ජොන්ස්ටන් සහ බාල පුත්‍රයා රිමාන්ඩ්….

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අද (05) අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයා ජනවාරි 09 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඒ, සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළවය.

මෙම චෝදනාවට අදාළව හිටපු අමාත්‍යවරයාගේ තවත් පුත්‍රයකු සහ සතොස හිටපු ප්‍රවාහන කළමනාකරුවෙකුද මේ වනවිට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරගතවය.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස ආයතනයේ ලොරි රථයක් ඔහුට අයත් බව කියන එතනෝල් සමාගමක රාජකාරි සඳහා යොදවා තිබීමෙන් රජයට රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් පාඩු කළේයැයි වූ චෝදනාවට හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට උපදෙස් දී තිබුණි.

ඒ අනුව ඉකුත් දෙසැම්බර් 30 වැනිදා කුරුණෑගලදී අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු සහ මෙම සිදුවීමට අදාළව කූඨ ලේඛන සැකසීමේ චෝදනාවට ඊයේ (04) අත්අඩංගුවටගත් සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල නැමැත්තාද වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 09 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

මෙවන් පසුබිමක ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ අද පෙනී සිටින ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙත දැනුම් දී තිබු අතර එසේ නොපැමිණියහොත් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ වරෙන්තුවක් ලබාගන්නා බවද පොලීසිය හිටපු අමාත්‍යවරයාට දැනුම් දී තිබුණි.

ඒ අනුව හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ පුත්‍රයකු වන ජෙරම් කෙනත් ප්‍රනාන්දු අද පෙරවරු 8.40ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේය.

එහිදී ප්‍රකාශ ලබාගැනීමෙන් පසු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පුත්‍රයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන අනතුරුව අද පස්වරුවේ වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

උසස් පෙළ විභාගය ජනවාරි 12 ඇරඹේ – උපකාරක පන්ති හෙට මැදියම් රැයෙන් තහනම්…

2025 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ නොපැවැත්වූ විෂයයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම හෙට (06) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය හා බෙදාහැරීම විභාග ප්‍රශ්නපත්‍රවලට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර් හෝ  අත් පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම මෙලෙස තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

යම් අයෙකු හෝ ආයතනයක් මෙම නියෝග නොසලකා කටයුතු කරන්නේ නම් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවකු වන බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

2025 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ නොපැවැත්වූ විෂයයන් 2026 ජනවාරි මස 12 දින සිට 20 වන දින දක්වා විභාග මධ්‍යස්ථාන 2362 ක දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කෙරේ….

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ අද (05) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස 06ක කාලයක් සදහා එම සමාගමේ කටයුතු අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කර ඇති බවය.

නවීන් දිසානායක එජාප උප සභාපති ලෙස පත් කෙරේ…

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා එම පක්ෂයේ උප සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ 2026 වර්ෂය සඳහා පක්ෂ ව්‍යවස්ථාවේ 8.1.1(c) වගන්තිය ප්‍රකාරව නවීන් දිසානායක මහතාව මෙලෙස උප සභාපතිවරයා ලෙස පත් කර ඇති බව නිල වශයෙන් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව, 2026 ජනවාරි 3 වන දින  සිට නවීන් දිසානායක මහතා උප සභාපති ලෙස නම් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නිර්දේශ කර ඇති බවද සඳහන්ය.

එමෙන්ම, පක්ෂ ව්‍යවස්ථාවේ 7.1 (a) වගන්තිය අනුව දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කිරීමට නියමිතය.

කතරගම දේවාලයේ රත්‍රංවලින් කොටසක් විකුණන්න තීරණය කළ හේතුව බස්නායක නිළමේ කියයි…..

කතරගම දේවාලය භාරයේ ඇති රත්‍රං සංචිතවලින් කොටසක් විකිරීමට තීරණය කළ හේතුව පිළිබඳව කතරගම දේවාලයේ බස්නායක නිළමේ තිලිණ මධුසංක මහතා පැහැදිලි කිරීමක් සිදුකළේය.

ඒ අද (05) පෙරවරුවේ මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්ය.

