ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය විශ්‍රාම යයි……

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගොස් තිබේ.

ඒ මහතා අද (27) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ජාතික බුද්ධි ප්‍රධානී ධූරයෙන් විශ්‍රාම ගන්නා ලදි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ මේජර් ජෙනරල් වනිගසූරිය සිය වෘත්තීය ජීවිතය පුරාවට විශිෂ්ඨ අන්දමින් සේවයකළ නිලධාරියෙකි.

ඔහු ජාතික බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කරමින්, රටේ බුද්ධි ජාලය ශක්තිමත් කිරීමට සහ ජාතික ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් වන නියෝජිතායතන අතර සම්බන්ධීකරණ කටයුතු වැඩිදියුණු කිරීම සඳහාත් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මේජර් ජෙනරල් වනිගසූරිය ජාතික බුද්ධි ප්‍රධානී වශයෙන් මෙම වසරේ ජනවාරි මාසයේදී එම ධූරයේ වැඩ භාර ගෙන තිබුණි.

වැල්ලම්පිටිය නිවසක් ඉදිරිපිට අත්බෝම්බයක්……

වැල්ලම්පිටිය, ඩොනල් පෙරේරා මාවතේ, ඇල්බා නිවාස සංකීර්ණයේ නිවසක් ඉදිරිපිට මාර්ගයේ අත්බෝම්බයක් තිබී හමුව තිබේ.

ඊයේ (26) රාත්‍රියේ එම නිවසේ හිමිකාරිය විසින් නිවස ඉදිරිපිට පිරිසිදු කිරීම් කරමින් සිටියදී සැකකටයුතු යමක් දැක ඒ බව පොලීසියට දැනුම් දී ඇත.

ඒ අනුව, වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට ලද 119 දුරකථන පණිවිඩය මත සිදුකළ සෝදිසි කිරීමකදී මෙම අත්බෝම්බය සොයාගෙන තිබුණි.

පොලීසිය පැවසුවේ මෙම අත්බෝම්බය ක්‍රියාකාරී තත්ත්වයේ නොමැති අතර පරණ අත්බෝම්බයක් බවට නිරීක්ෂණය වූ බවය.

කෙසේවෙතත් මෙම අත්බෝම්බය මෙම ස්ථානයට පැමිනි ආකාරය සම්බන්ධව කිසිදු කරුණක් අනාවරණය වී නොමැති බව සඳහන් වේ.

බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරින් පැමින මෙම අත්බෝම්බය පරික්ෂා කර නිෂ්ක්‍රීය කර අධිකරණ කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ජගත් විතාන සම්බන්ධව පොලිස්පතිවරයා සිදුකළ ප්‍රකාශයට සජබෙන් නිවේදනයක්….

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට එල්ල වී ඇති මරණීය තර්ජනය හමුවේ පොලීසිය ලබා දුන් ආරක්ෂාව පිළිබඳව මාධ්‍යයට පොලිස්පතිවරයා කළ ප්‍රකාශය සමගි ජන බලවේගයේ අවධානයට යොමුව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ දේශපාලනික නොවන කරුණු කාරණා මත මන්ත්‍රීවරයාට තර්ජන එල්ල වී ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් කරනු ලබන ප්‍රකාශය තුළ මන්ත්‍රීවරයා වෙනත් අනීතික ක්‍රියාවකට හෝ පෞද්ගලිකව ඉස්මතු වූ ක්‍රියාවකට හෝ තර්ජනයක් එල්ල වී ඇති බව හැඟේන බවය.

එය කුමක්දැයි නිවැරදිව ප්‍රකාශ කිරීම පොලිස්පතිවරයාගේ වගකීමක් වන බවත් එසේ නොමැතිව වක්‍රෝත්තියෙන් ප්‍රකාශ සිදු කිරීම තුළ මහජන සේවාවේ නිරත මන්ත්‍රීවරයෙකුට සිදු කරනු ලබන අපහාසාත්මක ප්‍රකාශයක් ලෙස එය සිය පක්ෂය විසින් තරයේ හෙලා දකින බවත් එහි සඳහන් කර තිබේ.

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා රුමේෂ් තරංග….

ඉන්දියාවේ රාංචි හි පැවති 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලාංකික හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග දක්ෂතම පිරිමි ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබ තිබේ.

ඊයේ  (26) පැවති පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කීමට රුමේෂ් තරංග සමත් විය.

ඔහු ඉසව්ව ජයග්‍රහණය කළේ මීටර් 84.29ක දුරක් හෙල්ල විසිකරමින්ය.

බිබිල – පස්සර මාර්ගය ආශ්‍රිතව පවතින නාය යෑම් ස්ථාවර කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක්….

බිබිල – පස්සර මාර්ගය ආශ්‍රිතව පවතින නාය යෑම් ස්ථාවර කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එක්ව විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා පැවසුවේ මේ වන විට ඒ සඳහා වූ ව්‍යාපෘති කටයුතු ද ආරම්භ වී ඇති බවය.

ඒ අනුව ඉදිරි වසර ඇතුළත මෙම නායයෑම් ස්ථාව කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරනු ඇති බවත් ඒ මහතා අදහස් දක්වමින් පැවසීය.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් අවදානම් ගණනාවක් සිදුවීමේ හැකියාව ඇති බවත් මේ වන විට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් විසින් මෙම ප්‍රදේශ අධ්‍යණය කර නාය යෑම් ඇතිවන ස්ථාන හඳුනාගනිමින් එම ස්ථාන ස්ථාවර කිරීමේ කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් ඒ මහතා පැවසීය.

