රට සිහින මවා මුදල් වංචා කළ විදේශ රැකියා ඒජන්සි සමාගමේ කළමනාකරුවෙකු අත්අඩංගුවට…..

රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා තරුණයෙකුගෙන් රුපියල් 945,000ක මුදලක් වංචා කළ බවට සැකපිට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගමේ කළමනාකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාරාහේන්පිට පිහිටි විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේය.

අත්අඩංගුවට පත් සැකකරු විසින් රුමේනියාවේ කර්මාන්ත ශාලාවක සහායක රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වී 2023 වසරේ සිට තමන්ව රවටමින් අවස්ථා කිහිපයකදී මුදල් ලබා ගත් බවට බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලිකර තිබේ.

විදේශ රැකියා ඒජන්සි සමාගම, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය යටතේ පාලනය වන අතර අත්අඩංගුවට පත්වන විට සැකකරු එම සමාගමේ පරිගණක අංශයේ සහකාර කළමනාකරු වශයෙන් සේවය කරමින් සිට ඇති බව සඳහන්ය.

සැකකරු අද (13) හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයව තිබේ.

ශාන්ත මුදුන්කොටුව ඝාතනය ගැන තවත් තොරතුරු එලියට එයි…..

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු වූ ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘බනා’ නමැත්තා මීගොඩ ප්‍රදේශයේදී අද (12) වෙඩිතබා ඝාතනය කෙරුණි.

ලලිත් කන්නංගර හෙවත් ‘බස් ලලිත්’ නමැත්තා මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට පොලීසිය සැක කරයි.

ඝාතනය සිදුවී සුළු වේලාවකට පසු වෙඩික්කරු සහ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගන්නට තලංගම පොලීසිය සමත්වූ අතර අපරාධයට යොදාගත් බව කියන ගිනිඅවිය ද පොලිස් භාරයට ගැනුණි.

මීගොඩ, ආටිගල පාර ප්‍රදේශයේදී අද දහවල් 1:10ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් ගමන්කරමින් සිටි අයෙක් ඉලක්ක කර මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙක් වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය විය.

යතුරුපැදිකරුට වෙඩි ප්‍රහාර එල්ල කිරීමත් සමග ඔහු යතුරුපැදියෙන් බිමට පැන අසලවූ නිවසකට දිවගොස් තිබේ.

පසුව ඔහු එහි සිටි කාන්තාවකට තමන්ට වෙඩිවැදී ඇති බවත් කඩිනමින් තමා රෝහල්ගත කරන ලෙසත් පවසා ඒ අසලවූ ත්‍රීරෝද රථයකට නැඟීමත් සමග ඉන් ඇදවැටී ඇත.

ඒ සමග ඔහු සිය ජංගම දුරකථනයෙන් කිසිවෙකුට ඇමතුමක් ලබාගැනීමට උත්සාහ දරූවද එයද අසාර්ථක වී තිබේ.

අසල්වාසීන් සිද්ධිය පිළිබඳ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම්දීමෙන් පසුව පොලීසිය පැමිණ කඩිනමින් තුවාලකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතත් එහිදී ඔහු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

ඒ අතරතුරම පොලීසිය ක්ෂණික මාර්ග බාධක යොදා රථ වාහන පරීක්ෂා කිරීමක් සිදුකර තිබේ.

එහිදී තලංගම, පාලම්තුන හංදිය ප්‍රදේශයේදී සැකසහිත සුදු පැහැති මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ, එය අදාළ වෙඩික්කරු පැමිණි රථය බවටය.

ඒ අනුව මෝටර් රථයේ රියදුරු හා වෙඩිතැබීමට භාවිත කළ බවට සැකකෙරෙන මිලිමීටර 9 වර්ගයේ ගිනිඅවිය තලංගම පොලීසිය සිය භාරයට ගත්තේය.

කෙසේවෙතත් ඒ වනවිට වෙඩික්කරු මෝටර් රථයෙන් බැසගොස් ඇති බව පොලීසිය පැවසීය.

අත්අඩංගුවට පත්වූ රියදුරාගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී වෙඩික්කරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇත.

එම තොරතුරු අනුව වෙඩික්කරු හා තවත් අයෙකු පසුව පොලිසිය මගින් අද පස්වරුවේ තලංගම, පාලම්තුන හංදිය අසලදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනය වූ ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘බනා මන්ත්‍රි’  46 හැවිරිදි හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකි.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක්ම නියෝජනය කර ඇති බව සඳහන් ය.