“කතරගම දේවාලයේ තියෙන රත්‍රං සංචිතය ඊයේ පෙරේදා ආපු ගංවතුරට ඒ රත්‍රං ටිකේ ප්‍රමාණයක් අහුවුණා. ඒ රත්‍රං ප්‍රමාණය අහු වෙනකොට මොනවහරි යම්කිසි හේතුවක් නිසා ඒ රත්‍රං ගංවතුරට ගහගෙන ගියා නම් ඒකට කවුද වග කියන්නේ? ඒක ඒකයි මං තීරණය කරේ. අපි මේ වෙලාවේ රජයත් ලොකු අපහසුතාවයකට පත්වෙන්න පුළුවන් නිසා. රජය මගින් වෙන ව්‍යාපෘති ටිකට උදව් කරන්න තමයි අපි බලාපොරොත්තු වුණේ. එහෙම නැතුව රජයත් එක්ක ඩීල් එකක් ජනාධිපතිවරයා එක්ක ඩීල් එකක්. එහෙම නැහැ. ජනාධිපතිවරයා අඩු ම ගානේ මගෙන් ඉල්ලීමක් කරලා නැහැ. මේකෙන් උදව් උපකාර කරන්න කියලා.”

“රත්‍රං ටික හරි විදියට අලෙවි කරනවා මම ඒකෙ වගකීම සීයට සීයම ගන්නවා. මේ රත්‍රංවල අඩු මුදලකට විකිණෙන්න දෙන්නේ නැහැ. සීයට සීයක්ම හරි මිලකට තමයි විකුණන්නේ. ඒක මම සමාජ ජාල ඔස්සේ දැනුවත් කිරීමක් කරනවා. විකුණන මිල, විකුණනවා නම්, බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාගේ අනුමැතිය ඇතුව විකුණනවා නම්, ඒක සීයට සීයක් විනිවිදභාවයකින්ම කරන්න මම බලාපොරොත්තු වෙනවා. කිසි විදියකට වංචාවක් කිරීමට මා බලාපොරොත්තු වෙන්නෑ. කවුරුහරි කියනවා නම් යම්කිසි විදියකට මම දේවාලයේ දේවල් ගන්න හදනවා කියලා. මම අවුරුදු හතරෙම මට හම්බෙන භාරකාර දීමනාවත්, කිසිම භාරකාර මහන්සියවත් මම දැනට විෂ්ණු දේවාලයෙන් අරන් නෑ. මම කතරගම දේවාලයෙන් ගන්නෙත් නැහැ.”

ඉන්ධන මිල සංශෝධනය වෙයි…..

සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් ජනවාරි මාසයට අදාළව සංශෝධනය කර තිබේ.

ඒ අනුව අද (05) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් වෙනස් වේ.

මිල සංශෝධනය අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 5කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 2කින් ඉහළ ගොස් තිබේ. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස්ව පවතී.

ලංකා IOC සමාගම ද ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වලට සමගාමීව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

 

ප්‍රාදේශීය මාධ්‍යවේදියාගේ ‘විලාපය’: ඇජෙන්ඩා සහ ඇඩ්වර්ටයිසින් මැද වැළලෙන ‘මහපොළොවේ සත්‍යය’……

ලක්බිමේ නන් දෙසින් පුවත් මවන, සිදුවීම් වාර්තා කරන ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සැබෑ ශ්‍රමිකයා වන්නේ ප්‍රාදේශීය මාධ්‍යවේදියායි. උතුරේ සිට දකුණටත්, බටහිර සිට නැගෙනහිරටත් විසිරී සිටින මේ පිරිස තමන්ගේම වියදමින්, තමන්ගේම උපකරණවලින්, අව්ව වැස්ස නොබලා මහපොළොවේ සැබෑ තොරතුරු සොයා යති. එහෙත් අද වන විට ලංකාවේ සමස්ත ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ප්‍රජාවම දැඩි කලකිරීමකට සහ අසරණභාවයකට පත්ව සිටින්නේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන අනුගමනය කරන ඇතැම් අත්තනෝමතික ක්‍රියාපටිපාටීන් හේතුවෙනි.

වෙළඳ දැන්වීම්වලට යට වූ ‘මාධ්‍ය නිදහස’
ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු දිවි පරදුවට තබා, බලපුළුවන්කාරකම් හෝ දූෂිත ක්‍රියාවන් පිළිබඳ පුවතක් වාර්තා කළද, බොහෝ විට එය ප්‍රධාන නාලිකා හෝ පුවත්පත්වල පළ නොවේ. ඒ පිටුපස ඇත්තේ අදාළ මාධ්‍ය ආයතන නඩත්තු කරන “ඇජෙන්ඩාවන්” සහ වෙළඳ දැන්වීම් ආයතනවල (Advertising Companies) බලපෑමයි. යම් වංචාවකට සම්බන්ධ පාර්ශවයක් මාධ්‍ය ආයතනයක ප්‍රධාන දැන්වීම්කරුවෙකු නම්, එම පුවත “පිටුව මදි” හෝ “වෙලාව මදි” යන ලේබලය යටතේ කුණු කූඩයට වැටේ. මෙහිදී වඩාත්ම කනගාටුදායක තත්ත්වය වන්නේ, පුවත පළ නොවීම ගැන ගමේ ජනතාව දෝෂාරෝපණය කරන්නේ අදාළ ප්‍රාදේශීය මාධ්‍යවේදියාට වීමයි. “අරූ සල්ලි අරගෙන පුවත යට ගැහුවා” යන අපහාසයට ලක්වීමට අද රටේ සෑම ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුටම සිදුව ඇත.

