ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීමේ සාකච්ඡාවක්…..

“ප්‍රජාශක්ති” ජාතික වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීමේ  සාකච්ඡාවක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) පස්වරුවේ පැවැත්විණි.

“ප්‍රජාශක්ති” වැඩසටහන සමාජය සවිබල ගැන්වීම  සහ ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

ප්‍රජාශක්ති වැඩසටහනේ 2026 වර්ෂයේ වත්මන් ප්‍රගතිය, ඊට අදාළ ධාරිතා සංවර්ධන වැඩසටහන්  මෙන්ම 2027 වර්ෂයේ ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

විශේෂයෙන්ම, එළැඹෙන වසරේ අයවැය යෝජනා සකස් කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වූ අතර, මේ පිළිබඳව තීන්දු තීරණ ගැනීමට ප්‍රජාශක්ති මෙහෙයුම් කමිටුවේ සාකච්ඡාවක් ලබන 6 වනදා පැවැත්වීමට තීරණය කෙරිණි.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින්, බහුවිධ ප්‍රවේශයක් සහිත සමාජය සවිබල ගැන්වීමේ වැඩසටහනක් ලෙස ප්‍රජාශක්ති වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර, රජය යටතේ ක්‍රියාත්මක කරන ජාතික මට්ටමේ වැඩසටහන් 03 අතරින් ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ සමාජයේ සියලුම ජන කොටස් අතර සාධාරණව බෙදී යාම සහතික කිරීමත්, ඉලක්කගත සංවර්ධනයක් ඔස්සේ ග්‍රාමීය ප්‍රදේශ පරිපූර්ණ සංවර්ධනයක් කරා ගෙන යාමත් මෙම වැඩසටහනෙහි අරමුණයි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්. එම්. එම්. යූ. බී. හේරත් යන මහත්වරුන්, ග්‍රාමීය සංවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු අදාළ ආයතනවල මහත්ම මහත්මීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

හෙට පළාත් කිහිපයකට මිනිස් සිරුරට දැනෙන උණුසුමක්….

බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ, උතුරු, උතුර-මැද පළාත්වල සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශයන්හි හෙට (31) මිනිස් සිරුරට දැනෙන උණුසුම් කාලගුණික තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (30) ප.ව. 3.30ට නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වේ.

නමුත් මෙය උපරිය වායුගෝලීය තත්ත්වයක් නොවන බව එම නිවේදනයේ සඳහන් වෙයි.

වැඩබිම් තුළ ක්‍රියාකරන විට ප්‍රමාණවත් පරිදි ජලය ලබා ගන්නා ලෙසද සෙවණ ඇති ස්ථානයන්හි විවේක ගන්නා ලෙසද  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සඳහන් කර තිබේ.

වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙසද විශේෂයෙන් කුඩා ළමුන් වාහන තුළ තනියම රැඳවීමෙන් වළකින ලෙසද නිවේදනයේ සඳහන් කර ඇත.

මේ අතර, අධික වෙහෙසකර කටයුතු සීමා කරන ලෙසද සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුර පවසයි.

අණ නොකතා ධාවනය කළ මෝටර් රථයට පොලීසියෙන් වෙඩි….

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකපිට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් කණ්ඩායමක් මීගමුව ප්‍රදේශයේදී අද (30) පස්වරුවේ මෝටර් රථයකට වෙඩිතැබීමක් සිදුකර තිබේ.

ඒ එම රථය පරීක්ෂාව සඳහා නැවැත්වීමට සංඥාකිරීමේදී එය නොනවත්වා ඉදිරියට ධාවනය කිරීම හේතුවෙන්ය.

වෙඩිතැබීමත් සමග මෝටර් රථය අනතුරට ලක්ව ඇති අතර සිද්ධියේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකු ද තුවාල ලබා තිබේ.

අනතුරුව මෝටර් රථයේ සිටි දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500කට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

මහින්දානන්දගේ සහ නලින්ගේ කැරම්බෝඩ් නඩුවේ මුලික විරෝධතා ඉවතට….

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කළේය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 ක් ආනයනය කර බෙදා හැරීම තුළින් රුපියල් මිලියන 39 ක් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය මෙලෙස තීන්දු කර ඇත.

මේ අතර අදාළ නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම් කර සිටි ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතා නීතිපතිවරයා විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 වන වගන්තිය යටතේ කළ ඉල්ලීම මත ඔහු එම නඩුවෙන් මුදා හැරීමටද අධිකරණය තීන්දු කර තිබේ.

මීට පෙර මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් මූලික විරෝධතා මතු කළ ඔවුන්ගේ නීතිඥවරු සිය සේවාදායකයින් දෙදෙනා මේ හා සමාන චෝදන‍ෙවලට අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුවකට වරදකරු වී සිර දඬුවමක් නියම වී සිටින බව සඳහන් කළේය.

