ආපදාවට පත් ළමුන් ගැන තොරතුරු සමාජ මාධ්‍යයට තහනම්…..

‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ ළමුන් සම්බන්ධ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ නොඉල්ලන ලෙසත් ඒ හරහා දැනුම්දීම් සිදුනොකරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පැහැදිලි කළේ ආපදා තත්ත්වය හමුවේ දෙමාපියන් සහ භාරකරුවන් අහිමි වූ ඇතැම් ළමුන් අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවය.

එම දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යම් දෙයක් කිරීමට අවශ්‍ය නම් නීත්‍යානූකූල ලෙස අදාළ රජ්‍ය ආයතන ඔස්සේ හෝ පොලීසිය හරහා තොරතුරු ලබා ගත හැකි බවද ඒ මහතා පවසයි.

එසේ නොමැතිව සද්භාවයෙන් වුවත් අනීතික ලෙස කටයුතු කර ඇති බවට වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.

“මෙම ආපදා තත්ත්වයෙන් පසුව අපේ පුංචි දුවා දරුවෝ අනාරක්ෂිත තත්ත්වයට පත් වුණ අවස්ථා අපිට වාර්තා වෙලා තියෙනවා. දෙමාපියන්, වැඩිහිටියන්, භාරකරුවන් අහිමි වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී අතැම් ජාවාරම්කරුවන් සමාජ මාධ්‍ය හරහා මේ පුංචි දුවා දරුවන්ගේ විස්තර ලබා ගැනීම සඳහා කටයුතු කර ඇති බවට විශේෂයෙන් ශ්‍රී ලංකා පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට වාර්තා වෙලා තියෙනවා. ඉල්ලා සිටිනවා යම් කිසි කෙනෙකුට ළමයෙකුගේ හෝ මේ ආපදාවට පත් වෙච්ච දුවා දරුවෙකුගේ තොරතුරු අවශ්‍ය නම් ඔබ ක්‍රියා කළ යුත්තේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හරහා හෝ  ළඟම තිබෙන පොලීසියකින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් හෝ ග්‍රාම සේවක මහත්ම මහත්මීන්ගෙන් මේ පිළිබඳ විස්තර ලබා ගැනීම මිස ඔබ සමාජ මාධ්‍ය හරහා යම් කිසි දුරකථන අංකයක් හරහා තොරතුරු ලබා ගැනීම යම්කිසි වරදකට වරදකරුවෙකු වෙනවා. ඇතැම් මහජනතාව මේ දරුවන්ව ආරක්ෂා කරන්නට හෝ ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා ක්‍රියා කරන්නට ඔහු හෝ ඇයව සුරක්ෂිත කරන්නට මේ ගනු ලබන උත්සහයන් විටකදී අපයෝජනයක් වෙන්න පුළුවන්. විටකදී සමාජ විරෝධි හෝ අනීතික වෙන්න පුළුවන්. ඒ නිසා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබ සද්භාවයෙන් යම් කිසි අවස්ථාවක ප්‍රවේශ වන්නේ නම් ඔබට පුළුවන් ළඟම තිබෙන ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයට හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හරහා මේ පිළිබඳ තොරතුරක් ලබා ගන්නට.”

දේශබන්දුට එරෙහි පුද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බවට මහාධිකරණයෙන් තීන්දුවක්…..

2022 වසරේ මැයි මස 9 වනදා ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම” අරගලයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අරගලකරුවෙකු විසින් එවක බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ගොනු කළ පුද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීමට එවක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ගත් තීරණය නීතියට පටහැනි බව කොළඹ මහාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව එම පැමිණිල්ල පිළිබඳව සලකා බලා සුදුසු නීතිමය පියවර ගන්නා ලෙසත් කොළඹ මහාධිකරන විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් වත්මන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට නියම කර ඇත.

ඒ සඳහා මෙම නඩු තීන්දුවේ පිටපතක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කරන ලෙසත් මහාධිකරණ විනිසුරවරයා විසින් නියෝග කළේය.

