ගුරුවරයෙක් ගිනි තබාගෙන සියදිවි හානි කරගෙන….

ගුරු නේවාසිකාගාරයක් තුළ ගුරුවරයෙකු ගිනි තබාගෙන සියදිවි නසාගෙන ඇති ශෝචනීය පුවතක් කිලිනොච්චිය, තිරුවයියාරු ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඊයේ (02) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව තිබුණි.

මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය කිලිනොච්චි මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර මරණ පරීක්ෂණයෙන් පසු මළ සිරුර ඥාතීන්ට භාරදීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් කිලිනොච්චි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඉතිහාසයේ ප්‍රථම වරට ASPI ඒකක 22,000 අතික්‍රමණය කරයි…

දෛනික ගනුදෙනු සැසියක් අතරවාරයේ දී ඒකක 22,000 සීමාවට සියලු කොටස් මිල දර්ශකය පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි.

අද පෙරවරු 09.35ට පමණ මෙලෙස මෙම සුවිශේෂී මංසළකුණ අතික්‍රමණය කිරීමට සියලු කොටස් මිල දර්ශකයට හැකියාව ලැබිණ.

ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,017.56ක් ලෙසින් සටහන්ව තිබුණි.

LPL තරග පාවාදුන් හිමිකරුට අධිචෝදනා ගොනුකිරීමට තීරණය කරයි….

2024 LPL ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇපමත මුදාහැර සිටින දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පොලිස් ඒකකය අද (3) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙලෙස අධි චෝදනා ගොනුකිරීමට නියමිතව ඇත්තේ බංග්ලාදේශ සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තමිම් රහ්මාන් නම් නැමැත්තාටය.

මෙම නඩුකරය කොළඹ මහාධිකරණ විනිසුරු අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ අද (3) කැඳවනු ලැබූ අතර, ඒ සඳහා තමිම් රහ්මාන් නැමැත්තාද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පොලිස් ඒකකයේ නිලධාරීන් සැකකරුට එරෙහිව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මහාධිකරණය හමුව අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව අධිකරණයට දැන්වීය.

ඒ අනුව මෙම නඩුව කැඳවීම සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙස එම නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා අදාළ පැමිණිල්ල එළැඹෙන දෙසැම්බර් 5 වනදා කැඳවීමට නියම කළේය.

ජීවිතයක් බිලිගත් මාරක අනතුර – 5ක් රෝහලට – 3කට බරපතළයි….

තණමල්විල – වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ අද (03) අලුයම සිදුවු මාරක අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබේ.

තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට නින්දයෑම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුර සිදුව තිබුණි.

අනතුරින් තුවාල ලැබු වෑන් රථයේ රියදුරු ඇතුළු හයදෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසු එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක රාජකාරී කටයුත්තකට ගොස් යළි බුත්තල බලා යමින් සිටි පිරිසකි.

වෑන් රථයේ රියදුරු 18 හැවිරිදි අයෙකු වන අතර, මියගොස් ඇත්තේ 56 හැවිරිදි දඹුල්ලේ පදිංචිකරුවෙකි.

තුවාලකරුවන් තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ පසුවු තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර යවා තිබේ.

තුවාලකරුවන් අවුරුදු 23, 35 සහ 49 වන වයස්වල පසුවන පුද්ගලයින් බව පොලීසිය පැවසීය.

තණමල්විල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

රත්‍රං තොගයක් නාවික හමුදා භාරයට…..

නීතිවිරෝධී ලෙස ගෙන ආ රත්‍රං තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කල්පිටිය අරච්චල් මුහුදු ප්‍රදේශයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් සහ රත්‍රං තොගය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

සැකකරුවන් සන්තකයේ තිබී රත්‍රං කිලෝ 4යි ග්‍රෑමි 454ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අදාළ රත්‍රං ප්‍රවාහනයට යොදාගත් කුඩා බොට්ටුවක්ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්ය.

ඉතා සූක්ෂම ආකාරයෙන් මාලු දැල්වලට යෙදන ඊයම් ලෙස මෙම රත්‍රං තොගය රැගෙන යාමට සුදානම්කර තිබූ බව නාවික හමුදාව පැවසුවේය.

සැකකරුවන් කල්පිටිය, වෙන්දේසි වත්ත සහ ආනවාසල ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.

හොර පාරේ ගෙන් වූ ජංගම දුරකතන ඇතුළු භාණ්ඩ තොගයක් මාලිගාවත්තේ….

රේගු බදු නොගෙවා කටුනායක ගුවන්තොටුපොළ හරහා හොර රහසේ රැගෙන ආ බව කියන රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකතන, සුවඳ විලවුන් ඇතුළු උපාංග තොගයක් සමග පුද්ගලයන් සිව් දෙනෙකු මාලිගාවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර දෙමස්සිනාලා දෙදෙනෙකුද සිටින බව පොලීසිය පැවසීය.

සැකකරුවන් සතුව ස්මාට් වර්ගයේ ජංගම දුරකතන 26ක්, අයිපෑඩ් 10ක්, ටැබ් 10ක්, ලැප්ටොප් පරිගණක 3ක්, විවිධ වර්ගයේ සුවඳ විලවුන් තොගයක් සහ ශරීර ආලේපන තොගයක් තිබී සොයාගෙන ඇත.

මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.බී.එස්. කල්‍යාණතුංග මහතාට ලද තොරතුරකට අනුව මාලිගාවත්ත රම්‍යා ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නිවසක් තුළ මෙම භාණ්ඩ තොගය තිබී සොයාගෙන තිබේ.

