මධ්‍යම කඳුකරයට ඝණ මීදුම් තත්ත්වයක්…..

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (16) රාත්‍රියේ සිට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව සහ ඝණ මීදුම් තත්ත්වය හේතුවෙන් ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව වාර්තා වේ.

හැටන්-නුවරඑලිය, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල මෙම ඝණ මීදුම් තත්ත්වය පවතින බව අද දෙරණ වාර්තාකරු පවසයි.

එම මාර්ගවල රථවාහාන ධාවනය කිරීමේදි වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලීසියේ රථවාහන අංශයේ නිලධාරින් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

විදුලි සේවකයින් අද ලෙඩින්….

ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රීයාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

එහි කාර්මික නිලධාරීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා සඳහන් කළේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ දෙවන අදියර ලෙස මෙම පියවර ගත් බවය.

දියවඩන නිලමේ ධුරය පිළිබඳ මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් නිවේදනයක්….

දියවඩන නිලමේ ධුරය සම්බන්ධයෙන් සිදුකෙරන අපහාසාත්මක සංවාද හා එමගින් ශ්‍රී දළදා මාළිගාවේ, උභය මහා විහාරයන්ගේ හා සමස්ත බෞද්ධ සමාජයේ ගෞරවයට සිදුවන හානිය පිළිබඳව දැනුවත් කරමින් මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන් විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

සමස්ත ලෝකවාසී බෞද්ධ මහජනතාවගේ මුදුන් මල්කඩ වන ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරීත්වය හිමිවන දියවඩන නිලමේවරයා මෙරට ප්‍රථම බෞද්ධයා ලෙස සම්භාවනාවට පාත්‍ර වන අතරම ජාත්‍යන්තර වශයෙන් ද බෞද්ධ රටවල් තුළ දියඩවන නිලමේවරයා සම්බන්ධයෙන් පවතිනුයේ ඉමහත් ප්‍රසාදයක් හා ගෞරවයකි.

1931 අංක 19 දරන විහාර දේවාලගම් පනතට අනුව වසර 10ක කාලයකට නිලවරණයක් මගින් දියවඩන නිලමේවරයා පත් කරගැනීම සිදු කෙරේ.

මේ වන විට වර්තමාන දියඩවන නිලමේවරයාගේ ධුර කාලය අවසන් වී අභිනව දියවඩන නිලමේවරයෙකු පත් කරගැනිමේ කටයුතු සිදු කරමින් පවතී.

ඒ සඳහා වර්තමාන දියවඩන නිලමේවරයා ඇතුළු අපේක්ෂකයින් ගණනාවක් ඉදිරිපත්වී සිටී.

මහා නාහිමිවරුන් විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, තමන් සහයෝගය දක්වන අපේක්‍ෂකයා ප්‍රවර්ධනය කිරීමේ පටු අරමුණින් විවිධ බාහිර පාර්ශ්ව මගින් සිදුකරන අපහාසාත්මක ප්‍රචාරයන් හේතුවෙන් මේ වන විට ලෝකය ඉදිරියේ බෞද්ධ සමාජය හෑල්ලුවට ලක්වීමත් බෞද්ධ සිද්ධස්ථාන සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රතිරූපයක් සමාජගත වීමත් සංවේගයට කරුණක් බවය.

“පුද්ගලික න්‍යාය පත්‍රයන් පෙරදැරි කරගනිමින් විවිධ සංවිධාන හා පුද්ගලයන් මෙම කාලසීමාව තුළ බෞද්ධ සමාජය අපහාසයට ලක් කරමින් පටු චේතනාවෙන් පදනම් විරහිතව සිදුකරන වෛරී සහගත ප්‍රකාශයන් හෙළාදකින බවත් එවැනි පටු අරමුණු ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී දළදා මාළිගාවේ මෙන්ම දියඩවන නිලමේ ධුරය, බස්නායක නිලමේ ධුරය ඇතුළු සිද්ධස්ථාන හා සැබැඳි නිලයන්ගේ සම්භාවනීයත්වය මෙන්ම ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමට සියලු අපේක්ෂකයින් අධිෂ්ඨාන කරගත යුතු බවත් අවධාරණය කර සිටිමු.” යනුවෙන් ද මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන් විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ගිනිඅවියක් අතදරා ගමක් බිය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට……

ප්‍රදේශවාසීන්ට වෙඩි තබා තර්ජනය කර බිය වද්දමින් කප්පම් ගැනීමේ නිරතව සිටි පුද්ගලයෙකු කිරිවත්තුඩුව මිල්ලගහවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සිදුකළ වෙඩි තැබීමෙන් අවුරුදු 49ක කාන්තාවක් තුවාල ලබා කහතුඩුව වෑතර දිසාරෝහල වෙත ඇතුළත් කර ඇත.

සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජිව අත්බෝම්බයක් හා මන්නයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු ගිනිඅවිය සහ ලයිටරයක් අතැතිව තමා අත්අඩංගුවට ගැනීමට පැමිණෙන පොලීසියට වෙඩි තබන බවට තර්ජනය කරමින් හැසිරුණු බව වැඩිදුර සඳහන්ය.

මත්ද්‍රව‍ය පානය කිරීම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙම කප්පම් ගැනීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

අදාළ පුද්ගලයා මීට පෙර පුද්ගලයන් සිව්දෙනෙකු තියුණු ආයුධවලින් කපා තුවාල කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර දඬුවම් විදි පුද්ගලයකු බව පොලීසිය සඳහන් කරයි.

අවුරුදු 32ක් වන සැකකරු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කහතුඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

බස්නාහිර කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට සහන ණය…

බස්නාහිර පළාත තුළ සිටින ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින් සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් පුෂ්පකුමාර මහතා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඒ බව සඳහන් කළේය.

“බස්නාහිර පළාතේ ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යාවසායකයින් සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්ම කිරීම සඳහා ක්‍රමවේදයක් ආරම්භ කළා. ණය ලබාදෙන පොලී අනුපාතය 3%යි. උපරිම ණය මුදලක් විදිහට දෙන්නේ රුපියල් මිලියන 3යි. ණය ගෙවලා අවසන් වෙන්න ඕනේ වසර 7කින්. හීන වන ශේෂ ක්‍රමයට. ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දැනුම්වත් කිරීම් කරනවා.”      

මේ අතර හයිලෙවල් මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය එළැඹෙන වසරේදී ආරම්භ කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

ඉදිරි අයවැය සඳහා වාහන ආනයනකරුවන්ගෙන් යෝජනා කිහිපයක්…

ඔටෝ මොබයිල් සහ විද්‍යුත් උපකරණ කර්මාන්ත සම්බන්ධයෙන් පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (16) පස්වරුවේ පැවැත්වුණි.

වත්මන් ආණ්ඩුව විසින් වාහන ආනයනය සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය හේතුවෙන් වාහන ආනයන ක්ෂේත්‍රය පුළුල් වූ බව සඳහන් කළ වාහන ආනයනකරුවෝ ඉදිරි අයවැය සඳහා ඵලදායි යෝජනා කිහිපයක්ද මෙහිදී ඉදිරිපත් කර තිබේ.

විද්‍යුත් උපකරණ ආශ්‍රිත නිෂ්පාදන ආනයනකරුවන් ක්ෂේත්‍රය තුළ මුහුණ දෙන ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, විශේෂයෙන් සංවිධානාත්මක කණ්ඩායම් විසින් බදු ගෙවීමකින් තොරව හොර රහසේ මෙරටට ගෙන එනු ලබන විද්‍යුත් උපකරණ හේතුවෙන් වෙළෙඳපොළ අසමතුලිතතාවක් මෙන්ම, භාණ්ඩවල ගුණාත්මකභාවයේ අඩුවක් දක්නට ලැබෙන බවද විද්‍යුත් උපකරණ ආනයනකරුවෝ මෙහිදී පෙන්වා දුන්නේය.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් ලබාදුන් සියලු ඵලදායි යෝජනා ඉදිරි අයවැය සකස් කිරීමේදී යොදා ගන්නා බවත්,  ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක භාණ්ඩ ආනයනය කිරීම සඳහා අවශ්‍ය නම් නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කළේය.

බදු දැලෙන් රිංගා භාණ්ඩ ආනයනය කරන සංවිධානාත්මක කණ්ඩායම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර බැංකු, මූල්‍ය සහ රක්ෂණ ක්ෂේත්‍ර සම්බන්ධ පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්වුණි.

මෙරට ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළට බැංකු ක්ෂේත්‍රයේ සහාය ලබාදීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, ඊට අදාළ අදහස් සහ යෝජනාද ඉදිරිපත් කෙරිණි.

ඩිජිටල්කරණ වැඩපිළිවෙළ මගින් බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම,  සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පුළුල් කිරීම සහ නව රක්ෂණ ක්‍රම හඳුන්වාදීම ආදිය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමුවිය.

මෙම සියලු යෝජනා පිළිබඳ ඉදිරි අයවැයේදී අවධානය යොමු කරන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කළේය.

රක්ෂණ ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් හට පූර්ව අයවැය සාකච්ඡාවකට ආරාධනා කළ පළමු අවස්ථාව මෙය බව මෙහිදී සඳහන් කළ එම පාර්ශ්වකරුවෝ එම ආරාධනාව සම්බන්ධයෙන් රජයට සිය ප්‍රසාදය පළ කර තිබුණි.

