රන් මිල නැවතත් ඉහළට…..

මෙරට රත්‍රං මිල පසුගිය සතියට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද (11) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 310,000ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (10) දිනයේ දී එය දැක්වුණේ රු. 305,300ක් ලෙසය.

මේ අතර ඊයේ (10) දිනයේ දී රු. 330,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 335,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරු 5ක් මේජර් ජෙනරාල් නිලයට…..

76 වන යුද්ධ හමුදා දිනට සමගාමීව බ්‍රිගේඩියර්වරුන් 05 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කර තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා‍ හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ යන මහත්වරුන් විසින් මෙම නිර්දේශ ලබා දී ඇති බව සඳහන්ය.

ඒ අනුව ක්‍රියාන්විතයේදී තුවාල ලබා රණක්‍ෂිතයට පත් බ්‍රිගේඩියර්වරුන් 05 දෙනෙකුගේ සේවය අගයමින් සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, ඔවුන් මේජර් ජෙනරාල් නිලයට නිල උසස් කිරීම් සිදුකර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේය.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වාරියපොළට ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානයක්….

රජය විසින් ආරම්භ කර ඇති ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීමේ තවත් එක් වැදගත් පියවරක් සනිටුහන් කරමින්, වාරියපොළ ප්‍රදේශයේ නව ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානයක් (MRF) ඉදිකිරීමේ කටයුතු ඊයේ (10) ආරම්භ කෙරිණි.

වාරියපොළ ප්‍රාදේශීය සභාවට අයත් ඉඩමක ස්ථාපනය කෙරෙන මෙම ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය සඳහා රුපියල් මිලියන 33ක මුදලක් වැය කිරීමට නියමිතය. නොදිරන අපද්‍රව්‍ය ලෙස සැලකෙන ප්ලාස්ටික්, පොලිතීන් සහ වෙනත් අබලි ද්‍රව්‍ය විධිමත් ලෙස එකතු කර, වර්ග කර ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කිරීම මෙහි මූලික අරමුණයි.

මෙම ව්‍යාපෘතිය “ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කෙරෙන අතර, රටේ අපද්‍රව්‍ය ගැටලුවට තිරසාර විසඳුම් ලබා දීම ඉලක්ක කෙරේ.

කසළ රඳවන වෙත යොමු කෙරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කිරීම, ප්‍රතිචක්‍රීකරණය ප්‍රවර්ධනය කරමින් චක්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම සහ පරිසර දූෂණය අවම කිරීම මෙමගින් අපේක්ෂා කෙරෙන අතර, මෙම මධ්‍යස්ථානය මඟින් ප්‍රදේශවාසීන් වෙත නව ‘හරිත රැකියා’ අවස්ථා උදා වනු ඇත.

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතිය යටතේ ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන 58ක් ඉදිකිරීමට නියමිතය. ඒ යටතේ මෙම වසරේදී ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන හතරක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති අතර, එහි පළමු මධ්‍යස්ථානය, මඩකළපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි ප්‍රදේශයේදී පසුගිය දා ආරම්භ කෙරිණි. මීට අමතරව තලාව සහ තංගල්ල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් තවත් මධ්‍යස්ථාන දෙකක් ඉදිකිරීමට නියමිතය.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සුජීව දිසානායක, වාරියපොළ ප්‍රාදේශීය සභා සභාපති ජී.ජේ.එස්. කුමාරසිංහ යන මහත්වරු සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ (පාරිසරික) අංජුල ප්‍රේමරත්න, අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ) ඉසුරු අනුරාධ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්…..

හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 39 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන “තොටළඟ කන්නා” නමැත්තාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය ඔහු අත්අඩංගුවට ගෙන වහාම දඬුවම ක්‍රියාත්මක කරන ලෙස දන්වා පොලිස්පතිවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ඊයේ (11) නියෝගයක් නිකුත් කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ  විනිසුරු මංජුල තිලකරන්න මහතා මෙම තීන්දුව ලබා දුන්නේය.

