රනිල්ව බලන්න රෝහලට ගියාද ? අගමැති හරිනිගෙන් පිළිතුරු

තමන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැලීම සඳහා රෝහලට ගිය බවට පළවෙන තොරතුරු සාවද්‍ය බවත් එසේ ගිය බවට තොරතුරු ඇත්තම් එය ඔප්පු කර පෙන්වන ලෙසත් අගමැති හරිනි අමරසූරිය මෙනවිය පවසයි.

මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇය සඳහන් කර සිටියේ එම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන ලද මාධ්‍ය ආයතනයට එය ඔප්පු කර පෙන්වන ලෙස තමන් අභියෝග කරන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති හරිනි අමරසූරිය මෙනවිය
”සාවද්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශ කරන අයට මම හිතන්නේ ඉදිරියට අපිට නීති ක්‍රියා මාර්ග ගන්න වෙනවා. මේ විදියට බොරු බොරු ප්‍රවෘත්ති නිර්මාණය කරන්න. මම කියන්නේ මෙච්චරයි. මම ගියා නම් මොකක් හරි ඒ ප්‍රවෘත්ති පාදක වෙන මොනවා හරි සාක්ෂියක් තියෙන්න එපැයි. සාක්ෂි ඉදිරිපත් කරන්න. හරි. එහෙම නිකන් ප්‍රවෘත්ති අහසින් නිර්මාණය කරන්න බැහැනේ. ගියා නම් කොහෙන්ද ඒ තොරතුරු ආවේ? මාව දැක්කද? මොකද අගමැති හැටියට මට ඕන ඕන තැන්වලට ඕන ඕන විදියට යන්න බැහැ. ඉතින් ඒ නිසා මට හොර රහසේ යන්න බෑනේ කොහේටවත්. ඉතින් ඒ නිසා මම ගියා කියලා ඔප්පු කරන්න. මම අභියෝග කරනවා මම ගිය බව ඔබතුමන්ලා ඔප්පු කරන්න. එතකොට හරි මේ ප්‍රශ්නේ විසඳෙනවා. එතකොට මම වැරදියි. මම බොරු කියන්නේ. මම බොරු කියනවා කියලා ඔබතුමාලා ඔප්පු කරන්න එතකොට හරි. එතකොට විසඳෙයි.”

රනිල් වෙනුවෙන් ඇප ගන්න සුවිශේෂි කරුණු දැක්වීමක් – නවතම අධිකරණ තොරතුරු මෙතැනින්…

හිටපු ජනපති රනිල්ගේ සියලු රෝග සම්බන්ධ වාර්තා ඉදිරිපත් කෙරේ – “හෘද වස්තුවේ පටක මිය යාම මෙන්ම පෙනහළු ආසාදනයක්”

UPDATE – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබා ගැනීම සඳහා සුවිශේෂි කරුණු රැසක් මේ වන විට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මණ්ඩලය අධිකරණයට ඉදිරිපත් කරමින් සිටියි.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හෘද වස්තුවේ ප්‍රධාන ධමනි 04න් 03ක් අවහිර වී ඇති බව ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

ඒ අනුව එම රෝග තත්ත්ව පිළිබඳව සියලු වෛද්‍ය වාර්තා නීතීඥවරයා විසින් මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා කළක පටන් වගුගඩු රෝගී තත්ත්වයකින් පෙළෙන බවත්, හෘද වස්තුවේ පටක මිය යාමත් මෙන්ම පෙනහළු ආසාදනයක් මේ වන විට පෙන්නුම් කරන බවත් ඔහුගේ නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු පෙන්වා දුන්නේය.

තවද හිටපු ජනාධිපතිවරයාට බරපතල ජීවිත අවධානමක් මතුව ඇතැයිද ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

“රනිල් එංගලන්තයේ කිසිදු රාජ්‍ය නායකයෙක් හමුවී නෑ” – දිලීප පීරිස්

හිටපු ජනාධිපති රනිල්ගේ එංගලන්ත සංචාරයේදී කිසිදු රාජ්‍ය නායකයෙක් හමුව නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දීලීප පිරීස් මහතා අධිකරණයේදී කරුණු දක්වමින් පවසා තිබේ.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ ලේකම් වන සමන් ඒකනායක මහතා ප්‍රකාශයක් ලබා දෙමින් මින් පෙර පවසා ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විවේකයක් ලබා ගැනීම සඳහා ගිය බව තමන් සිතන බවය.

“ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයේදී කිසිදු අවභාවිතයක් සිදුව නෑ” – ජනාධිපති නීතීඥ තිලක් මාරපන

ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දී ඇත්තේ මෙම සිදුවීම සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ විගණන නිලධාරියාට විගණනය කිරීම සඳහා බලයක් නොමැති බවය.

