‘දිට්වා’ සුළි කුණාටුවෙන් ලංකාවට වූ හානි ගැන UNDP වාර්තාවක්….

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙරටට සිදුවූ බලපෑම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) නවතම වාර්තාවක් එළිදක්වා තිබේ.

අධික වැසි සමග ඇතිවූ ගංවතුර සහ ජලගැලීම් හේතුවෙන් මෙරට පුද්ගලයින් මිලියන 2.3කට බලපෑමට ලක්ව ඇති බව එම වාර්තාවේ සඳහන්.

එමෙන්ම මෙරට හෙක්ටයාර මිලියන 1.1 ඉක්මවූ භූමි ප්‍රමාණයක් ජලගැලීම්වලට හසුව ඇති බවත්, එය ශ්‍රී ලංකා භූමි ප්‍රමාණයෙන් 20% ක් පමණ වන බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි.

ජාතික වශයෙන් ජලගැලීමෙන් වැඩිම භූමි ප්‍රදේශයක් යටවූ ප්‍රදේශය ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හඳුනාගෙන ඇත.

එහි හෙක්ටයාර් 23,000කට වැඩි ප්‍රමාණයක් ගංවතුරට හසුව තිබේ.

එසේම ගංවතුරින් කුඹුරු ඉඩම් හෙක්ටර්යාර 530,000ක් යටවී ඇති බවද එම වාර්තාවේ සඳහන්.

මෙවර ගංවතුරට හසුවූ ගොඩනැගිලි සංඛ්‍යාව 720,000කට ආසන්න වන අතර, එය මෙරට සමස්ත ගොඩනැගිලි සංඛ්‍යාවෙන් 12න් 1ක්.

මාර්ග කිලෝමීටර් 16,000කට වඩා ගංවතුරට නිරාවරණය වී ඇති අතර, ඒ හා සමානව කිලෝමීටර් 278කට වඩා වැඩි දුම්රිය මාර්ග සහ පාලම් 480ක් ගංවතුරට ලක්වූ ප්‍රදේශවල පිහිටා තිබේ.

ගංවතුරට නිරාවරණය වූ පුද්ගලයින් අතරින් මිලියන 1.2ක් කාන්තාවන් වන අතර, දරුවන් 522,000ක් සහ අවුරුදු 65ට වැඩි වැඩිහිටි පුද්ගලයින් 263,000ක් ගංවතුරේ බලපෑමට ලක්ව ඇති බවද එම වාර්තාවේ දැක්වේ.

එලෙස ගංවතුරට නිරාවරණය වූ පුද්ගලයින් අතරින් 60%කට වඩා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජීවත්වන පුද්ගලයින් බව ද එහි සඳහන්.

මේ අතර ඇදහැළුණු අධික වැසි හේතුවෙන් මෙරට කඳුකර ප්‍රදේශවලින් නායයෑම් 1,200ක් පමණ වාර්තා වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

ඉන් 135ක් වන වැඩිම නායයාම් වාර්තා වී ඇත්තේ මහනුවර – උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ය.

ඊට අමතරව මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල, නුවරඑලිය දිස්ත්‍රික්කයේ කොත්මලේ බටහිර, බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල සහ පස්සර යන එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් නායයාම් 60කට වැඩි සංඛ්‍යාව බැගින් වාර්තා වී තිබේ.

එසේම, ගංවතුර සහ නායයාමෙන් ඇතිවූ ආපදා හේතුවෙන් ඉදිකිරීම් නොවන අපද්‍රව්‍ය ටොන් 25ක් පරිසරයට එකතු වී ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ අලුත්ම වාර්තාවේ සඳහන්.

එම ප්‍රමාණය ඝන මීටර් 60,000ක් පමණ වන බව එහි දැක්වේ.

මහනුවර – නුවරඑළිය මාර්ගය යථා තත්ත්වයට….

අධික වර්ෂාවත් සමග පස්කඳු කඩාවැටී ගමනාගමන කටයුතු අවහිර වී තිබූ මහනුවර – නුවරඑළිය මාර්ගය ඇතුළු මාර්ග 4ක් යථා තත්ත්වයට පත්කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසීය.

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද  (10) පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඇය මේ බව පවසා සිටියාය.

එහිදී ඇය පවසා සිටියේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ මත ඉහත මාර්ගවල බර වාහන ධාවනයට විවෘත කරන බවය.

