ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව ස.ජබයෙන් විශ්වාසභංගයක්……

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගය විසින් ගෙනඑන විශ්වාසභංග යෝජනාව කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත අද (7) භාරදී තිබේ.

මෙම විශ්වාසභංග යෝජනාව කරුණු 15කින් සමන්විතය.

අරුණ ජයසේකර මහතා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරය දරන රජයක, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මගින් පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සිදුකිරීම මත, බලපෑම් සහ ළබැඳියාවන් අතර ගැටීමක් ඇතිවන බව අදාළ යෝජනාවන්හි දැක්වේ.

ඒ හේතුවෙන් පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන අපක්ෂපාතීව හා ස්වාධීනව සිදුවන්නේදැයි පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ගේත්, කතෝලික සභාවේත්, පොදු මහජනතාවගේත්, විශ්වාසය බිඳවැටී ඇති හෙයින් ඔහු ධුරයේ සිටියදී පාස්කු විමර්ශන සිදුකිරීමෙන් ගරු සභාවේ විශ්වාසය කඩව ඇති බව පවසමින් යෝජනා සම්මත කර ඇත.

අදාළ විශ්වාසභංග යෝජනාව‍

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යාධර්ම සංග්‍රහය – III කොටස, 6 වන වගන්තියෙහි,

“මන්ත්‍රීවරුන් සෑම අවස්ථාවක දී ම ඔවුන් වෙත තබා ඇති මහජන විශ්වාසයට අනුව ක්‍රියා කළ යුතු අතර, සෑම විටම යම් පොදු සම්පත් භාවිතය ද ඇතුළු ඔවුන්ගේ හැසිරීම අවංකභාවයකින් එ්කාග්‍රතාවකින් විය යුතුය.”

යනුවෙන් සඳහන් කර ඇතත් එය කඩ කර ඇති හෙයින්ද;

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයේ V වන කොටසේ 9 වගන්තියේ චර්යා රීතිවල සඳහන්,

(අ) හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීම
(ඇ) ජනතාවගේ විශ්වාසය සහ ගෞරවයට යෝග්‍ය වන පරිදි කටයුතු කිරීම
(ඉ) තමන් වගකිව යුතු චර්යාව සහ කාර්යභාරය සම්බන්ධයෙන් වගකිව යුතු වීම

යන චර්යා රීති උල්ලංඝනය කර ඇති බව බැලූ බැල්මටම තහවුරු වන හෙයින්ද;

එමෙන්ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 ව්‍යවස්ථාවට අනුකූලව මූලික යුතුකම් ඉටු කිරීමට නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස අපොහාසත් වන බව නිරික්ෂණය වන හෙයින් ද;

එසේම,

01. පාස්කු ඉරිදා ප්‍රහාරයේ කුමන්ත්‍රණයේ මූලාරම්භයක් ලෙස සැලකෙන 2018 ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ සමයේ එනම් 2018 නොවැම්බර් මාසයේදී 17 වන ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති [17th Commander of the Security Force (East)] ලෙස ගරු අරුණ ජයසේකර මහතා පත් කළ හෙයින් ද, ඒ අනුව ඔහු ආරක්ෂක සේනා (නැගෙනහිර)  ආඥාපති ලෙස වැඩ බාරගත් හෙයින්ද;

02. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශනවලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා වව්නතිව් පොලිස් මුරපොළේ දී ශ්‍රී ලංකා පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙක් ඝාතනය කිරීම සිදුවන අවස්ථාවේ ගරු අරුණ ජයසේකර මහතා ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ලෙස කටයුතු කළ හෙයින්ද;

03. පාස්කු ඉරිදා ප්‍රහාරයේ තීරණාත්මක සංසිද්ධියක් වන සයින්දමරුදු බොලිවේරියන් ග්‍රාමයේ සිදුවීම සිදුවන අවස්ථාවේ ගරු අරුණ ජයසේකර මහතා ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ලෙස කටයුතු කළ හෙයින්ද;

04. අදාල සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ කිහිප දෙනකුට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගෙන ඇති හෙයින්ද;

05. කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බකරුවූ හස්තුන් නැමැත්තාගේ බිරිඳ ලෙස හැඳින්වෙන සාරා ජස්මින් නොහොත් පුලස්තිනී මහේන්ද්‍රන් සයින්දමරුදු එම ස්ථානයේ සිටි බවට සහ ඇය බෝම්බය පිපිරීමෙන් පසු ද ජීවතුන් අතර සිටි බවට සහරාන්ගේ බිරිඳ ෆාතිමා හාදියා ප්‍රකාශ කර ඇති හෙයින් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද ඇය මිය ගිය බවට කී සිද්ධිය සැක සහිත යැයි ප්‍රකාශ කර ඇති හෙයින්ද;

06. අදාල සයින්දමරුදු සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර යුද හමුදාවේ එදින මෙහෙයුමට සහභාගී වූ එකල ගරු අරුණ ජයසේකර මහතාගේ යටතේ සිටි නිලධාරීන්ගෙන් ප්‍රකාශ ගැනීම ආරම්භ කර ඇති හෙයින්ද,

07. මෙම සිද්ධියට අදාලව ගරු අරුණ ජයසේකර මහතා විසින්ම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි ඔහුගෙන් ද ප්‍රකාශ ලබා ගෙන ඇති හෙයින්ද,

08. වව්නතිව් සහ සයින්දමරුදු සිදුවීම් දෙකටම අදාල විමර්ශනයේදී සාක්ෂි /කටඋත්තර යුද හමුදාවේ පිරිස්වලින් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා ගනිමින් සිටින හෙයින් ද;

09. ගරු අරුණ ජයසේකර මහතා පූර්ව මැතිවරණ සමයේ ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් සිට, අංක 2410/08 දරන 2024-11-17 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව ජාතික ජන බලවේග රජයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්ව, අංක 2412/23 දරන 2024-11-28 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ හෙයින්ද; සහ ඇතැම් අවස්ථාවල වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන බැවින් ද;

10. අදාල සිදුවීම් ගැන සාක්ෂි දෙනු ලබන යුද හමුදාවේ නිලධාරීන් විසින් සාක්ෂි ලබාදීමේදී එවකට ප්‍රදේශය භාර ප්‍රධානියා වූ ගරු අරුණ ජයසේකර මහතා වර්තමානයේ යුද හමුදාව බාර අමාත්‍යංශයේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටින බැවින් නිලධාරීන් සාක්ෂි ලබාදීමේදී ඔවුන් උසස්වීම්/මාරුවීම් සහ වෙනත් කටයුතුවලට බලපෑමක් ඇතිවේයැයි බියෙන් සාක්ෂි ලබාදීමේ මැලිකමක් දැක්වීමට ඉඩ ඇති බැවින්ද;

11. එවකට ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ලෙස සිටි ගරු අරුණ ජයසේකර මහතා යටතේ සිටින නිලධාරීන් විමර්ශනයට ලක්වෙමින් සිටින බැවින් ඔහු එම නිලධාරීන් සිටි යුද හමුදාව බාර අමාත්‍යංශයේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන හෙයින් විමර්ශන ගැන සැක සංකා මතුවීමට ඉඩ ඇති හෙයින්ද සහ ලබැඳියාවන් අතර ගැටුමක් ඇතිවීමට ඉඩ ඇති හෙයින්ද;

12. පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බවට මැතිවරණ පොරොන්දුවක් ලබාදුන් රජයක ගරු අරුණ ජයසේකර මහතා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස වගකිව යුතු තනතුරක් දැරුව ද මේ දක්වා පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමට අපොහොසත් වී ඇති හෙයින්ද;

13. පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් ගරු අරුණ ජයසේකර මහතා යුද හමුදාවේ ධූරය දරන සමයේ නිසි ක්‍රියාමාර්ග නොගත් පසුබිමක, වත්මන් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම මත, ඒම විමර්ශනවලට යම් බලපෑමක් ඇතිවිය හැකි බවට කතෝලික සභාවට හැඟී යාම සහ එම පරීක්ෂණවල විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ගැටලු පවතින බවට කාදිනල් හිමිපාණන්ගේ ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශ කර ඇති හෙයින්ද;

14. පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සිදුකිරීම අභියෝගයක් බවත්, රජය රජය තුළම විමර්ශනයට ලක්කිරීම දුෂ්කර වී ඇති බවත්, රජය රජය විසින් පරීක්ෂාවට ලක් කළ යුතුව තිබෙන බවත් ජනාධිපතිවරයා කාදිනල් හිමියන්ගේ පූජක දිවියට වසර 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවති උත්සවයේදී කළ ප්‍රකාශය මඟින් පාස්කු  ඉරුදින ප්‍රහාරයේ  විමර්ශන අඩපණ කිරීමට තවමත් රාජ්‍ය යාන්ත්‍රණය තුළින්ම කුමන්ත්‍රණ සිදුවන බව හැඟෙන හෙයින්ද;

15. ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුණ ජයසේකර මහතා 2025-07-09 වන දින පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප්‍රකාශයකට අනුව පස්කු ප්‍රහාරයේ විමර්ශනවල දී අනාවරණය වන පරිදි දේශපාලන අරමුණු ඉෂ්ඨ කරගැනීම වෙනුවෙන් බුද්ධි අංශයේ සුළු පිරිසක් සහ රජයේ නිලධාරීන් සුළු පිරිසක් මේ සඳහා යොදාගෙන ඇති බවට ප්‍රකාශ කිරීම මඟින් ඊට සම්බන්ධ බුද්ධි අංශ නිලධාරීන් පිළිබඳව දැනුවත්භාවයක් හෝ අවබෝධයක් එතුමාට තිබෙන්නට ඇතැයි හැඟී යන බැවින් ද;

ගරු අරුණ ජයසේකර මහතා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරය දරන රජයක, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මඟින් පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සිදුකිරීම මත, බලපෑම් සහ ළබැඳියාවන් අතර ගැටීමක් ඇතිවන අතර, එමඟින් පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන අපක්ෂපාතීව හා ස්වාධීනව සිදුවන්නේදැයි පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ගේත්, කතෝලික සභාවේත්, පොදු මහජනතාවගේත්, විශ්වාසය බිඳවැටී ඇති හෙයින් ගරු අරුණ ජයසේකර මහතා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ සිටියදී පාස්කු විමර්ශන සිදුකිරීමෙන් මේ ගරු සභාවේ විශ්වාසය කඩව ඇති බැවින් එතුමා ඒම ධූරයෙන් ඉවත් කළ යුතු බවට මෙම ගරු සභාව යෝජනා සම්මත කර සිටී.

වාහන ආනයනය ගැන ජනපතිගේ තීරණය…..

වාහන ආනයනය සීමා නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

ඊයේ (06) දිනය වනවිට වාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 1,267ක ණයවර ලිපි විවෘත කර ඇතැයි ද එය මේ වසර අවසානය වනවිට ඩොලර් මිලියන 1500 – 1800ත් අතර ප්‍රමාණයකින් ණයවර ලිපි විවෘත කරනු ඇතැයි පුරෝකතනය කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

එමෙන්ම වාහන සඳහා කිසිදු ආකාරයකින් බදු වැඩිකිරීමක් ඉදිරියේදී සිදුනොකරන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

“ඒක 2022 ආර්ථිකයට තිබූ බලපෑමක් නෙමෙයි. 2023 ඒ බර ආවේ නෑ. 2024 ඒ බර ආවේ නෑ. හැබැයි අපි ඒ බර අරන් තියෙනවා. අපි දන්නවා අපේ රටේ අවුරුදු 15 – 20 පරණ වාහන තියෙනවා. ඒවට දුවන්න බෑ. නඩත්තු වියදම් වැඩියි. වාහන කියන්නෙත් කර්මාන්තයක්. ඒ නිසා රටේ ආර්ථිකයට අපි ඒක සම්බන්ධ කරගන්න ඕනේ. අපිට විශාල ආදායම් ප්‍රබවයක්. 