එමෙන්ම මේ සම්බන්ධව සිදුකළ වියදම් සියල්ල ජනාධිපති වැය ශීර්ෂය යටතේ වන බැවින් ඒ සඳහා ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයේදී කිසිදු අවභාවිතයක් සිදුව නොමැති බවත් තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

————————-

“ආරාධනා පත්‍රයේ නීතියානුකූලත්වය මෙතෙක් තහවුරු කරගෙන නෑ” – අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ වනවිට කැඳවා තිබේ.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඉදිරියේ නඩුව කැඳවා ඇත.

නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත.

නඩුකරයේ කැඳවූ අවස්ථාවේදී අද (26) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන්, අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.

සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් තිලක් මාරපන, අනූජ ප්‍රේමරත්න යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධත්වය දක්වා තිබේ.

මේ අතර ආරාධනා පත්‍රයේ නීතියානුකූලත්වය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවද අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

මිලි මීටර් 40 මල්ටි ග්‍රෙනේඩ් ලොන්චරයට භාවිතා කරන බෝම්බ පතුරම් 06ක් සොයා හබරණ දී සොයා ගැනේ.

මිලි මීටර් 40 මල්ටි ග්‍රෙනේඩ් ලොන්චරයට භාවිතා කරන බෝම්බ පතුරම් 06ක් අඩංගු පාර්සලයක් හබරණ පොලොන්නරුව මාර්ගයේ බෝක්කුවක් යට තිබී අද (25) සවස සොයා ගත් බව හබරණ පොලිසිය පවසයි.
මාර්ගය සුද්දපවිත්‍ර කිරීමේ රාජකාරිවල නිරතව සිටි මාර්ග සංවර්ධන අධීකාරියේ හබරණ කාර්යාලයේ කම්කරුවන් පිරිසක් කළ දැනුම්වත් කිරීමක් අනුව හබරණ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් එම පතුරම් අඩංගු පාර්සලය සොයා ගෙන තිබේ.
හබරණ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. විමල් සිරිවර්ධන මහතා ඇතුළු නිළධාරින් කණ්ඩායමක් විසින් සිදුකළ ස්ථානීය පරීක්ෂාවකදී එම පතුරම් අඩංගු පාර්සලය සොයා ගත් බවත්, එම පාර්සලය තුළ තිබී මිලි මීටර් 40 මල්ටි ග්‍රෙනේඩ් ලොන්චරයට භාවිතා කරන බෝම්බ පතුරම් 06 ක් සොයා ගැනීමට හැකි වූ බවත් පොලිසිය කියයි.
මෙම සිද්දිය සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධීරණයට කරුණු වාර්ථා කිරීමට පොලිසිය කටයුතු කර තිබේ. එහිදී අධීකරණයෙන් පොලිසියට ලත් නියෝගයක් අනුව එම බෝම්බ පතුරම් 06 නිෂ්ක්‍රීය කිරීමට නියමිත අතර, කුරුණෑගල පොලිස් විශේෂ කාර්‍ය බලකා නිලධාරීන් විසින් හෙට(26) දින එම පතුරම් නිශ්ක්‍රීය කිරිමට හබරණ පොලිසිය කටයුතු යොදා තිබේ.
එම බෝම්බ පතුරම් අඩංගු පාර්සලය එම ස්ථානයට කවුරුන් විසින් රැගෙනවිත් දමා ඇතිදැයි යන්න හා එම සැකකරුවන් කවුරුන්දැයි යන්න අනාවරණය කර ගැනීම සඳහා පොලිස් විමර්ෂණ ආරම්භ කර තිබේ. හබරණ පොලිස් ස්ථානය මගින් එම වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

කැකිරාව – කුෂාන් ජයවර්ධන

නීතිඥ සංගමයෙන් නිවේදනයක්….

පසුගිය සති කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ අධිකරණ සේවා කොමිෂන් සභාව සහ අධිකරණ පද්ධතියේ විෂය පථයට අයත් කාරණා සම්බන්ධයෙන් පළ වී ඇති අදහස් පිළිබඳ නීතිඥ සංගමයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය මඟින් නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ, අධිකරණ කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් වන බවත් එය ඉතා වගකීම් සහගත අන්දමින් කාලාන්තරයක් මුළුල්ලේ නීතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය.

