දුම්රියේ වනඅලි ගැටීමට විසඳුම් ඉල්ලා දුම්රිය රියදුරන්ගෙන් තීරණයක්….

මහව සිට ත්‍රිකුණාමලය, මඩකලපුවට සහ කන්කසන්තුරේට ධාවනය කරන භාණ්ඩ හා තෙල් ප්‍රවාහන දුම්රියන් ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය පවසයි.

අද (23) මාධ්‍ය රාත්‍රීයේ සිට තෙල් හා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා සඳහන් කළේය.

මීට අමතරව හෙට දිනයේදී රාත්‍රී කාලයේදී ධාවනය වන තැපැල් දුම්රිය ධාවනයෙන්ද ඉවත්වීමට බලාපොරොත්තු වන බවද  දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය සඳහන් කළේය.

“වාර්තමානයේ දුම්රියේ අලි ගැටීම නිසා දුම්රිය ධාවනයට විශාල බාධාවක් එල්ල වෙලා තියෙනවා මහව සිට ත්‍රිකුණාමලයටත්, මහව සිට මඩකලපුවටත්, මහව සිට කන්කසන්තුරේටත් වනඅලි ගැටීම නිසා වනඅලීන්ට හා දුම්රියටද හානි සිදුවෙනවා. දුම්රිය රියදුරන් ලෙස මේක අපිට පාලනය කරන්න බැහැ. ඒ නිසා දුම්රිය ධාවනයට විශාල බධාවක් වෙලා තියෙනවා මොකද අපිට ක්ෂණිකව දුම්රිය නතර කරගැනීමේ හැකියාවක් නැති නිසා. ඒ නිසා අපිට මේකට වගකීමක් දෙන්න බැහැ.”

“වනසතුන් දුම්රියේ ගැටීමේ හේතුව නිසා ඉදිරියේදී මේ කලාප හරහා දුම්රිය ධාවනය කිරීම සිදුකර නොහැකි තත්ත්වයකට පත්වෙලා තියෙනවා. මේක ලොකු ගැටලුවක් මොකද දුම්රිය මගීන්ට ඒ නිසා වේලාවට දුම්රියේ ගමන් කිරීමට නොහැකි.”

“වසර ගණනාවක් තිස්සේ අපි රජයටත් දෙපාර්තමේන්තුවටත් මේක දැනුම්දුන්නා මෙය රියදුරන්ට වගකියන්න බැහැ. මේකට මොකක් හරි පාලනය කරලා දෙන්න කියලා නමුත් මේ වෙනකම් කිසිම සාධනීය මට්ටමක දෙයක් සිදුවුණේ නෑ.”

නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කෙරේ…..

දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, ඉංගිරිය, බුලත්සිංහල, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, කොටපොල, රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න, රත්නපුර, ඇලපාත, කහවත්ත, ඉඹුල්පේ, කලවාන, නිවිතිගල, අයගම, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ අවධානයෙන් සිටින ලෙස අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, හපුතලේ, ඌව පරණගම, කන්දේකැටිය, හල්දුම්මුල්ල, කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, හොරණ, මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට, තුම්පනේ, ගඟ ඉහළ කොරළය, උඩු නුවර, උඩුදුම්බර, උඩ පළාත, ගඟවට කෝරළය, පස්බාගේ කොරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, රුවන්වැල්ල, යටියන්තොට, රඹුක්කන, කෑගල්ල, දැරණියගල, ගලිගමුව, වරකාපොල, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, ඕපනායක, වැලිගෙපොල, කල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 1 යටතේ විමසිලිමත් බවින් සිටින ලෙසත් අනතුරු ඇඟවීමේ නිවේදයක් නිකුත් කර ඇත.

