159 වන පොලිස් සංවත්සරය අදයි….

ශ්‍රී ලංකා පොලීසියේ 159 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී තිබේ.

පළමු පොලිස් කාර්යාලය 1866 සැප්තැම්බර් 3 වන දින පිහිටුවන ලද අතර, එහි පළමු පොලිස්පතිවරයා ලෙස ජී. ඩබ්ලිව්. ආර්.  කැම්බල් පත් කරන ලදී.

මෙම දිනය ශ්‍රී ලංකා පොලිසියේ ආරම්භක දිනය ලෙස සැලකේ.

මේ අතර, 159 වන පොලිස් දිනය සැමරීම සඳහා විශේෂ අනුස්මරණ උත්සවයක් අද (03) පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පැවැත්වේ.

උත්සවයට සූදානම් වීමක් ලෙස කොළඹ රථවාහන කොට්ඨාසය ද විශේෂ රථවාහන සැලැස්මක් ප්‍රකාශයට පත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ සඳහා කොළඹ රථවාහන කොට්ඨාසය මඟින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

එම රථවාහන සැලැස්මට අනුව බම්බලපිටිය පොලිස් වසමේ තුම්මුල්ල හන්දියේ සිට තිඹිරිගස්යාය හන්දිය දක්වා හැව්ලොක් මාර්ගයේ රථවාහන ගමනාගමනය පහත පරිදි සිදුකිරීමට කටයුතු යොදා ඇති බව පොලීසිය නිවේදනය කරයි.

  • පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය ඉදිරිපිට කොළඹින් පිටවීමේ මාර්ගයේ ස්ථාපිත කර ඇති බස් නැවතුම 2025.09.03 වන දින පස්වරු 02.30 සිට පස්වරු 07.00 දක්වා තාවකාලිකව හැව්ලොක් පාර ෆොන්සේකා පාර හන්දියේ පිහිටි බස්නැවතුම වෙත රැගෙන යාම.
  • 2025.09.03 වන දින පස්වරු 0200 සිට පස්වරු 0700 දක්වා බම්බලපිටිය පොලිස් වසමේ තුම්මුල්ල හන්දියේ සිට තිඹිරිගස්යාය හන්දිය දක්වා හැව්ලොක් මාර්ගයේ බර වාහන ගමනා ගමනය සීමා කිරීම (කන්ටේනර් රථ හා ටිපර් රථ) 

රාජිතව අල්ලස් කොමිසමට රැගෙන එයි….

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය අගෝස්තු මස 29 වන දා අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

එහිදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා බන්ධනාගාර නිලධාරීන්ට නියම කර තිබුණේ අද (03) උදෑසන 9ට ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙසය.

ඉතාලියේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය අද දිවයිනට….

‍ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩ් මහත්මිය අද (03) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ, ලබන 5වනදා දක්වා ඇය මෙරට රැඳී සිටින බවය.

මෙම සංචාරය අතරතුරදී ඉතාලි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිතය.

එමෙන්ම නියෝජ්‍ය අමාත්‍ය ට්‍රිපොඩි මහත්මිය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමග සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබේ.

දශකයකට ආසන්න කාලයකට පසු ඉතාලියේ සිට ශ්‍රී ලංකාව වෙත සිදුකෙරෙන ඉහළම මට්ටමේ සංචාරය මෙය බව සඳහන්ය.

වීසා නොලැබීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආසියානු කරාතේ සිහිනය බොඳවෙයි….

චීනයේ පැවැත්වෙන 23 වැනි ආසියානු කරාතේ ශූරතා තරගාවලියට සහභාගි වීම සඳහා දිවයිනෙන් අද (02) පිටත්ව යාමට නියමිතව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට චීනය බලා පිටත්වීමට නොහැකි වුණි.

ඒ, වීසා නොලැබීම හේතුවෙන්ය.

ගුවන් යානය පිටත්වන වේලාව වනවිටත් ඔවුන්ට වීසා ලැබී නොතිබූ අතර කටුනායක ගුවන්තොටුපොළේදී පිරිස පත්වූයේ දැඩි අපහසුතාවකටය.

23 වැනි ආසියානු කරාතේ ශූරතා තරගාවලිය සැප්තැම්බර් 5 වැනිදා සිට 7 වැනිදා දක්වා චීනයේදී පැවැත්වෙයි.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 29 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

මෙම තරගාවලිය සඳහා සහභාගී වන එක් අයෙකුගෙන් රුපියල් පන්ලක්ෂ අසූදහසක මුදලක්ද කරාතේ දෝ සම්මේලනය අයකරගෙන ඇති බවද වාර්තා වෙයි.

ඒ ගුවන් ටිකට්පත්, විසා ඇතුළු අනෙකුත් පහසුකම් සලසා දීම සඳහාය.

ගමන සඳහා අද පෙරවරුවේ වීසා හිමිවන බව පැවසූ ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ නිලධාරීන් ආසියානු කරාතේ ශූරතා තරගාවලියට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙස දන්වා තිබුණි.

චීනය බලා පියාසර කෙරෙන ගුවන් යානය අද පස්වරු 2ට කටුනායක ගුවන්තොටුපොළින් පිටත්වූ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ බලාපොරොත්තු බිඳ වැටුණේ ඒ වන විටත් කරාතේ දෝ සම්මේලනයේ බලධාරීන් වීසා ලබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන්ය.

දහසක් බලාපොරොත්තු මැද, අසීරුවෙන් මුදල්ද සොයාගෙන තම මව්බිම නියෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටි මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවූ අසාධාරණයට වගකිව යුත්තේ කවුරුන්ද?