පාදුක්ක, වටරැක ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු ඉඩම් ලබාගැනීම, විකිණීම් හා ඉදිකිරීම් අංශයේ ව්‍යාපාර සිදුකළ අයෙක් බවද පොලිසිය සඳහන් කළේය.

ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් හේතුවෙන් ඔහු මීට දින කිහිපයකට ඉහතදී මීගොඩ පොලිසියට ගොස් පැමිණිල්ලක් ද ගොනුකර ඇති බව වාර්තා වෙයි.

ඝාතනය වූ පුද්ගලයා ගගන නම් සංවිධානාත්මක අපරාධකරුගේ මස්සිනා බවද පොලීසිය පැවසීය.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ලලිත් කන්නංගර හෙවත් බස් ලලිත් නමැත්තාගේ නම භාවිත කරමින් විවිධ පුද්ගලයන්ගෙන් කප්පම් ලබාගෙන ඇති බවත් ඊට පළිගැනීමක් ලෙස බස් ලලිත් නමැත්තා මෙම ඝාතනය සිදුකර ඇති බවටත් පොලිසිය සැක පළ කරයි.

ජනපති සහ වියට්නාමයේ රොක්ස් සමූහයේ ප්‍රධානීන් අතර හමුවක්…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාමයේ ROX සමූහයේ උපදේශක මණ්ඩලයේ සභාපති සහ සමුද්‍රීය වාණිජ ඒකාබද්ධ කොටස්  බැංකුවේ (MSB)   සභාපති ට්‍රන් අන් තුවන් (Tran Anh Tuan) මහතා ඇතුළු නියෝජිතයින් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (12) පස්වරුවේ පැවැත්විණි.

 ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ පවතින ස්ථාවරත්වය සහ ආයෝජකයින්ට හිතකර පරිසරය සැලකිල්ලට ගනිමින් මෙරට ආයෝජනය කිරීමට සූදානම් බව රොක්ස් සමාගමේ නියෝජිතයෝ මෙහිදී පැවසූහ.

 ඒ අනුව මෙරට කාර්මික කලාපයක් ස්ථාපිත කිරීම සඳහා රජයේ සහයෝගය අපේක්ෂා කරන බව ඔවුහු සඳහන් කළහ. එසේම පුනර්ජනනීය බලශක්ති සහ දේපළ වෙළඳාම් යන ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීමට  බලාපොරොත්තු වන බවද ඔවුහු ජනාධිපතිවරයා හමුවේ පැවසූහ.

 ඊට අදාළ කටයුතු සඳහා භූමිය හඳුනා ගැනීම සහ අවශ්‍ය ආයතනික සහාය ලබා ගැනීම වෙනුවෙන් මෙම සංචාරයේ නිරත වන බව ඔවුහු සඳහන් කළහ.

 මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ මේ වන විට ශ්‍රී ලංකාව තුළ දූෂණයෙන් තොර  පරිසරයක් නිර්මාණය කර ඇති බැවින් ආයෝජන සඳහා ආයතනික මට්ටමින් ලබා දිය හැකි සියලු සහාය ලබා දීමට රජය සූදානම් බවයි.

 ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ වඩාත් සතුටට පත්වන බවත්, මෙරට තුළ මහා පරිමාණ අයෝජනයන්ට සූදානම් බවත් රොක්ස් සමූහයේ ප්‍රධානී ඇතුළු නියෝජිතයෝ මෙහිදී පැවසූහ.

 රොක්ස් (ROX) සමූහයේ සභාපති ගුයෙන් ති ගුයෙට් හුවොං (Nguyen Thi Nguyet Huong) , ප්‍රධාන නිලධාරී ( බලශක්ති අංශය) ලූ ලෙ චි ( Luu Le Chi) යන මහත්ම මහත්මීහුද ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

නිවසක් අසල පඳුරක් යට සඟවා තිබූ උණ්ඩ 45ක් සොයාගනී…..

වැලිපැන්න පොලිස් වසමේ ළිඳමුල්ලගේවත්ත, තොටුපල පාර මීගම ප්‍රදේශයේ නිවසක් අසල පඳුරක් යට තිබී පිස්තෝල අවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ තොගයක් හමුවී තිබේ.

