හිටපු ජනපති රනිල් කොළඹ ජාතික රෝහලට…..

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබේ.

ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ පරීක්ෂා කළ බන්ධනාගාර වෛද්‍යවරුන් සිදු කළ නිර්දේශයකට අනුව මෙලෙස හිටපු ජනධිපතිවරයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එළඹෙන 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) රාත්‍රියේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කෙරුණි.

රුධිර පීඩනය ඉහළයෑම සහ සීනි මට්ටම ඉහළයෑම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කළේය.

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දිගින් දිගටම නිරීක්ෂණය කළ බන්ධනාගාර වෛද්‍යවරුන් ඔහුට නිවසින් කෑම ලබාදීමටද නිර්දේශ කර තිබුණි.

ඒ අනුව ඊට බන්ධනාගාර මූලස්ථානයේ අනුමැතිය හිමිවී ඇති බවද වාර්තා වෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳුදා වැඩ වර්ජනයක…..

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළැඹෙන සඳුදා (25) වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබේ.

වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලිය, ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එළැඹෙන සඳුදා දින උදෑසන 08 සිට දීප ව්‍යාප්තව මෙම වැඩ වර්ජනය පැවැත්වීමට සැලසුම් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (23) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

PCID නමින් පොලීසියෙන් නව විමර්ශන අංශයක්….

අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසීය අලුත් විමර්ශන අංශයක් ආ‍රම්භ කරන බව බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා පවසයි.

පාර්ලිමෙන්තුවේ දී සම්මත වූ, අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබද පනතට අනුව මෙම විමර්ශන අංශය ආරම්භ කිරීමට නියමිත බව ඔහු පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (23) පැවති විශේෂ පොලිස් මාධ්‍ය හමුවට එක්වෙමිනි.

PCID හෙවත් අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබද විමර්ශන කොට්ට්ථාශය ලෙස මෙම අංශය නම් කර ඇත.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ආරම්භ කිරීමට නියමිත මෙම නව විමර්ශන අංශය පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොලිස් දිනයට සමගාමීව ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇති බවය.

එමෙන්ම විශේෂ මෙහෙයුම්වලින් මේ වන විට සංවිධානාත්මක අපරාධකරුවන්ගේ දේපල බිලියන 4.5ක් පොලීසිය සිය භාරයට ගෙන ඇති බව ද ඒ මහතා මෙහිදී පැවසුවේය.

ඒ අතර ගොඩනැගිලි, නිවාස, වාහන, ඉඩම්, ස්වර්ණාභරණ, බෝට්ටු සහ මුදල්වලින් රුපියල් මිලියන 57ක්ද වන බව වාර්තා වේ.

ඒ අනුව මෙම දේපළ මුදල් විශුද්ධිකරණ පනත යටතේ තහනම් කර තිබේ.

සමන් ඒකනායකටත් වැඩවරදින ලකුණු…..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විදෙස් සංචාරයට මුදල් අනුමත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පිළිබඳ මේ වනවිට විමර්ශන සිදුකෙරෙමින් පවතින බව පොලීසිය පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතාව අත්අඩංගුවට ගැනීම හා එහි විමර්ශන සම්බන්ධයෙන් අද (23) පැවති පොලිසීයේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් නීති දිශාව භාර, නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා මේ බව පැවසීය.

එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් සමන් ඒකනායක මහතාට අත්අඩංගුවට ගැනීමට ද නියමිත යන්නය.

විමර්ශන ඉදිරියට සිදුවෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැකි බව ද කාලිංග ජයසිංහ මහතා පැවසීය.

විදෙස් සංචාරයකදී රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ මෙම චෝදනාව සම්බන්ධයෙන් ප්‍රශ්නකිරීම සඳහා එම දෙපාර්තමේන්තුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධූර කාලයේදී එනම් 2023 වසරේ සැප්තැම්බර් 22 සහා 23 එක්සත් ජාතීන්ගේ සම්මේලනයට සහභාගීවීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් වෙත ගොස් තිබුණි.

එම සංචාරය නිම කරමින් හිටපු ජනාධිපතිවරයා නැවතට දිවයිනට පැමිණීමට පෙර  ලන්ඩන් නුවරට ගොස් තිබුණේ, සිය බිරියවන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධානෝත්සවය සඳහා සහභාගීවීම සඳහාය.

එම ආරාධනාව හිටපු ජනාධිපතිවරයාට හා ඔහුගේ බිරිඳට බ්‍රිතාන්‍යයේ වූල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජෝන් රැෆ්ටර් විසින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා නිල වශයෙන් යොමුකර තිබුණි.

කෙසේ වෙතත් අදාළ සංචාරයේදී රජයේ මුදල් අවභාවිත කරමින් හිටපු ජනාධිපතිවරයා ඊට සහභාගීවී ඇති බවට පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පුද්ගලයෙකු විසින් පැමිණිල්ලක් ගොනුකර තිබූ බව පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව විමර්ශනයක් ආරම්භ කර එම දෙපාර්තමේන්තුව මඟින් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් හා වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් ද පසුගිය දා ප්‍රකාශ ලබාගනු ලැබීය.

