Author: uslanka
ලංකාවේ ජාතික ගීයත් ඉන්දියාවට ?
BY: ෙසානාල ගුණවර්ධන
1893 දී ඇමරිකාවේ චිකාගෝ නුවර පැවති ලෝක ආගම් සමුළුවේ කැපී පෙනෙන කථිකයන් දෙපලක් වුයේ ඉන්දියාවේ ස්වාමී විවේකානන්ද සහ ලංකාවේ අනගාරික ධර්මපාල තුමායි. එම සමුළුව අමතා විශිෂ්ට දේශනයක් කළ ස්වාමී විවෙකානන්දගේ දේශනයට වසර 125 ක් පිරීම නිමිත්තෙන් දිල්ලි නුවර පැවති උත්සවයකදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි කළ ප්‍රකාශයක් නිසා ලංකාවේ ජාතික ගීයේ හිමිකම පවා ඉන්දියානුවෙකුගේ නමට හැරෙන තත්වයක් උදාවී ඇත. ඔහු එහිදී පැවසුවේ ” මම විදෙස් සංචාර යන කොට බොහොම ආඩම්බරයෙන් කියන දෙයක් තමයි, අපේ තාගෝර්තුමන් ඉන්දියාව, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාවේ ජාතික ගීත වල නිර්මාතෘ කියන එක”.
මෙය තනිකරම වැරදි ප්‍රකාශයකි. මෙය ඔහුගේ නොදැනුවත්කම නිසා සිදුවූවක් විය හැකි වුවද ඔහුව නිවැරදි කිරීමට කවුරුවත් මේ වන තෙක් ඉදිරිපත් වී නැත. මහාකවි රබීන්ද්‍රනාත් තාගෝර් තුමන් රටවල් කීපයක ජාතික ගී නිර්මාණය කර ඇති අතර , ඉන්දියානූ, හංගේරියානු හා බංග්ලාදේශ ජාතික ගීයන් එතුමන්ගේ නිර්මාණ වේ. ඔස්ට්‍රියානු ජාතික ගීයද එතුමන්ගේ නිර්මාණයක් බව කියවේ.
ශ්‍රී ලංකාවේ ජාතික ගීය වශයෙන් යටත් විජිත සමයේ රාජ්‍ය සංස්‌කෘතික උත්සව වලදී ගායනා කරන ලද්දේ “God save the king / queen ” නමැති මහා බ්‍රිතාන්‍යයේ පැවැති ජාතික ගීයයි. ක්‍රි.ව. 1948 වසරේදී ලංකාව නිදහස ලබා ගැනීමෙන් පසු ජාතික ගීයක අවශ්‍යතාව මතුවිය. එහෙයින් ලංකාවේ සංගීත කලාව දියුණු කිරීමේ අරමුණ ඇතිව 1936 පිහිටුවන ලද ගාන්ධර්ව සභාවට ගීයක් තෝරා ගැනීමේ වගකීම පවරා ඇත. ජාතික ගීය තෝරා ගැනීම සඳහා තරගයක් පවත්වා ජයග්‍රාහී ගීතය වශයෙන් තෝරා ගන්නා ලද්දේ “ශ්‍රී ලංකා මාතා පාලා යස මහිම ජය ජය” ගීතයයි.කෙසේ වුවත් මෙම ගීතය ජාතික ගීය තෝරා ගැනීම සඳහා පත්කළ මණ්‌ඩලයේ සාමාජිකයන් දෙදෙනකුගේ ගීතයක් බවට හටගත් අර්බුදය නිසා එම ගීතය ඉවත් කර අද දක්‌වා ගැයෙන ආනන්ද සමරකෝන් සූරීන්ගේ ගීතය ජාතික ගීය වශයෙන් සම්මත කරගන්නා ලදී.
නැවත 1961 වසරේදී ලංකාවේ ජාතික ගීයේ මුල් වචන අරභයා සුබ අසුබ පිළිබඳ අදහසක් ඇති වී තිබේ. කෙසේ වෙතත් ගීය රචනා කළ සංගීතවේදී ආනන්ද සමරකෝන් සූරීන්ගේ අනුදැනුමෙන් තොරව “නමෝ නමෝ මාතා” මුල් පදය වෙනුවට “ශ්‍රී ලංකා මාතා” වශයෙන් ජාතික ගීයේ මුල් පදයන් වෙනස් කරන ලදී. තමාගේ නිර්මාණයක් වූ ජාතික ගීයේ මුල්පද තමාට නොදන්වා, තමාගේ අනුමැතියකින් තොරව වෙනස් කිරීම පිළිබඳව අතිශය වේදනාවෙන් සිටි ආනන්ද සමරකෝන් සූරීන් ජිවිතයෙන් ශෝචනීය ලෙස 1962 වසරේදී සමුගෙන ගියේද ඒ නිසාම යැයි මතයක් පවතී. කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ ජාතික ගීතයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් සූරීන්ට සාධාරණය ඉටු වූවේද යන්න අපි විසින් නැගිය යුතු ප්‍රශ්නයකි.
ඇමරිකාවේ චිකාගෝ නුවර අනගාරික ධර්මපාල තුමා විසින් කරන ලද විශිෂ්ට දේශනය අමතක කළ අප, ජාතික ගීයේ නිර්මාතෘ වෙනුවෙන් නැගී සිටීදැයි යන්න සැක සහිතය.