පසුගිය 30වනදා ඩුබායි වෙත ගොස් තිබූ මෙම සැකකරුවන් ඊයේ (2) යළිත් මෙරටට පැමිණීමේ දී මෙම භාණ්ඩ තොගයට නීතිවිරෝධීව මෙරටට රැගෙන පැමිණ ඇත.

අත්අඩංගුව ගත් සැකකරුවන් මාලිගාවත්ත සහ කොච්චිකඩේ ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර, ඔවුන් පිළිබඳ වැඩිදුර විමර්ශන මාලිගාවත්ත පොලීසිය විසින් සිදුකරයි.

පොලිස් නිලධාරියෙකු මරා දැමීමට තැත් කළ අයෙකුට සිරදඬුවම්….

පොලිස් නිලධාරියෙකු වාහනයකට යටකර මරා දැමීමට තැත් කළේ යැයි චෝදනා ලබා සිටි පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 15ක සිරදඬුවමක් නියම කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන එම පුද්ගලයා මීට වසර 17කට පමණ ඉහතදී දෙහිවල නැදිමාල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට සහභාගී වී සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියෙකු එලෙස වාහනයකට යටකර මරා දැමීමට තැත්කර ඇත.

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් එම පුද්ගලයාට ඊයේ (02) මෙම දඬුවම නියම කර තිබේ.

නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වන පුද්ගලයින් හා මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාකරන පොලිස් නිලධාරීන්ට මෙවැනි හානිකර ක්‍රියා සිදුකරන පුද්ගලයින් නීතිය ආධිපත්‍යයට බරපතළ තර්ජනයක් බවත්, ඔවුන්ට අධිකරණයෙන් කිසිදු සමාවක් හිමි නොවන බව සඳහන් කරමින් මහාධිකරණ විනිසුරුවරිය මෙම තීන්දුව ලබා දී ඇත.

ඊට අමතරව මෙම විත්තිකරුට රුපියල් 10,000ක දඩයක්ද නියම කෙරිණි.

2008 වසරේ ජනවාරි මස 17 වනදා දෙහිවල නැදිමාල ප්‍රදේශයේදී මෙම විත්තිකරු මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කාර් රථයෙන් ගමන් කරමින් සිටියදී පොලීසිය විසින් ඔහුට නවතින ලෙස සංඥා කර තිබේ.

එම අවස්ථාවේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැරයන්වරයා වාහනයෙන් යටකර මරා දැමීමට තැත් කිරීම, බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි.

දීර්ඝ විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරුවරිය විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු කරන බව සඳහන් කළේය.

දඬුවම් නියම කිරීමට පෙර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ කලන කොතලාවල මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ, රටට පිළිලයක් බවට පත් වී තිබෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අත්අඩංගුවට ගැනීමට දිවි පරදුවට තබා කටයුතු කළ පොලිස් නිලධාරීන්ට මේ ආකාරයෙන් අනතුරු සිදුකිරීම නීතියේ ආධිපත්‍යයට එල්ලවී තිබෙන බරපතළ තර්ජනයක් බවය.

ඒ අනුව විත්තිකරුට නීතියෙන් ලබා දිය හැකි උපරිම දඬුවම් ලබාදෙන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී තිබෙන බවය.

විත්තිකරු සිදුකර තිබෙන ක්‍රියාව සුළුවෙන් තැකිය නොහැකි බවත්, ඒ අනුව ඔහුට මෙම දඩුවම් නියම කරන බවත් තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය වැඩිදුරටත් සඳහන් කළේය.

සා. පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්……

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින සිටින සිසුන් සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර කැඳවීම සඳහා ලබා දී තිබෙන අවස්ථාව එළැඹෙන ඔක්තෝබර් 9වනදා අවසන් වේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ, එදින මධ්‍යම රාත්‍රී 12න් පසු මාර්ගගත ක්‍රමවේදය වසා තබන බවය.

එමෙන්ම යළි කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවත්, අවසාන දිනට පෙර අයදුම්පත් යොමු කිරීම අනිවාර්ය බවත් එම නිවේදනයේ දැක්වේ.

එළැඹෙන සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් අයදුම්පත් කැඳවීම ඉකුත් සැප්තැම්බර් 18වනදා සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ මේ දිනවල සිදුකෙරේ.

මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය නම් 0112-784208/ 0112-784537/ 0112-785922 දුරකතන අංක යටතේ විමසිය හැකිය.

ඊට අමතරව 0112-784422 යන ෆැක්ස් අංකය හෝ gceolexansl@gmail.com යන විද්‍යුත් තැපෑල මගින්ද විමසීම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දැනුම්දීමක්….

මාසික ගෑස් මිල සංශෝධනය අනුව මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ සංශෝධනය සම්බන්ධව එම ආයතනය දැනුම්දී තිබේ.

ඒ අනුව මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් නොවන බව එම ආයතනය පවසයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක් වන අතර
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482කි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694ක් ලෙසත් නොවෙනස්ව පවතී.

පාසල් සිසුවෙක් පහරදී ගුරුවරයා රෝහලට….

මොනරාගල ප්‍රසිද්ධ පාසලක සිසුවෙක් සිදුකළ පහරදීමකින් ගුරුවරුයෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අද (01) උදෑසන මෙම පහරදීම සිදුව ඇති අතර, තුවාල ලැබූ ගුරුවරුයා මේ වනවිට මොනරාගල මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ජංගම දුරකථනයක් පාසලට රැගෙන ඒම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම හේතුවෙන් අදාළ සිසුවා ගුරුවරයාට පහරදී ඇතැයි වාර්තා වේ.