ආපදාවන්ට ලක්වූ කර්මාන්තකරුවන් ඔසවා තබන්න රජයෙන් සහාය….

අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්වූ වත්මන් ණය ගනුදෙනුකරුවන්ගේ දැනට පවතින ණය පහසුකම්වල මුල් ණය මුදල හෝ ණය පොළී ආපසු ගෙවීම මාස 3 සිට 6 දක්වා කාලයක් ඒ ඒ සිද්ධිය සලකා බලමින් අත්හිටුවීමට තීරණය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද (11) පස්වරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු සඳහා නිකුත්කළ නිර්දේශ සැලකිල්ලට ගෙන ඔහු මේ බව පැවසීය.

ඒ අනුව ණය අත්හිටුවන කාලය තුළ අදාළ ගිවිසුම්ගත පොලී අනුපාතයට වඩා වැඩි පොලී අනුපාතයක් අය නොකරන ලෙසත්, කල්දැමූ පොලී ගෙවීම් සඳහා කිසිදු පොලියක් අය නොකරන ලෙසත් බලපත්‍රලාභී බැංකුවලට මහ බැංකුව දන්වා ඇත.

එමෙන්ම නව ණය පහසුකම් ලබාදීම සඳහා අවශ්‍ය උපදෙස්ද ලබාදී තිබේ.

“අපි සම්මත කළ අයවැයෙන් රුපියල් බිලියන 81ක් වෙන්කළා මේ ආදි සහන ණය ලබාදෙන්න. ඒ මුදලුත් පවතිනවා. ඊට අමතරව නව ණය පහසුකම් ලබාදීමට කටයුතු කරගෙන යනවා.

ආපදාවෙන් විනාශයට පත්වුණු මේ කර්මාන්ත, කෘෂි, ධීවර යනාදී කර්මාන්ත ව්‍යාපාරික ස්ථාන නගාසිටුවීම සඳහා අවශ්‍ය සහාය රජය ලබාදෙනවා. ඒක කළ යුතුමයි.

මේකෙන් සිදු වූ ආර්ථික බලපෑම ඉක්මනින් යථා තත්වයට පත් කරලා, එතනින් එහාට ආර්ථිකය වර්ධනය කරගන්න නම්, මේ ආර්ථික ක්ෂේත්‍රයේ සෘජුවම නිරත වූ අයට සහන ලබාදිය යුතුයි” යනුවෙන් පැවසීය.

හිටපු කථානායක පා.ම. අශෝක රන්වල රිය අනතුරකට ලක්වෙයි….

පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා ගමන්ගත් ජීප් රථය, මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සපුගස්කන්ද ප්‍රදේශයේ දී අද (11) පස්වරුවේ අනතුරක් සිදුව තිබේ.

ප.ව. 7.45ට පමණ සපුගස්කන්ද දෙනිමල්ල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුළ කාන්තාවක් හා කුඩා දරුවෙකු සිට ඇති අතර, ඔවුන් දෙදෙනා තුවාල ලබා තිබේ.

ඒ අනුව කාන්තාව කිරිබත්ගොඩ රෝහලටත්, කුඩා දරුවා  ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කර තිබේ.

එමෙන්ම අනතුරින් තුවාල ලැබූ ජීප් රථයේ ගමන්ගත් මන්ත්‍රී අශෝක රන්වල මහතාද ප්‍රතිකාර සඳහා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

මේ වනවිට අනතුරට ලක් වූ ජීප් රථය, මෝටර් රථය මෙන්ම යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන ඇති අතර, අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

සිදුවුන ආපදාවෙන් රෝහල් 410කට බලපෑම්….

සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ ආපදා තත්වයත් සමග දිවයිනේ රෝහල් 410කට බලපෑම් එල්ල වූ අතර ඉන් වැඩිම හානි සිදුව තිබුණේ මහියංගනය මූලික රෝහලට සහ හලාවත දිස්ත්‍රික් රෝහලටය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආයතන 500කට අධික ප්‍රමාණයකට බලපෑම් එල්ල වු බවය.

අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක්වෙමින් අනිල් ජාසිංහ මහතා මේ බව සදහන් කළේය.