චාමර සිල්වාට වසර දෙකක තරඟ තහනමක්
ශ්‍රී ලංකාවට ලබාදෙන මිලිටරි ආධාර වැඩි කිරීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කරයි
යුද සමයේ සිදු වූ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳ පරීක්‍ෂණවල කිසිදු ප්‍රගතියක් නොමැතිවුව ද ශ්‍රී ලංකාවට ලබාදෙන මිලිටරි ආධාර වැඩි කිරීමට ඇමරිකා එක්සත් ජනපදය කටයුතු කර තිබේ.
විදෙස් රටවලට ලබාදෙන අරමුදල් සම්බන්ධයෙන් පරීක්ෂා කරන එක්සත් ජනපද කමිටුවක් හමුවේ එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිනියක විසින් හෙළිදරව් කර ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සපයන අන්තර් හමුදා ආධාර ‘සෙමෙන් සහ වර්ධනීය ලෙස ප්‍රසාරණය කළ බවය.
එක්සත් ජනපද විදෙස් කටයුතු පිළිබඳ කමිටුව හමුවේ ප්‍රකාශයක් කරමින් දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබද වැඩබලන රාජ්‍ය ලේකම්වරිය වන ඇලිස් ජී. වෙල්ස් ප්‍රකාශ කර ඇත්තේ ‘ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව දක්වන කැපවීම, අන්තර් හමුදා සබඳතා ද ඇතුළු එක්සත් ජනපදය සමග බැඳීම පුළුල් කිරීමේ උනන්දුව වැඩිකිරීමට’ හේතු වී ඇති බව ය.
එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්වරිය ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ ආකාරයනේ තෘප්තිමත් වන බව ප්‍රකාශ කර ඇත්තේ දෙමළ ජනයාට එරෙහිව දැනට සිදුවෙමින් පවතින පැහැරගැනීම්, වධහිංසා පැමිණවීම් හා ලිංගික ප්‍රචණ්ඩත්වයන්ට එරෙහිව එක්සත් ජාතීන් ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම සිය බලවත් අවධානය යොමුකර තිබෙන පසුබිමකදී ය.
යුද අපරාධ සම්බන්ධයෙන් සංක්‍රාන්ති යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට හා එවැනි හිංසනයන් තවදුරටත් සිදුවීම වැළැක්වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් 2015 දී ඒකමතිකව සම්මත කරගත් යෝජනාවට එකඟතාව පළකළ ශ්‍රී ලංකාවට එම පියවර ක්‍රියාත්මක කිරීමට ලබාදී තිබූ කාලය 2017 මාර්තු මාසයේ දී තවත් වසර දෙකකින් දීර්ඝ කරන ලදී.
ආරක්ෂක සහයෝගීතාව සඳහා ශක්තිමත් ලෙස ආධාර කිරීමත්, උපාය මාර්ගික වෙළෙඳ පාලනයන් වැඩිදියුණු කිරීමත් අරමුණු කරගනිමින් එළැඹෙන වසරේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් මිලියන 3.4ක් වැයකිරීමට සහකාර රාජ්‍ය ලේකම් වෙල්ස් යෝජනා කර තිබේ.
ප්‍රතිංසස්කරණ පියවර
සංක්‍රාන්ති යුක්තිය ස්ථාපිත කිරීම සදහා අවශ්‍ය නිශ්චිත පියවර ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මේ දක්වාම ගනු නොලැබුව ද, යෝජිත අරමුදල් ලබාදීම සිදුවනු ඇති බව සහකාර ලේකම්වරිය විසින් කමිටුව වෙත ඉදිරිපත් කර ඇති ලියැවිල්ලෙන් අවධාරණය කර ඇත.
“මධ්‍යම ආණ්ඩුවෙන් පළාත් සභා සඳහා බලය බෙදාහැරෙන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act – PTA) වෙනුවට සාධාරණත්වයෙන් හා නිසි ක්‍රියාදාමයෙන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුරූප වන නව නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීම, හමුදාව විසින් යුද්ධයේ දී අත්පත්කරගන්නා ලද සාමාන්‍ය ජනතාව ගේ ඉඩම් ආපසු ලබාදීම, අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම ඇතුළු සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම හා යුද අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම මෙම නිශ්චිත පියවරයන්ට අයත් වේ” යැයි ඇලිස් වෙල්ස් ප්‍රකාශ කළාය.
මෙතෙක් නීතියක් බවට පත්කර ඇති එක ම යාන්ත්‍රණය වන්නේ මෙයින් වසරකටත් වැඩි කාලයකට ඉහත දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී සම්මත වූ අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ කාර්යාලය Office of Missing Persons (OMP)පමණි. ආණ්ඩුවේ ගැසට් පත්‍රිකාවක් මගින් එය බලාත්මක කරන ලද්දේ ඉකුත් බ්‍රහස්පතින්දා (14) ය.
මේ අතර සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණයකට වඩා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ප්‍රමුඛත්වය ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය දා ප්‍රකාශ කළේ ය.
ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයේ මෙන් ම සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණයක් පිහිටුවීම සම්බන්ධයෙන් ද ප්‍රගතියක් දැකගතහැකි නොවීම පිළිබද ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ද සිය කනස්සල්ල පලකර තිබේ.