එමෙන්ම කඳු ආශ්‍රිතය යම් තරමක වර්ෂාපතනයක් පවතින බැවින් එම ප්‍රදේශවල අනතුරුදායක ස්ථානවල ජීවත් වන පිරිස් සහ ඇළ මාර්ග දෙපස ජීවත් වන ජනතාව මේ සම්බන්ධව සැලකිළිමත් විය යුතු බවත් එම සංවිධානය සිය නිවේදනයේ දන්වා තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ යම් ආකාරයක වර්ෂාපතනයේ ක්‍රමික වර්ධනයක් පැවතිය හොත් අනතුරුදායක ස්ථාන වෙතින් ඉවත්ව ආරක්ෂිත ස්ථානයකට ගමන් ගන්නා ලෙසත්ය.

දුරකථන ඇමතුම් සහ අන්තර්ජාල පහසුකම් බදු ගැන නොදන්න කතාවක්….

ජංගම දුරකථන භාවිත කරන්නෙකුට අන්තර්ජාල පහසුකම් සඳහා 20.3% බද්දක්ද සාමාන්‍ය දුරකථන ඇමතුම් සඳහා 38 % බද්දක් ද අයකරන බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මේ බව කියාසිටියේය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – මම රුපියල් 100ක් දැම්මොත් එකෙන් කීයක් බදු හැටියට ගන්නවද?

විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ

“අන්තර්ජාලය භාවිතාකරනවානම් ඒකට Telecommunication Levy කියන බද්ද අයිති වෙන්නේ නෑ. 15%ක් Effective Tax පාරිභෝගිකයාට එරෙහිව Broadband නැතුව අනෙක් Voice පහසුකම් සඳහා 38.4ක්   Broadband වලට එන්නේ   20.3ක් වගේ වෙන්නේ Effective Tax එක.”

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – අපි හිතමු තරුණියක් සහ තරුණයෙක් ඩේටාවලින්නේ කතා කරන්නේ. එහෙම කතාකරන්න 100ක් දැම්මොත් ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන් ද?

විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ –  “එකෙන් 20.4%ක් අඩුවෙනවා. රුපියල් 100යෙන්.‍”

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – එතකොට මට රුපියල් 80ක් පාවිච්චි කරන්න පුළුවන් ?  අර කලින් කියපු 38.4ක බද්ද ?

විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ –  “ඒ ඩේටා නැතුව නිකන් පාවිව්චි කරනවානම් 38.4ක බද්ද අය වෙනවා.”

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – ඩේටයි, වොයිසුයි දෙකමනේ භාවිත කරන්නේ ?

විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ –  “ඒක හරි එතකොට බදු එකතු කිරීමේදී ඩේටාවලට Effective Tax එක 20.3යි වොයිස්වලට 38.4යි.”

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – මගේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබුණේ නෑ. මම අහන්නේ මේක Prepaid නේ…  මම රුපියල් 100ක් දානවා මම කෝලුත්කරනවා, වට්ස්ඇප්වලිනුත් ගන්නවා. එතකොට රුපියල් 100ක් දැම්මොත් එකෙන් මට කීයක් ද පාවිච්චි කරන්න පුළුවන්ද ?

විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ – “ඒක ඔබ පාවිව්කරන ස්භාවය අනුව.”

ඇතැම් ප්‍රදේශවලට නිසි පරිදි දුරකථන සම්බන්ධතා නොමැති වීම හේතුවෙන් පාසල් ළමුන් දුෂ්කරතාවට පත්ව සිටින බව එහිදී නිමල් පලිහේන මන්ත්‍රීවරයා කාරක සභාවේ අවධානය යොමු කළේය.

දයාසිරිගේ ක්‍රියාකලාපය ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්…..

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

2025 සැප්තැම්බර් 24 වනදා සභා ගර්භය තුළදී  සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් සෙයාබැලීම සඳහා මෙම කමිටුව පත්කළ බව අද (19) පාර්ලමේන්තුවේදී කථානයකවරයා දැනුම් දුන්නේය.

නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා එම කමිටුවේ සභාපතිවරයා ලෙස නම් කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී උපාලි පන්නිලගේ මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එහි සමාජිකයින් ලෙස නම් කර ඇත.

