ජාතික උද්ධමනය 1.5%ක් දක්වා ඉහළට….

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 අගෝස්තු මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 1.5% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවෙහි සඳහන් වේ.

2025 ජූලි මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ 0.7% ක් ලෙසිනි.

ජූලි මාසයේ දී 2.2% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය අගෝස්තු මාසයේ දී 2.9% ක් දක්වා වැඩි වී ඇති අතර ජූලි මාසයේ දී -0.6% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය අගෝස්තු මාසයේ දී 0.4% ක් දක්වා වැඩි වී ඇත.

මනම්පේරිට නවාතැන් දුන් CEB සේවකයෙක් අත්අඩංගුවට….

රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින සම්පත් මනම්පේරිට නවතාන් පහසුකම් සැපයු බවට වූ චෝදනාවට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෙකු කළුතර ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සන්තකයේ තිබී බැංකු කාඩ්පත් කිහිපයක් ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

විදුලි සේවක වෘත්තීය සමිති අවසන් තීන්දුව බදාදා….

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තිය සමිති මේ වන විට ආරම්භ කර ඇති ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව එළැඹෙන බදාදා දක්වා සිදුකිරීමට තීරණය කර තිබේ.

අද (22) පැවති මාධ්‍ය හමුවකදී ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා ඒ බව සඳහන් කළේය.

ඔවුන් පවසා සිටියේ, සිය ඉල්ලීම්වලට බලධාරීන් විසඳුම් ලබා නොදුනහොත් ලබන 24 වන දින ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්න්ධයෙන් තීරණයකට එළැඹෙන බවය.

“24 වනදා දහවල් නැවතත් වෘත්තීය සමිති 25 රැස්වෙලා මේ දින දෙකෙහි යහපත් සාකච්ඡාවක් නැත්නම් අපි අනිවාර්යෙන්ම අන්තිම අදියරය වන වැඩවර්ජන තීන්දුවක් අපි අනිවාර්යෙන්ම බදාදාට ගැනීමට නියමිතයි. ඒක දිනක වැඩවර්ජනයක්ද, සංඛේත වැඩවර්ජනයක්ද, අඛණ්ඩ වැඩවර්ජනයක්ද කියන එක අපි පැහැදිලිව බදාදා දින ප්‍රකාශය කරනවා.”  

තවත් කිලෝ 200ක අයිස් මත්ද්‍රව්‍ය ලොරියක් සීනිමෝදර….

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.

එම ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවසක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් අද (22) උදෑසන හමුවු අතර ඒ ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක මෙලෙස මත්ද්‍රව්‍ය තිබී ඇත.

මීට පෙර පොලීසිය සඳහන් කළේ, සිදුකළ විමර්ශනයේ දී එම නිවස අසල පිහිටි කුඩා ප්‍රමාණයේ ලොරි රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 10ක් ද සොයා ගත් බවය.

මේ අතර, අද දහවල් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් තංගල්ල ප්‍රදේශයෙන්ම සොයා ගැණුනි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසුවේ ලොරි රථයක තිබී අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවය.

අදාළ ලොරි රථයේ තිබී නවීන ගිනිඅවි 04ක් ද සොයා ගැනීමට හැකිව තිබුණි

විදුලිබල නව සමාගම් 4ට සේවකයින් සම්බන්ධ කර ගැනීම ඇරඹේ….

ලංකා විදුලිබල සංශෝධන පනත ක්‍රියාත්මක කරමින් පිහිටුවන ලද පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් 4කට සේවකයින් සම්බන්ධ කිරීම අරඹා ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගෙන් කොටසක් තමන් ඉහත පරිදි පිහිටුවන ආයතනවලට සම්බන්ධ වීමට කැමැත්ත පළ කරමින් ලිපි ලබාදීමට කටයුතු කළහ.

