නත්තල් වෙනුවෙන් කොළඹ සහ ගාලු මුවදොර ආශ්‍රිතව නව රථවාහන සැලැස්මක්….

2025 නත්තල් උත්සවය සැමරීම සඳහා හෙට (24) දින විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් කොළඹ නගරය වෙත විශේෂයෙන් ගාලු මුවදොර ප්‍රදේශය වෙත පැමිණිම අපේක්ෂා කරන බව පොලීසිය පවසයි.

එසේ පැමිණීමේදී ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව දැනුම් දී තිබේ.

විශේෂයෙන් කොළඹ නගරයේ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය, කුරුඳුවත්ත යන පොලිස් වසම්වල මෙසේ අධික රථවාහන තදබදයක් ඇතිවිය හැකි බවට අපේක්ෂා කරයි.

  • එසේ වුවද හෙට දින මෙම පොලිස් වසම්වල සාමාන්‍ය පරිදි රථවාහන ගමනාගමනය සිදු කරන අතර අධික රථවාහන තදබදයක් ඇතිවන අවස්ථා වලදි පමණක් අවස්ථානුකූලව පහත පරිදි රථවාහන ගමනාගමනය සිදු කිරීමට සැලසුම් කර ඇත.

* ගාලු මැද පාර ඔස්සේ කොළඹින් පිට වීම – එන්. එස්. ඒ. වටරවුම, ගාලු මැද පාර, බාලදක්ෂ මාවත හන්දියෙන් වමට (එම්. ඕ. ඩී. හන්දිය) බාලදක්ෂ මාවත, අලියා නාන වටරවුම, මාකන් මාකර් මාවත, ගාලු මුවදොර වටරවුම ඔස්සේ කොල්ලු පිටිය දෙසට ගමන් කිරීම.

* ගාලු මැද පාර, ගාලුමුවදොර වටරවුම සිට කොළඹට ඇතුළු වන රථවාහන බාලදක්ෂ මාවත හන්දිය දක්වා සහ ඉන් ඉදිරියට ගමන් කිරීම.

* ගාලු මුවදොර වටරවුමේ සිට මාකන් මාකර් මාවත ඔස්සේ අලියා නාන වටරවුම දෙසට හෝ අලියා නාන වටරවුම දෙස සිට බාලක්ෂ මාවත ඔස්සේ ගාලු මැද පාරට ගමන් කල නොහැක.

* බාල දක්ෂ මාවතේ අතුරු මාර්ග වලින් පැමිණෙන සියලු වාහන දකුණට හරවා අලියානාන වටරවුම ඔස්සේ කොළඹින් පිටවිය හැකි අතර ගාලු මැද පාරට අතුරු මාර්ග වලින් ඇතුළු වන සියලුම වාහන දකුණට හරවා එන් එස් ඒ වටරවුම දෙසට ගමන් කිරීම.

ඉහත රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදි කොළඹ නගරයේ පදික වේදිකා මත සහ ප්‍රධාන මාර්ගයන් අවහිර වන ලෙස කිසිදු රථ වාහනයක් නවතා තැබීමට ඉඩ ලබා නොදෙන අතර එවැනි ආකාරයට රථවාහන නීති උල්ලංඝණය කරනු ලබන රියදුරන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ.

මෙසේ කොළඹට පැමිණෙන රථවාහන පහත සඳහන් රථගාල් වල ගාල් කර තැබීමේ පහසුකම් සලසා ඇති බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.

  • පහත සඳහන් නිදහස් රථගාල් හා මාර්ග දෙපස මුදල් අයකර ගැනීමකින් තොරව රථවාහන අවහිරතා ඇති නොවන පරිදි ගාල්කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබේ.

* කොටුව පොලිස් වසමේ බාලක්ෂ මාවත එම්ඕඩී රථගාල (බේරේ වැව දෙසට)

*කොල්ලුපිටිය / බම්බලපිටිය/වැල්ලවත්ත මුහුදුබඩ මාර්ග

* කොටුව හා මරදාන පොලිස් වසම් වල ඩී ආර් විජේවර්ධන මාවත

* කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ පාසන්ට් පාර පිටවීමේ තීරුව පමණක්

*ගාලු පාර වැල්ලවත්ත සැවෝයි අසල සිට ගාලු පාර බගතලේ පාර හන්දිය දක්වා රථ නැවතුම් ස්ථාන වල (Parking Bays)පමණක්

* කුරුඳුවත්ත පොලිස් වසමේ ආනන්ද කුමාරස්වාමි මාවත නෙළුම් පොකුණ වටරවුමේ සිට පුස්තකාල වටරවුම දෙසට ඇතුළු වීමේ තිරුව (වම්පස)