යූ ටියුබ් වැනි සමාජ මාධ්‍යයන් ඔස්සේ, අදහස් පළ කිරීමේදී හා නීතියේ විෂයපථයට අදාළ කරුණු වාර්තා කිරීමේ දී සුපරික්ෂාකාරී අන්දමින් කටයුතු කරන ලෙසත් අසත්‍ය පුවත් වාර්තා කිරීම නීතියට පටහැනි බවත් අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

1756138849-STATEMENT-OF-THE-BASL-COMMENTS-ON-SOCIAL-MEDIA--25-August-2025-

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්…

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙම නඩුකරයට අදාළ ලිඛිත දේශනා තිබේ නම් ඒවා ලබන බ්‍රහස්පතින්දා දහවල් 12.00 පෙර ගොනුකරන ලෙසත් විනිසුරු මඩුල්ල පාර්ශවකරුවන්ට නියම කළේය.

ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකට යොමු කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්…..

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන මස 8 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද (25) දින මහර මහෙස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය විසින් මෙම නියෝග ලබාදී ඇත.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය මෙම නියෝගය ලබාදී තිබේ.

රැප් ගායකයෙක් ව්‍යාජ පිස්තෝලයක් සහ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට….

රැප් ගායන ශිල්පියෙක් වන ‘මාධව ප්‍රසාද්’ නොහොත් ‘මදුවා’ නැමැත්තා ව්‍යාජ පිස්තෝලයක් සහ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලීසිය කියයි.

හය දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මත්ද්‍රව්‍ය සහ පිස්තෝලයක් තබාගෙන රැඳී සිටිමින් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටින අයුරු දැක්වෙන විඩීයෝවක් මුහුණුපොත ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව පොලීසිය විසින් මෙම සැකකාර රැප් ගායකයා රැඳී සිටි හෝමාගම ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක දී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී සිය පරිශීලකයින් පිරිස වැඩිකර ගැනීම සඳහා මත්ද්‍රව්‍ය පානය කරන වීඩියෝ මුහුණුපොතට මුදාහැරිය බවට අනාවරණය වී ඇත.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20ක් හා හෑෂ් ග්‍රෑම් 35ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, 26 හැවිරිදි සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත පෙරේරා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රජිත ගුරුසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධව හිරු මාධ්‍ය ජාලයේ වාර්ථා කල පුවත නිවැරදි කරන ලෙසට අග්‍රාමාත්‍ය ලේකම්ගෙන් දැනුම් දීමක්…

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධව හිරු මාධ්‍ය ජාලයේ වාර්ථා කල පුවත නිවැරදි කරන ලෙසට අග්‍රාමාත්‍ය ලේකම්ගෙන් දැනුම් දීමක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධව 2025. 08. 25 දින හිරු ප්‍රවෘත්ති නිල වෙබ් අඩවියේ, නිල මුහුණු පොතේ සහ අනෙකුත් හිරු මාධ්‍ය ජාලයන්හි ප්‍රචාරය කරන ලද ” අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත් ” යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය තොරතුරක් බව දන්වා සිටින අතර එම ප්‍රවෘත්තිය වහාම නිවැරැදි කරන ලෙස දන්වා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා විසින් හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා මහතා වෙත යවන ලද ලිපිය ද මේ සමඟ සබැඳිව එවමි.

WhatsApp Image 2025-08-25 at 14.40.02_a5b7cc74

ඩයනා අධිකරණයට ඉදිරිපත් වෙයි…..

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව රුපියල් මිලියන 10ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඩයනා ගමගේ මහත්මිය සිය නීතිඥවරු මාර්ගයෙන් අද (25) අධිකරණයට ඉදිරිපත් වුණි.

ඉන් අනතුරුව විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය රුපියල් මිලියන 10 ශරීර ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම මහතා නියෝග කළේය.

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම ඇතුළු චෝදනා යටතේ ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබූ නඩු 07ක් ඉකුත්දා කැපවූ අවස්ථාවේදී ඇය අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

ඒ අනුව මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුවුණි.

රනිල් වෙනුවෙන් විපක්ෂයේ ප්‍රබලයින් රැසක් විපක්ෂ නායක කාර්යාලයට….

විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් රැසක් අද (25) දහවල් විපක්ෂ නායක කාර්යාලයට රැස්ව තිබේ.

ඒ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී ඇති බව පැවසෙයි.

ඒ සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම් හා පලනි දිගම්බරන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් විජේවර්ධන, කාවින්ද ජයවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, ජීඑල් පීරිස්, සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු විපක්ෂයේ ප්‍රබලයින් පිරිසක් එක්ව තිබේ.

මේ අතර, සමගි ජන බලවේගය නියෝජනය කරමින් තවත් මන්ත්‍රීවරු පිරිසක් සම්බන්ධ වී ඇත.