අද (22) පෙරවරුවේ ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානයේදී මෙලෙස කැමැත්ත පළ කිරීමේ ලිපි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති මහාචාර්ය උදයංග හේමපාල මහතාට ලබා දුනි.‍

2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනත අනුව පිහිටුවන ලද පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත  ජාතික පද්ධති පාලන (පුද්) සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම් (පුද්) සමාගම, විදුලිබල බෙදාහැරීමේ ලංකා (පුද්) සමාගම සහ විදුලි ජනන ලංකා (පුද්) සමාගම යන සමාගම් 04කට ඒ අනුව ඉහත සේවක පිරිස් සම්බන්ධ කරනු ඇති බව වාර්තා වෙයි.

රටේ සංවර්ධන ඉලක්ක හා සමගාමීව විදුලිබල ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට අවශ්‍ය  ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් ක්‍රියාත්මක ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ ප්‍රසාදයට ලක්වෙමින් තිබෙන බව මේ අනුව පෙනෙන්නට ඇති බව බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

තංගල්ලේදී ඇල්ලූ අයිස් සහ හෙරොයින් ප්‍රවාහනය කළ ලොරි රථයේ නවීන ගිනිඅවි 4ක් තිබී හමුවෙයි….

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් තංගල්ල ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසුවේ ලොරි රථයක තිබී අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවය.

එම ලොරි රථයේ තිබී ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය නිශ්චිතව මෙතෙක් ගණනය කර නොමැති අතර එම ප්‍රමාණය කිලෝග්‍රෑම් 200 ද ඉක්මවා යා හැකි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

අදාළ ලොරි රථයේ තිබී නවීන ගිනිඅවි 04ක් ද සොයා ගැනීමට හැකිව තිබේ.

අයිස් සහ හෙරොයින් කිලෝ 200ක් ප්‍රවාහනය කළ ලොරි රථයක් තංගල්ලේදී අල්ලයි….

අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් පමණ ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ තංගල්ල ප්‍රදේශයේදී මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී මෙම ලොරි රථය පොලිස් භාරයට ගත් බවය.

යෝෂිතට එරෙහි නඩුව යළි කැඳවීමට දිනයක්….

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ඔක්තෝම්බර් මස 15 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් අධිකරණයේ පෙනී සිටියේය.

ඉන් අනතුරුව නඩුව ඔක්තෝබර් මස 15 කැඳවීමටද නියම විය.

රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් හා දෙපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්….

අල්ලස් කොමිසම මගින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළේය.

ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසින් අද (22) මෙම නියෝගය නිකුත් කර ඇත.

ශෂීන්ද්‍ර රාජපක්ෂට අයත් බව කියන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපොළ, 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පවත්ව ඇත.

එකී දේපොළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදුකර වන්දි ගෙවීමට බලපෑම්කර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

එහිදී රු. 8,850,000ක් (ලක්ෂ 88) වන්දි ලබාගැනීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපොළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සම්පත් මනම්පේරි වළ දැමූ බවට සැකකරන ගිනිඅවි හා උණ්ඩ කිහිපයක් හමුවෙයි….

මිද්දෙණිය ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබී සම්පත් මනම්පේරි විසින් වළ දමා තිබූ ගිනිඅවි සහ උණ්ඩ කිහිපයක්  සොයාගෙන තිබේ.

ඒ සම්පත් මනම්පේරි සහ බැකෝ සමන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේය.

එම ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ කරුණු අනුව එම නිවසේ පිටුපස වළ දමා තිබියදී රන් පැහැති මැගසින් 02ක්, 9mm පිස්තෝලයක්, අත්බෝම්බයක් සහ T-56 උණ්ඩ 115ක් මෙලෙස සොයාගෙන ඇත.

පොලීසිය පැවසුවේ මෙම ගිනිඅවි සහ උණ්ඩ මීට මාස 02කට පෙර බැකෝ සමන් විසින් සම්පත් මනම්පේරිට ලබා දී ඇති බවට මේ වනවිට කරුණු අනාවරණය කරගත් බවය.

පසුව සම්පත් මනම්පේරි නැමැත්තා සිය හිතවතියකගේ නිවසක පිටුපස මෙම ගිනිඅවි සහ උණ්ඩ වළ දැමූ බවද මේ වන විට සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ කරුණු අනාවරණය වී තිබේ.