පොදු ප්‍රවාහනයේ වාහන ආනයන සීමා ලිහිල් කිරීමට අවධානය

පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මෙම සතියේ බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

පොදු ප්‍රවාහණය සඳහා භාවිත කරන ලොරි, ට්‍රක් සහ බස් රථ ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් මේ හරහා ලිහිල් කිරීමට අවධානය යොමු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

LPL 2023: අද පැවැත්වෙන තරග

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 02 ක් අද (13) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පළමු තරගය Jaffna Kings කණ්ඩායම හා Galle Titans කණ්ඩායම අතර තරගය අද පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි.

එසේම දෙවන තරගය Colombo Strikers කණ්ඩායම හා B-Love Kandy කණ්ඩායම අතර තරගය අද රාත්‍රී  7.30 ට ආරම්භ වනවා.

ප්‍රදේශ කිහිපයක පානීය ජල සැපයුම් සීමා කෙරේ

මේ වනවිට දිස්ත්‍රික්ක 11කට අයත් පවුල් 49,867ක පුද්ගලයින් 163,111ක් පානීය ජල ගැටලුවෙන් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මහාවාරි ව්‍යාපාර 73න් 42ක සක්‍රිය ජල ධාරිතාව මේ වනවිට 30% දක්වා අඩුවී තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා ක්‍රියාත්මක ජලසම්පාදන මෙහෙයුම් 344 අතුරින් 20ක පූර්ණ කාලීන ජලය ලබාදීම අත්හිටුවා මුර ක්‍රමයට ජලය ලබාදීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි ජාතික ජලම්පාදන මණ්ඩලය සඳහන් කළේ.

කුරුණෑගල, හෙට්ටිපොළ, නිකවැරටිය, වාරියපොළ, මාතර – ඌරුබොක්ක, හම්බන්තොට – බෙලිඅත්ත, මුරුතවෙල, තංගල්ල, වලස්මුල්ල, අක්කරෛපත්තු, පොතුවිල්, තිරුක්කෝවිල්, මොණරාගල – බිබිලේ, අඹගස්දූව, බණ්ඩාරවෙළ, බෝගහකුඹුර, හල්දුමුල්ල, කන්දෙකැටිය, සීලතැටිය, අමුණුකැලේ, කැප්පෙටිපොළ යන ජලසම්පාදන ක්‍රමවල මෙලෙස මුර ක්‍රමය යටතේ සීමා සහිතව ජල සම්පාදනය සිදුකරන බවයි සඳහන් වන්නේ.

පවතින තත්ත්වය යටතේ අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

LPL 2023: ඊයේ තරග සාරාංශය

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (12) පැවති තරග දෙකකින් ජය ගැනීමට B-Love Kandy කණ්ඩායම හා Dambulla Aura කණ්ඩායම සමත් වුණා.

ඊයේ පළමු තරගය B-Love Kandy කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම සමඟ පැවති අතර එහිදී B-Love Kandy කණ්ඩායම ලකුණු 8 ක ජයක් ලබා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් B-Love Kandy කණ්ඩායම  පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 178 ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Jaffna Kings කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ ලබා ගත්තේ කඩුලු 6 ක් දැවී ලකුණු 170 ක් පමණයි.

දෙවන තරගය Dambulla Aura කණ්ඩායම හා Colombo Strikers කණ්ඩායම් අතර පැවති අතර එහිදී ලකුණු 50 ක ජයක් ලබා ගැනීමට Dambulla Aura කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Dambulla Aura කණ්ඩායම  පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 166 ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Colombo Strikers කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 116 ක් පමණයි

IMF පළමු සමාලෝචනය සැප්තැම්බර් මාසයේ පැවැත්වෙනවා – මුදල් රාජ්‍ය ඇමති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සිදුකරනු ලබන පළමු සමාලෝචනය සැප්තැම්බර් මසදී සිදුකිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව එම සමාලෝචනය සැප්තැම්බර් 11 වනදා සිට 19 වනදා දක්වා දින 8 ක් පැවැත්වෙන බවත් මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, මුදල් අමාත්‍යවරයා ඇතුළු පාර්ශව කිහිපයක් එක්ව මෙම සමාලෝචනය සිදුකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම සමාලෝචනයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 350 කට ආසන්න මුදලක් ලබාගැනීමට හැකියාව පවතින බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

සමනල වැව බලාගාරයේ විදුලිය නිෂ්පාදනය සීමා කෙරේ

ජලාශයේ ජල ධාරිතාව ශීඝ්‍රයෙන් පහතවැටීම හේතුවෙන් සමනල වැව බලාගාරයේ විදුලිය නිෂ්පාදන ධාරිතාව සීමා කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

බලාගාරයට ජලය ලබා ගන්නා පිවිසුමේ ජල සුළි ඇතිවීමේ අවදානමක් හේතුවෙන් විදුලි නිෂ්පාදන ක්ෂමතාවය ද පහත හෙළා ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

මේ වනවිට බලාගාරයේ විදුලිය නිෂ්පාදනය මෙගාවොට් 80 ක් බවයි වාර්තා වන්නේ.