පසකඳු කඩාවැටීම් හේතුවෙන් අවහිර වූ නුවරඑලිය – මහනුවර ප්‍රධාන මාර්ගය මෙලෙස ගමනාගමක කටයුතු සඳහා විවෘත වූ යේ දින ගණනාවකට පසුවය.

කටුකිතුල, තවලන්තැන්න, රම්බොඩ ඇල්ල ඇතුලු ස්ථාන කිහිපයකින්ම එම මාර්ගයට විශාල වශයෙන් පසුකඳු නාය ගොස් තිබුණි.

කෙසේ නමුත් යුධ හමුදාවේ ඉංජිනේරු බලකාය, මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව එම මාර්ගය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර එක් මන්තීරුවක් පමණක් සැහැල්ලු වාහන ධාවනයට විවෘත කිරීමට පියවර ගත්තේය.

කෙසේ නමුත් මෙම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේ දී සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙසත්, මාර්ගය නායගිය ස්ථානවල නතර නොකරන ලෙසත් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි…

අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු කුලතුංග මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

නොපැවැත් වූ උ.පෙළ විෂයන් සඳහා කාලසටහන නිකුත් කෙරේ….

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 2025 අ.පො.ස (උ.පෙළ) විභාගයේ නොපැවැත්වූ විෂයන් සඳහා වූ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් අද (10) පස්වරුවේ නිකුත් කළේය.

නොපැවැත්වූ විෂයන් 2026 ජනවාරි මස 12 වනදා සිට ජනවාරි 20 වන දින දක්වා පැවැත්වීමට මේ වනවිට කටයුතු සංවිධානය කර ඇත.

ආපදාවට ලක්වූ පාසල් අයදුම්කරුවන් හට තම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට නොහැකි නම්, තම පාසලේ විදුහල්පතිවරයා ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කළ යුතු බවද එම නිවේදනයේ දැක්වේ.

ඒ අනුව විදුහල්පතිවරුන් තම විදුහලේ ආපදාවට ලක් වූ අයදුම්කරුවන් සිටී නම් ඒ පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හා විභාග කොමසාරිස් (පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල) දැනුවත් කළ යුතුය.

එසේම ආපදාවට ලක් වූ පෞද්ගලික අයදුම්කරුවන් තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට නොහැකි නම් පහත දුරකතන අංක මගින් හෝ විද්‍යුත් තැපෑල මගින් දැනුම්වත් කරන ලෙසත් එහි වැඩිදුරටත් සඳහන්.

ක්ෂණික දුරකතන අංකය – 1911

දුරකතන අංක – 0112784537, 0112786616, 0112784208

ෆැක්ස් අංක – 0112784422

විද්‍යුත් තැපෑල – gcealexam@gmail.com

සංශෝධිත විභාග කාලසටහන පහතින්

 exam

ලංකා ත්‍රිපෝෂ සමාගමෙන් ලාභාංශ මිලියන 100 ක් මහා භාණ්ඩාගාරයට….

ලංකා ත්‍රිපෝෂ සමාගමේ ලාභාංශ ලෙස රුපියල් මිලියන 100ක මුදලක් අද (10) මහා භාණ්ඩාගාරය වෙත ලබා දී තිබේ.

මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වෙත අදාළ වෙක්පත භාරදෙනු ලැබුවේ ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා ඇතුළු පිරිස විසිනි.

මෙම අවස්ථාවට වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ද එක්ව සිට ඇත

ගංවතුරට හසුවී විනාශ වුණු ආහාර ද්‍රව්‍ය ගොඩගසා ඇති අයුරු….

දිට්වා සුළි කුණාටුවත් සමග ගම්පොළ නගරයට බලපෑ ගංවතුර හේතුවෙන් ජීවිත සහ දේපොළ හානිවලට අමතරව වෙළෙඳසැල් සහ ගබඩා තුළ තිබූ ආහාර ද්‍රව්‍ය විශාල තොගයක් ද විනාශයට පත්වී තිබේ.

ඒ අනුව ගම්පොළ නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණ 2කට අයත් සහල් මිටි දහස් ගණනක් මෙලෙස විනාශවී ගොස් තිබෙන අයුරු දැකගන්නට හැකිවිය.