ඒ ආසන්නයේ ක්‍රීඩා කරමින් සිටි දරුවන් පිරිසක් මෙම උණ්ඩ තොගය දැක තිබෙන අතර පසුව වැඩිහිටියෙකු දැනුවත් කිරීමෙන් පසු පොලීසිට දැනුම්දී ඇත.

මෙලෙස ජීව උණ්ඩ 45ක් පමණ තිබී සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

කලවාන අම්බලම්හේන දොලෙහි නාදුනන මල සිරුරක්….

කලවාන මතුගම ප්‍රධාන මාර්ගයේ අම්බලමහේන ප්‍රදේශයේ අම්බලමහේන දොළෙහි තිබි නාදුනන මළසිරුරක් අද (12) සොයා ගත් බව පොලිසිය පැවසීය .

මළසිරුරේ පහල කොටස පෝර උරයක බහා තිබුණු බවත් මෙම පුද්ගලයා ඝාතනය කර මල සිරුර පෝර උරයක බාහා මෙම ස්ථානයට දින තුනකට පමණ පෙර ගෙනවිත් දමා ඇති බවට සැක කරන බව පොලිසිය පැවසිය. මියගිය පුද්ගලයා හදුනා ගැනිමට බැරි අයුරින් ඉදීමිමට ලක්ව ශරිරයේ පැහය වෙනස් වී ඇති බව පොලිසිය පැවසිය. පොලිසියට ලැබුණු නිර්නාමික දුරකතන ඇමතුමක් මත පොලිසිය මෙම සිරුර සොයා ගත් බව පොලිසිය පැවසිය.

සිද්ධිය සම්බන්ධයෙන් කලවාන වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජිත් මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව් සී ගුණතිලක , පොලිස් කොස්තාපල් (42035) අජිත්, ඇතුලු පොලිස් නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි

ගයාන් කුඩාගම – රත්නපුර

ජනාධිපති හිමිකම් පනත ගැන චන්ද්‍රිකාගේ මතය….

ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට ඇතැම් මාධ්‍ය හරහා සංසරණය වෙන පුවත අසත්‍ය බව හිටපු ජනාධිපතිනියගේ මාධ්‍ය ඒකකය පවසයි.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු අනෙක් ජනාධිපතිවරුන් සිව්දෙනා සමග එක්වී ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව මෙලෙස අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට ඇතැම් මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබුණි.

කෙසේවෙතත් එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය වන අතර එවැනි කිසිදු නෛතික ක්‍රියාවකට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සම්බන්ධ වී නොමැති බවද සඳහන් කරයි.

ශාන්ත මුදුන්කොටුව ඝාතනයේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු වූ ශාන්ත මුදුන්කොටුව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ.

මීගොඩ, ආටිගල පාර ප්‍රදේශයේදී අද (12) දහවල් 1:10ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි

දෙස් විදෙස් සංචාරකයින් නොමඟ යවන ආරුක්කු නවය පාලමේ ගැටලුව…

ආරුක්කු නවය පාලම ආලෝකමත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ දැක එම අත්දැකීම සැබෑ ලෙස විඳගැනීමට පැමිණ අපහසුතාවට පත්වන දෙස් විදෙස් සංචාරකයින් පිළිබඳ පුවතක් වාර්තා වී තිබේ.

කෙසේ වෙතත් එම ප්‍රදේශයේ විශේෂ ආලෝක පද්ධතියක් සැකසෙමින් පැවතුනත් තවමත් එහි වැඩ අවසන්ව නොමැත.

ආරුක්කු නවය පාලම, නයින් ආර්ච් බ්‍රිජ් ඇල්ල සංචාරක කලාපයේ කාගේත් වැඩි අවධානයක් දිනාගත් සංචාරක ගමනාන්තයකි.

විදේශිය සංචාරකයින් පවා විශාල පිරිසක් මෙම ස්ථානයට පැමිණෙන්නේ මෙම නිමැවුමේ ඇති අපූර්වත්වය සියැසින් දැකබලා ගැනීම සඳහාය.

ආරුක්කු නවය පාලමට ඇති සංචාරක ආකර්ෂණය තවත් වැඩි කරගැනීම සඳහා එම පාලම සහ එහි දුම්රිය බිංගෙය ආලෝකමත් කිරීමට රජය සැලසුම් කර ඇත.