*කුරුඳුවත්ත පොලිස් වසමේ එෆ් ආර් සේනානායක මාවත

*කුරුඳුවත්ත පොලිස් වසමේ රීඩ් මාවත රීඩ් රාජකාරී හන්දියේ සිට රීඩ් මාවතරීඩ් තර්ස්ටන් හන්දිය දක්වා මාර්ගයේ දකුණු පස

*කුරුඳු වත්ත පොලිස් වසමේ නිදහස් මාවත නිදහස් වටරවුමේ සිට නිදහස් චතුරස්‍රය දක්වා මාර්ගයේ දකුණු පස

*කුරුඳුවත්ත පොලිස් වසමේ මෙට්ලන්ඩ් පෙදෙස

*කුරුඳුවත්ත පොලිස් වසමේ පදනම් ආයතන පාර

පහත සඳහන් රථගාල් සහ මුදල් අයකිරීමේ පදනම මත රථගාල් කිරීම සඳහා අවස්ථාව සලසා ඇත.

*පිටකොටුව පොලිස් වසමේ බැස්ටියන් මාවත පරණ මැනිං වෙළඳ සංකීර්ණ රථගාල

*කොටුව පොලිස් වසමේ විමලධර්ම සූරිය ඔර්ලෝසු කණුව අසල රථගාල

*කොටුව පොලිස් වසමේ රාසික් ෆරීඩ් මාවත හේමාස් රථගාල

*ඩී ආර් විජේවර්ධන මාවත ලේක් හවුස් රථගාල

*කොටුව පොලිස් වසමේ ලේඩ්න් බැස්ටියන් මාවත

*කොටුව පොලිස් වසමේ බ්‍රිස්ටල් වීදිය

*කොටු ව පොලිස් වසමේ ඩියුක් වීදිය

*කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ යුනියන් පෙදෙස ඩෝසන් විදිය හන්දිය ඇක්සර් ටවර් රථගාල

*මරදාන පොලිස් වසමේ ගාමිණි වටරවුම් (St’ Clement)

දිවයිනට පැමිණි චීන නියෝජිත පිරිස සහ ජනපති අතර හමුවක්…..

සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට චීනය කටයුතු කරන බවත්, ‘Rebuilding Sri Lanka’ වැඩපිළිවෙළෙහිදී ද චීනය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව සමග බෙදා හදා ගැනීමට සුදානම් බවත් චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ Xizang ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් Wang Junzheng මහතා පැවසීය.

චීන නියෝජිත පිරිසක් සමඟ මෙරට සංචාරයක නිරත Wang Junzheng මහතා අද (23) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.

ආපදාව හමුවේ චීනය ශ්‍රී ලංකාවට ලබා දුන් හදිසි සහ මානුෂීය ආධාර පිළිබඳව මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව අත නොහැර යළි ගොඩනැඟීම වෙනුවෙන් ලබා දෙන අඛණ්ඩ සහාය ඇගයීමට ලක් කළේය. එමඟින් දෙරට අතර  දිගුකාලීන සමීප මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජන ජීවිතය යථා තතත්වයට ගෙන ඒම සහ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් ආරම්භ කර ඇති ‘Rebuilding Sri Lanka’වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් චීන නියෝජිත පිරිස දැනුවත් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පසුගිය  චීන නිල සංචාරයේදී දෙරටේ ජනාධිපතිවරු අතර ඇති කරගත් අවබෝධතාව සහ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩ සහයෝගීතාවෙන් කටයුතු කරන බව පැවසූ Wang Junzheng මහතා චීන රජයේ සහාය ඇතිව දැනට ශ්‍රී ලංකාවේ ආරම්භ කර ඇති ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ නව ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා සහාය ලබා දෙන බව සඳහන් කළේය.

එමෙන්ම, රජයේ ප්‍රමුඛ වැඩසටහන් වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සහ අල්ලස හා දූෂණය පිටුදැකීමේ වැඩසටහනට සහාය ලබා දෙන බවත්, විශේෂයෙන් ග්‍රාමීය දිළිඳු බව පිටුදැකීමේදී චීනය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන බවත් ඔහු  ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ අග්නිදිග සහ දකුණු ආසියානු කටයුතු කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් Peng Xiubin,Xizang කලාපයේ රාජ්‍ය විදේශ කටයුතු කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් Bao Ting, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ අග්නිදිග සහ දකුණු ආසියානු කටයුතු කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Wang Siqi යන මහත්ම මහත්මීහු සහ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නිල සංචාරය නිමකළ ඉන්දීය විදෙස් ඇමති ජයිශංකර් දිවයිනෙන් පිටව යයි….