2014  වසරේ දෙසැම්බර් මස 26 වන දා ඇළකන්ද ප්‍රදේශයේදී  හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 39.99ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් කනපති ගනේෂ් හෙවත් තොටළඟ කන්නා නමැත්තාට එරෙහිව නිතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබුණි.

නඩු විභාගය පැවති අවස්ථාවේදී ඇප ලබා සිටි විත්තිකරු අධිකරණය මගහැර පලා යාම හේතුවෙන් එම විත්තිකරු නොමැතිව නඩු විභාගය පැවැත්විණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී තිබෙන බව සඳහන් කළේය.

ඒ අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා මෙහිදී නියෝග කළේය.

යාපනයේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 30 දෙනා රිමාන්ඩ්….

යාපනය, ඩෙල්ෆ් මුහුදු සීමාවේදී මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් අනවසර ලෙස මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 30 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ට්‍රෝලර් යාත්‍රා 04කින් පැමිණ මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් මසුන් අල්ලමින් සිටියදී අදාළ ඉන්දීය ධීවරයින් පිරිස පසුගියදා නාවික හමුදා භාරයට ගෙන තිබුණි.

පසුව ඔවුන් මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට පියවර ගත් අතර ඉන් පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගැනුණි.

එහිදී මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ අදාළ ඉන්දීය ධීවරයින් පිරිස රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය.

ඒ අනුව සැකකරුවන් 30 දෙනා එළැඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධව මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය හා නාවික හමුදාව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

විදුලි ගාස්තුව ගැන කොමිසමේ අවසන් තීරණය 14 වනදා

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව කොමිසමේ අවසන් තීරණය මේ මස 14 වන අඟහරුවාදා ප්‍රකාශය කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එහි අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ, ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව සියයට 6.8කින් ඉහළ නැංවීමට යෝජනා කර ඇති බවය.

ප්‍රතිව්‍යූවගතකරණ වැඩපිළිවල නිවැරදි ආකාරයෙන් සිදුකිරීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් විදුලි ගාස්තුව ඉහළ නැංවීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා පැවසීය.

මේ අතර විදුලිබල මණ්ඩලය කොටස් කිරීම මගින් දැනට ලක්ෂ 15 ක්ව පවතින අධ්‍යක්ෂ මණ්ඩල ගාස්තුව රුපියල් කෝටියකට ආසන්න ප්‍රමාණයක් දක්වා ඉහළ යන බව විදුලිය පාවිච්ච් කරන්නන්ගේ සංගමයේ සභාපති එම්. ඩී. ආර් අතුල මහතා පැවසීය.

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුට එරෙහි තවත් නඩුවක මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට දින දෙයි….

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 ක් ආනයනය කිරීම තුළින් රුපියල් මිලියන 39 ක අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරුන් වූ මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ විත්තිය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මූලික විරෝධතා නොවැම්බර් මස 21 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (10) නියම කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික. සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.

එම අවස්ථාවේදී මීට පෙර අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුවකට අදාළව සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී විත්තිකාර නලින් ප්‍රනාන්දු සහ මහින්දානන්ද අලුත්ගමගේ යන අය වෙනුවෙන් පෙනී සිටි සංජේ රාජරත්නම් සහ නලින් ලද්දුව හෙට්ටි යන ජනාධිපති නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ පැමිණිල්ල විසින් ලබාදන බව කී ලේඛන මෙතෙක් ලබාදී නොමැති බවය.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය වෙත ලබාදිය යුතු ලේඛන අධිකරණ කාර්යාලයට භාරදී ඇති බවත් ඒවා ඔවුන්ට එම කාර්යාලයෙන් ලබාගත හැකි බවත් සඳහන් කළේය.

එම ලේඛනවල පිටපතක්  නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා විසින් අධිකරණයටද බාර දුන්නේය.

එහිදී විත්තිය නීතිඥවරු අධිකරණය නොමග හැරීමට කටයුතු කරන බවත් මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කළේය.