අදාළ පෞද්ගලික පැමිණිල්ල ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එහි පැමිණිලිකරු වන රාජගිරිය ප්‍රදේශයේ පදිංචි සෙයිද් මොහොමඩ් මවුලානා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අභියාචක විසින් ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සිතාසි හෝ වරෙන්තු නිකුත් කිරීමකින් තොරව එවක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් 2022 දෙසැම්බර් මස 02 වනදා ප්‍රතික්ෂේප කර තිබූ බව තීන්දුව දෙමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.

මෙවැනි ඉල්ලීමක් ප්‍රතික්‍ෂේප කිරීමට පෙර විනිසුරුවරයා නිසි මාර්ගෝපදේශ අනුව කටයුතු කරමින් අධිකරණ මනසකින් යුතුව ඒ පිළිබඳව සලකා බැලීම අවශ්‍ය බවත් විනිසුරුවරයා පැවසුවේය.

මෙවැනි පැමිණිල්ලක් විභාග කිරීම සදහා සිතාසි නිකුත් කරන්නේද? යන්න තීරණය කිරීමට පෙර චෝදනාවලට සම්බන්ධ වරදේ අංග සහ සාක්ෂිවල ස්වභාවය මහේස්ත්‍රාත්වරයා විසින් සලකා බැලිය යුතු බවත් විනිසුරුවරයා කියා සිටියේය.

එහෙත් මෙම නඩුකරයේදී මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබඳව නිසි අධිකරණ මනසකින් සලකා බලා නොමැති බවත් ඔහු පුද්ගලික දැනුම මත මෙම තීන්දුව ලබා දී තිබෙන බවත් විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

චෝදනාවල අංග සහ සාක්ෂිවල ස්වභාවය සැලකිල්ලට භාජනය නොකොට මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දී තිබෙන මෙම තීන්දුව නීතියට පටහැනි බවත් ඒ අනුව එය තම අධිකණය විසින් ඉවත දමන බවත් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සිය තීන්දුවේ සඳහන් කළේය.

ඒ අනුව මෙම පුද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් සලකා බලා සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස වර්තමාන ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත නියෝගයක් නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩු තීන්දුවේ පිටපතක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන ලෙසත් නියම කළේය.

ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා -ඇමති විජිත කියයි….

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අද (18) පැවති විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, විපක්ෂය අනියත බියක් සමාජය ඉදිරියේ මවාපෑමට උත්සාහ ගන්නා බවය.

ගෑස් ආනයනය සඳහා නව සමාගමක් ටෙන්ඩර් පටිපාටිය මඟින් සොයාගත් බවත් ඒ අනුව එම සමාගයේ පළමු ගෑස් නැව ජනවාරි මස 5 වනදා වනවිට දිවයිනට පැමිණෙනු ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

අද උදෑසන පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ආණ්ඩුවට චෝදනා කර සිටියේ, නව සමාගමට ගෑස් ටෙන්ඩරය ලබාදීම හේතුවෙන් මාර්තු මාසය වනවිට මෙරට ගෑස් හිඟයක් ඇති වන බවය.

එයට පිළිතුරු දුන් අමාත්‍ය විජිත හේරත් මහතා,

“පසුගිය දිනවල ගෑස් ලබාදුන්නේ ඕමාන් සමාගම තමා. ඕමාන් සමාගමට වඩා ඩොලර් සත 15ක් අඩුයි අලුත් සමාගමක් ටෙන්ඩරයට ඉල්ලුම් කරා. ඒ අනුව ටෙන්ඩර් කමිටුව ඒ අලුත් සමාගමට ලබාදුන්නා. ඒ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ. තත්ත්ව පරීක්ෂා කරන්න අනුමැතිය දීලා තියෙනවා. පළමු නැව ජනවාරි 5 වෙද්දි ලංකාවට එනවා. කිසිදු ආකාරයක ගෑස් හිඟයක් ඇති වෙන්නේ නෑ. බොරුවට බියවද්දන්න එපා. රටක් විදියට අපි සියලුදෙනා එකාවන්ව  නැඟිටිනවා. ඒ අධිෂ්ඨානය අපිට තියෙනවා.”

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට පත්වෙයි…..

