මෝදි විවෘත කළ දඹුල්ලේ උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ ලයිට් කපලා….

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් පසුගිය දා විවෘත කරන්නට යෙදුණ දඹුල්ලේ, උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ සේවා ආරම්භයට පෙරම රු 8,409,000ක විදුලි බිලක් ලැබී ඇතැයි අද (15) අනාවරණය වුණි.

ඒ අද හිටපු මන්ත්‍රීවරු පිරිසක් එහි සංචාරයක නියැලුණු අවස්ථාවේ දීය.

අදාළ විදුලි බිල නොගෙවීම හේතුවෙන් මේ වනවිට එම උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ විදුලිය විසන්ධි කර ඇතැයිද වාර්තා වුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ යෝජනාවකට අනුව මීට වසර කිහිපයකට ඉහතදී ඉන්දියානු රජයේ ආධාර ඇතිව මෙම උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව ඉදිකර තිබුණි.

ඒ අනුව එහි විවෘත කිරීම පසුගිය අප්‍රේල් මස 5 වෙනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයෙන් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුරස්ථ පාලකයක් උපයෝගී කරගනිමින් විවෘත කරන්නට යෙදුණි.

එදා සිට අද දක්වාම එහි සේවා කටයුතු සිදුනොවීම පිළිබඳව සොයා බැලීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මම්පිල, සංජීව එදිරිමාන්න, ප්‍රේමණාත් සී දොළවත්ත, සුගීෂ්වර බණ්ඩාර, නිමල් පියතිස්ස, දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත මහතා ඇතුළු පිරිසක් බස් රථයකින් එහි පැමිණියහ.

එහිදී කෘෂිකර්ම උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ ගේට්ටු වසා දමා තිබෙනු දක්නට ලැබුණු අතර, පසුව එහි මුරකරු සම්බන්ධ කරගනිමින් හිටපු මන්ත්‍රී පිරිස ගබඩා පරිශ්‍රයට ඇතුළු වී තිබේ.

නිධන් හෑරු DIG බිරිඳ ඇතුළු 8ක් රිමාන්ඩ්….

ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරියක ඇතුළු 8 දෙනෙකු අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ රත්‍රං දේවාලය අසල පිහිටි ඉඩමක පිරිසක් නිධන් හාරන බවට අනුරාධපුර පොලීසියට පසුගිය 13 වැනිදා තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව එම ස්ථානයට ගිය පොලිසිය මෙලෙස කාන්තාවක් ඇතුළු 8ක් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවන් බදුල්ල, මාලිගාතැන්න, පදවි ශ්‍රීපුර, ගිරාඳුරුකෝට්ටේ, වරකාපොල හා අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඇය කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරියක් බවය.

සිය නිවසට ආරක්ෂාවක් කරගැනීම සඳහා තමන් මෙම ස්ථානයට පැමිණි බව ඇය ප්‍රකාශ කර තිබුණි.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පිරිස අතර කපුමහතෙකු ද සිටින බවය.

සැකකරුවන් ඊයේ (14) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට එජාපයේ විරෝධය…..

ඉන්දියාවේ 79වන නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල පළ කරනු ලැබූ දැන්වීම් අතිරේක පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ හමුවකදී දැඩි අවධානය යොමුවී තිබේ.

හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිපදෙනෙකුද සහභාගී වූ මේ හමුවේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් සකස් කරනු ලදුව මුද්‍රිත මාධ්‍ය ආයතන සඳහා නිකුත් කරනු ලැබූ දැන්වීම් අතිරේකයේ  ඡායාරූප යෙදීම සහ ඒවා තෝරා ගැනීම පිළිබඳව විශේෂයෙන්ම දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී ඇත.

දැන්වීම් අතිරේකයට යොදාගත් සෑම පිටුවකම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එකට සිටින ඡායාරූප පළකිරීම සාමාන්‍යයෙන් සිදු නොකරන්නක් බව ඉහත සාකච්ඡාවට සහභාගී වූ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයන් පෙන්වා දී තිබේ.

එසේම හිටපු විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපයක් හෝ සටහනක් හෝ පළ නොකිරීම පිළිබඳවද එහිදී අවධානය යොමුවී තිබුණි.

ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් මහ කොමසාරිස් කාර්යාලයේ අධීක්ෂණය යටතේ පළ කෙරුණු දැන්වීම් අතිරේක පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ බලවත් අප්‍රසාදය මේ වනවිටත් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත පළකර ඇතැයිද වාර්තා වෙයි.

ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි…..

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ අසනීප තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බවය.

මියයන විට ඒ මහතා 57 වැනි වියෙහි පසුවිය.

ගුවන් තොටුපොළේ ආරක්ෂක නිලධාරියෙක් ගිනිඅවි සමග කොටුවෙයි….