තවද කොස්ලන්ද මාර්ගය ආශ්‍රිතවද නාය යෑම් සිදුවීම් කිහිපයක් වාර්තා වන බවත්  එම ස්ථාන සඳහා මීට පෙර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති මගින් ඇතැම් ස්ථාන මේ වන විට නිරීක්ෂණය කරමින් අදාළ උපකරණ සවිකර නිරීක්ෂණය කරමින් පවතින බවද ඔහු පැවසීය.

එමෙන්ම එම ප්‍රදේශයේ ඇතැම් ස්ථාන සඳහා වැඩිදුර අධ්‍යනය කටයුතු සිදුකරමින් ඉදිරියේදී ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයා දියේ ගිලී මරුට…..

රස්නායකපුර පොලිස් වසමේ මුඩත්තව වැවෙහි ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 68ක් වූ මොන්නෑකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පුද්ගලයා ටියුබයක් ආධාරයෙන් මාළු ඇල්ලීම සිදු කරන අයෙකු වන අතර ඔහු නිවසට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් නිවැසියන් විසින් සොයා බැලීමේදී වැවෙහි මැදට වන්නට තිබී ඔහුගේ මෘත ශරීරය හමු වී ඇති බව පොලීසිය පැවසුවේය.

මෘත ශරීරය නිකවැරටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර රස්නායකපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

පොලිස් සැරයන්වරයාට මරු කැඳවූ අනතුර…..

වැල්ලවාය පොලිස් වසමේ වැල්ලවාය තණමල්විල මාර්ගයේ ආදාවෙලයාය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ගමන් කළ යුද හමුදාවට අයත් බස් රථයක් ඊට ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 36ක් වූ රජමාවත, වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයෙකි.

මෘත ශරීරය වැල්ලවාය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ පිරිසක් අත්අඩංගුවට….

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු කරමින් සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මෙම පුද්ගලයින් දියබෙදුම සහ කපුගොල්ලෑව ප්‍රදේශයන් හිදී අත්අඩංගුවට ගත් බවය.

ඒ අනුව ඊයේ (26) අලුයම් කාලයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දියබෙදුම පොලිස් වසමේ නුවරගේයාය ප්‍රදේශයේදී පොළොන්නරුව අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.

එහිදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 20-43 වයස්වල පසුවන පුත්තලම හා අත්තනකඩවල ප්‍රදේශයන් හී පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධ ඉදිරි විමර්ශන දියබෙදුම පොලීසිය විසින් සිදුකරති.

මේ අතර ඊයේ දහවල් කාලයේදී හොරොව්පොතාන, කපුගොල්ලෑව පොලිස් වසමේ දුටුවැව ප්‍රදේශයේදී කපුගොල්ලෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.

එහිදී ද පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු කරමින් සිටි සැකකරුවෙකු කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමග අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවුරුදු 65ක් වූ දුටුවැව, කපුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධ ඉදිරි විමර්ශන කපුගොල්ලෑව පොලීසිය විසින් සිදුකරනු ලබයි.

පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක් දිවයිනට….

දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස මේ වන විට පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක ප්‍රමාණයක් දිවයිනට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

ඒ අනුව පසුගිය 23 වනදා එහි පළමු තොගය දිවයිනට පැමිණ ඇති බව සදහන් වේ.

මීට අමතරව පසුගිය සිකුරාදා සහ  සෙනසුරාදා යන දින තුළ ද ආනයනික පොන්නි සම්බා සහල් තොගයක් මෙරටට රැගෙන විත් ඇති බව ශ්‍රී ලංකා රේගුව පැවසුවේය.

දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස පසුගිය 15 වනදා සිට  ජී.ආර් 11 පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබුණි.

ඒ අනුව ආනයනකරුවන්ට ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවෙන් නිදහස් කිරීමට රජය පියවර ගැනුණි.

ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව එක් ආනයනකරුවකුට එහිදී මෙට්‍රික්ටොන් 520ක උපරිමයකට යටත්ව  සහල් ආනයනයට අවසර ලබා දෙනු ලැබීය.

මෙරට ඇස්තමේන්තුගත වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික්ටොන් ලක්ෂ 24ක් පමණ වන අතර එයින් වාර්ෂික කීරි සම්බා පරිභෝජනය සියයට 10 ක්, එනම් මෙට්‍රික්ටොන් ලක්ෂ 2ක් පමණ වේ.

හෙරොයින් සමග ඉන්දීය ජාතිකයෙක් ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට….

රුපියල් මිලියන 84.96ක් වටිනා හෙරොයින් තොගයක් සමග විදෙස් ජාතිකයෙකු, කටුනායක ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 39ක් වන ඉන්දීය ජාතිකයෙකි.

මෙම පුද්ගලයා ඊයේ (26) පස්වරු 04.15ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 832ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගය කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයක දී මෙරට මත්ද්‍රව්‍ය නියෝජිතයන් වෙත භාර දීමට සැළසුම් කර තිබූ බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් මෙම ඉන්දීය ජාතිකයා අද (27) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.