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද පෙරේරා නැමැත්තාව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවන් දෙදෙනාගෙන් අයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සමන්ත පෙරේරා නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතමයෙක් වන සුදත් චන්දන හෙවත් ‘මුට්ටියා’ නැමැත්තෙක් බව පොලිසිය පැවසුවේය.

බඩෝවිට අසංක නම් අපරාධකරුගෙන් පලිගැනීම සඳහා මෙම ඝාතනය සමන්ත පෙරේරා නැමති අපරාධකරු විසින් මෙහයවා ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී ඇත.

අනතුරුව මෙම ඝාතනයේ එක් වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කළ බව කියන සුදත් චන්දන හෙවත් මුට්ටියා නම් 52 හැවිරිදි පුද්ගලයාව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය ඊයේ පස්වරුවේ පිල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වෙඩිතැබීම සඳහා භාවිත කළ බව කියන දේශීය නිෂ්පාදිත බෝර 16 උණ්ඩ යෙදිය හැකි ගිනිඅවිය ද පොලිසිය බෙල්ලන්විලදී සොයා ගෙන තිබේ.

ඝාතනය සමන්ත නැමැත්තා සමග ඇති හිතවත්කම මත සිදුකළ බවත් ඒ සඳහා තමන්ට ඔහු විසින් රුපියල් ලක්ෂයක පමණ මුදලක් ලබාදුන් බවත් සැකකරු විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත.

එමෙන්ම ඝාතනයට සම්බන්ධ අනෙක් වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකය.

‘දිට්වා’ ට මුහුණදෙන්න සූදානමක් නොතිබීම ගැන සොයන්න විශේෂ කාරක සභාවක් ඉල්ලයි…..

ආපදා තත්ත්වයට පෙර සූදානමක් නොමැතිවීම ගැන පූර්ණ අධ්‍යනයක් සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරු 25 දෙනෙකුගේ අත්සන් සහිත යෝජනාවක් කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දී තිබේ.

භාර දී ඇති ලිපියේ සඳහන් වන්නේ, ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුම ඛේදවාචකය ලෙස සැළකෙන දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ ජීවිත හානි, දේපළ හානි හා ජනතාවට සිදුව ඇති හානි මේ දක්වා තක්සේරු කර නොමැති බවය.

එබැවින් මෙම ව්‍යසනය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් කර වාර්තාවක් සකස් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට කටයුතු කරන මෙන් ලිපියක් ඉදිරිපත් කරමින් කථානායකවරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇත.

ජාතික ජන බලවේගයට බලය හිමි අම්බලන්ගොඩ නගර සභාවේ අයවැය සම්මත වෙයි…

ජාතික ජන බලවේගයට බලය හිමි පාලක පක්ෂය සහ විපක්ෂය සම සම මන්ත්‍රී ආසන හිමි අම්බලන්ගොඩ නගර සභාවේ 2026 අයවැය අද වැඩි ඡන්ද හතරකින් සම්මත විය. පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් 11 දෙනා සහ ස්වාධීනව තේරී පත් වූ මන්ත්‍රීවරයකු ලෙස සභිකයින් 12 දෙනෙකු අය වැයට පක්ෂවන ලදී.සමගි ජන බලවේගය නියෝජනය කරන මන්තීන් පස් දෙනා පක්ෂයේ මතයට අනුව විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරණ බව පවසමින් විරුද්ධව ඡන්දය දුන්නද පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු පවසා සිටියේ පක්ෂයේ මතය කෙසේ වෙතත් ජනතාවාදී මෙවැනි අයවැයකට විරුද්ධ වීමට නොහැකි බැවින් තමාව පක්ෂය මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමටද හැකි නමුත් විරුද්ධව ඡන්දය දීමට නොහැකි බැවින් සභාවෙන් ඉවත්ව යන බව පවසා සභාවෙන් පිටවිය.
සර්ව ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයාද අද දින සභාවට පැමිණ සිටියේ නැත.
අම්බලංගොඩ- අනුරාධ ප්‍රියදර්ශන

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට චීන රජයේ උපරිම සහාය….

