නාමල්ගේ වරෙන්තුව ආපසු කැඳවයි……

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවා පෙර ඇප මත නිදහස් කිරීමට අද (29) එම අධිකරණය නියෝග කළේය.

ඒ, මාලදිවයි‍නේ සංචාරය නිමා කරමින් අද උදෑසන දිවයිනට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෝසමක් මාර්ගයෙන් හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්වීමෙන් අනතුරුවය.

2017 වසරේ දී හම්බන්තොට වරාය විදෙස් රටවලට පැවරීමට එරෙහිව පැවති විරෝධතාවකදී අධිකරණ නියෝග නොතකමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

මෙම නඩුව ඊයේ (28) කැඳවූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝගයක් නිකුත් කර තිබුණි.

එවන් පසුබිමක් තුළ නාමල් රාජපක්ෂ මහතා අද මෝසමක් මාර්ගයෙන් හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිට තිබුණි.

හම්බන්තොට කුරුලු උයනේ හිමිකරුගෙන් අධිකරණයට පෙත්සමක්

හම්බන්තොට කුරුලු උද්‍යානයේ තිබී සොයා ගන්න ලද නීති විරෝධී ලෙස ආනයනය කරන ලද සුඛෝපභෝගී මෝටර් බයිසිකල් 21 ක් සන්තකයේ තබාගත්තේ යැයි සැකපිට තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව එම උද්‍යානයේ හිමිකරු වූ අජිත් ගාල්ලගේ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 05 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (29) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම මෝටර් බයිසිකල් මහා මාර්ගයේ භාවිතා කිරීමේ චේතනාවෙන් ගෙන්වන ලද බයිසිකල් නොවන බව ප්‍රකාශ කළේය.

මෝටර් රථ පනතට අනුව මෙම චෝදනාව ඇප ලබා දිය හැකි වරදක් බවත් ඔහු මෙහිදී කියා සිටියේය.

මෙම සිද්ධියට අදාළ නඩුව හෙට දින හම්බන්තොට මහෙස්ත්‍රත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙන බවත් එහිදී සිය සේවාදායකයා වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

ඒ අනුව අදාළ ඇප ඉල්ලීම හෙට දින මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදු කරන ලෙස දැනුම් දුන් විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 05 වනදා කැඳවන ලෙසත් නියම කළේය.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු පිරිසක් ද නම් කර ඇත.

මාලදිවයිනට ගිය මන්ත්‍රී නාමල් දිවයිනට පැමිනෙයි….

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාලදිවයි‍නේ සංචාරය නිමා කරමින් අද (29) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.

එහිදී ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් නීතීඥවරුන් කිහිප දෙනෙකු සහ දේශපාලන ආධාරකරුවන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රය වෙත පැමිණ සිටි බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

හම්බන්තොට අධිකරණය මගින් නිකුත් කර තිබෙන වරෙන්තුවකට අනුව නාමල් රාජපක්ෂ මහතාව කටුනායකදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට පළවූ වාර්තා පදනම් කරගෙන මෙලෙස ඔහුගේ ආධාරකරුවන් පිරිසක් ගුවන්තොටුපොළ පරිශ්‍රයට පැමිණ තිබුණි.

එවන් පසුබිමක් තුළ අද (29) උදෑසන 11:30ට පමණ මාලදිවයිනේ මාලේ නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 102 දරන ගුවන් යානයෙන් නාමල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

පසුව නාමල් රාජපක්ෂ මහතා දහවල් 12:30ට පමණ කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ පිටව ගියේය.

2017 වසරේ දී හම්බන්තොට වරාය විදෙස් රටවලට පැවරීමට එරෙහිව පැවති විරෝධතාවකදී අධිකරණ නියෝග නොතකමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකට එරෙහිව නඩුවක් ගොනු කර තිබේ.

එම නඩුව ඊයේ (28) කැදවු අවස්ථාවේදී මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝග කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

එවන් පසුබිමක් තුළ විදේශගතවී සිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙලෙස දිවයිනට පැමිණ තිබුණි.

ADA DERANA News…

අත්අඩංගුවට පත්වූ ලහිරු වීරසේකරට පොලිස් ඇප හිමිවෙයි……

තෙබුවන, නාර්තුපාන පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවකට අයුතු ලෙස ඇතුල් වීමක් සම්බන්ධයෙන් එම කර්මාන්ත ශාලාවේ නිලධාරීන් විසින් තිබුවන පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත youth for change සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර අඩංගුවටගෙන පො ලිස් ඇප මත මුදාහරියි.

තෙබුවන පොලිස් වසමේ නාර්තුපාන පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක් වෙත අයුතු ලෙස ඇතුල්වී රුපියල් 43000.00 පමණ අලාභයක් කළ බවට එම කර්මාන්තතා ශාලාවේ නිලධාරීන් විසින් තෙබුවන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අද උදෑසන 10.00 පැමිණිල්ල විභාග කිරීම සඳහා පොලිසියට පැමිණෙන ලෙස ලහිරු වීරසේකර මහතාට පොලිසිය විසින් දන්වා තිබූ අතර අද(29) උදෑසන 11.00ට පමණ ඒ මහතා තෙබුවන පොලිසිය වෙත පැමිණ තිබූ අතර එහිදි ඒ මහතා අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුවය පොලිස් ඇප මත මුදාහැර ඇත.