මෙතෙනත් තියෙනවා කුමන්ත්‍රණයක්. ඒක කියන්න ඕනේ. මෙතෙන මතයක් හදනවා, දැන් මේක වහන්න හදන්නේ කියලා. නෑ වහන්නේ නෑ. වහනවා කියලා පස්සේ ඉන්න අයත් වෙළෙඳපොළට කැඳවන කුමන්ත්‍රණයක් තියෙනවා. ඩොලර්වලට බලපෑමක් ඇති කරන්න මේ පීඩනය දෙන්න මෙතෙනට කියලා. මම දැක්කා ගොඩක් අය කියනවා, දැන් නිව්ස් හදනවා වාහන ආනයනය සීමා කරන්න හදන්නේ කියලා. එතකොට මොකද කරන්නේ ලබන අවුරුද්දේ ගන්න ඉන්න කෙනත් මේ අවුරුද්දේ ගන්නවා. ඇයි ඩොලරයට බලපෑම් ඇති කරන්න. තර්ජනය කරන්න. ඒ නිසා පුරවැසියන්ට කියනවා වාහන ආනයනය සීමා කරන්නේ නෑ. මේ විවෘත කරන ලද වෙළෙඳපොළ මේ විදියටම පවත්වාගෙන යනවා. ඔබට මේ අවුරුද්දේ ගන්න බැරි නම් ලබන අවුරුද්දේ ගන්න. හැබැයි මතයක් හදනවා මේ වෙලාවේ ගිහින් ගන්න කියලා. ඒ කැත වැඩේ යෙදෙන්න එපා. බදු වැඩි කරයි කියනවා. මේ වෙලාවෙත් බදු වැඩියි. තවත් කොහොමද බදු වැඩි කරන්නේ. කිසිම බදු වැඩි කිරීමක් කරන්නේ නෑ”

අමෙරිකානු තීරු බදු අඩු කරගැනීම ගැන අවසන් එකඟතාවයක් නෑ -ජනපති

අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කිසිදු අවසන් එකඟතාවයක් ගෙන නොමැති බවත් ඒ සඳහා ගිවිසුමකට එළැඹ නොමැති බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

එමෙන්ම අමෙරිකාව, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත පැනවූ අනෝන්‍ය තීරු බදු ප්‍රතිශතය සියයට 20 දක්වා අඩුකර ගැනීමට සමත් වූ බවත් එය ඉදිරියේදී තවදුරටත් අඩුකරගැනීමට සාකච්ඡා කරමින් සිටින බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අතරතුර පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා සභාව අමතමින් මේ බව කියා සිටියේය.

මෙතෙක් පැවති සාච්ඡාවලදී යම් යම් එකඟතාවයන්ට පැමිණ ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙලෙස බදු ප්‍රතිශතය 20% දක්වා අඩුකර ගැනීමට හැකිවූ බවද සඳහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය.

“අපේ වෙළෙඳ පරතරය මත තමයි අපිට 44%ක් ලැබෙන්නේ. ඒක තමයි ඔවුන්ගේ මූලධර්මය. එය 44% – 20% දක්වා අඩුකර ගැනීම සාකච්ඡා සහ ඔවුන් සහ අප අතර තිබෙන එකඟතාවයේ වැදගත් ප්‍රතිඵලයක් ලෙස අපි කල්පනා කරනවා. ඒ ගැන හැම තීන්දුවක් ගැනීමේ දීම සමහර HS CODE ප්‍රමාණයක් ඔවුන්ට නිදහස් කළ යුතුව තිබෙනවා. ඊට බලපාන කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින් එක්ක අපි සාකච්ඡා කළා. අපි යම් කේෂ්ත්‍රයක් විවෘත කිරීම ගැන සාකච්ඡා කරන්නේ නම් ඊට අදාළ පාර්ශවකරුවන් ගෙනල්ලා සිදුවන බලපෑම ගැන නිරන්තරයෙන් කතා කරමින් තමා අපේ කණ්ඩායම මේ සාර්ථකත්වයට පත්වුණේ. එහෙම නැතුව කාමරයක් ඇතුළේ කරන කුමන්ත්‍රණයක් විදියට නෙමෙයි.