“2025 සැප්තැම්බර් 24 වනදා සභා ගර්භය තුළදී පාර්ලමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා සැප්තැම්බර් 25 වනදා දින පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඉදිරිපත්කරන ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා නියෝජ්‍ය කථානායක රිස්වි සාලි  සභාපතිත්වයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී උපාලි පන්නිලගේ මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ  සාමාජිකත්වයෙන් යුත්ත ත්‍රිපුද්ගල කමිටුවක් මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි.”

දකුණේ හෝටල්හිමිකරුවෙකු ඝාතනයට ආ සැකකරු මාට්ටු…..

වැලිගම ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක හිමිකරුවෙකු ඝාතනය කිරීමේ අරමුණින් පැමිණි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එහිදී සැකකරු සන්තකයේ තිබී ටී-56 වර්ගයේ ගිනිඅවියක් සහ ඔහු භාවිතා කළ යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ අනවසර ඉදිකිරීම පිළිබඳ නඩුව කැඳවයි…..

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නියෝගයක් ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 16 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

එම විහාරයේ විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණ වංශ තිස්ස හිමි විසින් මේ පෙත්සම ඉදිරිපත් කළේය.

පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරු සඳහන් කළේ, මෙම ගැටලුව සාමකාමී ආකාරයෙන් විසඳා ගැනීම සුදුසු බවය.

ඒ අනුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ ස්ථානයට යවා අදාළ ඉදිකිරීම පිළිබඳ පරීක්ෂාවක් සිදුකර ඉන් ලැබෙන ප්‍රතිඵලයට අනුව සුදුසු තීන්දුවක් ගැනීමට පෙත්සම්කාර සහ වගඋත්තරකාර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ එකඟ වුණි.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 16 වනදා කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල එම කටයුතුවල ප්‍රගතිය එදිනට දැනුම් දෙන ලෙසත් නියම කළේය.

එම කටයුතු අවසන් වන තෙක් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දෙපාර්ශවයට දැනුම් දුන්නේය.

විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වන සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට කමිටුවක්….

විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වන සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත් කර ඇත.

විශේෂඥ වෛද්‍යවරුන්ට අදාළ කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම කමිටුව පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කටයුතු කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වන සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා වන කමිටුවේ සභාපති ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාත් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය අර්ජුන තිලකරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා II) වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය, නීති නිලධාරී වෛද්‍ය චාමින්දිකා හේරත් පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කටයුතු කර ඇත.

2026 ජනවාරි 20 වන දිනට පෙර සේවා ව්‍යවස්ථා කෙටුම්පත සකස්කර ඉදිරිපත් කරන ලෙස ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් කමිටුවට උපදෙස් ලබා දී ඇත.

උපාධිය ගැන පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නාමල් කියයි…..

තමාගේ උපාධිය සම්බන්ධයෙන් පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මෙම කාරණය සම්බන්ධයෙන් වත්මන් රජය බලයට පත්වූ වහාම අධිකරණයට ඉදිරිපත්කර ඇති බී වාර්තාවක් මඟින් සිදුකෙරෙන විමර්ශනයේ ප්‍රතිඵල මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති තත්ත්වයක් තුළ සිදුකෙරෙන අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී රටටම දැකගත හැකිවනු බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

“මේ ආණ්ඩුව බලයට පත්වෙලා සති කිහිපයකින් විතර අධිකරණයට බී වාර්තාවක් දාලා මගේ උපාධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න අනුමැතිය ගත්තා. ඊට පස්සේ මස ගණනාවක් මේ සම්බන්ධයෙන් සොයා බැලීම් කරගෙන යනවා. අද වෙනතුරු අධිකරණයට කිසිම දෙයක් වාර්තා කරලා නැහැ. හැබැයි වෙබ් අඩවිවලින් මඩක් ගහනවා. දැන් නුගේගොඩ රැලියට හොඳටම බයවෙලා. බොරු බේගල් ප්‍රචාරය කරනවා. මේ සේරම අවලාද අපහසවලට 21 වෙනිදා උත්තර ලැබේවි”

අද (19) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, නාමල් රාජපක්ෂ මහතාගේ නීති උපාධි සහතිකය පිළිබඳ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති අතර, එයට පිළිතුරු දීම ඔහුගේ වගකීමක් බවය.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ දහවල් විවේක කාලයෙන් අනතුරුව මෙම ප්‍රකාශයට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චානක මහතා පවසා සිටියේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාගෙන් කටඋත්තර ගනු ලැබූවද අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමක් සිදුකර නොමැති බවය.