චිත්‍රපට,⁣ වේදිකා නාට්‍ය සහ සංගීත සංදර්ශන සඳහා අය කරන බලපත්‍ර ගාස්තු ඉහළට

මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කෙරෙන දේශීය සහ විදේශීය චිත්‍රපට, වේදිකා නාට්‍ය, සංගීත හා ප්‍රාසාංගික සංදර්ශන සඳහා අය කරන රැඟුම් පාලක බලපත්‍ර ගාස්තු ඉහල දමා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය පහතින්.

64d771c92d21c

64d771cb27263

ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් නොමැතිව රටක සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඇති කළ නොහැකියි – ජනපති

මූල්‍ය ප්‍රාග්ධනය හා මානව ප්‍රාග්ධනය නොමැතිව රටක සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඇති කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ශ්‍රී ලකාවේ ආර්ථිකය දියුණු කිරීමට අපනයන මත පදනම් වූ තරගකාරී ආර්ථිකයක් මෙන්ම පෞද්ගලික අංශයට විවෘත වූ ආර්ථිකයක් අවශ්‍ය බවද, ආර්ථිකය වේගයෙන් ඉදිරියට ගෙන යාමට නම් මූල්‍ය හා මානව ප්‍රාග්ධනය තිබිය යුතු බවද ඔහු පෙන්වා දෙනවා.
තියුණු තරගකාරීත්වයක් සහිත පෞද්ගලික අංශය පෙරමුණ ගත් ආර්ථිකයක් පැවතියහොත් ආර්ථික කඩා වැටීම් සිදු නොවන බවද, විදේශ ප්‍රාග්ධනය උපයා ගන්නා තරමටම රට දියුණුව කරා ගෙනයා හැකි බවද ඔහු සඳහන් කරනවා.
මානව ප්‍රාග්ධනය ප්‍රමාණවත් පරිදි සපයා ගැනීමට තරුණ තරුණියන් පුහුණු කළ යුතු බවද, ඒ වෙනුවෙන් රට තුළ නව විශ්වවිද්‍යාල කිහිපයක් ඇති කිරීමට මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවද පසුගියදා පැවති උත්සවයක් අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගී වීම දඬුවම් ලැබිය හැකි වරදක් – ශ්‍රී ලංකා මහ බැංකුව

පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගී වීම දඬුවම් ලැබිය හැකි වරදක් හෙයින් ඍජුව හෝ වක්‍රව ඒවායේ නිරත වීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම්දෙනවා.
අන් අය බඳවා ගැනීම මඟින් ඉක්මණින් පොහොසත් විය හැකි ක්‍රම ලෙස හෝ අන්තර්ජාලය හරහා පහසුවෙන් මුදල් ඉපැයිය හැකි ක්‍රම ලෙස, ඒවා ක්‍රියාත්මක කරන වංචාකරුවන් විසින් මෙම පිරමීඩ යෝජනා ක්‍රම ඉදිරිපත් කරන බවද, ඒවාට නොරැවටී තමන් උපයාගත් මුදල් රැකගන්නා ලෙසද මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ප්‍රකට ක්‍රීඩා, ආගමික හෝ විනෝදාශ්වාද අවස්ථා සඳහා අනුග්‍රාහකත්වය දැක්වීම මඟින් ඒවා ක්‍රියාත්මක කරන වංචාකරුවන් යහපත් පුද්ගලයින් සේ සමාජයේ පෙනී සිටීමට උත්සාහ කරන බවද මහ බැංකුව පෙන්වා දෙනවා.
එවැනි යෝජනා ක්‍රම 8 ක් පිළිබඳව මේ වනවිට මහ බැංකුව මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කර ඇති බවද, ඊට අමතරව තවත් පිරමීඩ යෝජනාක්‍රම පැවතිය හැකි අතර ඒවා පිළිබඳව ද මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව විමර්ශනය කරමින් සිටින බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
නිවේදනය පහතින්.

බඩඉරිඟු ආනයනය කරන්න දෙනවා නම් දෙසැම්බර් වෙද්දි බිත්තරයක් 35කට දෙන්න පුළුවන් – සත්ත්ව නිෂ්පාදක​යන්

බඩඉරිඟු ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙන්නේ නම්, මේ වසරේ දෙසැම්බර් මාසය වන විට බිත්තරයක් රුපියල් 35ක මිලකට ලබා දිය හැකි බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.
පාලන මිල ඉවත් කිරීම හේතුවෙන් මේ වන විට බිත්තර අලෙවි ජාලය ශක්තිමත් වෙමින් පවතින බවයි එහි සභාපති අජිත් ගුණසේකර වැඩිදුරටත් සඳහන් කළේ.