මෙහිදී විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුව හෙට්ටි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම මගින් මීට පෙර පැවරූ නඩුවකට වරදකරු කෙරෙනු සේවාදායකයාට අධිකරණය මගින් දඬුවම් නියම කර තිබෙන බවත් එසේ වරදකරු කෙරුණු චෝදනා සහ මෙම නඩුවේ චෝදනා එක හා සමාන බවත් පෙන්වා දුන්නේය.

එසේ තිබියදී එක සමාන චෝදනාවලට යළිත් මේ ආකාරයෙන් නඩු පවරන්නේ කෙසේදැයි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළේය.

එම අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කියා සිටියේ මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ නඩුවේ අන්තර්ගත චෝදනාවලට වඩා වෙනස් චෝදනා මෙම නඩුවේ ඇතුළත් වන බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අධිකරණ කාර්යාලයේ පවතින අදාළ ලේඛන ලබාගෙන ඒවායේ යම් අඩුපාඩු තිබේ නම් ඒවා මීළඟ නඩු දිනයට පෙර මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙස නියම කළේය.

ඉන් අනතුරුව මෙම නඩුවට අදාළ මූලික විරෝධතා නොවැම්බර් මස 21 වනදා  ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා විසින් විත්තියේ නීතිඥවරුන්ට නියෝග කළේය.

මීළඟ දින බන්ධනාගාරගතව සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විසුරුවරයා විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව විභාගයට දිනදෙයි…

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව දෙසැම්බර් මස 10වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (10) නියම කළේය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිල්ල සහ විත්තියේ නීතිඥවරු අධිකරණයට දැනුම් දී සිටියේ, මෙම නඩුකරයට අදාළ ලේඛනවල මුල් පිටපත් පරීක්ෂා කිරීමට අවශ්‍ය බවය.

ඒ අනුව අදාළ ලේඛන පරීක්ෂා කිරීමට විනිසුරුවරයා පාර්ශවකරුවන්ට අවසර ලබාදුන්නේය.

ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කළ විනිසුරුවරයා, නඩු විභාගය දෙසැම්බර් මස 10 වනදා පැවැත්වීමට දින නියම කළේය.

2013 වසරේ සැප්තැම්බර් මස 21 සහ ඔක්තෝබර් මස 24 වනදා දක්වා කාල සීමාව තුළ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී රු. 494,000ක මුදලක් හලාවත පිහිටි බැංකුවක ගිණුමකට බැර කරන ලෙස සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරීන් බලපෑම් කිරීම හා පෙළඹවීම තුළින් අල්ලස් පනත යටතේ ‘දූෂණය’ නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර ඇත.

අතුරුදන් වූ එක් සිසුවෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් හමුවෙයි….

මහනුවර, තැන්නේකුඹුර පාලම ආසන්නයෙන් අතුරුදන් වූ බවට පැවසූ සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මෘත ශරීරය මහවැලි ගඟේ පාවෙමින් තිබිය දී සොයාගෙන තිබේ.

දරුවාගේ මෘත ශරීරය මහවැලි ගඟේ හාරගම ප්‍රදේශයේ පාවෙමින් තිබිය දී අද (10) පෙරවරුවේ සොයාගෙන ඇත.

එලෙස මෘත ශරීරය හමුව ඇත්තේ,  රවිචන්ද්‍රන් ජෙගදිස් නැමති 14 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවාගේය.

ඊයේ (09) දිනයේ දී පාසල් සිසුන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවට වාර්තා වුණි.

මෙලෙස අතුරුදන්ව සිටියේ මහනුවර නගරයේ පාසල් දෙකක ඉගෙනුම ලබමින් සිටි තැන්නේකුඹුර ප්‍රදේශයේ පදිංචි 09වන වසරේ සහ 08 වන වසරේ ඉගෙනුම ලැබූ 14 හැවිරිදි රවිචන්ද්‍රන් ජෙගදිස් සහ එම්.මිලාන් නැමැති සිසුන් දෙදෙනෙකි.