තවද සමුද්‍රයීය භාණ්ඩ ප්‍රවාහන සැපයුම් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ව අයවැය සාකච්ඡාවක් ද ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවැත්විණි.

ඒ, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනි.

පානදුර නිලංගගේ බැංකු ගිණුම් වාර්තා කැඳවීමට නියෝග….

අත්අඩංගුවට ගෙන මේ වනවිට රැඳවුම් භාරයට පත්කර සිටින පානදුරේ නිලංග නමැත්තාගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තාවක් කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදුනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින්, වනවිට රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන මෙම සැකකරුගේ බැංකු ගිණුම් දෙකක් හරහා විශාල වශයෙන් මුදල් සංසරණය වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළේය.

මෙම සැකකරු විසින් සිදුකරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් හා අනෙකුත් අපරාධ ක්‍රියා පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා එම බැංකු ගිණුම් දෙකේ මුදල් සංසරණය වී ඇති ආකාරය පිළිබඳ විමර්ශන සිදුකිරීමට අවශ්‍ය වී තිබෙන බවත් පොලිසිය පෙන්වා දුන්නේය.

ඒ අනුව අදාළ බැංකු ගිණුම් දෙක පරීක්ෂා කර වාර්තා කැඳවීම සඳහා අදාළ බැංකු දෙකට නියෝග නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනතුරුව මෙම නියෝග නිකුත් කළේය.

කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට ඇප….

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන චෝදනා එල්ලවී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් ඇප මත මුදාහරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (16) නියම කළේය.

ඉන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කෙරුණි.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවත් නියම කළේය.

විත්තිකරුවන්ට අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධිචෝදනා භාරදුනි.

ඉන් අනතුරුව විත්තිකරුවන් ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරුද්ධ වන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණය හමුවේ සඳහන් කළාය.

ඉන් අනතුරුව විත්තිකරුවන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා විත්තියේ නීතිඥවරුන් විසින් දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කර තිබුණි.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකාබැලූ මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නීතිපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙම නියෝගය නිකුත් කෙරුණි.

බාල බෙහෙත් නඩුවට කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධිචෝදනා භාරදෙයි….

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්  පිරිසකට අද (16) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධිචෝදනා භාරදුන්නේය.

අධිචෝදනා භාර දීමෙන් අනතුරුව මෙම විත්තිකරුවන් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරුද්ධ වන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

ඒ අනුව විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් මේ වනවිට විත්තියේ නීතිඥවරු දැන් කරුණු ඉදිරිපත් කරති.

සෙවනගල උක් ගොවීන්ට රුපියල් 7,000ක වන්දි මුදලක්…..

සෙවනගල සීනි කර්මාන්තශාලාවේ උක් වගාවන් ගිනි තැබීම හේතුවෙන් වගා හානි සිදු වූ උක් ගොවීන් සඳහා වන්දි මුදල් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, ගිනි තැබීමෙන් විනාශ වී ඇති නිශ්චිත උක් ප්‍රමාණයන් හා වගා හානි සිදු වී ඇති උක් ගොවීන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා උක් පර්යේෂණ ආයතනයේ සහ සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත්, ගිනි තැබීම නිසා විනාශ වූ උක් මෙට්‍රික්ටොන් එකක් සඳහා රුපියල් 7,000/-ක් බැගින් වන්දි මුදලක් එම ගොවීන් වෙත ලබා දීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමට අයත් සෙවනගල සීනි කර්මාන්තශාලාවේ උක් වගාවන්ට කිසියම් පිරිසක් විසින් 2025 අගෝස්තු 16, 20, 21, 22, 24 සහ සැප්තැම්බර් 04 හා 05 යන දිනයන්හිදී ගිනි තැබීම් සිදු කර ඇති බවට වාර්තා වී ඇත.

ඒ හේතුවෙන් ගොවීන් 235 දෙනෙකුට පමණ අයත් උක් මෙට්‍රික්ටොන් 19,000ක් පමණ හානියට පත් වී ඇති බව ඇස්තමේන්තු කර  තිබුණි.

ගින්නෙන් විනාශ වූ උක් පළමු පැය 24 ඇතුළත පමණක් ඇඹරීම සිදු කළ යුතු බැවින්, ගිනි තැබීමෙන් විනාශ වූ උක් මිල දී ගෙන ඇඹරීම 2025‑08‑30 දිනෙන් අවසන් කර තිබේ.

ඒ හේතුවෙන්, උක් වගාවන් හානි වූ ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර, හානි වූ වගාවන් සඳහා ඔවුන්ට වන්දි මුදලක් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු විය.