අදාළ සෞඛ්‍ය ආයතන යථා තත්ත්වයට පත් කිරීමට තවත් කාලයක් ගතවනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම එම වැඩසටහනට එක්වෙමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා සදහන් කළේ ආපදා තත්ත්වය හේතුවෙන් රෝහල් 53ක උපකරණ සඳහා බලපෑම එල්ල වී ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා,
”මහියංගන රෝහල, ඒ වගේම හලාවත රෝහලේත් අරගෙන යන්න පුළුවන් දේවල් ඔක්කොම වගේ උපකරණ ඒ කාර්ය මණ්ඩලය ඒ වෙලාවේ අරගෙන ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මහියංගනය ගත්තහම ගොඩක් දේවල්. ඒ කියන්නේ සමහර මැෂින්වල ගලවන්න පුළුවන් කෑල්ල අරගෙන උඩට ගිහිල්ලා තියෙනවා. ගොඩක් ඩැමේජ් වෙච්ච ඒවා තුනයි තියෙන්නේ. එකක් ඔය හලාවත රෝහල, මහියංගනය අනිත් එක වත්තේගම.. ඒකේ ලොකු ඩැමේජස් නැහැ. බිල්ඩින් වල ඩැමේජ් වෙලා තියෙන්නේ දෙසිය තිස් හයකයි. ඒ කියන්නේ ඔය උපකරණවලට ඩැමේජ් තියෙනවා පනස් තුනක. ඒවා පිළිබඳ යම් තක්සේරුවක් කරමින් යනවා.”

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – වරෙන්තුකරුවන් 270ක් අත්අඩංගුවට….

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී පුද්ගලයින් 27,953 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 614 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 270 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇත.

ඊට අමතරව බීමත් හා අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 33 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

2025 – සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ජනවාරි මස 11වනදා….

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දැමූ 2025 – සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) 2026 ජනවාරි මස 11 වන දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

ආපදාවට ලක්වූ පාසල් අයදුම්කරුවන් හට තම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට නොහැකි නම් තම පාසලේ විදුහල්පතිවරයා දැනුවත් කළ යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එමෙන්ම අදාළ විදුහල්පතිවරුන් තම විදුහලේ ආපදාවට ලක් වූ අයදුම්කරුවන් සිටී නම් ඒ පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හා විභාග කොමසාරිස් (පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල) දැනුවත් කළ යුතුය.

”දිට්වා සුළිකුණාටුව සමයේ මෙරට නායයෑම් 1241ක්”…..

දිට්වා සුළිකුණාටුව රට තුළ පැවති දින කිහිපය තුළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප අනුව මධ්‍ය හා විශාල පරිමාණයේ නායයෑම් 1241ක් සිදුව ඇතැයි හඳුනාගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද ප්‍රකාශ කළා.

කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ආපදා තත්ත්වයන් හේතුවෙන් බලපෑම් එල්ල වූ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නැවත නගාසිටුවීම සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වු බවය.

කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රිකයන්ගෙන් රුපියල් මිලියන 3.6ක පරිත්‍යාගයක්….

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රිකයන් එක්ව සිය පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 3.6ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබේ.

ඉන්දුනීසියානු තානාපති Dewi Gustina Tobing මහත්මිය විසින් ඊට අදාළ වෙක්පත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා වෙත අද (11) එම අමාත්‍යාංශයේදී භාර දෙන ලදී.

කොළඹ සිටින තානාපතිවරු සහ මහකොමසාරිස්වරු නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ කොරියා තානාපති Lee Miyon, ස්විස්ටර්ලන්ත තානාපති Dr. Siri Walt, පලස්තීන තානාපති Thab 1.M. Khalil, මාලදිවයින් මහ කොමසාරිස් Masood Imad, ඕමාන තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානි Said Al Harbi, ඉතාලි තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි Alberto Arcidiacono යන මහත්ම මහත්මිහු එම අවස්ථාවට එක්ව සිටියහ.

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන්නැයි නියෝග…..

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ගොනුකර ඇති පැමිණිල්ලක සැකකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා යළි විවෘත වරෙන්තු නිකුත් කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවනු ලැබීය.

පර්ප්‍රචුවල් ට්‍රෙෂරිස් සමාගම, හිටපු මහ බැංකු අධිපතිවරයා ඇතුළු සැකකරුවන්ට එරෙහිව මුදල් විසුද්ධිකරණ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී පර්ප්‍රචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙප්රි ඇලෝසියස්, කසුන් පලිසේන ,පි.එම්.ගුණවර්ධන, මුත්තු රාජා සුරේන්ද්‍රන් යන සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියේය.

සෙසු සැකකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අජාන් ගාර්ධිය පුංචිහේවා යන සැකකරුවන් අධිකරණයේ පෙනී සිට නොමැත.

එම සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා එහිදී  ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් යළි විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන්කර කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසය.

ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල ලබන මැයි මස 21වනදා කැඳවන ලෙසත් නියම කළේය.

මාලිමාවට බලය හිමි පුත්තලම මහ නගර සභාවේ අයවැයත් පරදී….

ජාතික ජන බලවේගයට බලය හිමි පුත්තලම මහ නගර සභාවේ 2026 අයවැය වැඩි ඡන්ද 5කින් පරාජයට පත්ව තිබේ.

අයවැයට විරුද්ධව ඡන්ද 12ක් ලැබී ඇති අතර පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 07ක් පමණී.