මෙම සිසුන් දෙදෙනා ඊයේ පස්වරුවේ නිවෙස්වලින් පිටව ගොස් ඇත්තේ සුරතල් මසුන් මිලදී ගැනීමට දිගන ප්‍රදේශයට යන බව පවසමිනි.

මේ අතර,  ඊයේ (08) පස්වරුවේ මෙම සිසුන් දෙදෙනා මහවැලි ගඟට බැස ගල්තලාවක සිටි බව එම ප්‍රදේශයේ ධීවරයෙකු පොලීසියට පවසා ඇත.

මෙම ධීවරයා සිසුන් දෙදෙනාට ගඟට නොබසින ලෙසට අවවාද සිදුකළත් ඔවුන් ධීවරයාට පවසා ඇත්තේ තමන්ට පිහිනීමට හැකි බවය.

නමුත් පසුව බලන විට වර්ෂාවත් සමඟ ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබූ බවත් සිසුන් දෙදෙනා එම ගල්තලාවේ නොසිටි බැවින් ඔවුන් ගඟෙන් එගොඩ වන්නට ඇති බව තමන් සිතූ බවත් ධීවරයා පොලීසියට වැඩිදුරටත් පවසා තිබේ.

එමෙන්ම තවත් කිහිපදෙනෙකු ද මෙම සිසුන් දෙදෙනා මහවැලි ගඟට බැස සිටිනවා දුටු බව පොලීසියට පවසා ඇත.

නමුත් අතුරුදන්ව සිටින ජෙගදීස් සිසුවාගේ මව පවසා ඇත්තේ තම පුතුට පිහිනීමට නොහැකි බවත් කිසිවිටෙකත් සිය පුතු මහවැලි ගඟට දිය නෑමට නොයන බවත්ය.

මේ අතර, අතුදන්ව සිටින සිසුන් දෙදෙනාගේ යහලුවෙකුගේ පියෙකු පොලීසියට පවසා ඇත්තේ, මෙම සිසුන් දෙදෙනා සිය පුතුටද මහවැලි ගඟේ දිය නෑමට ආරාධනා කළ නමුත් ඔහු ඔවුන් සමඟ නොගිය බවය.

මහනුවර මූලස්ථාන පොලීසිය සහ බලගොල්ල පොලීසිය එක්ව අතුරුදන්ව සිටින සිසුන් සෙවීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්ම කළ අතර, නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක්ද යොදවා මහවැලි ගඟේ සෙවීමේ කටයුතු සිදුකළේය

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මහේෂ්ගේ මස්සිනා ආයුධ සමග මාට්ටු…

විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව පැවසෙන ‘මහේෂ් බංඩාර’ ගේ මස්සිනා අවි හා තියුණු ආයුධ සමග පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්‍ෂ (බුද්ධි/විශේෂ මෙහෙයුම්) පොලිස් අධිකාරී ඩී.පී.යු. කොඩිතුවක්කු මහතාගේ මඟපෙන්වීම හා අධීක්ෂණයෙන් සිදුකළ මෙහෙයුමක දී මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබුණි.

ඊයේ (09) පන්නල පොලිස් වසමේ මාකඳුර, ගෝනවිල ප්‍රදේශයේ අදාළ වැටලීම සිදුකර ඇත.

එහි දී පහත සඳහන් අවි ආයුධ සමඟ වයස අවුරුදු 46ක් වන මාකඳුර, ගෝනවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පන්නල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

අත්අඩංගුවට ගත් භාණ්ඩ :-

1) විදේශිය රටක නිශ්පාදිත රිපිටර් වර්ගයේ අවි 01 යි.
2 )විදේශීය නිශ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවි 01 යි.
3) පිස්තෝල අවිය සදහා යොදන පතුරම් ගැබ් 01 යි.
4)9mm වර්ගයේ උණ්ඩ 07 යි.
5) බෝර 12 වර්ගයේ උණ්ඩ 09 යි.
6) කඩු 01 යි.
7) මුදල් රුපියල් 1,100 යි.
8) 791432553V දරණ ජාතික හැදුනම්පත සමග මුදල් පසුම්බි 01 යි.