ඒකාබද්ධ යුද අභ්‍යාස
මේ අතර එක්සත් ජනපද හා ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම්කරුවෝ, විෂයබද්ධ විශේෂඥ හුවමාරු (Subject Matter Expert Exchange – SMEE) වැඩසටහන යටතේ පවත්වන ලද ඒකාබද්ධ කිමිදුම් අභ්‍යාස සැසියක් පැසිපික් හි ගුආම් දිවයිනේ එක්සත් ජනපද නාවුක කඳවුරේ දී ඉකුත් අගෝස්තු 17වැනිදා සමාප්ත කළහ. දෙරට අතර ඔක්තෝබරයේ දී දියත් කිරීමට නියමිත සමායෝගි යාත්‍රණ සූදානම හා පුහුණු වැඩසටහනට (Cooperation Afloat Readiness and Training – CARAT) පෙරහුරුවක් ලෙස මෙම පස්දින පුහුණු සැසිය පැවැත්වූ බව එක්සත් ජනපද නාවික හමුදා වෙබ් අඩවිය කියා සිටියි.
මෙම ද්විපාර්ශ්වික පුහුණු සැසිය පවත්වන ලද්දේ රාජපක්ෂ පාලනය යටතේ දෙරට අතර අත්සන් තබන ලද මතභේදාත්මක මිලිටරි ප්‍රවර්ධන ගිවිසුම තවත් වසර දහයක කාලයකට දීර්ඝ කිරීමේ සැලසුම් දෙරටෙහි ආණ්ඩු විසින් අනාවරණය කිරීමත් සමග ය. ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවරාගැනීමේ සහ අන්‍යෝන්‍ය සේවා සැපයුම් ගිවිසුමක් (Acquisition and Cross Servicing Agreement – ACSA) වසර දහයක කාලයක් සඳහා වලංගුවන පරිදි 2007 මාර්තු මාසයේ දී අත්සන් තැබුණු අතර එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තු (US Department of Defence – DoD) නිල වෙබ් අඩවියට අනුව රටවල් 76ක් සමග දැනට අත්සන් කර ඇති අදාළ ගිවිසුම සැලසුම් කොට ඇත්තේ ඇමරිකානු ඉදිරි හමුදා විහිදුවීම් හා ආරක්‍ෂක අභිලාෂයන්ට ඵලදායක වනු පිණිස ය.
සැප්තැම්බර් පළමුවැනි දා කොළඹ දී මුළුදුන් ඉන්දියන් සාගර සමුළුව අමතමින් එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබද වැඩබලන රාජ්‍ය ලේකම්වරිය කියා සිටියේ පළමු වතාවට සිදුවන එක්සත් ජනපද – ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවුක අභ්‍යාස (CARAT) එළඹෙන ඔක්තෝබර් මාසයේ ත්‍රිකුණාමලයේ දී ඇරැඹෙන බව ය.
“හවුල් ධාරිතා වර්ධනයන් හා අභ්‍යාස ඔස්සේ, සංකීර්ණතා ගහණ මෙම කලාපයේ ආරක්ෂක බර අපට බෙදාගත හැකිවනු ඇතැ” යි වෙල්ස් එහි දී කියා සිටියා ය.
CARAT යනු බංගලාදේශය, බෲනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, මැලේසියාව, සිංගප්පූරුව, පිලිපීනය, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ නැගෙනහිර ටිමෝරය යන රටවල් දහයක් සමග එක්සත් ජනපදය විසින් වෙන් වෙන්ව වාර්ෂිකව පවත්වන ද්වී පාර්ශ්වික නාවික අභ්‍යාස වැඩසටහන් මාලාවකි. මෙකී වැඩසටහන් මූලික වශයෙන් සැළසුම් කර ඇත්තේ එක්සත් ජනපද නාවික හමුදාවේ සාමුද්‍රික ශක්‍යතා හා ක්‍රියාන්විත සංසක්තතාවන් වැඩිදියුණු කිරීම අරමුණු කොටගෙන ය.
JDS Lanka
අලුත් පක්ෂයක් හදනවානම් නම්බුකාර ලෙස ශ්‍රීලනිපයෙන් ඉවත් වන්න – මහින්ද අමරවීර
අලුත් දේශපාලන පක්ෂයක් හදනවා නම් දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින එකී වුවමනාව ඇති පිරිස නම්බුකාර ලෙස ශ්‍රීලනිපයෙන් ඉවත්විය යුතු බව ධිවර අමාත්‍ය මහින්ද අමරවීර පැවැසීය.
දික්ඹ්විට ධිවර වරායේ පැවැති උත්සවයකට එක් වූ අවස්ථාවේ දී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් අමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරිමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර ඇති බව පැවැසූ ඇමැතිවරයා සියලු දෙනා පක්ෂයේ තබා ගන්නවා මිස කිසිවකු ඉවත් කිරීමට අදහසක් නැති නමුත් වෙනත් පක්ෂ හදන අය අයින් කරන්නට සිදුවන බවද පැවැසීය.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි
පාස්කරලිංගම් කළ මූල්‍ය වංචා පිළිබද ක්‍රියාමාර්ග ගන්නවා – බන්දුල ගුණවර්ධන
ඔබේ යට ඇඳුමේ පාට කුමක්ද ?