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මුහුණ දිමට සිදුවූ අභියෝග පරාජය කරමින්, ශ්‍රී ලාංකික ජන ජීවිතය යළි ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළට උපරිම සහාය ලබාදෙන බව චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති WANG DONGMING මහතා පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ඉතා ඉක්මණින් යථා තත්ත්වයට පත්වනු ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙරට සංචාරයක නිරත චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති WANG DONGMING මහතා ඇතුළු නියෝජිත පිරිස අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ මෙම දරුණු ව්‍යසනය පිළිබඳ චීන රජයත්, ජනතාවත් මහත් සේ කණගාටුවට පත්වන බව ප්‍රකාශ කළ උප සභාපතිවරයා, ආපදාවට පත් සහෝදර ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සහන සැලසීමට චීන රජය පළමු අවස්ථාවේදීම ක්‍රියාත්මක වූ බවද සඳහන් කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගුකාලීන ආර්ථික, සංස්කෘතික සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බවද ඔහු පවසා තිබේ.

මෙම ආපදා අවස්ථාවේ ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ මෙහිදී උප සභාපතිවරයා ඇතුළු නියෝජිත පිරිස වෙත ස්තූතිය පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආපදාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ද්‍රව්‍යමය සහ මූල්‍යමය ආධාර සපයා දෙමින් චීනය ශ්‍රී ලංකාවට ලබා දුන් හෘදයාංගම සහාය කෘතවේදීව අගය කළ බව සඳහන් වේ.

විශේෂයෙන් හානි වූ දුම්රිය මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සහ නැවත ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙන ලෙස ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු චීන රජයෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ ආපදා තත්ත්වය සහ යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා චීන නියෝජිත පිරිස දැනුවත් කර ඇත.

රජයේ මූලික පියවර වූයේ ආපදාවට පත් ජනතාව මුදා ගැනීම බවත්, ඉන්පසුව ඔවුන් ඉතා සුරක්ෂිත ස්ථානවලට යොමු කර ආහාර, සෞඛ්‍ය ආදී මූලික පහසුකම් සපුරා දීමට පියවර ගත් බවත් පැවසු ජනාධිපතිවරයා මේ වන විට ඔවුන්ගේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම වෙනුවෙන් සැලැසුම්සහගත වැඩපිළිවෙළක්  ඔස්සේ කටයුතු කරමින් සිටින බව ද ප්‍රකාශ කර තිබේ.

රුපියල් 3,200ක අල්ලසක් ගත් පොලිස් සැරයන්වරා අත්අඩංගුවට…

යතුරු පැදියේ සංඥා පහන් අක්‍රීය තත්ත්වයේ පැවතීම සම්බන්ධයෙන් තිබූ රථවාහන නඩුවකට අදාළව නීති මඟින් ඉදිරි කටයුතු සිදුනොකර පොලීසිය භාරයට ගෙන තිබූ රියදුරු බලපත්‍රය ආපසු ලබාදීම සඳහා රුපියල් 3,200 ක අල්ලස් මුදලක් ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ඔක්තෝම්බර් මස 19 වනදා සිය යතුරු පැදියේ සංඥා පහන් අක්‍රීය තත්ත්වයේ පැවතීම සම්බන්ධයෙන් තමන්ගේ රියදුරු බලපත්‍රය පොලීසිය භාරයට ගත් බවත් නීති මගින් ක්‍රියා නොකර සිය රියදුරු බලපත්‍රය නැවත ලබාදීමට නම් රුපියල් 3,200 ක අල්ලස් මුදලක් ලබා දෙන ලෙසට පොලිස් සැරයන්වරයෙකු ඉල්ලා සිටින බවටත් ඒත්තාල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

සැකකාර පොලිස් සැරයන්වරයා පළමුවෙන් රුපියල් 2,200ක් ඉල්ලා පසුව අද (17) දිනයේ තවත් රුපියල් 1, 000ක මුදලක් වැඩිපුර ඉල්ලා ඇති බව සඳහන් වේ.

