විදුලි වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් තීව්‍ර වෙයි වෙන ලකුණු…..

සිය ගැටලුවලට විසඳුම් නොලැබෙන්නේ නම් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කරන බව විදුලි වෘත්තීය සංගම් පවසයි.

අත්තනෝමතික ලෙස විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට විරෝධය පළ කරමින් පසුගිය 04 වන දින සිට විදුලි වෘත්තීය සමිති අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.

එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ තවත් අදියරක් ලෙස ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රිමායාර්ගය ඊයේ (17) දිනයෙන් ආරම්භ කරුණු ලැබීය.

ඒ අනුව එම වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවන දිනටත් අද ක්‍රියාත්මක කෙරෙන බව විදුලි වෘත්තීය සංගම් සඳහන් කළේය.

කෙසේවෙතත් සිය ඉල්ලීම සම්බන්ධයෙන් බලධාරීන් විසින් තවදුරටත් නොසලකා හරින්නේ නම් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේය

මෙරට විදේශ ගමන් බලපත්‍රය ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලින් පහළට….

ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය 2025 වර්ෂයේ දී එක් ස්ථානයකින් පහත වැටී තිබේ.

සැප්තැම්බර් මස 11 වන දින නිකුත් කළ 2025 වර්ෂය සඳහා හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ශ්‍රී ලංකාවට 97 වන ස්ථානය හිමිව ඇති බව සඳහන් වේ.

2024 වර්ෂයේ දී ශ්‍රී ලංකාව විදෙස් ගමන් බලපත්‍ර දර්ශකයේ 96 වන ස්ථානයේ පසුවිය.

ශ්‍රී ලංකාව සමග ඉරානය ද මෙම දර්ශකයේ 97 වන ස්ථානයේ රැඳී සිටියි.

පුර්ව වීසා බලපත්‍රයක් නොමැතිව ඇතුළු විය හැකි ගමනාන්ත පදනම් කරගනිමින් හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය ලොව පුරා විදෙස් ගමන් බලපත්‍ර ඇගයීමට ලක් කෙරේ.

මෙම දර්ශකයට අනුව ලොව බලවත්ම විදෙස් ගමන් බලපත්‍රය ලෙස සිංගප්පූරුව පත්ව ඇති අතර දකුණු කොරියාව සහ ජපානය පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථානවල පසුවේ.

මෙම විදෙස් ගමන් බලපත්‍ර දර්ශකයේ පහළම ස්ථානය හිමිව ඇත්තේ ඇෆ්ගනිස්ථානයටය.

ස්විස්ට්සර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ස්විස්ට්සර්ලන්ත පාර්ලිමේන්තු නියෝජිතයෝ හමුවෙති…..

ස්විස්ටර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නියෝජනය කරමින් එහි සභාපති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ නායකත්වයෙන් යුතු දූත පිරිස එරට පාර්ලිමේන්තුවේ අන්තර්ජාතික කටයුතු පිළිබඳ තානාපති ක්ලෝඩියෝ ෆිෂර් හමුවිය. පසුගිය සැප්තැම්බර් 15 දා ස්විට්සර්ලන්තයේ බර්න්හි පිහිටි එරට පාර්ලිමේන්තුවේදී මෙම හමුව සිදුවිය.

අනතුරුව දූත පිරිස ස්විස්ටර්ලන්ත පාර්ලිමේන්තුවේ ජාතික සභාව නියෝජනය කරන ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆාරා රූමි මහත්මිය හමුවූහ.

මෙහිදී ස්විස්ටර්ලන්ත පාර්ලිමේන්තුවේ ස්විස්ටර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සමාරම්භක අවස්ථාව සිදුවූ අතර එහි සභාපතිත්වය මන්ත්‍රී ෆාරා රූමි මහත්මිය දැරීම සුවිශේෂී සිදුවීමක් විය.

එම අවස්ථාවට ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, ශ්‍රී ලංකා-ස්විස්ටර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සි. අලවතුවල, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පද්මනාදන් සත්‍යලිංගම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, හිටපු කථිකාචාර්ය කබිලන් සුන්දර්මූර්ති ඇතුලු මහත්ම මහත්මීන් පිරිසක් එක්වී සිටියහ.

රජයට අහිමි වූ තවත් කෝටි ගණනක පාඩුවක් කෝප් කමිටුවේ දී හෙළිවෙයි….

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය රාජ්‍ය භාගය නිසි පරිදි අයකර නොගැනීම නිසා රජයට විශාල මුදලක් අහිමි වී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුව) අනාවරණය වී ඇත.