ඒ අනුව එකම චෝදනාවකට මේ ආකාරයෙන් නැවත නඩු පැවරීම නීතියට පටහැනි බවත් ඒ අනුව මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවත් සඳහන් කරමින් විත්තියේ නීතිඥවරු විසින් මූලික විරෝධතා මතු කර තිබුණි.

එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් සිය නියෝගය ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩුව ගොනු කර තිබුණේ අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ බව සඳහන් කළේය.

එහෙත් නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 170 වන වගන්තිය යටතේ බව විනිසුරුවරයා පෙන්වා දී තිබේ.

විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් පනත යටතේ ඉදිරිපත් කළ චෝදනා සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ ඉදිරිපත් කළ චෝදනා සංසන්දනය කිරීමේදී ඒවායේ සංඝටක එකිනෙකට වෙනස් බව අධිකරණයට නිරීක්ෂණ වුණේ යැයි සඳහන් කළ විනිසුරුවරයා ඒ අනුව නීතිපතිවරයාට මෙම චෝදනා සම්බන්ධයෙන් නඩු පැවරීමට හැකියාව තිබෙන බව සඳහන් කර තිබේ.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ ඉදිරිපත් කළ චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට හැකි බවත් ඒ අනුව මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය කරන බවත් විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජූනි මස 26 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියෝග කර තිබේ.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී අධිකරණ විසින් කළ නියෝගයකට අනුව වෙනත් නඩුවක් සඳහා සිරදඬුවම් නියම වී සිටින විත්තිකාර හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

CCD යේදී ඉෂාරා සෙව්වන්දි වෙනුවෙන් සූදානම් කළ උපන්දින සාදය…..

ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලව කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින ඉෂාරා සෙව්වන්දි වෙනුවෙන් උපන්දින සාදයක් සූදානම් කිරීමේ පුවතක් වාර්තා විය.

සැකකාරියගේ උපන්දිනය පසුගිය ඉරිදා (29) යෙදී තිබී ඇති අතර ඒ වෙනුවෙන්  කොළඹ දිසා අපරාධ කොට්ඨාසය තුළ කේක් කපා සැමරුමක් සූදානම් කර ඇති බවට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාට පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් තොරතුරක් ලැබී තිබේ.

එම තොරතුර එම කොට්ඨාසයේ බුද්ධි අංශ නිලධාරියෙකුගෙන් තහවුරු කරගැනීමෙන් පසු එහි ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ගෙන එම ක්‍රියාව වහාම නවත්වන්නැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා දැඩිව පවසා ඇති බව සඳහන් වේ.

අනතුරුව කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාව කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට යවා ඒ පිළිබඳ සොයාබලන ලෙස උපදෙස් ලබාදී ක්ෂණිව නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාද එම ස්ථානයට ගොස් තිබේ.

එහිදී සිදුකළ සොයාබැලීමේදී අනාවරණ වී ඇත්තේ, ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරා කේක් ගෙඩිය එහි ගෙනැවිත් ඇති බවය.

උපන්දින සැමරුමට සෙව්වන්දිගේ ලොකු අම්මා හා ඇයගේ පුත්‍රයාද කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට පැමිණ තිබේ.

අනතුරුව ඉෂාරා සෙව්වන්දි, ඇය රඳවා සිටින සිර කුටියෙන් පිටතට ගෙන ඒ අසල වූ ස්ථානයක කේක් ගෙඩිය කැපීමට සියල්ල සූදානම්කර තිබී ඇති බවත් මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණි.

උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඒ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා අවසර ලබාදී ඇති බවද අනාවරණ වන බවය.

එමෙන්ම “කේක් එක කපලා ෆොටෝ ගන්න එපා. පස්සේ ඔවා ඉන්ටර්නේට් එකේ යයි” යනුවෙන් ඔහු පවසා ඇති බවත් සඳහන් වේ.

ඒ අනුව ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරා, ඇයගේ ලොකු අම්මා හා ඇයගේ පුත්‍රයාගෙන් මෙන්ම අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගෙන් ද ඇතුළුව 15 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන තිබේ.

එමෙන්ම කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ලිඛිතව දැනුම්දී තිබුණි.

උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ මෙම කේක් ගෙඩිය රැගෙන ඒම සම්බන්ධයෙන් ඉෂාරා සෙව්වන්දිගේ සහෝදරයා සමග අදාළ ස්ථානාධිපතිවරයා දුරකථනය ඔස්සේ කතාබහකර ඇති බවත් කලක සිට ඔවුන් දෙදෙනා දුරකථනය ඔස්සේ කතාබහ කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී ඇති බවය.

ඒ අනුව පොලීසිය පවසන්නේ ස්ථානාධිපතිවරයා විසින් අදාළ උපන්දින සාදය සැලසුම්කර අවස්ථාව ලබාදී ඇති බවය.

