සමනල වැවෙන් උඩවලව ජලාශයට නිකුත් කරන ජල ප්‍රමාණය අඩු කෙරේ

සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට නිකුත් කරන ජල ප්‍රමාණය අඩු කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

ජල මට්ටම අඩු වීමත් සමග ටර්බයින් වෙත ජලය රැගෙන යන මාර්ගයේ දිය සුළි හට ගැනීම හේතුවෙන් විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ වේගය අඩු කිරීමට සිදුවූ බවද, එම නිසා විදුලි ජනන යන්ත්‍රවලින් උත්පාදනය වන්නේ අඩු මෙගාවොට් ප්‍රමාණයක් බවද ඔවුන් පෙන්වා දෙනවා.

මේ වනවිට ජලය කියුබික් ලීටර් මිලියන 7.5 ක් සමනල වැවෙන් උඩවලට මුදා හැර ඇති අතර, සමනල වැව ජලාශයේ ධාරිතාව මේ වනවට සියයට 8 ක් ලෙස පවතින බවද වාර්තා වනවා.

MTFE ප්‍රධානීන් 5 කට විදෙස් ගමන් තහනමක්, එක් අයෙක් දිවයිනෙන් පිටවෙයි

පිරමීඩ ජාවාරම් පිළිබඳ චෝදනා එල්ල වී ඇති MTFE SL Group ආයතනයේ ප්‍රධානීන් පස්දෙනෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (11) විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මේ පිළිබඳ ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස එම විමර්ශන නිලධාරීන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද පෙරවරුවේ කරුණු දැක්වීමක් සිදුකර ඇති අතර, ඉන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී තිබෙන්නේ.
කෙසේනමුත් විදෙස් ගමන් තහනම ලබාගත් පිරිසෙන් අයෙක් ඩුබායි රාජ්‍යයේ සිට කෙටි නිවාඩුවක් සඳහා දිවයිනට පැමිණ සිට ඇති අතර, අද අලුයම ඔහු නැවත ඩුබායි රාජ්‍ය බලා පිටව ගොස් ඇති බව වාර්තා වනවා.

සරත් ෆොන්සේකා ඇතුළු පිරිසක් විරෝධතාවක

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ සහභාගීත්වයෙන් අද (11) විරෝධතාවක් පවත්වා තිබෙනවා.
දූශිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට, දූශිතයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සහ මහජනතාව මත පනවමින් සිටින අධික ජීවන බරට එරෙහිව මෙම විරෝධතාව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම විරෝධතාව සඳහා මහජනතාව ඇතුළු පිරිසක් එක්ව සිටි බව වැඩිදුරටත් වාර්තා වනවා.

64d65ed7ead97 64d65ed7dd81c 64d65ed7d56c7 64d65ed7cb1c6

දෙරණ මාධ්‍ය ප්‍රධානී දිලිත් ජයවීරට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ විරෝධතාවයට සූදානමක්

සිද්ධාර්ථ චරිතයට අපහාසයක් වන අයුරින් ප්‍රකාශයක් කලායැයි කියන දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි විමසමින් බත්තරමුල්ලේ සීලරතන හිමියන් ඇතුළු ජනසෙත පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේදී විරෝධතාවයකට සැරසෙන බවට පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි…

කතානායකගේ නියෝගය ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් – අනුර

දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව සම්බන්ධයෙන් ඕනෑම ආකාරයක නියෝග හා තීන්දු නිකුත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවා ඇති ඕනෑම අධිකරණයකට බලයක් නොමැති බවට කතානායකවරයා විසින් සිදුකළ නියෝගය ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන අදාළ නියෝගය ලබාදුන් පසුගිය 9 වනදා අධිකරණය හමුවේ දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව සම්බන්ධයෙන් නඩුවක් විභාග වීමට නියමිතව තිබූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.
දේශීය ණය ප්‍රශස්තකරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ යෝජනාවක් පමණක් බවත්, කතානායකවරයා විසින් ලබාදුන් නියෝගය සම්පූර්ණයෙන් වැරදි බවත්, එය අනාගතයේදී වැරදි පූර්වාදර්ශයක් වනු ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ලබාදුන් නියෝගය අධිකරණයේ සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් ඇති කරන බවත් එය ඉල්ලා අස් කර ගැනීමට කටයුතු කළ යුතු බවයි අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.