ගල්කොරි සඳහා නිකුත් කරන පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය අනුව රාජ්‍ය භාගය ගණනය කිරීම කොතරම් සාධාරණද…? දැයි මෙහිදී කෝප් කමිටුව ප්‍රශ්න කර තිබේ.

එමෙන්ම ගවේෂණ බලපත්‍ර නිකුත් කිරීමේ ගැටලු පිළිබඳව මෙන්ම තිරිවානා සහ පළිඟු අපනයනයට අදාළ අක්‍රමිකතා පිළිබඳවද අවධානයට ලක්ව ඇත.

ඒ අනුව නිසි යාන්ත්‍රණයක් සකස් කර පනත සංශෝධනය කිරීමට කෝප් කමිටුව දැනුම් දී තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ 2022 හා 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතීත්වයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගියදා (12) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ කරුණු අනාවරණය වී ඇත.

සම්පත් මනම්පේරිව දින 7ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර…..

අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී අද (17) දහවල් අධිකරණයට භාර වූ සම්පත් මනම්පේරි නමැත්තා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ දින 07ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනෙවිය අවසර ලබා දී ඇත.

රටවල් 3ක් බලාසිටින ආසියානු කුසලානයේ හෙට දවස

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ‘B’ කාණ්ඩයේ තරග අවසන් කරමින් ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරගය හෙට (18) අබුඩාබි හිදී පැවැත්වේ.

මෙය ‘B’ කාණ්ඩයෙන් සුපිරි 4 වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් ද්විත්වය තීරණය කිරීමට පැවැත්වෙන අතිශය තීරණාත්මක තරගයකි.

ශ්‍රී ලංකාව මේ දක්වා ක්‍රීඩාකළ තරග දෙකම ජයගෙන ලකුණු 4ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගෙන සිටින බැවින්, ඔවුන් දැනටමත් සුපිරි 4 වටය පෙනෙන මානයටම පැමිණ සිටියි.

ඒ අනුව හෙට තරගය ද ජයගතහොත් අපරාජිත කණ්ඩායමක් ලෙසින්ම සුපිරි 4 වටයට යාමට ශ්‍රී ලංකාවට හැකිවේ.

ඒ හැරෙන්න ඇෆ්ගනිස්තානය හමුවේ දරුණු පරාජයක් නොලැබීම ද ඔවුන්ට තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමේ අවස්ථාව ඇත.

‘B’ කාණ්ඩයෙන් තරග කළ හොංකොං කණ්ඩායම ක්‍රීඩාකළ තරග 3ම පරාජය වූ බැවින් ඔවුන් දැනටමත් තරගාවලියෙන් ඉවතට වී ඇත.

ශ්‍රී ලංකාව පරාජය වුවත් තරගාවලියේ රැඳි සිටිය හැකි ආකාරය

ඇෆ්ගනිස්තනය පළමුවට පන්දුවට පහර දී ලබාදෙන ඉලක්කය ශ්‍රී ලංකාව හඹායාමට නොහැකි වුවත්, එම පරාජය ලකුණු 71කට නොවැඩි විය යුතුය.

නැතහොත් ශ්‍රී ලංකාව ලබාදෙන ඉලක්කය ඇෆ්ගනිස්තානයට පන්දුවාර 11.1කට අඩුවෙන් (පන්දු 53ක් ඉතිරිව තිබියදී) හඹායාමට අවස්ථාවක් ලබානොදිය යුතුය.

ඇෆ්ගනිස්තායට සුපිරි 4ට පැමිණීමට ඇති හැකියාව

ශ්‍රී ලංකාවට එරෙහිව අනිවාර්යයෙන් ජයග්‍රහණය කර ශුද්ධ ලකුණු අනුපාතය අනුව බංග්ලාදේශය අභිබවා පැමිණිය යුතුය.

කෙසේ නමුත් ඔවුන් ශ්‍රී ලංකාව හමුවේ පරාජය වුවහොත් තරගාවලියෙන් අනිවාර්යෙන් ඉවත්වන අතර, බංග්ලාදේශය සුපිරි 4 වටයට සුදුසුකම් ලබාගනු ඇත.

බංග්ලාදේශයට සුපිරි 4ට පැමිණීමට ඇති හැකියාව

බංග්ලාදේශ කණ්ඩායමේ ඉරණම තීරණය වී ඇත්තේ හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තානය තරගයේ ප්‍රතිඵලය මතය.

ඔවුන් මේ වනවිට ලකුණු 4ක් හිමිකරගෙන සිටින බැවින් හෙට තරගයෙන් ඇෆ්ගනිස්තානය පරාජය වුවහොත් ඔවුන් අභියෝගයක් නැතිවම සුපිරි 4ට සුදුසුකම් ලබයි.

තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තීරණයක්….