එක් සභිකයකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇති අතර ඒ අනුව පුත්තලම මහ නගර සභාවේ අයවැය ජාතික ජන බලවේගය පරාජයට පත්ව තිබේ.

නගරාධිපති එම්.එෆ්. රින්සාද් අහමඩ් මහතා විසින් අයවැය වාර්තාව ප්‍රථමවරට සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවති ජන්දෙන් මෙසේ එය පරාජයට පත් විය.

අනතුරුව නගරාධිපති එම්.එෆ්. රින්සාද් අහමඩ් මහතා විසින් සභාව හෙට දිනය දක්වා කල් තබා රැස්වීමේ වැඩ කටයතු අවසන් කර ඇත.

කෙසේවෙතත් එය නගරසභා අඥා පනතට විරුද්ධ කටයුත්තක් බව සදහන් කරමින් සහ එය නිතී විරෝධි බව සදහන් කරමින් නගර සභා මන්ත්‍රීවරු 12 දෙනකුගෙන් අත්සන් සහිත ලිපියක් මහ නගරසභා ලේකම් තුමිය හරහා නගරාධිපතිවරයාට භාර දීමට ද කටයුතු කර තිබේ.

අමෙරිකාවේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් සහ ජනපති අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට යළි ගොඩනැගීමට හැකිවනු ඇති බවත්, එහිදී අවශ්‍ය ඕනෑම සහායක් ලබාදීමට අමෙරිකාව සුදානමින් සිටින බවත් එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් Allison Hooker මහත්මිය පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  සහ එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් Allison Hooker මහත්මිය අතර හමුවක් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වූ අතර එහිදී උප ලේකම්වරිය මේ බව සඳහන් කළාය.

ශ්‍රී ලංකාව මුහුණ දුන් ව්‍යසනය හමුවේ සහාය ලබාදීමට හැකි වීම පිළිබඳ මෙහිදී සතුටු පළ කළ Allison Hooker මහත්මිය ආපදාවෙන්  මිය ගිය සියලුදෙනාගේ පවුල් වෙතද සිය ශෝකය පළ කර සිටියාය.

මෙම අසීරු අවස්ථාවේ විවිධ සහනාධාර සහ සහන කණ්ඩායම් මෙරටට එවමින් අමෙරිකා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දැක් වූ සහාය වෙනුවෙන් මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමෙරිකාව ඇතුළු ලොව සියලු මිත්‍ර රාජ්‍යයන් ශ්‍රී ලංකාවට දැක් වූ හෘදයාංගම සහාය ඇගයීමට ලක් කළේය.

ශ්‍රී ලංකාවට මෙම ව්‍යසනයට මුහුණ දීමට සිදු වූයේ රටේ ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට ගෙන එමින් ආර්ථික දර්ශකද ඉහළ නංවා ගනිමින් සිටින මොහොතක බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආපදාවට පත් ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය සහ දිගුකාලීනව යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ඉදිරියේදී විශේෂ අවධානය යොමු කළ යුතුව තිබෙන බව සඳහන් කළේය.

ගංවතුර සහ නායයාම් හේතුවෙන් විනාශ වී ඇති මහාමාර්ග, දුම්රිය මාර්ග ආදී යටිතල පහසුකම් සහ කෘෂිකර්ම, පශු සම්පත් සහ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇතුළු ප්‍රධාන ආදායම් මාර්ග යළි යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් යම් කාලයක් ගත වන බවත්,  එහිදී  සියලු මිත්‍ර රටවල සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

එක්සත් ජනපද තීරුබදු පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීම පිළිබද අවධානය යොමු කර තිබෙන බවත්, අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ දෙරට අතර වෙළෙඳ සහ නාවික කටයුතු පුළුල් කරගැනීම වෙනුවෙන් සහාය ලබාදීමට කටයුතු කරන බවත් උප රාජ්‍ය ලේකම්වරිය මෙහිදී සඳහන් කළාය.

විශේෂයෙන් විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට සිය සහාය ලබා දෙන බවද සඳහන් කළාය.

පසුගිය කාලයේ අමෙරිකානු සංචාරකයන් විශාල ප්‍රමාණයක් මෙරටට පැමිණි අතර, තවදුරටත් එම පැමිණීම අපේක්ෂා කරන බව මෙහිදී සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවතින ව්‍යසනය තත්ත්වයෙන් මිදී ශ්‍රී ලාංකික ජනතාවට උසස් ජීවන තත්ත්වයක් උදා කර දීමට අමෙරිකානු රජය ලබාදෙන දායකත්වය ඇගයීමට ලක් කළේය.

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුද, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය ඇතුළු දූත පිරිසක්ද මෙම අවස්ථාවට එක්විය.