ඒ නිසා මෙයට සහභාගී කරගත හැකි සෑම පාර්ශවකරුවෙක්ම සහභාගී කරවා ගන්න අපි වගකිව යුතු ලෙස අපි කටයුතු කළා. ඒ නිසා එක්සත් ජනපදයේ බදු ප්‍රතිපත්තිය මත ඔබතුමන්ලා බලාපොරොත්තු වුණා නම් ආර්ථිකයේ බිඳවැටීමක් ඒකත් දැන් අවසන්. තාමත් අවසන් එකඟතාවයක් නෑ. අපිට 20%ක් තිබුණා. අපි තාමත් උත්සාහ දරනවා ඒ 20%ත් අඩු කරගන්න පුළුවන් ද කියලා සාකච්ඡා අපි ආරම්භ කරලා තියෙනවා. ඒක තමා රට පැත්තෙන් අපි ගත යුතු තීරණය.”

ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත්කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට….

ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ඒ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසිනි.

කෙසේ වෙතත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු දින ගණන සම්පූර්ණ නොවීම හේතුවෙන් අද (07) දිනයේදි මෙය ඉදිරිපත් කළ නොහැකි බවට විපක්ෂයෙන් පෙන්වා දීමත් සමඟ විවාදාත්මක තත්ත්වයක් හටගත්තේය.

හිටපු ඇමති රාජිතගේ පෙත්සමක් කල්යයි….

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා තමන් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව ප්‍රතිශෝධනය කර තමන්ව අපේක්ෂිත ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 01 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (07) කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවාය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළේ, මෙම නඩුකරයට අදාළ නොතීසි තම කොමිසම වෙත ලැබී නොමැති බවය.

දැනගන්නට ලැබුණ තොරතුරු මත පමණක් අද දින අධිකරණය හා පෙනී සිටින බවත් ඇය පැවසුවාය.

ඒ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ නොතීසි විධිමත්ව කාර්යාලයට භාරදී තිබුණත් කිසියම් අතපසුවීමක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වන්නට ඇතැයි කියා සිටියේය.

එහෙත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අද දින අධිකරණය පෙනී සිටින බැවින් මෙම පෙත්සම සලකා බැලීමට අද දින හැකියාවක් තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.

කෙසේ වෙතත් මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ, මෙම නඩුකරයට අදාළ නොතීසි නිසියාකාරව නිකුත් කිරීමකින් තොරව එය සලකා බැලීමට හැකියාවක් නොමැති බවය.

ඒ අනුව පෙත්සම යළි සැප්තැම්බර් මස 01 වෙනිදා කැදවීමට නියම කළ විනිසුරුවරිය එදිනට පෙර වගඋත්තරකාර අල්ලස් කොමිසම වෙත නොතීසි යැවීමට කටයුතු කරන ලෙසත් දැනුම් දුන්නාය.

කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් කටයුතු කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262කට වැඩි පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් එවක ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් විමර්ශනයක් අල්ලස් කොමිසම විසින් ආරම්භ කර තිබේ.

එම සිද්ධියේ සැකකරුවකු වශයෙන් සේනාරත්න මහතා නම් කර ඇති අතර තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇප නියම කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බව රාජිත සේනරත්න මහතා කොළඹ මහාධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අදාළ නියෝගය ප්‍රතිශෝධනය කර තමන්ට අපේක්ෂිත ඇප නියම කරන ලෙසත් ඔහු කොළඹ මහාධිකරණය වෙතින් ඉල්ලා තිබේ.

නාමල් රාජපක්ෂට එරෙහි නඩුවක පැමිණිල්ල යළි ලබන ජනවාරි මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක මුදලක් සමාගමක ආයෝජනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල යළි ලබන ජනවාරි මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මෙම පැමිණිල්ල අද (07) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෙම විමර්ශනයට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවය.