අනතුරුව වික්‍රමසිංහ මහතාට ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණි.

ඒ අනුව ඔහු ඊයේ පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටියේය.

එහිදී පැය 4ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයාව දහවල් 1.15ට පමණ අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය‍ නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සහ සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය මෙම නියෝගය නිකුත් කළාය.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

හිටපු ජනපති රනිල් කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට නිර්දේශ…..

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීම සඳහා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර තිබේ.

ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ පරීක්ෂා කළ බන්ධනාගාර වෛද්‍යවරුන් අදාළ නිර්දේශය ලබාදී ඇති බව වාර්තා වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එළඹෙන 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) රාත්‍රියේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කෙරුණි.

රුධිර පීඩනය ඉහළයෑම සහ සීනි මට්ටම ඉහළයෑම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කළේය.

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දිගින් දිගටම නිරීක්ෂණය කළ බන්ධනාගාර වෛද්‍යවරුන් ඔහුට නිවසින් කෑම ලබාදීමටද නිර්දේශ කර තිබුණි.

ඒ අනුව ඊට බන්ධනාගාර මූලස්ථානයේ අනුමැතිය හිමිවී ඇති බවද වාර්තා වෙයි.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි……

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියේ සැකකරු වශයෙන් නම්කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට සැප්තැම්බර් මස 26 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නොතිසි නිකුත් කර තිබේ.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නොතීසි නිකුත් කිරීම සිදුකරනු ලැබුවාය.

මේ වනවිට සිංගප්පූරුවේ වාසය කරන බව සඳහන් වන අර්ජුන මහේන්ද්‍රන් මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඉකුත් වසරේ නොතිසී නිකුත් කර තිබුණත් එම නොසීසි නිසියාකාරව ක්‍රියාත්මක වී නොමැති බව අධිකරණයට දැනුම් දෙන්න ලැබීය.

ඒ අනුව මෙම සැකකරුට ඉංග්‍රීසි භාෂාවෙන් නොතිසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය මෙම නොතිසි නිකුත් කිරීම සිදුකළාය.

2015 වසරේ පෙබරවාරි මස 27 වන දා ශ්‍රී ලංකා මහා බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 10කට අධික වටිනාකමකින් යුත් බැඳුම්කර පර්පචූවල් ට්‍රෙෂරීස් සමාගමට විකිණීම තුළින් රජයට පාඩු සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් දූෂණ විරෝධී පනත යටතේ අර්ජුන මහේන්ද්‍රන් මහතාට විරුද්ධව මෙම නඩුකරය ඉදිරිපත් කර තිබේ.

ඉදිරි දේශපාලනය ගැන කොළඹදී විපක්ෂයේ ප්‍රබල සාකච්ඡාවක් – මහින්දත් එක්වෙයි……

විපක්ෂයේ දේශපාලනඥයින් සහ පක්ෂ නායකයින් එක්ව විශේෂ සාකච්ඡාවක් මේ වනවිට කොළඹදී පැවැත්වෙයි.

කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන පක්ෂ කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙයි.

අද (23) දහවල් 12ට පමණ මෙම සාකච්ඡාව ආරම්භ වී ඇති අතර එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් සහ දේශපාලනඥයින් මෙම අවස්ථාවට එක්වී තිබේ.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී ඇති බව පැවසෙයි.

මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද එක්වී ඇති බව වාර්තා වෙයි

රනිල්ගේ සිරගත කිරීම ගැන මහින්ද කනගාටුවෙන්….

දේශපාලන නායකයින්ව සුළු වැරදිවලට සිරගත කිරීම ගැන තමා කනගාටුවට පත්වෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට ගොස් බන්ධනාගාරයෙන් පිටතට පැමිණි පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

“දේශපාලනය කරනවා නම් ඕක උරුමයි…එතුමා ඒකට මුහුණදෙනවා” යනුවෙන් ද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

රජයේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතාව හොඳින් තේරුම් ගෙන ඇති බවත් මෙවැනි ක්‍රියාවන් පළිගැනීමක් මිස වෙන ක්‍රියාවක් නොවන බව ද පැවසු මහින්ද රාජපක්ෂ මහතා, ජනතාව තවමත් තමාට ආදරය කරන බව ද කියා සිටියේය.

“අපි මිනිස්සුන්ට ආදරේ කරනවා. ඒ නිසා මිනිස්සු අපිට ආදරේ කරනවා…”

තැපැල් වර්ජනය 6 වන දිනටත් අඛණ්ඩව….

තැපැල් සේවකයින් ආරම්භ කළ තැපැල් වර්ජනය 06 වන දිනටත් අද (23) දිනයේදී ක්‍රියාත්මක කෙරෙයි.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගසා තිබූ තැපැල් මලු අනීතික ආකාරයෙන් රැගෙන යාමට කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවය.

හිටපු ජනපති රනිල් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එයි

රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාව මේ වන විට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබේ.

හිටපු ජනාධිපතිවරයාව දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ බන්ධනාගාර බස් රියකින් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එනු දක්නට ලැබිණි.