අදාළ සැකකාර පොලිස් සැරයන්වරයා හලාවත මූලස්ථාන පොලිස් ස්ථානයේ සේවය කරනු ලබන (වැඩ බලන ස්ථානාධිපති රථවාහන) අතර අද පස්වරු 04.10 ට පමණ හලාවත මූලස්ථාන පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුව අසල දී අල්ලස් මුදල ලබා ගැනීමට යාමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු හලාවත මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මාධ්‍ය ඒකකය පවසයි.

අල්ලස් ගත් ග්‍රාම නිලධාරියෙකුගේ සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි….

බරපතල වැඩ සහිත වසර 05 ක සිරදඬුවම් සහ දඩ නියම වී සිටි හිටපු ග්‍රාම නිලධාරියෙකු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ ඇපෑලක් නිෂ්ප්‍රභ කළ අභියාචනාධිකරණය එම දඬුවම තහවුරු කිරීමට තීන්දු කර තිබේ.

උපතින් ආබාධිත පුද්ගලයෙකුට රජයෙන් පිරිනමන නිවාස ආධාර ලබාදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා එය ලබාගැනීමේ චෝදනාවට, අදාළ හිටපු ග්‍රාම නිලධාරිවරයා වදකරු වී සියේය.

විත්තිකරු වරදකරු කිරීම හා ඔහුට දඬුවම් පැමිණවීම මහාධිකරණ විනිසුරුවරයා විසින් තමන්ට ඉදිරිපත් වූ සාක්ෂි වලට අනුකූලව නිවැරදි ආකාරයෙන් සිදුකර ඇති බවත් එබැවින් එම තීන්දුවට මැදිහත්වීමට අභියාචනාධිකරණයට අවශ්‍යතාවයක් මතුනොවන බවත් විනිසුරු අමල් රණරාජා මහතාගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ප්‍රකාශ කර තිබේ.

මෙම මුල් නඩුකරයේ පැමිණිලිකරු උපතින් ආබාධිතයකු වන අතර ඔහුට රජයෙන් පිරිනමන නිවාසාධාර ලබාදිය හැකි බවට විත්තිකරු විසින් යෝජනා කර ඇත.

එම නිවාස ආධාර වාරික හතරකින් ලැබීමට නියමිත අතර එම එක් වාරිකයක් සඳහා රුපියල් 25,000/- ක අල්ලසක් ලබා දෙන ලෙස විත්තිකරු විසින් පැමිණිකරුට යෝජනා කර තිබේ.

ඒ අනුව 2012 වසරේ සැප්තැම්බර් මස 01 වනදා සහ 2013 වසරේ මාර්තු මස 24 වනදා අතර කාලසීමාව තුළ රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුට එරෙහිව චෝදනා හතරක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණි.

දීර්ඝ විභාගයකින් අනතුරුව එම චෝදනා හතරටම විත්තිකරු වරදකරු කරන බව කොළඹ මහාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව එක් එක් චෝදනාවට විත්තිකරුට බරපතල වැඩ සහිත වසර 05 බැගින් සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ඊට අමතරව රුපියල් 5000/- බැගින් දඩ මුදල් ද නියම කර තිබුණි.

ඊට අමතරව පැමිණිලිකරුට රුපියල් 100,000/- වන්දියක් ගෙවන ලෙසත් විනිසුරුවරයා විත්තිකරුට නියම කර ඇත.

එම දඬුවම සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවූ විත්තිකරු එම දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබේ.

විත්තිකරු එම අභියාචනය තුළින් සඳහන් කර තිබුණේ තමන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ චෝදනා හතර සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට එම කොමිසම අධිකරණය හමුවේ අසමත් වූ බවය.

එම තීන්දුව ලබාදීමට පෙර විනිසුරුවරයා විත්තිය විසින් ඉදිරිපත් කළ සාක්ෂි සැලකිල්ලට ගෙන නොමැති බවත් එම සාක්ෂි ඇගයීමකට ලක්කර නොමැති බවත් විත්තිකරු සිය අභියාචනය තුළින් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් අභියාචනා විභාගයේ දී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල සඳහන් කළේ මහාධිකරණ විනිසුරුවරයා විසින් විත්තිකරු වරදකරු කරමින් දඬුවම් පැමිණවීමට ගත් තීරණය නීත්‍යානුකූල ආකාරයට සිදුවී ඇති බවය.