ඒ අනුව පැමිණිල්ල යළි ජනවාරි මස 29 වෙනිදා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය නීතිපති උපදෙස් සම්බන්ධයෙන් සිහිකැඳවීම් යොමු කිරීමටත් නියෝග කළාය.

නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම පැමිණිල්ල ඉකුත් යහපාලන රජය සමයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අමෙරිකාව මෙරටට පැන වූ නව තීරුබදු අද සිට…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය යටතේ මෙරටට පනවා ඇති නව තීරුබදු අද (07) සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව අමෙරිකාව විසින් මෙරටින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා සියයට 20ක තීරුබද්දක් අද සිට අයකරනු ඇති.

අමෙරිකාව භාන්ඩ ආනයනය කරනු ලබන රටවල් සඳහා නව තීරුබදු හඳුන්වාදුන් අතර එහිදි ශ්‍රී ලංකාවට සියයට 44ක තීරු බදු ප්‍රතිශතයක් පනවා තිබුණි.

එම බදු ප්‍රතිශතය ක්‍රියාත්මක වුවහොත් එය මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බැවින් ඉන් සහනයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය අමෙරිකානු බලධාරීන් සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වනු ලැබීය.

එම සාකච්ඡාවලින් සියයට 24ක ඉහළ තීරුබදු ප්‍රතිශතයක් අඩු කරගැනීමට මෙරට නියෝජිතයින් සමත් වීමත් සමග ශ්‍රී ලංකාව සඳහා පනවනු ලැබු තීරුබදු ප්‍රතිශතය සියයට 20ක් වේ.

කෙසේවෙතත් මෙම නව බදු ප්‍රතිපත්තිය පසුගිය පළමු වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද අමෙරිකානු ජනාධිපතිවරයා විසින් එය අද දිනය දක්වා කල් දමනු ලැබීය.

මේ අතර අමෙරිකාව පනවා ඇති තීරුබදු ප්‍රතිශතය තවදුරටත් අඩුකර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසයි.

අමෙරිකාව පනවා ඇති තීරුබදු සඳහා මුහුණ දීමේදී ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ සැලසුම් සම්බන්ධයෙන් අපනයන සංවර්ධන මණ්ඩලයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිට ඇප….

අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ චෝදනාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ඇප මත මුදාහැර තිබේ.

ඒ අනුව මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඔහු ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු මරණ තර්ජනය කළ බවට අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රාගම ප්‍රදේශයේ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පසුගිය ජුලි 28 වන දින අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව අදාළ රෝහල වෙත පැමිණි මහර මහෙස්ත්‍රාත්වරයා සැකකරු ඊයේ (06) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

විදේශ රටක සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා තමාට මරණ තර්ජන කළ බවට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි.

අදාළ පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විමර්ශන ආරම්භ කළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ එම පැමිණිල්ල ව්‍යාජ පැමිණිල්ලක් බවය.

ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය තෙදින නිල සංචාරයකට දිවයිනට….

තෙදින නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය දිවයිනට පැමිණ තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඔඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය ඊයේ (06) දිනයේ දිවයිනට පැමිණි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

දිවයිනට පැමිණි අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් ඇතුළු දූත පිරිස අමාත්‍ය විජිත හේරත් මහතා විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහිදී පිළිගනු ලැබීය.

මෙම සංචාරයේදී සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

එහිදී ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ සාකච්ඡා කෙරෙනු ඇති.

එමෙන්ම, සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය, දිවයිනේ රැඳී සිටින කාලය තුළ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමටත්, බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ක්‍රියාත්මක ඕස්ට්‍රේලියාව විසින් සහාය දක්වන ව්‍යාපෘති කිහිපයක නිරීක්ෂණය කිරීමටත් නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

නාවින්නේ වෙඩිතැබීමක්….

මහරගම, නාවින්න ප්‍රදේශයේදී අද (6) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.ස්කූටරයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කර ඇත.