ඊට අමතරව පරිප්පු, සීනි, පිටි ආදිය ද ඒ අතර වෙයි.

ගම්පොළ නාවලපිටිය මාර්ගයේ, කහටපිටිය හා බෝතලාපිටිය ප්‍රදේශවල ඇති ගබඩාවල හා සුපිරි වෙළෙඳ සංකීර්ණවල මෙම ආහාර ද්‍රව්‍ය ගබඩා කර තිබී ඇත.

පෙරපාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ගැන දැනුම්දිමක්….

හදිසි ආපදා තත්ත්වය හේතු කොට ගෙන වසාදමන ලද පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවලින් නැවත ආරක්ෂිතව ආරම්භ කළ හැකි සියලු පෙරපාසල් එළැඹෙන 16 දින සිට නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව දැනුම් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය මේ බව දැනුම් දී ඇත.

NBRO මඟින් නිකුත් කරන පූර්ව අනතුරු ඇඟවීම් ගැන දැනුම්දීමක්….

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් නිකුත් කරනු ලබන නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ වනවිට රට තුළ ඇතිව තිබෙන ස්වභාවික ආපදා තත්ත්වයන් කළමනාකරණය සඳහා පවතින විද්‍යාත්මක ක්‍රමවේදයන්හි සීමාවන් පවතින අතර, මෙම ව්‍යසනය සියලුදෙනාට අභියෝගාත්මක වන බැවින් තත්ත්වය තේරුම් ගනිමින් එකිනෙකාට චෝදනා කරගැනීමකින් තොරව මේ මොහොතේ කටයුතු කරන ලෙසත් ඉතා කැපවීමෙන් කටයුතු කරන නිලධාරීන් ධෛර්යමත් කරමින් අවබෝධයෙන් සහ ඉවසීමෙන් කටයුතු කළ යුතුව ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.

– උපුටාගැනීම – 

තවද මෙවැනි (නායයෑම් වැනි) ස්වාභාවික සංසිද්දීන් කළමනාකරණය සදහා පවතින විද්‍යාත්මක ක්‍රමවේදයන්හි සීමාවන් පවතින අතර මෙම ව්‍යසනය අප සියලුදෙනාහට අභියෝගාත්මක තත්ත්වයක් බැවින් අප සියලුදෙනා මෙම තත්ත්වන් තේරුම් ගනිමින් එකිනෙකාට චෝදනා කරගැනීමෙන් තොරව මේ අවස්ථාවේ ඉතා කැපවීමෙන් කාර්යයේ නියුතු නිලධාරීන් ධෛර්යමත් කරමින් අවබෝධයෙන් සහ ඉවදීමෙන් කටයුතු කළ යුතුව ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකතනයන් සහ අප ආයතනය මඟින් නායයෑම් සහිත ප්‍රදේශවල ස්ථාපිත කර ඇති ස්වංක්‍රීය වාර්ෂා මානයන්ගෙන් ලබා ගන්නා තත්කාලීන දත්ත පදනම් කරගනිමින් නායයෑම් පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කරනු ලබයි. 

මෙම පූර්ව අනතුරු ඇගවීම් ඉදිරි පැය 24ක කාලයක් සඳහා පමණක් නිකුත් කරනු ලබන අතර වර්ෂාපතනයේ වෙනස්වීම් මත පදනම්ව අදාළ අයුරින් යාවත්කාලීන කරනු ලබයි. 

තවද මෙම පූර්ව අනතුරු ඇගවීම් කලාපීය (Regional) මට්ටමින් නිකුත් කරනු ලබන අතර හදුනාගත් නායයෑම් අවදානම් ස්ථානයන්හි ජීවත්වන ජනයාගේ සහ අවදානම් බෑවුම් ආශ්‍රිතව ජීවත්වන ජනයාගේ ජීවිත ආරක්ෂා කරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සදහා ඉලක්ක කරයි. 

කලාපීය මට්ටමින් නිකුත් කරනු ලබන පූර්ව අනතුරු ඇගවීමක් සමස්ථ ප්‍රදේශයක් ආවරනය වන පරිදි නිකුත් කළද එයින් එම ප්‍රදේශ තුළ අස්ථාවර ස්ථානවල නායයෑම් සම්භාවිතාව පිළිබදව දැනුම්දීමක් සිදුකරනු ලබන අතර එමඟින් සමස්ථ ප්‍රදේශයම නායයෑමකට භාජනය වන බව අදහස් නොකරයි. 