By වෛද්‍ය බෝධිනී සමරතුංග – Dr. Bodhini Samaratunga
“ඔබේ යට ඇඳුමේ පාට කුමක්ද ????”
වේදිකාව මත දිග හැරෙන වචන මගේ හදවත පසාරු කරගෙන යන්නට විය. මගේ ඇස් මුලට කඳුළු කැට පිරෙන්නට විය. මුහුණේ මාංශ පේෂීන් තද කරගෙන කඳුළු නවතාගන්නට ද හැඬුම් මැඩලන්නටද මට සිදු විය.
එක් වරම මා සිටියේ, වවුනියාවේ මහ රෝහලේ නාරිවේද වාට්ටුවේ ය. ළමා වාට්ටුවෙන් අප වෙත එවා තිබුනේ මවක් ළදරුවෙක් සහ අවුරුදු පහක පමණ දැරිවියක් ය.
ඇඳ ඉහ පතෙහි ලියා තිබුණු දේ දැක, මා වික්ෂිප්තව ඔවුන් දෙස බැලීමි, මව ළදරුවා තුරුළුකරගෙන කඳුළු පුරවාගෙන මා දෙස බලා සිටී. ඒ කුඩා දැරිවිය මව අසල එහෙ මෙහෙ දුවමින් හිඳී. මේ කතාව, එවකට විසි හත් හැවිරිදි මා සසල කළේ කෙසේද යත්, දින ගණනක් මට ඒ බිහිසුණු සිතුවිලි මනසෙන් ඉවත්කරන්නට නොහැකි විය. මා එක්වරම ඔසවා පොළොවේ ගැසුවාක් මෙන් විය.
“මම මේ බබා ලැබෙන්න රෝහල් ගත වෙලා හිටියේ, එතකොට තමයි මෙයාගේ තාත්තා මෙයාට මෙහෙම කරලා තියෙන්නේ” ඒ මව හැඬුම් අතරින් කියයි. ඒ දැරිවිය ගේ වයස අවුරුදු පහකි.
දරුවාට අප කියන දෙයක් හෝ අප අහන දෙයක් තේරුනේ නැත. ඇය ඇගේ ලිංගේන්ද්‍රිය පරීක්ෂා කර බලන්න කිසිවෙකුට අවසර දුන්නේද නැත. වේදනාව සමනය කරන්න බෙහෙත් දාන්න ඕනෑ යැයි මව විසින් ඇවිටිලි කර කියා අවසානයේ ඇය ඩොක්ටර් ඇන්ටී කෙනෙකුට පමණක් බලන්න දෙන්නම් කියා එකඟ කරගත්තෙමු. අප විශේෂඥ වෛද්‍යවරයා වෙත ඇය යොමු කළ විට, “මේ පොඩි කිරි සප්පයගෙන් මොනවා බලාපොරොත්තුවෙනවද ඒ මිනිහා. මනස විකෘති වෙච්ච තිරිසනෙක් වෙන්න ඕනේ.” විශේෂඥ වෛද්‍යවරයා තරහින් , ඉංග්‍රීසි බසින් බැන වදිමින් කුඩා දැරිය පරික්ෂා කළේ අධිකරණ වෛද්‍යවරයා ඔහුගේ මතය ඉල්ලා සිටි නිසා ය. ඇයට මේ දේ කළ ඇගේම තාත්තා පොලිස් අත් අඩංගුවේය. මව අලුත උපන් බිළිඳා, සහ මේ පස් හැවිරිදි දැරිය ළමා වාට්ටුවේ නවතා ඇත.
කෙතරම් ආරක්ෂිත නිවසක වුනත් , යන එන හිතවත් නෑයින් මිත්‍රයින් අතින් අපචාරයට, ලිංගික හිංසනයට ලක්වන දරුවන් දැරිවියන් කොතෙකුත් දැයි මගේ හිත විස්සෝප වේ.
වේදිකාව මත සිටින, තරුණයා සහ තරුණිය අපට පවසන්නේ ඔවුන්ගේ ඒ අඳුරු ජීවිතයේ ශෝකාලාපය ය.
“ඔයාලා නම් සුරංගනාවියෝ, මම කිළිටිම කිළිටි වුන අපායේ යන කෙනෙක්” (you are virgin angels, Im dirty and unclean)” පාසැලේ පල්ලියේ පිය ගැට පෙළ මත හිඳ දැරියක් හඬමින් සිටින දර්ශනයක් මගේ මනසෙහි ඇඳේ, ඇය වටා රොක් වී සිටින දැරියන් ඒ ඇයි දැයි ඇසන විට ඇය කඳුළු වගුරන අයුරු මගේ මනසේ සටහන් වී තිබේ. මිතුරන්ගෙන් අවබෝධ කරගන්නවා හෝ වැඩිහිටියන් කියා දුන්නොත් මිසක පාසැල් අධ්‍යාපනය තුලින් හරි හමං ලිංගික හෝ ප්‍රජනන සෞඛ්‍ය පාඩමක් නොවී ය. අපට ගෘහවිද්‍යාව ඉගැන්වූ ගුරුතුමිය අපට නිරන්තරයෙන් ගැහැණු දරුවන්ගේ පරිස්සම ගැන ඔවදන් දුන් අතර ඇය අපට මවක් මෙන් විය.