ඒ සඳහා විශේෂ අලෝක පද්ධතියක් මේ වන විට ඉදිකෙරෙමින් ඇති අතර එම කටයුතු අවසන් වී නොමැත.

නමුත් ආරුක්කු නවයේ පාලම ආලෝකවත් කර ඇති බව දැක්වෙන, කෘත්‍රිම බුද්ධිය හරහා සකස් කළ නොමඟයවන සුළු වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම නිසා දෙස් විදෙස් සංචාරකයින් එය සත්‍යයක් යැයි සිතා මෙම ස්ථානය පැමිණෙන බව වාර්තා වේ.

ADA DERANA

රාජ්‍ය සේවයට 62,000ක් කඩිනමින් බඳවා ගන්න කැබිනට් අනුමැතිය….

ආණ්ඩුව නූතනත්වයට ගෙන ඒම තම අපේක්ෂාව බව ජනාධිපති, අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජාතික තරුණ සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, එලෙස නූතනත්වයට පත්කිරීමට දැනටමත් රාජ්‍ය සේවකයින් 62,000කට ආසන්න පිරිසක් කඩිනමින් බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවය.

“අපේ ආණ්ඩුව රැකියා සපයන මධ්‍යස්ථානයක් නොමේ. අපේ ආණ්ඩුව රැකියා උත්පාදනය කරන මධ්‍යස්ථානයක්. එහෙත් අපේ රාජ්‍ය සේවය රැකියා උද්පාදනයකට සමත්වන ආර්ථිකයක් නිර්මාණය කිරීමට, සමාජ සංස්ථාවක් නිර්මාණය කිරීමට සමත් වන ආණ්ඩුවක් අපට අවශ්‍යයි. අද අපේ ආණ්ඩුව ගත්තොත් සුන්බුන් ගොඩක එකතුවක්. අපේ ආණ්ඩුව නූතනත්වයට ගේනවා. ඒ සඳහා දැනටමත් අපි 62,000කට ආසන්න සංඛ්‍යාවක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමතය ලබාදී තිබෙනවා.” 

“අපි බල්ක් පිටින් බඳවා ගන්නේ නෑ. ලක්ෂය, එක හමාරය බඳවා ගන්නේ නෑ. හැබැයි රාජ්‍ය සේවය පවත්වාගෙන යෑමට අවශ්‍ය රාජ්‍ය දේහය පුරා පැතිරුණු 62,000ක් හඳුනාගෙන තියෙනවා. අපි උපදෙස් දුන්නා මේ 62,000 හැකි ඉක්මනින් රාජ්‍ය සේවයට බඳවා ගන්න කියලා. හැබැයි රැකියා ප්‍රශ්නය එතැනින් විසඳෙනවා ද ? එතැනින් විසඳෙන්නේ නෑ. හැබැයි මේ ආණ්ඩුව, ආණ්ඩු ක්‍රියාවලිය හරහා රැකියා උත්පාදනය වන එළියේ ආර්ථිකයක් හදන්න ඕනේ. අපි ඒකට සැලසුම් හදලා තියෙනවා. සංචාරක කර්මාන්තයට අපි අපේක්ෂා කරනවා මිලියන 2.5ක සංචාරකයින් පැමිණේවි කියලා. අපේ අපේක්ෂාව 2030 වෙද්දි මිලියන 4ක සංචාරක කර්මාන්තයක්. ඒ කියන්නේ ලක්ෂ 40ක් එයි කියලා සැලසුම් කරා. අපේ ආර්ථිකය ආසන්න වශයෙන් ඩොලර් බිලියන 4කට ආසන්නයි. අපේ අපේක්ෂාව 2030 වෙද්දි සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 8ක් උපයන කර්මාන්තයක් බවට පත්කරන්න. සංචාරක කර්මාන්තය මත පදනම් වූ ආර්ථිකයක් එළියේ ගොඩනැගෙනවා. ඒ තුළින් රැකියා උත්පාදනය වෙනවා. ඒක තමා රජයේ සැලසුම.”

ජාත්‍යන්තර තොරතුරු අනුවත් ශ්‍රී ලංකාවේ නමින් චන්ද්‍රිකාවක් නැහැ – ඇමති නලින්ද…..