පොල්පිටියේ සිට හම්බන්තොට දක්වා විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ පෞද්ගලික ඉඩම සම්බන්ධයෙන් වූ ගැටලුව විසඳෙයි

ලක්ෂපාන පොල්පිටියේ සිට හම්බන්තොට දක්වා විදුලිය සම්ප්‍රේෂණය සිදුකෙරෙන මාර්ගයේ පෞද්ගලික ඉඩමක් සම්බන්ධයෙන් පැවැති ගැටලුව අද (11) දිනයේ විසඳුණු බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඉඩමෙහි හිමිකරුවන් වන රත්නපුර ප්‍රදේශයේ පවුලක සාමාජිකයින් විසින් රටේ වත්මන් විදුලි අවශ්‍යතාව පිළිබද සැළකිල්ල දක්වමින්, පොදු ජනතාවට අපහසුවක් නොවන පරිදි අඛණ්ඩ විදුලි සැපයුමකට දායක වීම සඳහා අදාල ඉඩම කිසිදු වන්දියකින් තොරව රජයට පරිත්‍යාග කිරීමට එකඟතාව පළකර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ් අනුව මෙම එකගතාව පිළිබඳ ගිවිසුමට අදාල පවුලේ සාමාජිකයින් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සමථකරණ මණ්ඩලය ඉදිරිපිටදි අත්සන් කර තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජිත සැලැස්මට අනුව අදාල විදුලි රැහැන මෙම පුද්ගලික ඉඩම හරහා ඉදිකිරීමටද අවම උස මීටර් 20 තබා ඉදිකිරීමට ද පොලව මට්ටමේ සිට මීටර 16 දක්වා ගොඩනැගිලි ඉදිකිරීමට හා වගා කටයුතු කල හැකි ආකාරයට රැහැන ඉදිකිරීමට ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පනවා ඇති විදුලි ආරක්ෂාව තත්ත්වය හා අඛණ්ඩතාවය පිළිබද රෙගුලාසි වලට යටත්ව රැහැන ඉදිකිරීමට ද මෙහිදී දෙපාර්ශ්වය විසින් එකඟතාව පළකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

බදුල්ල රෝහලේ විදුලි බිලෙන් මිලියන 20 ක් ගෙවයි

හිඟ විදුලි බිල් පියවීමට කටයුතු නොකිරීම හේතුවෙන් විසන්ධි කළ බදුල්ල ශික්ෂණ රෝහලට අයත් අංශ කිහිපයක විදුලි සැපයුම යළි ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඊයේ (10) පස්වරුවේ රුපියල් මිලියන 20ක මුදලක් ගෙවා ඇති අතර ඉතිරි මුදල සතියක් තුළ ගෙවා දමන බවට ලිඛිතව දැනුම් දීමෙන් පසු යළි විදුලි සැපයුම ලබාදීමට පියවර ගෙන ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ සඳහන් කළේ.
රුපියල් කෝටි 07කට ආසන්න හිඟ විදුලි බිලක් රෝහල වෙත යොමුකර තිබු අතර එය නොගෙවීම හේතුවෙන් ඊයේ පෙරවරුවේ රෝහලේ වෛද්‍ය නිල නිවාස, හෙද පුහුණු අංශය හා හෙද නේවාසිකාගාරයේ විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබුණා.
කෙසේ වුවද නිසි කළමනාකරණයකින් තොරව රෝහල් බලධාරීන් විදුලි බිල නොගෙවීම තුළින් වෛද්‍යවරුන් සහ සේවකයින් දැඩී අසීරුතාවට පත්වන බවයි වෛද්‍ය පාලිත රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.

කෘෂිකාර්මික නවීකරණය සඳහා කාර්ය සාධක බලකායක්

කෘෂිකර්ම, වැවිලි හා වාරිමාර්ග සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශ ඒකාබද්ධ කර කාර්ය සාධක බලකායක් ළඟදීම ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඒ අනුව කෘෂිකාර්මික නවීකරණය සඳහා රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයන් ඇතුළත් කරමින් මෙම කාර්ය සාධක බලකාය ස්ථාපිත කරන බවයි සඳහන් වන්නේ.
පළාත් සභා නවයක සම්පත් සමග කෘෂිකර්මයට සම්බන්ධ ගැටළු කාර්යක්ෂමව විසඳීම අරමුණු කරමින් මෙම ඒකාබද්ධ කිරීම සිදු කරන බවයි සඳහන් වන්නේ.

LPL 2023: අද පැවැත්වෙන තරග

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (11) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව Dambulla Aura කණ්ඩායම හා Galle Titans කණ්ඩායම අතර තරගය අද රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

අත්අඩංගුවට ගත් අන්තරේ පිරිසට ඇප

අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ සිසුන් පිරිසට ඇප ලබාදී තිබෙනවා.

ඒ අනුව ඔවුන් අලුත්කඩේ අංක එක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

රුපියල් 25,000 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදාහැරීමට නියෝග කර ඇති අතර ලබන 14 වනදා නැවතත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි වැඩිදුරටත් නියෝග කර තිබෙන්නේ.