“ඇයි ඇයි එහෙම කියන්නේ” දැරිවියක් ප්‍රශ්න කරද්දී, අර දැරිවියගේ දුක බෙදාගනිමින් සිටි තවත් දැරියක් කීවේ, “ඔයාලට මේවා තේරෙන්නෙ නෑ, ඔයාලා පොඩි වැඩී” , කියාය. මේවායේ බර පතල දිගු දුර මට දැනෙන්නේ පසුව ය. ඇගේම මාමා කෙනෙකු, නිතර ඇයව ලිංගික හිංසනයට පත් කළ බවත්, ඇගේ මව පිට රටක සිටි බවත්, ඉන්පසු මේ කතාව ඔස්සේ, ඇය ට පාසැල් ගුරුවරිය හරහා ආරක්ෂාව සහ උපකාර ලැබුණු බවත් මට මතක ය.
මෙවැනි කතා අනන්ත ය. තම සීයා අතීන් එවැනිම ලිංගික හිංසනයකට මුහුණ දුන් දැරියක් තමන්ගේ මවට ඒ ගැන පැවසූ විට කියා තිබුනේ “ ආ අපිටත් ඔහොම තමයි ඒක නෝමල් “ කියා ය. වාසනාවකට පාසැලේ ඇතැම් ගුරුවරියන්, අම්මාවරුන් මෙන් සෙනෙහස දක්වන නිසා ඔවුන් හා මේ කරදර කියන්නටත් ඉන් ගැලවෙන්නටත් ඇතැම් දැරියන්ට පුළුවන් කමක් තිබිණි. මා මෙතෙක් කල් ලියූ කතා වල දැරියන් ඔබට මතක ද ?
දරු දැරියන් ලෙස අපි පරිස්සම් විය යුතු බවත්, පිරිමි අයට අප ස්පර්ශ කරන්න නොදිය යුතු බවත්, කොටින්ම දන්නා හඳුනන පිරිමියකු ගේ අසල වුව වාඩි නොවෙන්න යැයි අම්මා නිතර කී බවත් මට දැන් මතකය ට නැගේ. ගෙදරට නෑයින් කවුරුන් හෝ පැමිණි විට, නංගීත් මාත් අම්මාගේ කාමරයේ නිදි කරවා ගෙන , දොර ලොක් කරන ඇය ගැන එකල අපි සිනහ වුණු නමුත්, දාඩිය දමාගෙන නිදන්නට වුණු නිසා ( අම්මාට විදුලි පංකාව අරහන් නිසා) ඇය හා උරණ වුණු නමුත් අප ආරක්ෂා කළ ඇය ගැන දැන් දැනෙන්නේ අපිරිමිත සෙනෙහසකි.
අල්ලපු ගෙදර අයියා, අන්කල් , මාමා,හෝ ගෙදර සේවකයා අතින් අපහරණයට ලක් වූ දරුවන්, ඒ දේ වැරදී කියා නොදන්නා , හයක් හතරක් නොතේරෙන වයසේ දැරිවියන්, මට කොතෙකුත් හමු වේ. කොටින්ම තමන්ගේ ඇඟේ අවයව පද්ධති ගැනවත් දැනුමක් නැති අවුරුදු තුන හතරේ දරුවන්, තමන්ගේ දෙමාපියන් සිටින ඒ නිවෙස් තුලම අපචාරයට ලක්වන සමාජයක් අප වටා ඇත.
“මලක පාට කුමක් දැයි කියා ගන්න බැරි දරුවාගෙන් උසාවියේදී නීතීඥයා අහනවා, what colour was your under wear ? එය සිදුවන වෙලාවේ ඔබ ඇඳ සිටි ඔබේ යට ඇඳුමේ පාට කුමක් ද? කියලා”
“ඒ සිදුවීම මට වගේම මගේ සහෝදරියන්ට සිදු වුනා.පසුව මම මගේ හිතේ පීඩනයෙන් ගොඩ එන්න මානසික වෛද්‍ය උපදෙස් පවා ගන්න සිදුවුනා. ඒක ඒ තරම්ම පීඩා කාරී යි”
වේදිකාව මත ගොඩ නැගෙන ඒ වචන වල කම්පනය, පදනම් ආයතනයේ බිත්ති පවා සසල කළ හැකි තරම් ප්‍රබල ය.
දිගු කළක් තිස්සේ ඒ කරුමය හිත දරන් ජීවිතේ අනෙක් පීඩන ජය ගන්න වෙහෙසෙන කුඩා මල් කැකුළු කොතෙකුත් දැයි මට සිතා ගන්නට පවා නොහැකිය. සෑම 4 දෙනෙකුගෙන් එක් අයෙක්, කුඩා කළ ලිංගික හිංසනයට පත් වූ අයෙකි යැයි, කියන ඒ වදන් පෙළ දැන් මගේ දෙසවනට වෑස්සේ. මා විසල් වූ නෙත් මුල් තෙත් කරමින් ගලා යන කඳුළට ඉඩ දුන්නේ, නාරිවේද වාට්ටු, ළමා වාට්ටු තුල මට හමුවුන ඒ කුඩා මල් පොඩිති වල දුක්බර මුහුණ මගේ මනසේ රූපාකාරයෙන් දිස් වෙද්දී ය.