ඉන්ටර්නැෂනල් ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාමය යටතේ චන්ද්‍රිකාවක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (12) කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

”ලෝකයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණය සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ආයතනයක් ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය. ඉන්ටර්නැෂනල් ටෙලිකොම්නිකේෂන් යුනියන් (International Telecommunication Union) නැත්නම් අයි ටී යූ එක. මේ අයි ටී යූ එකෙන් තමයි මේ සම්බන්ධ තාක්ෂණික සහ සම්බන්ධීකරණ ක්‍රියාවලිය සිදු කරන්නේ.

එම අයි ටී යූ ආයතනය චන්ද්‍රිකාවක් ගොනුගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රධාන පියවර තුනකින් සමන්විත වන බව කියලා තියෙනවා. පළවෙනි එක තමයි සැලසුම් කර ඇති චන්ද්‍රිකා ජාලය තාක්ෂණික තොරතුරු අදාළ පරිපාලන ආයතනය විසින් අයි ටී යූ වෙත ඉදිරිපත් කිරීම. දෙවනුව මෙම ඉදිරිපත් කරන තොරතුරු විසින් අනෙකුත් සාමාජික රාජ්‍යයන් සමඟ සන්නිවේදන බාධා වළක්වා ගැනීම සඳහා සම්බන්ධීකරණය කිරීම. තුන්වෙනුව ලියාපදිංචි කිරීම සහ ජාත්‍යන්තර පිළිගැනීම් සඳහා අවසාන පැරාමිතීන් දැනුම් දීම. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය තමයි සාමාන්‍යයෙන් මේ ලෝකෙම පිළිගත්ත, එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනයක් වන ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය විසින් මේ චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීම සඳහා පිළිගත්ත සම්මත ක්‍රමවේදය. මේ සඳහා අවම වසර තුනක් සාමාන්‍යයෙන් උපරිම වසර හතක් ගතවෙනවා. අන්න ඒ ක්‍රියාවලිය මෙම අයි ටී යූ කියන ආයතනයේ ලංකාවේ සාමාජිකත්වය දරන්නේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව. ඒ අනුව අපට මේ භූස්ථාපන කක්ෂවල ශ්‍රී ලංකාවට හිමි වෙලා තියෙනවා එකසිය විසි එකයි දශම පහ සහ පනහ කියන ස්ථාන දෙක. භූ කක්ෂ පනහා සහ එකසිය විසි එකයි දශම පහ තමයි ලංකාවට හිමි වෙලා තියෙන්නේ. හැබැයි මේ එකේ තිබෙන තොරතුරු අනුව මේ ස්ථාන අපිට වෙන් වෙලා තිබෙන අතරෙම මෙන්න මේ රටවලට, ඇෆ්ගනිස්ථානය, කිරිකිස්ථානය, මොල්දෝවා, නේපාලය, ටග්ගනිස්තා සහ රොමේනියා වගේ රටවලටත් අවශ්‍ය නම් බාධාවකින් තොරව මේ ස්ථානවල ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අයි ටී යූ එකේ තියෙන තොරතුරු අනුව දැනට මේ එකසිය විසි එකයි දශම පහ සහ පනහ කියන භූස්ථාන කක්ෂවල ලංකාව නමින් චන්ද්‍රිකාවක් නැහැ. ඊට පස්සේ මේ අයි ටී යූ එක හරහා අපි හොයලා බැලුවා සුප්‍රීම් සැට් වන් නමින් චන්ද්‍රිකාවක් පවත්වනවාද කියලා. එහෙම එහෙකුත් නැහැ. සුප්‍රීම් සැට් වන් එක පස්සේ කාලෙක චයිනාස් ඇට් ටුවෙල් කියලා නම් කරා කියලා වාර්තා කරලා තියෙනවා. මේ ලංකාවට අදාළ ස්ථානයේ කක්ෂස්ථානයේ චයිනා සැට්වෙල් එකත් අයි ටී යූ වෙබ් සයිට් එක අනුව සඳහන් වෙන්නේ නැහැ. මේ සුප්‍රීම් සැට් වන් නමින් හෝ චයින සැට් ටුවෙල් නමින් මේ කියන ලංකාවට අයිති කක්ෂස්ථානවල කිසිවක් වාර්තා වෙන්නේ නැති බව තමයි  අයි ටී යූ එක වාර්තා කරන්නේ.”