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා සිය දෙදින නිල සංචාරය නිමකරමින් මීට සුළු මොහොතකට පෙර ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ඒ ඔහු ඊයේ (22) මෙරටට පැමිණි ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානාවෙනි.

එතුමා මෙරට රැඳී සිටි කාළය තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතුළු රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු හමුවී සාකච්ඡා පවත්වා තිබුණි.

ජයිශංකර් මහතාට සමුදීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු එම කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිට තිබේ.

මාලිමා මන්ත්‍රී ශාන්තගේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාගේ වැඩතහනම්….

ජාතික ජනබලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා සමග ඇති වූ පහරදීමේ සිද්ධියට අදාළ චෝදනා එල්ල වූ සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවා තිබේ.

එම සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු අවසන්වනතුරු මෙම සේවය අත්හිටුවීම සිදුකර ඇති බව සඳහන් වේ.

කඩිනමින් ස්ථීර විගණකාධිපතිවරයෙකු පත්කරන්නැයි ඉල්ලීමක්….

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ස්ථීර විගණකාධිපතිවරයෙකු කඩිනමින් පත්කිරීම පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් සිදුකරයි.

නීතීඥ සංගමය විසින් විශේෂ ලිපියක් යොමුකරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ, රාජ්‍ය මුල්‍ය පාලනයේ විනිවිදභාවය ආරක්ෂා කිරීමට සහ ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කිරීමට විගණකාධිපතිවරයාගේ පත්වීම අත්‍යවශ්‍ය බවය.

පසුගිය අප්‍රේල් මාසයේ හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යෑමෙන් පසු මේ දක්වා ස්ථීර නිලධාරියෙකු පත්නොකිරීම සම්බන්ධයෙන් නීතීඥ සංගමයේ දැඩි අවධානය යොමුකර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(1) ව්‍යවස්ථාව යටත් පිහිටුවා ඇති විගණකාධිපති ධුරය සමස්ත රාජ්‍ය ආයතන වල වගකීම තහවුරු කරන ප්‍රධානතම කාර්යභාරය ඉටුකරන බවත් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව දැනට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ආර්ථිකය ගොඩනගමින් සිටින අතර දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු විනාශය වෙනුවෙන් විශාල වශයෙන් විදේශ ආධාර ලැබෙමින් පවතින අතර මෙවෙනි අවස්ථාවක මුල්‍ය විනිවිදභාවය උපරිමයෙන් තිබිය යුතු බව නීතීඥ සංගමය සිය ලිපියෙන් අවධාරණය කර ඇත.

ජනාධිපතිවරයා මීට පෙර ඉදිරිපත් කරන ලද නාමය ව්‍යවස්ථාදායක සභාවේ බහුතර කැමැත්ත දිනාගැනීමට අපොහොසත් වී ඇති බැවින් දේශපාලන වශයෙන් පක්ෂපාතී නොවන ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වයක් සහ ස්වාධීනත්වයක් ඇති ව්‍යවස්ථාදායක සභාවේ පොදු එ

සෑම සහයෝගයක්ම ලබාදෙන බවට මෝදිගෙන් ලංකාවට සහතිකයක්…..

‘දිට්වා’  සුළි කුණාටුවත් සමග හදිසියේ පැන නැඟුණු අභියෝගවලට මුහුණ දීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව මීළඟ අදියර කෙරෙහි අවධානය යොමු කරන බැවින්, විශ්වාසවන්ත පාර්ශ්වකරුවෙකු සහ විශ්වාසදායක මිතුරෙකු ලෙස ඉන්දියාව හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහතික කරයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා මාර්ගයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත එවා තිබූ විශේෂ ලිපිය මගින් මේ බව දැනුම් දී ඇත.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය එවා තිබූ ලිපියේ සඳහන් පරිදී , “ශ්‍රී ලංකාවේ  ජන ජීවිත යළි ගොඩනැගීමේදී සහ ඔරොත්තු දීමේ හැකියාව තහවුරු කිරීමේදී අතීතයේ මෙන්ම, අපි ඔබ සමඟ උරෙන් උර ගැටී සිටින්නෙමු.” යනුවෙන් ද පවසා ඇත.

සැමවිටම ශ්‍රී ලංකාවට ඉන්දියාව තමන් පසෙක සිටිනා බව දැක ගැනීමට හැකි වනු ඇති බවද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය ලිපියෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබේ.

අදාළ සම්පූර්ණ ලිපිය පහතින්,

india

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙයි….

මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුව අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වූ අතර එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද විශේෂ ලිපියද මෙහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සහන සැලසීමට පළමුවෙන්ම එක්වෙමින් ජනතාව මුදා ගැනීමේ, සහන සැලසීමේ සහ  ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය දැක් වූ හෘදයාංගම සහයෝගය මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘතවේදීව අගය කළේය.

ජනතාව මුදා ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය හෙලිකොප්ටර් යානා සහ ඖෂධ, අහාර ඇතුළු මානූෂිය ආධාර සපයමින්ද, විනාශ වූ මාර්ග ප්‍රතිසංස්කරණය, මහිංයගණය රෝහල ඇතුළු රෝහල් පද්ධතිය යථාවත් කිරීම ආදී යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය වෙනුවෙන්ද ඉන්දීය රජය දැක් වූ සුවිශේෂී සහාය ජනාධිපතිවරයා කෘතවේදීව සිහිපත් කළේය.

2025 මාස 11ක දී ඩොලර් බිලියන 15.77ක අපනයන ආදායමක්…..

2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය 5.8%ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර ඇත.

ශ්‍රී ලංකා රේගුවේ දත්තවලට අනුව සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තුගත මැණික් හා ස්වර්ණාභරණ සහ ඛණිජ තෙල් නිෂ්පාදන සඳහා වූ අපනයන ආදායමත් එක්ව ඩොලර් මිලියන 15776.36 ක් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා සඳහන් කළේය.

2025 නොවැම්බර් මාසයේදී වෙළද භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1364.52 කි.

එය 2024 නොවැම්බර් මාසයට සාපේක්ෂව 5.56% වාර්ෂික වර්ධනයකි.

මේ පිළිබදව අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළේ, 2025 ජනවාරි සිට නොවැම්බර් කාලය තුල ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 15776.36 ක් වූ බවත්, එය වාර්ෂිකව ශක්තිමත් වර්ධනයක් පිළිඹිබු කරන බවත්ය.

ප්‍රධාන වෙළඳපොළවල් යථා තත්ත්වයට පත්වීම, තිරසාර නිෂ්පාදන ධාරිතාව සහ අපනයන සංවර්ධන උපාය මාර්ග ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මගින් ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිමත්භාවය සහ තරඟකාරිත්වය අවධාරණය කරන බවත් ඔහු සඳහන් කළේය.

මෙම වර්ධනය ගෝලීය වෙළදාමට ශ්‍රී ලංකාව වැඩි වශයෙන් ඒකාබද්ධ වීමත්, වෙළදපොල අවස්තා විවිධාංගීකරණය කරමින් අපනයන තරගකාරිත්වය ශක්තිමත් කිරිමට දරන අඛණ්ඩ උත්සාහයේ සාර්ථකත්වය ඉස්මතු කරයි.

අපගේ අපනයනකරුවන් වෙනස්වන ගෝලිය වෙළදපොලට අනුවර්තනය වන ආකාරයත්, ඔවුන්ගේ ශක්තිමත්භාවයත් මෙමගින් නැවතත් පෙන්වා දී ඇත.

2025 නොවැම්බර් මාසය අවසන් වන විට වාර්ෂික අපනයන ඉලක්කයෙන් 86.3%කට වඩා වැඩි ප්‍රමාණයක් ළඟා කර ගැනීම ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රජාවේ ශක්තිය හා කැපවීම පිළිබඳ පැහැදිලි සංකේතයක් බව ද ඔහු අවධාරණය කළේය.

නොවැම්බරයේ උද්ධමනය පහළට…..

2025 නොවැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව 2025 ඔක්තෝම්බර් මාසයේ දී 2.7% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 නොවැම්බර් මාසය සඳහා 2.4% ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

2025 ඔක්තෝම්බර් මාසයේ දී 4.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 නොවැම්බර් මාසයේ දී   3.6% ක් දක්වා අඩු වී ඇත.

එමෙන්ම, 2025 ඔක්තෝම්බර් මාසයේ දී 1.5% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 නොවැම්බර් මාසයේ දී 1.5% ක් ලෙස නොවෙනස්ව පවතී.

යාල්දේවී නැවතත් – උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් විවෘතයි….

උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම දුම්රිය ධාවනයට විවෘත කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, අනිද්දා (24) සිට උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා යාල්දේවී දුම්රිය පහත පරිදි ධාවනයට සැලසුම් කර ඇත.

එමෙන්ම, යාල්දේවි දුම්රියේ පළමු පංතියේ (වායු සමනය කළ ) සහ දෙවන පංතියේ ආසන වෙන් කිරීමේ පහසුකම් සලසා තිබේ.

 

1