ගල්පාත චන්දන පෙරේරා

දොඹකරයේ රියදුරු රිමාන්ඩ් – අයිතිකරුට ඇප

ඊයේ (28) දින බොරැල්ල ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොඹකරයේ රියදුරු අගෝස්තු මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ රථවාහන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එමෙන්ම අධිකරණයට ඉදිරිපත් කළ අදාළ රථයේ හිමිකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරීමටත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

බොරැල්ල පොලීසිය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ රථවාහන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

ලහිරු වීරසේකර පොලිස් අත්අඩංගුවට පත්වෙයි…..

නාර්තුපාන ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවකට අයුතු ඇතුල්වීමක් සම්බන්ධයෙන් ජන අරගල සන්ධානයේ ලහිරු වීරසේකර තෙබුවන පොලිසිය මගින් අත්අඩංගුවට..පොලිසියෙන් ඇප ලබාදීම හෝ උසාවියෙන් ඇප  ලබාදීම පිළිබඳව තවමත් නිශ්චිත නැති බවත් වාර්ථාවෙයි…

මාරක රිය අනතුරට සම්බන්ධ දොඹකර රථ රියැදුරා අද අධිකරණය හමුවට

බොරැල්ල කනත්ත වටරවුම අසල සිදුවූ මාරක රිය අනතුරට සම්බන්ධ දොඹකර රථ රියැදුරා අද (28) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අනතුරින් තුවාල ලැබූ 6 දෙනා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචිමාර්ග පැවසුවේය.

බොරැල්ල කනත්ත වටරවුම අසලදී ඊයේ (28) පෙරවරු 7.45ට පමණ දොඹකර රථයක් පාලනයෙන් ගිලිහී ගොස් මාරක අනතුරක් සිදුවුණා.

එම රථය යතුරුපැදි 6ක් යටකරමින් සහ මෝටර් රථ 3කද ගැටෙමින් වේගයෙන් ධාවනය විය.

අනතුරින් එක් පුද්ගලයෙක් එම ස්ථානයේදීම මියගිය අතර තවත් 06 දෙනෙකු තුවාල ලැබූහ.

කොළඹ ජාතික රෝහල පැවසුවේ, ඒ අතරින් එක් අයෙකුගේ පාදය ඉවත් කිරීමටද සිදුවූ බවය.

මෙම මාරක අනතුර සම්බන්ධයෙන් දොඹකර රථයේ රියැදුරා වන 26 හැවිරිදි පුද්ගලයා බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, වෛද්‍ය පරීක්ෂණයේදී හෙළිවී තිබුණේ ඔහු ඒ වනවිට ගංජා මත්ද්‍රව්‍ය භාවිත කර සිට තිබූ බවය.

ඊට අමතරව දොඹකර රථයේ හිමිකරු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පැය 48 දුම්රිය වර්ජනය ගැන දැනුම්දීමක්

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ලෝකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා සඳහන් කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක කාලයක් මෙම වැඩවර්ජනයේ නිරත වීමට සැලසුම් කර ඇති බවය.

සිය ගැටලු සම්බන්යෙන් අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඊට කිසිදු ස්ථීර විසඳුමක් ලබා දී නොමැති බව දුම්රිය රියදුරන් පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග ද ඊයේ (28) දිනයේ මෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එහිදී ද පිළිගත හැකි විසඳුමකට පැමිණීමට නොහැකි වූ බව චන්දන වියන්දූව මහතා සඳහන් කළේ.

ජනපති සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට තිසකුට්ටි අධිකරණය හමුවේ කනගාටුව පළ කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොන්දේසි විරහිතව කනගාටුව පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චි මහතා අද (29) කොළඹ දිසා අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

තමන්ට සිදු කළ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන දහයක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනුකර තිබූ නඩුවක් අද කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි තිසකුට්ටි ආරච්චි මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදුකළේය.

රන් අලේපිත ගිනිඅවිය ගැන ගල්කිස්ස අධිකරණයෙන් දුමින්දට දුන් තීන්දුව

රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එම නඩුවෙන් මුදා හැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ මීට අදාළ නඩුව අද (29) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී වන අතර එහිදී මෙම නඩුවට අදාළව සෘජු හා පරිවේෂණීය සාක්ෂි නොමැති වීම හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා මුදා හරින බවයි ගල්කිස්ස මහෙස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය නියෝග කර ඇත.

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පසුගිය මැයි මස 23 වැනි දින අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියෝග කෙරුණි.

පසුව ඔහු විසින් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව පසුගිය 14 වැනි දින ඇප කොන්දේසි මත නිදහස් කරනු ලැබීය.