ශ්‍රම සූරාකෑම සහ සම්මාන කොල්ලය
ප්‍රවෘත්තියක් සම්පාදනය කර ගැනීමට යන මූලික වියදම පවා පියවා ගැනීමට නොහැකි සොච්චම් මුදලක් ප්‍රාදේශීය මාධ්‍යවේදියාට ගෙවන අතර, ඇතැම් ආයතන එම මුදල පවා නිසි කලට ගෙවන්නේ නැත. එසේ වුවත්, ප්‍රාදේශීය මාධ්‍යවේදියා දුෂ්කරතා මැද එවන දර්ශන සහ තොරතුරු භාවිතා කරමින්, වාර්ෂික සම්මාන උළෙලවලදී රන් සම්මාන දිනාගන්නේ ප්‍රධාන කාර්යාලවල සිටින මාණ්ඩලික වාර්තාකරුවන් සහ නිලධාරීන් වීම බරපතළ අසාධාරණයකි. ප්‍රාදේශීය මාධ්‍යවේදියාගේ නම පවා සඳහන් නොවන තරමට අද ඔවුන්ගේ වෘත්තීය අභිමානය හෑල්ලුවට ලක්ව තිබේ.

සමාජ මාධ්‍ය: අවසාන විලාපය
අද බොහෝ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තමන්ගේ කනස්සල්ල Facebook හෝ YouTube හරහා ප්‍රකාශ කරන්නේ වෙනත් කළ හැකි දෙයක් නොමැති කම නිසාමය. සැබෑ ප්‍රශ්නවලට මාධ්‍ය ආයතන තුළ ඉඩක් නොලැබෙන විට, ඔවුන්ට තම හදවතේ වේදනාව මුදා හැරීමට ඇති එකම වේදිකාව එයයි. “හිස් මිනිසුන්” සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ ප්‍රතිරූප මවද්දී, රටේත් ගමේත් සැබෑ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදියා අද සමාජය තුළ පවා හුදකලා වී ඇත.

මෙය එක් පුද්ගලයෙකුගේ ප්‍රශ්නයක් නොව, ලංකාවේ සමස්ත ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මුහුණ දෙන පොදු ඛේදවාචකයකි. මාධ්‍ය ආයතන හිමිකරුවන් සහ බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු නොකරන්නේ නම්, ලංකාවේ ගවේෂණාත්මක සහ සැබෑ මාධ්‍ය කලාවේ අවසානය වැඩි ඈතක නොවේ.

ගලෙන්බිදුණුවැව  සහ ගම්පහ විශේෂ වාර්තාකරු විසිනි…

කොහුවල වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට….

කොහුවල, සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේදී ගිනි අවියකින් වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් සිව්දෙනා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (03) දෙහිවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් කොහුවල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බව පොලීසි පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ මෙම අපරාධයට අදාළ යතුරුපැදියේ පැදිකරු, ගිනිඅවිය භාරව කටයුතු කළ සැකකරු, ගිනි අවි ප්‍රවාහනය කළ සැකකරු හා අපරාධකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදුන් සැකකරු ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකි.

ඔවුන් අවුරුදු 25, 28, 33 හා 45 වයස්වල පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

මෙම අපරාධය සංවිධානාත්මක අපරාධකරුවන් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය  ජාවාරකරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලිසිය විසින් දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී රිවෝල්වර් වර්ගයේ ගිනිඅවි 03ක්, 09 mm වර්ගයේ ජීව පතරොම් 10ක්, හෙරොයින් ග්‍රෑම් 50ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 55ක් හා අපරාධයට යොදා ගත් යතුරුපැදි 02ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

පසුගිය දෙසැම්බර් 30 වන දින කොහුවල පොලිස් වසමේ සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේදී ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබුණි.

එම වෙඩිතැබීමෙන් 16 හැවිරිදි ගැහැණු ළමයෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණි.

සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

අයිස් මත්ද්‍රව්‍ය සමග සිව්දෙනෙකු අත්අඩංගුවට…

පෑලියගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලින් අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ ඉකිනිගහපිල්ලෑව ප්‍රදේශයේදී කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත වැටලීම් 03ක් සිදුකර සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.

ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02කට අධික ප්‍රමාණයක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඔවුන් අවුරුදු 22, 24 හා 31 වයස්වල පසුවන කැලණිය හා කොළඹ 08 යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.

මීට අමතරව කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ග්‍රෑන්ඩ්පාස්, ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 820ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය 53 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලීසිය පැවසීය.

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා කරයි….

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ඉතිහාසයේ වර්ෂයක් තුළ ඉපැයූ වැඩිම වාර්ථාගත ආදායම ලෙස රුපියල් මිලියන 1688ක් පසුගිය වර්ෂයේ දී වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ආරම්භ කිරීමෙන් පසු සංස්ථා ඉතිහාසයේ මෙතෙක් වර්ෂයක් තුළ ඉපැයූ වැඩිම වාර්ථාගත අළෙවි ආදායම ලෙස රුපියල් මිලියන 1688ක් පසුගිය 2025 වර්ෂයේ දී උපයා ගැනීමට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සමත්ව ඇත.

මෙම කරුණූ අනාවරණ වුයේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව නව නිෂ්පාදන 07ක් හඳුන්වාදීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංස්ථා පරිශ්‍රයේ පැවැති උත්සවයේ දීය.

මෙම අවස්ථාවට සමගාමීව අමාත්‍යවරයා ආයුර්වේද ඖෂධ සංස්ථා පරිශ්‍රයේ නිෂ්පාදන අංශයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

මෙම අලෙවි ආදායම් ප්‍රගතියට සමගාමීව ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව පසුගිය වර්ෂය තුළ දී මෙවැනි සාර්ථක ප්‍රගතියක් අත්කර ගැනීමට මූලික වූ කරුණු අතර, අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යාංශය ලබාදුන් උපදේශකත්වය මෙන්ම නිසි සැලසුමකට අනුව කටයුතු කර ගෙන යාමට ලබාදුන් අවස්ථාව බෙහෙවින් ඉවහල් වූ බව සංස්ථාවේ සභාපතිනී ගීතාමනී සී කරුණාරත්න මහත්මිය මෙහිදී සඳහන් කළා ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ සභාපතිනිය නිකවැරටිය, දංගොල්ල, මැදවච්චිය යන ප්‍රදේශවල – දංගොල්ල, මැදවච්චිය සංස්ථාව සතු ඔසු උයන්වල කෙටි කාලීන, මධ්‍ය කාලීන  දිගු කාලීන නව ඔසු බෝග වගා කටයුතු සිදු කිරීමට ද අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය හා ඒකාබද්ධව “ඔසු දිරිය” වගා වැඩසටහන යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් කඳවුර, පදවිය සිවිල් ආරක්ෂක බළකා කඳවුර, රඹෑව සිවිල් ආරක්ෂක බලකා කඳවුර යන ස්ථානවල වගා ව්‍යාපෘති ආරම්භ කිරීමට ද සංස්ථාව කටයුතු කර ඇති බව ද පැවැසුවා ය.

එමෙන්ම රුහුණු විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව හීන් අරත්ත පැළ වගා කිරීමේ ව්‍යාපෘතියක් ද පසුගිය වර්ෂයේ දී සාර්ථකව ආරම්භ කිරීමට සංස්ථාවට හැකි වූ බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

කාර්යක්ෂම සේවාවක් සංස්ථාව තුළ පවත්වාගෙන යාම සදහා සංස්ථාවේ දිගුකාලයක සිට පුරප්පාඩුව පැවති තොරතුරු තාක්ෂණ, මානව සම්පත් හා නිෂ්පාදනාගාර කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු ද සම්පූර්ණ කිරීමට සංස්ථාව පාලන අධිකාරිය පසුගිය වර්ෂයේ දී පියවර ගෙන තිබූ අතර එය ද සංස්ථාවේ මූල්‍ය ප්‍රවර්ධනයට බෙහෙවින් ඉවහල්වී ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සියලුම අංශවල කටයුතු කාර්යක්ෂම සිදුකිරීම සඳහා ඒකාබද්ධව භාවිතා කලහැකි ERP පරිගණක මෘදුකාංග පද්ධතියක් ද ස්ථාපිත කිරීමට සංස්ථාව පසුගිය වර්ෂයේ දී කටයුතු කර තිබේ.

වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් පසුගිය වර්ෂයේ අගභාගයේ නාවින්න සංස්ථාවේ දී නව ආයුර්වේද ඖෂධ සහ ශාකසාර නිෂ්පාදනයන්  07 එළි දැක්වීමට ද සංස්ථාව කටයුතු කර ඇත.