වෛද්‍යවරුන් ලෙස අප කළ යුත්තේ මෙන්න මේ දේ යැයි නීති රීති අප වෙත සකස් කර ඇත. එහෙත් අප මේ දරුවන් ඉන් පසු බාරදෙන, ළමා ආරක්ෂක අධිකාරිය මේ දරුවන් වෙනුවෙන් සිදු කළ යුතු කාර් යය භාරය විශාලය. එහෙත් !
එදින, එනම් සැප්තැම්බර් මස 10 වන දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී “ළමා ආරක්ෂණ බලකාය” බල මුළු ගැන්වීමේ උත්සව සභාව ඇමතූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය කියා ගත යුතු වුන දේ අපටත් වඩා හොඳින් උත්සව සභාව අමතා පැවසූ අතර (පහත ලින්ක් එකෙන් වීඩියෝව නරඹන්න) එම ශාලාවේ, ළමා ආරක්ෂන අධිකාරිය වෙනුවෙන් වෙන් කළ තිබුණු “හිස් පුටු” ඒ අහවල් අධිකාරියේ ස්වභාවය හොඳ හැටි පැවසූ බව අපට පසක් විය.
ළමා ආරක්ෂණ බලකාය ! child protection force, නමින් අප පාසලේම ඉගෙනුම ලැබූ නීතීඥ මිලානි සල්පිටිකෝරාල විසින් බල ගැන්වූ, මේ ආරක්ෂණ කණ්ඩායම, ළමයින් ආරක්ෂා කරන්නට, එවැනි හිංසනයට පීඩනයට පත් වූ දරුවන් දැරිවියන්, තවත් පීඩාවට පත් කරන සුළු වන නීති යාන්ත්‍රනයේ ඇති දරුණු පසු බෑම් සහ දරුවන් තව තවත් අසරණ කරවන සුළු වන ඒ සමස්ථ නීති පද්ධතියම හරි මගට යොමු කිරීමෙහි ලා ගත් සුවිශාල වැදගත් තීරණයකි.
ආදරණීය මිලානි නංගී, මට මතක්වෙන්නේ ඔබේ පාසැල් කාලයයි. මට වඩා වසර කීපයක් පහළ පන්තියක සිටි ඔබ තුලින් මා සුවිශේෂී, නායකත්ව ලක්ෂන දුටුවේ එකල සිට ය. ඔබ අද මුළු මහත් සමාජයටම ආදර්ශයක් වී, ළමුන් වෙනුවෙන් සුරක්ෂිත හෙටක් නිර්මාණය කරන්නට විශාල පියවරක් දැනටමත් අරන් ඉවර ය. මා ලියන කතා ඔස්සේ,නිතර මා හා සංවාදයෙහි යෙදෙන, නීතියෙන් කළ හැක්කේ කුමක් දැයි පවසන, ඔබ සමස්ථ දූෂිත යාන්ත්‍රණය වෙත බොහෝ ප්‍රායෝගික කනේ පහරක් එල්ල කරාට මම ඔබට ස්තූති වන්ත වෙමි.
“අයියෝ ඩොක්ටර්, අර අපි අවුරුදු දෙකකට කළින් ඉන්ෆෝම් කළ කේස් එක , inquiry කරන්න කෝල් කළේ මේ ඊයෙ පෙරේදා,මම කීවේ ඕකුන්ට කියලා වැඩක් නෑ” මේ මම අධිකාරිය ගැන ඇසූ වදන් ය. රාජ්‍ය යාන්ත්‍රණයේ අඩු පාඩු දැක දැක බැණ අඬගා ගනිමින් , ආතතියට පත්වෙමින් සේවය කරන්නට සිදුවීම කාලකන්නිකම කි යැයි මට සිතේ.
“නංගී මතකද , අපි බොහොම හිතේ අමාරුවෙන් හිටියා, ළමා අපයෝජනය සිදුවෙන පන්සලක හාමුදුරුවෝ ගැන, ඒකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවුනේ එයා අහවල් බලවතාගේ කෙනෙක් නිසානේ. ආණ්ඩු මාරු වෙච්ච ගමන්, ඒ චීවර දාරියාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා , ඒ දරුවන්, ළමා නිවාසයට බාර කළා” උතුරු කොනේන් මා ඇමතූ අපේ ජේෂ්ඨ වෛද්‍යවරයෙක් මට පැවසුවේ 2015 දී ය. ඔව් , ඒ පොඩි හාමුදුරුවරු, සහ දරුවන් අපට කියූ දෑ, එම ටය. පන්සල් පල්ලි මූලික ඒ සමාජයේ සිදුවන එවැනි දූෂණ අපචාර ගැන වුවද මේ රට මර නින්දේ පසුවන බව පමණක් මම ලියා තබමි.
ඔව් මේ , අපේ රටේ ඇත්ත කථාව ය.” දරුවන් මල් වගේ ” දරුවන් ආරක්ෂා කරගමු යැයි කොතෙකුත් පැවසුවද, අපේ ඇස් ඉදිරිපිටම දරුවන් ගේ ලෝකය විනාශ වෙමින් පවතී.
