MTFE ගැන මහ බැංකුවෙන් විමර්ශනයක්

MTFE SL Group ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීමේ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ ආයතනයේ ක්‍රියාකාරකම් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම යටතට වැටෙන බවට විශ්වාස කළ හැකි කරුණු අනාවරණ වෙමින් පවතින බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

2023 ලංකා ප්‍රිමියර් ලිග් තරගාවලියේ අනුග්‍රාහකයෙකු ලෙසද කටයුතු කළ MTFE ආයතනයට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධය එල්ලවීමත් සමඟ අනුග්‍රාහකත්වය ඉවත් කර ගැනීමට පසුව කටයුතු කර තිබුණා.

අන්තරේ පිරිසක් පොලිස් අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවක් අද දහවල් ආරම්භ වූ අතර පසුව පොලීසිය විසින් එයට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

එහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

64d4d0005ff25 64d4d00057d6d

අන්තරේ විරෝධතාවට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් කිරුළපන සහ විහාරමහාදේවී උද්‍යානය අසලදී එල්ල කර තිබෙනවා.

මහපොළ ශිෂ්‍යාධාර ඉහළ දැමීම, නිදහස් අධ්‍යාපනය වනසන වාර්තාව ඉවත් කර ගැනීම, IMF කොන්දේසිවලට අනුව අධ්‍යාපනය හා සෞඛ්‍ය විකිණිම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය දක්වමින් මෙම විරෝධතාව පැවැත්වෙනවා.

64d4be1b2e972 64d4be1b082ca 64d4be1af1d20

පාපන්දු නිලවරණය සැප්තැම්බර් 16 වනදා පැවැත්වීමට තීරණය කෙරේ

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සැප්තැම්බර් මස 16 වන දා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

පාපන්දු ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරග වලට සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මෙම නිලවරණය පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරග ඔක්තෝම්බර් මස 12 වන දින ආරම්භ වීමට නියමිත අතර අවම වශයෙන් ඊට දින 10කට පෙර නිලවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය දැනුම්දී තිබුණේ.

ආයුර්වේද කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඒවා සම්මත කරගැනීම සඳහා විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවයි ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙන්නේ.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවට අද (10) දැනුම් දුන්නා.

අන්තරේට කොළ​ඹ ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කොළඹ දී අද (10) සංවිධානය කර ඇති විරෝධතාවය සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඒ අනුව උද්ඝෝෂකයින්ට කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට, ජනාධිපති මන්දිරයට, අගමැති කාර්යාලයට, ගාලුමුවදොර පිටිය ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළු වීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් නිකුත් කර ඇති බවයි සදහන් වන්නේ.

රාජ්‍ය නිලධාරීන්ට අයුතු අවහිරයක් සිදු නොකරන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා මහජනතා‍වට ද අයුතු අවහිරයක් සිදු නොකරන ලෙසත් සාමකාමීව උද්ඝෝෂණ සිදුකළ හැකි බවයි වැඩිදුරටත් නියෝග කර තිබෙන්නේ.

ඉදිරියේදී රජයේ රෝහල්වල MRI ඇතුළු පරීක්ෂණ සේවා නතරවීමේ අවදානමක්

ඉදිරි මාස කිහිපය තුළ රජයේ රෝහල්වල CT scan, MRI සහ PET scan ආදී පරීක්ෂණ සේවාවන් නතරවීමේ අවදානමක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

විකිරණ තාක්ෂණවේදීන්ගේ පවතින හිඟය හේතුවෙන් මෙම සේවා ක්‍රියාත්මක කරවීම ගැටලු සහගත වී ඇති බවයි එහි සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේ.

මේ වනවිටත් 40%ක පමණ හිඟයක් සමඟ සේවය පවත්වාගෙන යන බවත්, මාසයකට නිලධාරීන් 3-4 ක ප්‍රමාණයක් විදේශගත වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවත් ඔහු සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් මාස ගණනාවක සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ඇතත් සෞඛ්‍ය අමාත්‍යාංශය එම බඳවා ගැනීම් ප්‍රමාද කරමින් සිටින බවයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

HIV අවදානම වළක්වා ගන්න නව ප්‍රතිකාර ක්‍රමයක් හඳුන්වා දෙයි

HIV අවදානමක් ඇති පුද්ගලයින් හට එම අවදානම වළක්වා ගැනීම සඳහා “ප්‍රෙප්” නැමති නව ප්‍රතිකාර ක්‍රමයක් හඳුන්වාදී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා.

දිවයින පුරා ඇති ලිංගාශ්‍රිත රෝග සායනවලින් මෙම ප්‍රතිකාර ලබාගත හැකි බවයි එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය ජානකී විදානපතිරණ සඳහන් කළේ.

තමන් HIV අවදානමට ලක්වීමට අවදානම් හැසිරීම් තියෙන කෙනෙක් නම් වෛද්‍යවරයෙක් හමුවී තමාගේ අවදානම ගැන දැනුවත් කර ප්‍රතිකාර ලබාගත හැකි බවයි ඇය පෙන්වා දෙන්නේ.

මේ සඳහා කරනු ලබන පරීක්ෂණ සහ ලබාදෙන ඖෂධ නොමිලේ ලබාදෙන බවයි වෛද්‍ය ජානකී විදානපතිරණ වැඩිදුරටත් සඳහන් කළේ.

LPL 2023: ඊයේ තරග සාරාංශය

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (08) පැවති තරග දෙකෙන් ජය ගැනීමට B-Love Kandy කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම සමත් වුණා.

ඊයේ පළමු තරගය B-Love Kandy කණ්ඩායම සහ Galle Titans කණ්ඩායම අතර පැවති අතර කාසියේ වාසිය දිනාගත් Galle Titans කණ්ඩාමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් B-Love Kandy කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 203 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Galle Titans කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 114 ක් පමණක් වන අතර ඒ අනුව තරගය ලකුණු 89 කින් ජය ගැනීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා.

දෙවන තරගය Colombo Strikers කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම අතර පැවති අතර එහිදී කාසියේ වාසිය දිනාගත් Colombo Strikers කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර එහිදී ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 146 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Jaffna Kings කණ්ඩායම පන්දුවාර 14 ක් අවසානයේ සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්වූ අතර ඔවුන් කඩුලු 6 ක ජයක් ලබා ගත්තා.

දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාවට අභියෝග කරන්න අධිකරණයට බැහැ – කතානායක

දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව සම්බන්ධයෙන් ඕනෑම ආකාරයක නියෝග හා තීන්දු නිකුත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවා ඇති ඕනෑම අධිකරණයකට බලයක් නොමැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

එලෙස නිකුත් කරන ඕනෑම නියෝගයක් හෝ අධිකරණ තීන්දුවක් ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවයි කතානායකවරයා පෙන්වාදෙන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තිය අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ පූර්ණ බලය පාර්ලිමේන්තුව සතු බවත් දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ කාරක සභාවෙන් අනුමත කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ බවයි කතානායකවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ වෙනත් ඕනෑම අධිකරණයක් හමුවේ ප්‍රශ්න කිරීමට, සමාලෝචනය කිරීමට හෝ අභියෝග කිරීමට නොහැකි බවද පාර්ලිමේන්තු කටයුතු ප්‍රශ්න කිරීමට හෝ මැදිහත්වීමට අධිකරණයට හැකියාව නොමැති බවට හිටපු කතානායක අනුර බණ්ඩාරණායක ප්‍රකාශ කර ඇති බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන වැඩිදුරටත් සඳහන් කරන්නේ.