ඒ අනුව මහාධිකරණ තීන්දුවට මැදිහත්වීමට අභියාචනාධිකරණයට අවස්ථාවක් නොමැති බවත් ඒ අනුව විත්තිකරුගේ අභියාචනය නිශ්ප්‍රභ කරන බවත් විනිසුරු මඩුල්ල සිය තීන්දුවේ වැඩි දුරටත්  සඳහන් කර ඇත.

ප්‍රශ්නගත එන්නත ගැන පැහැදිලි කිරීමක්….

කොළඹ IDH රෝහලේ රෝගීන් දෙදෙනෙකු මියගියේ ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ නමැති එන්නත ලබාදීම හේතුවෙන් ද යන්න සම්බන්ධයෙන් තවමත් නිෂ්චිතව තහවුරුකරගැනීමක් සිදුකර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

අද (17) පස්වරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ විසින් පරීක්ෂණ කණ්ඩමකින් යොදවා වෙනම පරීක්ෂණයක් සිදුකරන බවත්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින්ද පරීක්ෂණයක් සිදුකරන බවත් ඒ මහතා පවසයි.

මියගිය රෝගීන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ලබාගත් සාම්පල මේ වනවිට පරීක්ෂණ තත්ත්වයේ පවතින බවත් ඒ මහතා පැහැදිලි කළේය.

එහිදී අදහස් දැක්වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආන්නද විජේවික්‍රම මහතා පැවසුවේ ප්‍රශ්නගත ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ නමැති එන්නතේ කාණ්ඩ 4ක් රෝගීන්ට ලබාදීම තාවකාලිව නවතා දැමුවේ අදාළ රෝගීන් දෙදෙනා මියයාමට ප්‍රථමයෙන් බවය.

පසුව මෙම මරණ දෙක වාර්තාවීමත් සමග එම ඖෂධයේ අනෙකුත් කාණ්ඩ ද තාවකාලික නවතා දැමූ බවත් ඒ මහතා පැවසීය.

එමෙන්ම එම නිෂ්පාදන ආයතනයෙන් ආනයනය කර ඇති අනෙකුත් ඖෂධ 10ක් ද තාවකාලිකව නවතා දැමීට කටයුතු කර ඇති බව ඔහුද ප්‍රකාශ කළේය.

එහිදී මාධවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය මනුජ් සී වීරසිංහ මහතා පැවසුවේ, මෙම ඖෂධ ආනයනය කිරීම කිසිදු විටකදී අමාත්‍යවරයෙකු හෝ රජයක් මත සිදුකරන ක්‍රියාවලියක් නොවන බවය.

“ඇමතිවරු හෝ රජයන් මත නොවෙයි ඖෂධ ලංකාවට ආනයනය සිද්ධ වෙන්නේ. එය ඉතාම පැහැදිලිව තේරුම් ගත යුතුයි. 

අමාත්‍යංශයක් විදියට කාර්ය භාර්යයක් තියෙනවා. අවුරුද්දක් පාසා අවශ්‍ය වාර්ෂික සැපයුමට අදාළ ටෙන්ඩරය ප්‍රසම්පාදනය කිරීම සඳහා ඖෂධ සංස්ථාවට ලබාදීම. ඒ අනුව ඒ කාර්ය සිදුවෙනවා අදාළ ප්‍රසම්පාදන කමිටු කාර්ය අනුව. 

2022 ටෙන්ඩරයක් ගියා, 2025 ටෙන්ඩරයක් ගියා. 2025 ටෙන්ඩරය එන්නේ 2024. 2025ට බෙහෙත් අවශ්‍ය නම් ඒ ටෙන්ඩර් එක දාන්නේ 2024. අඩුම තරමේ මාස 11ක විතර කාලයක් දැනට යනවා ඕඩර් එකක් දාලා ඖෂධ ටික රටට එන්න. ක්‍රමවේදය එහෙමයි. 

ඕනේ ඕනේ වෙලාට කඩෙන් ගන්නවා වගේ ගන්න බෑ. ඒවා හදන්න ලෝකු කාලයක් යනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ කාර්ය භාරයක් විදියටයි යන්නේ. ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි”.