සමගි ජන බලවේගයට එක්වීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පනවා තිබූ පක්ෂ තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

ඊයේ (16) සවස රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය වැඩිදුරටත් තීරණය කර ඇත්තේ, ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී පැන නැගිය හැකි නීතිමය පසුබිම සොයා බැලීම සඳහා හිටපු නීතිපති සහ ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටද පියවර ගත් බවය.

සමගි ජන බලවේගයට එක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගත් මෙම පියවර හේතුවෙන් යළි එක්සත් ජාතික පක්ෂය එක් වී සහයෝගයෙන් කටයුතු කිරීමට තිබූ බාධක ඉවත් වූ බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට පොදු සන්ධානයකින් කටයුතු කිරීම සඳහා සහභාගී වූ සියලු පාර්ශ්ව වෙත ස්තුතිය පළ කිරීමේ යෝජනාවක්ද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව සම්මත වී තිබේ.

කජ්ජා ඝාතනය ගැන බැකෝ සමන් සහ තැඹිලි ළහිරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර….

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් සිටින ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු වන “බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” යන දෙදෙනා වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (17)ඉදිරිපත් කෙරුණි.

ඒ අනුව අනුර විදානගමගේ හෙවත් කජ්ජා හා දරුදෙදෙනා ඝාතනය මෙහෙයවීම සම්බන්ධයෙන් බැකෝ සමන් සහ තැඹිලි ළහිරු දෙසැම්බර් 02 වැනිදා දක්වා රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කෙහෙල්බද්දර පද්මේ, “බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” ඇතුළු 05 දෙනෙකු පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආවේය.

ශ්‍රී ලංකාව සාගර නීතිය පිළිබඳ UN සම්මුතියක රාජ්‍ය පාර්ශ්වකරුවෙක් බවට පත්වෙයි….

ශ්‍රී ලංකාව, ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය සම්බන්ධයෙන් වන සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ රාජ්‍ය පාර්ශ්වකරුවෙකු බවට පත් වෙමින් ඒ පිළිබඳ අපරානුමත ලේඛනය ඊයේ (16) එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය දැනුම් දෙයි.

ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය පිළිබඳ ගිවිසුම අපරානුමත කිරීම, සමුද්‍රීය පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ නායකත්වයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

එමෙන්ම 1982 වසරේදී සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCLOS) වැඩි දියුණු කිරීමේ සඳහා ලබා දුන් නායකත්වය ඇතුළුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සමුද්‍රීය පාලනයේ වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බවද එහි සඳහන් වේ.

ආරම්භයේ සිටම ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය පිළිබඳ ගිවිසුම් සාකච්ඡාවල ශ්‍රී ලංකාව ක්‍රියාකාරීව නිරත වී ඇති බව පැවසේ.

සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස, මානව වර්ගයාගේ යහපත උදෙසා සමුද්‍රීය සම්පත් සඳහා සාධාරණ ප්‍රවේශයක් ලබා දීම සහ ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් වන ජාත්‍යන්තරව හඳුනා ගැනීමේ මෙම ඓතිහාසික ගමන් මඟෙහි  පාර්ශ්වකරුවෙකු වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අභිමානයට පත් වේ.

ශ්‍රී ලංකාව, අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ, ගිවිසුම ක්‍රියාත්මක කිරීම, ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය වැඩි දියුණු කිරීමේ මාධ්‍යයක් ලෙස සලකයි.

ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය පිළිබඳ ගිවිසුම අනුමත කිරීමෙන්, ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජාන සම්පත් (MGRs) සහ ඩිජිටල් අනුක්‍රමික තොරතුරු (DSI) වැනි සම්පත් සාධාරණ හා සමාන ලෙස බෙදා ගැනීම තුලින් ප්‍රතිලාභ ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව සැලසෙනු ඇත.

මෙම ගිවිසුම මගින් ශාක්‍යතා සංවර්ධනය සහ සමුද්‍රීය තාක්ෂණ හුවමාරු කිරීම් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන අතර, සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය හා තිරසාර භාවිතය සඳහා ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට තම හැකියාවන් වැඩි දියුණු කරගැනීමට අවස්ථාවන් සපයයි.

එපමණක් නොව, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීම සහ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අනෙකුත් ජාතීන් සමඟ සාමූහිකව කටයුතු කිරීමට ද මෙමඟින් හැකියාව සැලසෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි…..

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (17) භාරවී ඇතැයි වාර්තා වේ.

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා අධිකරණයට භාරවීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා‍ පසුගිය 15 වන දා අභියාචනාධිකරණයට දැනුම් දී තිබුණි.