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පැවසුවේ කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණදුන් මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන බවය.

රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය මත එජාප සංවත්සර සැමරුම කල් දමයි….

එළඹෙන සෙනසුරාදා (06) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව තීරණය කර තිබේ.

ඒ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ද සැලකිල්ලට ගෙන බව සඳහන්ය.

අද (02) කොළඹදී රැස්වූ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව විසින් එම තීරණයට එළැඹි බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

එජාපයේ කල් දමනු ලැබූ 79 වන සංවත්සර උත්සවය මේ මාසයේම වෙනත් දිනයක පැවැත්වීමට පියවර ගන්නේ යැයිද එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරළ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී තිබෙන වෛද්‍ය උපදෙස් සහ කළමනාකරණ කමිටු සාමාජිකයන්ගේ ඉල්ලීම මත මේ තීරණයට එළැඹෙන බවද එජාප මහලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය.

වලස් කටා යළිත් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාස වෙත භාරදෙයි….

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයෙන් පලායාමට තැත්කිරීමේදී තුවාල සිදුවූ කෙහෙලබද්දර පද්මේගේ සමීපතමෙයක් වන ‘වලස් කට’ නැමැත්තා, ප්‍රතිකාර අවසන් කර නැවත එම කොට්ඨාසයට රැගෙනවිත් තිබේ.

ඊයේ (01) එම සැකකරු රැගෙන ආ බව වාර්තා වෙයි.

එහිදී පොලීසිය කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් සැකකරුගෙන් විමසා ඇති බව සඳහන්ය.

එහිදී ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාට මෙලෙස පවසා තිබේ.

“සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්” යනුවෙනි.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.

හිටපු ඇමති අනුර ප්‍රියදර්ශනට එරෙහි නඩුව ගැන පොලීසියෙන් අධිකරණයට දැනුම්දීමක්…

හිටපු ඛනිජතල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන බව පොලීසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

2014 වසරේ දෙසැම්බර් මස ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් අනීතික ලෙස තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61 කට අධික මුදලක් වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ මෙම නඩුව ගොනු කර ඇත.

මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෙම විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇති බවය.

ඒ අනුව නොතිසි ලද විට මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට නියම කළ මහේස්ත්‍රාත්වරයා අනතුරුව නඩු කටයුතු අවසන් කිරීමට නියම කළේය.

පද්මේ ඇතුළු 5දෙනාට දින 90ක රැඳවුම් නියෝග…..

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් 5 දෙනා දින 90ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබේ.

ත්‍රස්ත මර්දන පනත යටතේ මොවුන්ගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

ජකර්තා හීදි අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 5දෙනා පසුගිය සෙනසුරාදා දිනයේදී මෙරටට රැගෙන එනු ලැබීය.

මොවුන්ගෙන් තිදෙනෙකු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතර තවත් දෙදෙනෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුවෙයි.

මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ, නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුර නිලංග සහ ශලින්ත මදුෂාන් පෙරේරා හෙවත් කමාන්ඩෝ සලින්ත යන අපරාධකරුවන් ප්‍රශ්න කිරීම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තිබේ.

එමෙන්ම ළහිරු මදුසංඛ හෙවත් තැඹිලි ළහිරු සහ එන්.එන්. ප්‍රසංග හෙවත් බැකෝ සමන් යන අපරාධකරුවන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුවෙයි.

ගණේමුල්ල සංජීව ඝාතනයට පිස්තෝලය සූදානම් කළ අයුරු දැක්වෙන වීඩියෝවක් එළියට

ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා යොදාගත් බවට පැවසෙන ගිනිඅවිය ඊට පෙර දිනක සූදානම් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබුණි.

අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව පසුගිය පෙබරවාරි 19 වනදා අලුත්කඩේ අංක 5 අධිකරණය තුළදී වෙඩි තබා ඝාතනය කරනු ලැබීය‍.

ඒ සඳහා යොදාගත් පිස්තෝලය රැගෙනවිත් තිබුණේ නීතීඥයන් භාවිත කරන පොතක් කපා සූක්ෂ්ම ලෙස ඒ තුළ බහාලමින්ය.‍

පිස්තෝලය එම පොත තුළට දමා සූක්ෂ්ම ලෙස සකසන අයුුරු අදාළ වීඩියෝපටයේ දැක්වෙයි.

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, ගණේමුල්ල සංජීව ඝාතනයට දින කිහිපයකට පෙර යම් කිසිවෙක් මෙම රූගත කිරීම සිදුකොට කෙහෙල්බද්දර පද්මේ වෙත යවා ඇති බවය.

හරක් කටා ඝාතන සැලසුමක තොරතුරු එළියට….

අත්අඩංගුවේ පසුවන හරක් කටා අධිකරණ පරිශ්‍රයකදී ඝාතනය කිරීම සඳහා මාධ්‍යවේදියෙකු සේ වෙස්ගන්වා සූදානම් කර සිටි වෙඩික්කරුවෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු මහරගමදී අද (02) අත්අඩංගුවට ගනු ලැබීය.

කෙහෙල්බද්දර පද්මේගේ වුවමනාව මත මෙම සැලසුම සඳහා සූදානම්ව තිබූ බව වාර්තා වෙයි.

එහිදී සැකකරු සතුව තිබූ, පුලුස්සා දමන ලද විඩියෝ කැමරාවක් හා ගිනිඅවියක් ද සොයාගනු ලැබීය.