්ප් විසින් කැනඩාව සමග ඇති වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවයි

කැනඩාව සමග ඇති වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවන බවත්, ඉදිරි සතිය තුළ කැනේඩියානු භාණ්ඩ සඳහා නව තීරුබදු අනුපාතයක් නියම කරන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

ඇමසන් ඇතුළු අමෙරිකානු සමාගම් සඳහා කලින් පනවන ලද ඩිජිටල් සේවා බද්දක් කැනඩාව විසින් එළැඹෙන සඳුදා සිට නැවත ආරම්භ කිරීමට සැලසුම් කිරීමට පෙර අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

කැනඩාව විසින් අමෙරිකානු තාක්ෂණ සමාගම් සඳහා ඩිජිටල් සේවා බද්දක් පනවන බවට නිවේදනය කර ඇති බවත්, එය අමෙරිකාවට සෘජු හා පැහැදිළි ප්‍රහාරයක් වන බවත් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම වසර ගණනාවක් පුරාවට කැනඩාව විසින් කිරි නිෂ්පාදන සඳහා ගොවීන්ගෙන් 400%ක තීරුබදු අය කරගෙන ඇති බවත්, කැනඩාව යනු වෙළෙඳාම් කිරීමට ඉතා අපහසු රටක් බවයි අමෙරිකානු ජනාධිපතිවරයා සිය සටහන මගින් පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදී කැනඩාව සමග වෙළඳ සාකච්ඡා අවසන් කරන බවද, ඉදිරි දින 07 තුළ අමෙරිකා එක්සත් ජනපදය සමග ව්‍යාපාර කිරීමට ඔවුන් ගෙවන තීරුබදු සම්බන්ධව කැනඩාව දැනුවත් කරන බවද අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

news images

ශානි අබේසේකර CID අධ්‍යක්ෂ ධුරයට පත්කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ලෙස පත් කිරීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමි වී තිබෙනවා.

එම තනතුර සඳහා ඔහුගේ නම යෝජනා වී තිබුණු අතර, ඒ සඳහා වන පොලිස් කොමිසමේ අනුමැතිය ලැබුණු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

බහාලුම් නිදහස් කිරීමේ දී පැවති තදබදය පාලනය කර ති‍බෙනවා – අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්

බහාලුම් නිදහස් කිරීමේ දී පැවති තදබදය මේ වනවිට මුලුමනින්ම පාලනය කර ඇති බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පවසනවා.

වෙනදාට වඩා වැඩි බහාලුම් ප්‍රමාණයක් ලැබී තිබීම හේතුවෙන් තාවකාලික තදබදයක් ඇතිවූවත්, මේ වනවිට එය පාලනය කර ඇති බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

බහාලුම් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් නොමැති බවයි අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ.

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කර ගනිමින් සිදුකරනු ලබන අපරාධයන්ට ශ්‍රී ලංකික පුරවැසියන් වින්දිතයන් වීමේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව මෑත කාලීනව සිදු කරන ලද විමර්ශනවලදී Facebook, WhatsApp, Telegram, WeChat ආදි සමාජ මාධ්‍යජාලා හරහා මෙම අපරාධයන් සඳහා පුරවැසියන් වැඩි වශයෙන් ගොදුරුවෙන බවට හඳුනාගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළේ.

අපරාධකරුවන් විසින් මෙවැනි වංචාවන් සිදු කිරීම සඳහා ප්‍රධාන ක්‍රමවේද 02ක් භාවිත කරන බවත්, පළමු ක්‍රමය ලෙස මුලින්ම ඉහත දක්වා ඇති සමාජ ජාලා ඔස්සේ නිවසේ සිට රැකියා ලබාගෙන විශාල මුදල් ප්‍රමාණයක් උපයාගත හැකි බවට දැන්වීම් පළකර, යම් ව්‍යාපාරයකට සුළු මුදල් ආයෝජනයක් කරන ලෙසට දැනුම්දීමක් කරන බවයි සඳහන් වෙන්නේ.

එහිදී ක්‍රමයෙන් විශ්වාසය දිනාගෙන තවත් විශාල ආයෝජන අවස්ථා ඇති බව සඳහන් කර, විශාල මුදල් ප්‍රමාණයන් ආයෝජනය කරවීමට පෙළඹවීම මගින් මුදල් වංචා කිරීම සිදුකරන බව සඳහන්.

දෙවැනි ක්‍රමය ලෙස, ඉහත සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නිවසේ සිට රැකියා ලබාගෙන විශාල මුදල් ප්‍රමාණයක් උපයාගත හැකි බවට දැන්වීම් පළකර, ඒ සඳහා සම්බන්ධ වන පුද්ගලයන්ගේ ගිණුම් අංකයන් ලබාගෙන, එම ගිණුම්වලට බැරවන මුදල් අපරාධකරුවන් විසින් සමාජ මාධ්‍ය ජාලා මඟින් දැනුම්දෙනු ලබන ගිණුම් වෙත හුවමාරු කරන ලෙසත්, ඒ සඳහා ප්‍රතිලාභයක් වශයෙන් ගිණුමට තැන්පත් වන මුදලින් කොමිස් මුදලක් ගිණුම් හිමිකරුවන්ට ලබාදීම සිදු කරන බවත් සඳහන් කර මුදල් වංචා කරන බවයි සඳහන් වෙන්නේ.

Facebook, WhatsApp, Telegram, WeChat ආදී සමාජ මාධ්‍යජාලා හරහා විවිධ පුද්ගලයින් නමින් පෙනී සිටින ගිණුම් හරහා ලබාදෙන දැන්වීම්, විවිධ වෙබ් අඩවි සඳහා පිවිසීම‍ට ලබාදෙන Link හරහා නොදන්නා සමාජ ජාල සමූහ වෙත පිවිසීම හා ඒවා මගින් ලබාදෙන උපදෙස් අනුව කටයුතු නොකරන ලෙසත්, තම පුද්ගලික බැංකු ගිණුම් විස්තර නොදන්නා වෙනත් පාර්ශව වෙත ලබා නොදෙන ලෙසත්, නොහඳුනන පුද්ගලයින්ගෙන් තම බැංකු ගිණුම් වෙත ‍ලැබෙන මුදල් තෙවැනි පාර්ශ්වවල උපදෙස් පරිදි ඔවුන් විසින් ලබාදෙන වෙනත් ගිණුම් වෙත හුවමාරු කිරීමක් සිදු නොකරන ලෙසයි පොලීසිය මහජනතාවට වැඩිදුරටත් දැනුම්‍දෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

කොළඹ වරාය නගරය අසළ මුහුදේ ගිලී අතුරුදහන් වූ තරුණයාගේ මළ සිරුර හමුවෙයි

කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරයට අයත් මුහුදේ ගිලී අතුරුදහන් වූ තරුණයාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

ඒ අනුව කොළඹ වරාය පොලීසිය, නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන් හා රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී ඔහුගේ සිරුර සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ 21/22 කණ්ඩායමේ අධ්‍යයන කටයුතු කළ ජනිදු චමෝද් නම් සිසුවෙක් මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ස්නෝකල් පැළැඳ මුහුදේ පිහිනමින්, මුහුදු පතුල නීරීක්ෂණ කරමින් සිටියදී, ‍මෙලෙස ඔහු අතුරුදහන්වී තිබුණා.