“මගෙ ටිකට් කපන්න නෝනා” අළුත උපන් බිළිඳා රැගෙන ඉක්මනින් ගෙදර දුවන්න වෙහෙසෙන මවක් අවසානයේ පැවසූයේ, තමන්ගේ දස හැවිරිදි දියණිය සිටින්නේ බීමත් සැමියා භාරයේ බව ත් ඇය දූෂණය වේ යැයි බියක් හිතේ ඇති වගත් ය.
මිනිස්සු මේවා කරන්න භය නැත්තේ ළමා අපචාර නීති රීති දැඩිව ක්‍රියාත්මක නොවන නිසා යැයි මම කියමි.
ළමා අපචාරයන්ට ලක්වන දරුවන් සහ දෙමාපියන් බොහෝ විට මේ යාන්ත්‍රනයේ පවතින ගැටළුකාරී බව නිසා, දරුවන් උසාවි ගානේ, පොලිසි ගානේ ගෙනිහින්, අනෙක් පැත්තේ නීතීඥයින්ගේ ( දූෂිතයා වෙනුවෙන් පෙනී සිටින) ප්‍රශ්න හමුවේ තවත් අසරණ වෙන නිසා,
ඔවුන්ව උසාවියක් ඉදිරියේ, පිරිසක් ඉදිරියේ, ඔවුන්ට අත් දකින්න සිදුවූ ඒ දරුණු ඛේදවාචකය සිදු නොවුනැයි, ඔප්පු කරන්නට ඔවුන්ව තව තවත් කරදරයට පත් කරන නිසා, ඔවුන් ඇත්ත කියද්දී ඔවුන් බොරු කියන්නේයැයි ඔප්පු කරන්නට හදන නිසා,
යනාදී කරුණු නිසා දරුවෝ ද දෙමාපියන් ද මේ යාන්ත්‍රනය ඔස්සේ යුක්තිය ඉටු කරගැනීමට මැලි වෙති. දරුවන්ගේ හිත, මනස ගැන සොයා බලන්නට මානසික වෛද්‍ය උපකාර හෝ, උපදේශනය ඔවුන් ට මෙහිදී ලැබෙනවා ද ? ඔවුන් මුහුණ දුන් ඔවුන්ටවත් නොතේරෙන ඒ කරුම සිද්ධිය ගැන ඔවුන්ගේ හිත හදන්න යමක් මේ යාන්ත්‍රණයෙන් සිදු කරනවා ද? නැත !
එහි දී අදහස් දැක්වූ මනෝ විද්‍යාඥ ආචාර් ය ෂාන්‍යා අබේනායක, පැවසූයේ එම මනෝ චිකිත්සක උපකාර යොමු කරවන යාන්ත්‍රනය ඉතා දුර්වල බව ය. ඇය මුහුණ දුන් එවැනි සිදුවීමක් සහ දෙමාපියන් නීතිය හමුවේ කෙතරම් උකටලී ස්වභාවයක් පෙන්නුම් කරනවාද යන්නත් ඇය පැහැදිලි කළාය.
දරුවන් වෙනුවෙන් ජීවිතය දී ක්‍රියා කරන්නන් අපට අවශ්‍ය ය.
දරුවන් ගේ ජීවත සුරක්ෂිත කිරීමට හැකි පිරිස් අපට අවශ්‍යය.
දරුවන්ට සිදුවන මේ ඛේදවාචක ගැන ඔවුන් හෝ දෙමාපියන් නිහඬ නොවී සිටිය හැකි රාජ්‍ය යාන්ත්‍රනයක් අපට අවශ්‍ය ය.
ඔවුන්ගේ ඉදිරිය අඳුරු නොවන, කායික මානසික උපදේශන සේවාවක් අපට අවශ්‍ය ය.
දරුවන්ට සුරක්ෂිත සමාජයක් නැති නිසා, ඔවුන්ට ආරක්ෂා වීම ගැන කියා දීම අවශ්‍යය.
ඔවුන්ගේ ලිංගික/ප්‍රජනන සෞඛ්‍යය ගැන සහ ඔවුන්ගේ නිවස තුලම ආරක්ෂා වීම ගැන ඔවුන්ට වටහා දීම අවශ්‍යය ( වෛද්‍යවරුන් වන අපට ඒ ගැන වඩා හොඳින් විවෘතව කතාබස් කළ හැකි නිසා අපේ සහය පාසැල් වලට ලබා ගත යුතු ය)
එනිසා ළමා ආරක්ෂණ බලකාය ! ඔව් එය කාලීන සමාජ අවශ්‍යතාවය කි. ඊනියා ආගමික සදාචාරයක් ගැන පම්පෝරි ගැසුවාට මේ ලංකා පොළොව මත, හය හතර නොතේරෙන කිරි සප්පයින් ගොදුරු කරගන්නා, රකුසන් එමට ය, කරුමය නම් එවැන්නවුන් ඇතැම් විට ඔවුන්ට ජීවය දුන් පියවරුන් ය, එක්කුස උපන් සහෝදරයින් ය, ලේ නෑයින් ය, හිතවතුන් ය, ආරක්ෂාකාරීයැයි දෙමාපියන් සිතුවාට, එම නිවසෙහිම සිටිනා , යන එන රකුසන් ය.
ඉතින් අපි පෙළ ගැසෙමු ! අපේ දරුවන්ගේ අනාගතය උදෙසා.