පොලිස් ආරංචිමාර්ග පවසන්නේ බොහෝදුරට අදාළ ස්ථානාධිපතිවරයාගේ වැඩ ඉදිරියේදී තහනම් කිරීමට නියමිත බවය

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිස්සා මහතාගේ සෘජු අධීක්ෂණයෙන් ක්‍රියාත්මකය.

අතුරුදන්වූ මැණික් ව්‍යාපාරිකයාගේ මළ සිරුර පතල් වළක තබී සොයාගනී……

කහවත්ත, නීලගම ප්‍රදේශයේදී අතුරුදන්වූ මැණික් ව්‍යාපාරිකයාගේ මළ සිරුර පතල් වළක තිබී අද (30) හමුවී තිබේ.

කහවත්ත, නීලගම මාර්ගයේ දී මැණික් ව්‍යාපාරිකයෙකු අබිරහස් ලෙස අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කහවත්ත පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

මෙලෙස අතුරුදන්ව සිටියේ කහවත්ත කට්ටංගේ ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි දෙදරු පියෙකි.

පසුගිය 28 වනදා දහවල් කාලයේ දී මෙම මැණික් ව්‍යාපාරිකයා කහවත්ත – නීලගම මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කර ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබුණි.

පසුව ඔහුගේ එම යතුරුපැදිය කහවත්ත නීලගම මාර්ගයේ වංගුවක් අසළ නවතා තිබියදී හමු වූ අතර ඊයේ (29) දිනයේදී ඔහුගේ ජංගම දුරකථනය ද එම මාර්ගය ආසන්නයේම තේ වතුයායක තිබී සොයාගෙන තිබුණි.

ව්‍යාජ ආදායම් සහතිකයක් නිකුත්කළ විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙකු අත්අඩංගුවට……

රජයේ ඉඩමක් අධි ආදායම්ලාභී පුද්ගලයන් වෙත ගොවි පන්තිය යටතේ ලබාදීමට ව්‍යාජ ආදායම් සහතිකයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (30) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු විසින් තම ධූර බලය භාවිත කර ව්‍යාජ ආදායම් සහතිකයක් නිකුත් කිරීම මගින් රජයට රුපියල් 10,625,000ක පාඩුවක් සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එමෙන්ම, මෙම ක්‍රියාව මගින් බාහිර පාර්ශ්වයකට අයථා වාසි ලබාදී ඇති බවද සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

කැබ් – ට්‍රැක්ටර් අනතුරින් අඹුසැමි යුවළක් මරුට….

මහියංගනය-ගිරාඳුරු කෝට්ටේ මාර්ගයේ 03 කණුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඊයේ (27) රාත්‍රී කාලයේ මෙම අනතුර සිදුව ඇති බවය.

ගිරාඳුරු කෝට්ටේ දෙසට ධාවනය වූ කැබ් රථයක්, වෙනත් වාහනයක් ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ට්‍රැක්ටර් රථයක ගැටී මෙම අනතුරු සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූ ට්‍රැක්ටර් රථයේ රියැදුරු, කැබ් රථ රියැදුරු සහ එහි පසුපස ගමන් කළ පුද්ගලයින් 07 දෙනෙකු ප්‍රතිකාර සඳහා මහියංගනය රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී, තුවාල ලැබූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මරණයට පත්වූවන් වයස අවුරුදු 57ක් සහ 44ක් වූ මහියංගනය ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් බව හඳුනාගෙන තිබේ.

මහියංගනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

අන්තර්ජාල මුදල් වංචාවේ නිරතවී සිටි චීන්නු 16ක් මීගමුවේදී කොටුවෙයි….

මෙරට තුළ රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරතවීම සම්බන්ධයෙන් චීන ජාතිකයින් 16ක් සහ කාම්බෝජ ජාතිකයින් දෙදෙනෙකු මීගමුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව පොලිසිය විසින් ඊයේ (27) සිදුකළ වැටලීමකදී මීගමුවේ පිහිටි ලැඟුම්හලකදී අදාළ සැකකරුවන් සමග පරිගණක සහ එම උපාංග තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2026.04.06 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර මීගමුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් පංචිකාවත්තේ දී කොටුවෙයි….

මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් පංචිකාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

පිටකොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 34ක් වන පංචිකාවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ඇය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 710 ක් මිලිග්‍රෑම් 603ක්, හෙරොයින් ග්‍රෑම් 934 මිලිග්‍රෑම් 575ක්, හෑෂ් ග්‍රෑම් 300 මිලිග්‍රෑම් 575ක් සොයා ගෙන ඇති බවද සඳහන් වේ.

එමෙන්ම මත්පෙති 300ක්, විද්‍යුත් තරාදියක්, මුදල් ගණනය කිරීමේ යන්ත්‍රයක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැලකෙන රුපියල් 8,59,730ක මුදලක් හා ජංගම දුරකථන 06ක් ද අදාළ කාන්තාව සතුව තිබී සොයා ගෙන ඇත.

සැකකාරිය අද (28) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පිටකොටුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.