“ආණ්ඩුව ෆේල් වෙන විට මඩ ගහන එක නම් එච්චර හොඳ නෑ” යනුවෙන් ද  ඩීවී චානක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් අධිකරණය ඉල්ලයි….

අලි-මිනිස් ගැටුම වැළැක්වීම සඳහා රජය විසින් මේ දක්වා ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවී අමාත්‍යවරයා ඇතුළු පිරිසකට අභියාචනාධිකරණය විසින් අද (19) නියම කර තිබේ.

මෙම කරුණට අදාළව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් මෝසමක් මාර්ගයෙන් සලකා බැලීමෙන් අනතුරුව දමිත් තොටවත්ත සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළ බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

අදාළ මෝසම මගින් අධිකරණයට දැනුම් දී තිබුණේ  අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ගත යුතු යෝජනා මාලාවක් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් වග උත්තරකරුවන් වෙත ඉදිරිපත් කළත් ඒ සම්බන්ධයෙන්ග ක්‍රියාමාර්ග කිසිවක් ගෙන නොමැති බවය.

ඒ අනුව අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණයට දැනුම් දෙන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම මෝසම ගොනු කර තිබුණි.

පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් ඉදිරිපත් කළ එම මෝසම වෙනුවෙන් නීතීඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා දැක්වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අලි මිනිස් ගැටුම අවම කිරීම සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවී අමාත්‍යවරයා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසකට නියෝග කළේය.

මහනුවර රෝහලේ දණහිස් ශල්‍යකර්ම මාලාවක් – පැය 2න් ඇවිද්දීමට සලසන බව වෛද්‍යවරු කියයි….

මහනුවර රෝහලේ දණහිස් ශල්‍යකර්ම මාලාවක් පසුගිය 16 ‍වෙනිදා ආරම්භ වූ අතර එම ශල්‍යකර්ම මාලාව අද (19) දක්වා සිදුකිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර සියවස් ගණනාවක් පුරාවට පැවැත්වෙන බෞද්ධ සබඳතාව සහ ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර තානාපති සේවාව ආරම්භ වී වසර 70ක් සපිරීම නිමිති කරගනිමින් මෙම ශල්‍යකර්ම මාලාව සිදුකළ බව සඳහන්ය.

තායිලන්ත රජයේ දානමය ප්‍රදානයක් ලෙස සිදුවන මෙම ශල්‍යකර්මය සඳහා තායිලන්තයේ සිරිරාජ් රෝහල මූලිකව එරට ප්‍රධාන බෞද්ධ විහාරස්ථාන ත්‍රිත්වයක රුපියල් මිලියන 150ක මූල්‍ය ප්‍රතිපාදන හිමිවී තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ මෙරට රෝහලකදී දණහිස් ප්‍රතිස්ථාපන ශල්‍යකර්මයක් සිදුකළහොත් එම රෝගියා ඇවිද්දවීම සඳහා දින කිහිපයක් ගතවූවද  ඉතා කෙටි කාලයත් තුළ සිදුකෙරෙන මෙම දණහිස් ප්‍රතිස්ථාපන ශල්‍යකර්මෙන් පැය 02කට පමණ පසු රෝගියාට ඇවිදීමට හැකිවීමයි.

මහනුවර ජාතික රෝහලේ විකලාංග විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ සහායෙන් සහ තායිලන්ත සිරිරාජ් රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු 80ක රෝහල් කාර්ය මණ්ඩලයේ සහායෙන් මෙම ශල්‍යකර්ම මාලාව සිදුකරනු ලබයි.