ළමා ආරක්ෂක බලකායේ ෆේස් බුක් පිටුවට පිවිසෙන්න
https://web.facebook.com/childprotectionforce/
එය වෙත, ඔබේ අදහස් උපකාර මේ වෙනුවෙන් ලබා දෙන්න.
ඇහැට වැටුණු තැන – Capture Photo Club








පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය සදහා ඇති ආගමික සහ සංස්කෘතික බාධක
ඇරෝ (http://arrow.org.my) සංවිධානය මගින් Coming of Age in the Classroom: පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය සදහා ඇති ආගමික සහ සංස්කෘතික බාධක නමින් නිකුත් කළ ඇති ප්‍රකාශනයේ ශ්‍රී ලංකාවට උගත හකි පාඩම් ගණනාවක් ඇතුළත් වේ.
දැනට බිලියන 1.8ක් වන ලෝක තරුණ ප්‍රජාව ලෝකයේ නව නිෂ්පාදන සහ දැනුම නිපදවීම සදහා අතිශය වැදගත් වන අතර ඒ පිරිසට වයසට සරිලන සහ පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය නොලැබී යාම හේතුවෙන් සිය ජීවිත පිළිබද දැනුවත් තීරණ ගැනීමට ඔවුන්ට අපහසු වන බව මෙම වාර්තාවෙන් පෙන්වා දෙයි.
උදාහරණ ලෙස ගෝලීය මට්ටමෙන් ඒඩ්ස් ආශ්‍රිත මරණ අඩුවෙමින් පැවතියද තරුණ ප්‍රජාව එච්අයිවී සදහා වැඩි අවදානමක් සහිත වීම, ඇස්තමේන්තු අනුව මිලියන 100ත් 140ත් අතර ගහුණු දරුවන් ප්‍රමාණයක් කිසියම් ආකාරයක ස්ත්‍රී චර්මඡේදනයකට ලක් වී ඇති බව සහ සංවර්ධනය වෙමින් පවතින රටවල ජීවත් වන වසය අවුරුදු 18ට අඩු ගැහැණු දරුවන් 20000ත් පමණ දිනපතාම දරුවන් බිහි කරන බව මෙම වර්තාව දක්වයි.
එම නිසා ලිංගික ජීවිතය පිළිබද ප්‍රමාණවත් සූදානමක් ඇති කර ගැනීම සැමට ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය ළගා කර ගැනීමේ කේන්ද්‍රීය සාධකයකි.
සිය ජීවිත පිළිබද දැනුවත් තීරණ ගැනීම සදහා අවශ්‍ය දැනුම සහ කුසලතා වර්ධනය කිරීමේදී පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය අතිශය වැදගත් භූමිකාවක් ඉටු කරයි. ජාත්‍යන්තර මාපියභාවය පිළිබද සම්මේලනය ඉදිරිපත් කර ඇති වැඩ රාමුව අනුව පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය තුළ සමාජීය ස්ත්‍රී පුරුෂ භාවය, ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය සහ එච්අයිවී, ලිංගික පුරවැසිභාවය, ලිංගික තෘප්තිය, හිංසනය, විවිධත්වය සහ සම්බන්ධතා යන තේමා 07ක් ඇතුළත් වේ.
පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපන ක්‍රමානුකූල විෂයමාලාවක් ලෙස සංකල්පගත කිරීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ සංකීර්ණතා පවතී. පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය පාසල් තුළ ආයතන ගත කිරීම නියත වශයෙන් මතු වන අභියෝගකි. උදාහරණය වශයෙන් නිලධාරීවාදය, අමාත්‍යංශ අතර තීරණ ගැනීම සහ සම්බන්ධීකරණය ආදිය කාර්යක්ෂම ලෙස විෂය මාලාව ක්‍රියාත්මක කිරීමට බධා එල්ල කළ හැකි බව මෙම වාර්තාවේ දැක්වේ. එමෙන්ම නිවැරදි තොරතුරු සහ සුදුසු ශික්ෂණයක් සහිතව මෙම විෂමාලා නිර්මාණය කිරීමද ගුරුවරුන්ට සහ අධ්‍යාපන බලධාරීන්ට අභියෝගයක් වනු ඇත.
මෙහි ඇතුළත් වන නිර්දේශ ලුහුඩින් පහත දැක්වේ.
- විෂය මාලාව පිළිබද දැනුම සහ හිමිකම් පාසල වෙත ලබා දීම. විෂය මාලාව නිර්මාණය කිරීමේදී විවිධ පාර්ශව කරුවන් හවුල් කර ගැනීම.
- ලිංගිකත්වය සහ සමාජීය ස්ත්‍රී පුරුෂ භාවය පිළිබද පවතින ආගමික සහ සමාජ-සංස්කෘතික ප්‍රතිමාන පිළිබද කතිකාවක් ගොඩනැංවීම සදහා අවශ්‍ය භාෂාව ගොඩ නැගීම.
- පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය ලබා දීම සදහා ගුරුවරුන් පුහුණු කිරීම.
- ස්ත්‍රීන්ගේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය පිළිබද ප්‍රගතශීලී අර්තකතන ඉදිරිපත් කිරීම සදහා ආගමික ලියවිලි පිළිබද අධ්‍යයන ආරම්භ කිරීම.
