කම්කරු අමාත්‍යාංශයේ ජංගම සේවා සතිය අද සිට….

කම්කරු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ජංගම සේවා සතිය අද (22) සිට ආරම්භ වීමට නියමිතව තිබේ.

එම අමාත්‍යාංශය පැවසුවේ ඒ අනුව මෙහි සමාරම්භක වැඩසටහන අද පෙරවරු 9.00 සිට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී ආරම්භ වීමට නියමිත බවය.

අමාත්‍යාංශය පැවසුවේ අද ආරම්භවන සමාරම්භක වැඩසටහනින් පසු දිවයින පුරා මෙම ජංගම සේවා සතිය ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවය.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ ගැටලු විසඳීම, රැකියා පොළ හරහා රැකියා අවස්ථා ලබා දීම, නීති උපදෙස් සහ මග පෙන්වීම ඇතුළු කම්කරු අමාත්‍යාංශයට අයත් බොහෝ සේවාවන් මේ තුළින් ලබා ගත හැකි බවද එම අමාත්‍යාංශය පැවසීය.

පුරාවස්තු සොයා කැණීම් කළ තරුණියක් අත්අඩංගුවට…..

ඇතිමලේ පොලිස් වසමේ ගැමුණුපුර ප්‍රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකාරියක් කැණීම් උපකරණ ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඇතිමලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 29 ක් වන ගැමුණුපුර, ඇතිමලේ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

කෙසේවෙතත් එම ස්ථානයේ සිටි තවත් සැකකරුවෙකු පලාගොස් ඇති අතර ඔහුට අයත් බවට සැකකරන යතුරුපැදියක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට ඇතිමලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ජනපති අද අමෙරිකාවට….

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (22) දිනයේදී අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීම සදහා ජනාධිපතිවරයා අද රාත්‍රී දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

ජනාධිපතිවරයා ලබන 24වනදා එරට වේලාවෙන් පස්වරු  3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට ද නියමිතය.

මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සහ රාජ්‍ය නායකයින් කිහිපදෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමට ද නියමිතව ඇත.

එමෙන්ම ජනාධිපතිවරයා අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකට ද සහභාගී වීමටද නියමිතව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද එක් වීමට නියමිතය.

විදුලිබල සැපයීම අත්‍යාවශ්‍ය සේවාවන් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක්….

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.

1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (21) මේ සඳහා අත්සන් තබා ඇත.

සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සහ එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් මෙම ගැසට් පත්‍රය නිකුත්කර තිබේ.

ඊට අදාළ ගැසට් පත්‍රය පහතින්,

1

2024 වසරේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබානොදුන් පිරිස 42ක්….

2025 වසරේ මාර්තු 25 වනදා වනවිට 2024 වසරේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබානොදුන් රාජ්‍ය නිලධාරීන්ගේ ලැයිස්තුවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිය වෙබ් අඩවියේ පළ කර තිබේ.

ඒ, අතරට හිටපු අමාත්‍යවරයෙක්, හිටපු පළාත් ආණ්ඩුකාරවරුන් සිව්දෙනෙක්, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් 6 දෙනෙකු, හිටපු තානාපතිවරුන් 29 දෙනෙකු සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ඇතුළත් වේ.

එලෙස වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබානොදුන් හිටපු අමාත්‍යවරයා වන්නේ හිටපු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාය.

හිටපු ආණ්ඩුකාරවරුන් වන මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, සෙන්තිල් තොන්ඩමන්, නවීන් දිසානායක, විලියම් ගමගේ යන පිරිස වත්කම් හා බැරකම් ප්‍රකාශ අදාළ දිනය වනවිට ඉදිරිපත් කර තිබුණේ නැත.

එමෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, තාරක බාලසූරිය, ශාන්ත බණ්ඩාර, කාදර් මස්තාන්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සහ සුරේන් රාඝවන් යන පිරිස ද එලෙස වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නොතිබූ ලැයිස්තුවට අයත් වේ.

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 161 වන ජන්ම දිනය නිමිත්තෙන් නුවරඑළිය අනගාරික ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාර පිදීමේ හා රුක් රෝපන වැඩසටහනක් .

බෞද්ධ සාසනික උන්නතිය වෙනුවෙන් මහඟු සේවාවක් සහ
අනගි බවනිය මෙහෙවරක් ඉටුකළ ශ්‍රීමත් අනගාරික
ධර්මපාල තුමන්ගේ 161 වන ජන්ම දිනය නිමිත්තෙන්
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය අබියස පිහිටි
ශ්‍රීමත් අණගාරික ධර්මපාල තුමන්ගේ පිළිරුවට
පුෂ්පෝපප්‍රහාර පිදීමේ වැඩසටහනක් හා රුක් රෝපණ අද
(21) උදෑසන සිදු කෙරිණ ,
මෙම වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් සාසනාරක්ෂක බල
මණ්ඩලයේ පූර්ණ මග පෙන්වීම හා අනුශාසනා මත සිංහල
වීරවිතාන සංවිධානයේ සහ අනගාරික ධර්මපාල පදනම
විසින් සංවිධානය කර තිබිණ ,
මෙම වැඩසටහන් මාලාව සඳහා නුවරඑළිය නගරාධිපති
උපාලි වනිගසේකර මහතා නාගරික මන්ත්‍රීවරුන් ව්‍යාපාරික
හිමිකරුවන් සහ දහම් පාසල් දුවා දරුවන් ගුරුභවතුන්
ඇතුළු ප්‍රදේශවාසි විශාල පිරිසක් සහභාගි වී සිටියහ .

නුවරළිය – ආර්.එෆ්.එම්.සුහෙල්

AD (1) AD (2) AD (3) AD (4) AD (5) AD (6) AD (7)

තංගල්ල නෙටොල්පිටියෙන් සොයාගත් ද්‍රව්‍යවල පරීක්ෂණ වාර්තාව ලබන සතියේ….

තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබි සොයා ගත් ද්‍රව්‍යවල පරීක්ෂණ වාර්තාව ලබන සතියේ පොලිසිය වෙත නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ අදාළ ද්‍රව්‍යවල පරීක්ෂණ කටයතු මේ වන විට අවසන් අදියරේ පවතින බවය.

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබු අපරාධ කල්ලි සාමාජිකයින්ගෙන් හෙළි වු තොරතුරු මත මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමකවල දමා තිබියදී අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදා ගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය තොගයක් සොයා ගනු ලැබීය.

අනතුරුව තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයෙන් සහ කඳාන ප්‍රදේශයෙන් ද එවැනිම ද්‍රව්‍ය තොගයක් සොයා ගත් අතර එම ද්‍රව්‍ය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සදහා එහි සාම්පල අන්තරායකර ඖෂක පාලක ජාතික මණ්ඩලයට සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාරදී තිබුණි.

ඒ අනුව මිද්දෙණිය ප්‍රදේශයෙන් සොයා ගත් ද්‍රව්‍යවල මෙතැම්ෆෙටමීන් හෙවත් අයිස් අඩංගු බවට අන්තරායකර ඖෂක පාලක ජාතික මණ්ඩලය සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මේ වන විටත් තහවුරු කර තිබේ.

අදාළ ස්ථානයෙන් ලබාගත් සාම්පල 20න් 17කම මෙතැම්ෆෙටමීන් රසායනික ද්‍රව්‍ය අඩංගු වූ බව අන්තරායකර ඖෂක පාලක ජාතික මණ්ඩලය ලබා දුන් වාර්තාවේ සඳහන් වෙයි.

ඒ අනුව තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයෙන් සොයා ගත් ද්‍රව්‍යවල පරීක්ෂණ වාර්තාව ද ඉදිරි සතිය තුල පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන බව අන්තරායකර ඖෂක පාලක ජාතික මණ්ඩලය සඳහන් කළේය.

කඳාන ප්‍රදේශයෙන් සොයා ගත් ද්‍රව්‍ය වල පරීක්ෂණ වාර්තාව ද කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව එම මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළේය.

ආගමික අධ්‍යාපනය සහ සෞන්දර්ය විෂයන් කප්පාදු නොකරන බව අගමැතිනිය කියයි…..

වත්මන් රජය ය‍ටතේ ආගමික අධ්‍යාපනය මෙන්ම සෞන්දර්යය විෂයන් කිසිදු අයුරකින් කප්පාදු කිරීමක් නොකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මෙනවිය පවසයි.

ඇය මේබව ප්‍රකාශ කළේ බුද්ධ ශාසන කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සමඟ පැවති සාකච්ඡාවකදී ය.

එමෙන්ම නව විෂය නිර්දේශය යටතේ බුද්ධ ධර්මය පෙළ පොතේ අඩංගු කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.

එහිදී අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත්තේ 2026 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව 6 ශ්‍රේණියේ පළමු මොඩියුලයේ පළමු පාඩමෙන් සියලු ආගම් පිළිබඳ මූලික අවබෝධයක් සියලුම දරුවන්ට ලබා දීමට අපේක්ෂා කරන බවය.

ඉන්පසු දරුවන්ට තමන්ගේ ආගම පිළිබඳ අධ්‍යයනය කිරීමට අවස්ථාව හිමිවනු ඇති බවද එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

එසේම බුද්ධ ධර්මය විෂය ඉගැන්වීමේ ගුරු හිඟය පිළිබඳවත් මෙහිදී අවධානය යොමුවී ඇති අතර විධිමත් සැළැස්මකට අනුව ගුරුවරුන් බඳවා ගැනීම හා අනුයුක්ත කිරීම මගින් ගුරු තුලනය කිරීම සිදු කරන බවද අග්‍රාමාත්‍යවරිය මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ.

විදුලි සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි….

අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ක්‍රියාවලීන්ට සම්බන්ධ වීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසයි.

ඒ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේ පවතින අවිධිමත් යෝජනාවලට විරෝධය පා දින 17ක් තිස්සේ ක්‍රියාත්මක සිය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් දැඩි කරමිනි.

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති ඉකුත් සැප්තැම්බර් 04 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 සිට අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.

ඒ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේ පවතින අවිධිමත් යෝජනා, අනීතික අයුරින් සේවකයින් දැඩි අපහසුතාවයට පත්කිරීමේ ක්‍රියා සිදුකිරීම, හිඟ දිරි දීමනා ලබාදීම සහ නියමිත උසස්වීම් ලබාදීම ඇතුළු ඉල්ලීම් 16ක් මුල්කරගනිමිනි.

එහි දෙවැනි පියවර ලෙස පසුගිය 17 සහ 18 දෙදින ලෙඩ නිවාඩු දැමූ විදුලි සේවකයින් කොළඹ කොටුවේ පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක්ද සංවිධානය කර තිබුණි.

මෙවන් පසුබිමක විදුලිබල වෘත්තීය සමිති අද (21) ප්‍රකාශ කළේ සිය අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් තිව්‍ර කරමින් අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රසම්පාදන ක්‍රියාවලට හා ටෙන්ඩර් පටිපාටිවලට සම්බන්ධවීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක්ද ආරම්භ කරන බවය.

ජනපති හෙට අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත් වෙයි…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (22) රාත්‍රියේ අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතය.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීමට නියමිත අතර, (24) බදාදා එරට වේලාවෙන් ප.ව 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිප දෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමටද නියමිතය.

ජනාධිපතිවරයා අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකටද සහභාගී වනු ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද එක් වේ.