මෙම කලාපීය පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කිරීමේ ක්‍රමවේදය ලෝකයේ අනෙකුත් රටවල් භාවිතා කරන සම්මත විද්‍යාත්මක ක්‍රමවේදවලට අනුගතව සිදුකරනු ලැබේ. 

තවද මෙවැනි (නායයෑම් වැනි) ස්වාභාවික සංසිද්දීන් කළමනාකරණය සඳහා පවතින විද්‍යාත්මක ක්‍රමවේදයන්හි සීමාවන් පවතින අතර මෙම ව්‍යසනය අප සියලුදෙනාහට අභියෝගාත්මක තත්ත්වයක් බැවින් අප සියලුදෙනා මෙම තත්ත්වන් තේරුම් ගනිමින් එකිනෙකාට චෝදනා කරගැනීමෙන් තොරව මේ අවස්ථාවේ ඉතා කැපවීමෙන් කාර්යයේ නියුතු නිලධාරීන් ධෛර්යමත් කරමින් අවබෝධයෙන් සහ ඉවසීමෙන් කටයුතු කළ යුතුව ඇත.

– උපුටා ගැනීම අවසන් – 

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්…..

බස්නාහිර සහ සබරගමුව පළාත් මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කිතුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව සඳහන් වේ.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි….

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට බැඳුම්කරවල ශ්‍රී ලංකා රජයට අයත් රුපියල් කෝටි 184කට අධික මුදලක් ආයෝජනය කිරීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා ලබා සිටී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහි චෝදනා, දූෂණ විරෝධී පනතේ 67(3) වගන්තිය යටතේ අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඒ මහතා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (10) නියෝග කළේය.

අල්ලස් කොමිසම සඳහන් කරන්නේ දූෂණ විරෝධී පනතේ 67 (3) වගන්තිය ප්‍රකාරව, විත්තිකරුට එරෙහි අධි චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගන්නා දින සිට මාස 3ක් ඇතුළත ඔහු විසින් මෙම නඩුවට අයත් රුපියල් 1,843,267,595.65 (බිලියන 1.8)ක මුදල දඩයක් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුමට බැරකළ යුතු බවය.

අදාළ කාලසීමාව තුළ කබ්රාල් මහතා විසින් එම මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත්, දූෂණ විරෝධී පනතේ 67(5) වගන්තිය යටතේ ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් අල්ලස් කොමිසම පළකළ නිවේදනයේ සඳහන් වේ.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන අධි චෝදනා පත්‍රඉල්ලා අස්කර ගන්නා බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර සිටියේ, මෙම චෝදනා පත්‍රයේ රජයට පාඩු කළ බව සඳහන් රුපියල් 1,843,267,595.65ක මුදල දඩයක් වශයෙන් අය කර ගැනීමේ කොන්දේසියට යටත්ව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහි චෝදනා ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බවය.

ඉන් අනතුරුව අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේ, එසේ නම් විත්තිකාර කබ්රාල් මහතා දූෂණ විරෝධි පනතේ 67(3) වන වගන්ති ප්‍රකාරව කොන්දේසිවලට යටත්ව නිදහස් කරන ලෙසය.

ඒ අනුව හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දූෂණ විරෝධී පනතේ 67(3)  වගන්තිය යටතේ කොන්දේසියට යටත්ව නිදහස් කිරීමට නියෝග කළ විනිසුරුවරයා, මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම්කර සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, සහකාර අධිපතිවරුන්වන දොන් වසන්ත ආනන්ද සිල්වා, එම්.ඒ. කරුණාරත්න යන අය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194(3) වගන්තිය යටතේ කොන්දේසි විරහිතව නිදහස් කිරීමටත් නියම කළහ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම මීට පෙරද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබුණි.

එම අධි චෝදනා පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිගත් කොළඹ මහාධිකරණය, අදාළ අධි චෝදනා පත්‍ර ප්‍රතික්ෂේප කරමින් විත්තිකරුවන් නිදහස් කිරීමට නියෝග කර තිබුණි.

ඉන් අනතුරුව අල්ලස් කොමිසම විසින් ඉකුත් වසරේ මෙම නඩුව යළි ගොනුකරනු ලැබීය.