මිනුවන්ගොඩ රෝහල ආසන්න ප්‍රදේශයේ නිවසක තිබී ටී – 56 ගිනිඅවි සහ පතරොම් රැසක් සමඟ සැකකරුව‍ෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරුතුරක් මත අද (15) දිනයේ දී සිදුකළ වැටලීමකදී මෙම ගිනිඅවි සහ පතරොම් සොයාගෙන තිබුණි.

සැකකරු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරන අතර, ඔහු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45 හැවිරිදි අයෙකි.

සැකකරු සන්තකයේ තිබී ටී – 56 ගිනිඅවියක්, ටී – 56 ගිනි අවියට යොදන මැසිමක්, ටී 56 පතොරම් 14ක්, පිස්තෝල අවි 01ක් හා එම මැගසින් 01ක්, 2.5 mm පතොරම් 09ක්, 9mm පතොරම් 09ක්, පිස්තෝල හා රිවෝල්වරි වර්ගයේ ගිනිඅවි  02ක්, කඩු 03ක් සහ කිනිසි 02ක් සොයා ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

කීරි සම්බා හිඟයක් ? විසඳුමක් නැත්නම් ආදේශන ආනයනයට තීරණයක්….

රි සම්බා සහල් හිඟයක් මෙරට තුළ කෘතීමව ඇති කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිත හා සමුපාකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

ඔහු පවසන්නේ ඊට විසඳුමක් නොලැබුණහොත් කීරි සම්බා ආදේශන සහල් ආනයනය කිරීමට තීරණය කර ඇති බවය.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා,

“සහල් වෙළෙඳපොළේ ප්‍රශ්නයක් තියෙනවා නම් කීරි සම්බාවල අඩුවක් විතරයි තියෙන්නේ. ඒ අනුව ගේනවානම් ගේන්න තීරණය කරලා තියෙන්නේ කීරි සම්බා ආදේශන ප්‍රමාණයක් විතරයි.

නමුත් අපි තවම අවසන් තීරණය අරන් නෑ. මොකද මේ යල කන්නය කැපෙන නිසා. හැබැයි නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි වෙනකොට කීරි සම්බා හිඟය තවදුරටත් උග්‍ර කරන්න හදනවානම් කීරි සම්බා ආදේශන ‘GR11’ කියන සහල් මෙට්‍රික් ටොන්  40,000ක් ගේන්න තීරණය අරන් තියෙනවා. එය ක්‍රියාත්මක කර නෑ.

අපි හිතනවා පොළොන්නරුවේ ගබඩාවල විතරක් මෙට්‍රික් ටොන් 85,000ක් තියෙනවා කිරී සම්බා විතරක්. ඒ ටික කොටලා මාර්කට් එකට දැම්මොත් මේක විසඳෙයි. නැතිවුනොත් අපිට කීරි සම්බා ගේන්න වෙයි.

අනෙක් සහල් ගේන්න අවශ්‍යතාවක් දැනට නෑ. මේ යල කන්නයේ වී අස්වැන්න ගිය කන්නයට වඩා වැඩිවෙලා තියෙන්නේ. වගාකළ ප්‍රමාණයත් හෙක්ටයාර 80,000කින් වැඩිවෙලා තියෙන්නේ.

ඒ නිසා සහල් මිල රුපියල් 230ට අඩුවෙන් දෙන්න සැලසුම තියෙන්නේ” යනුවෙන් පැවසීය.

මෙරට සිසුන් 30කට පශ්චාද් සහ ආචාර්ය උපාධි සඳහා චීනයෙන් ශිෂ්‍යත්ව…..

2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 දෙනෙකු සඳහා චීන රජය විසින් පශ්චාද් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා පූර්ණ ශිෂ්‍යත්ව ලබා දී තිබේ.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ අදාළ ශිෂ්‍යත්ව පිරිනැමීමේ නිල උත්සවයට සහභාගී වෙමින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ‍නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මේ බව පැවසීය.

2025 වර්ෂය වනවිට මෙරට සිසුන් 165කට අධික ප්‍රමාණයක් මෙම ශිෂ්‍යත්ව වැඩසටහනින් ප්‍රතිලාභ ලබා තිබේ.

ඉංජිනේරු තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, කළමනාකරණය සහ කලා යන ක්ෂේත්‍රවලින් එම ශිෂ්‍යයත්ව හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

වතු කම්කරු වැටුප් වැඩිකිරීම අභියෝගයක් බව ඇමති බිමල් කියයි…

වතු කම්කරු වැටුප් වැඩිකිරීම රජයට අභියෝගයක් වී ඇති බව ප්‍රවාහන,මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය අඛණ්ඩය මේ සම්බන්ධයෙන් මැදිහත් කිරීම් සිදුකරමින් සිටින බවද බිමල් රත්නායක අමාත්‍යවරයා පෙන්වා දෙයි.

නානුඔය දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ලාබ ලබන ඩිපෝ සඳහා ඉදිරියේදී බෝනස් ලබාදීමට කටයුතු කරන බවය.

ලංකාව ගෝලීය නව්‍යකරණ දර්ශකයේ ශක්තිමත්ව ස්ථානගත කිරීම ගැන දැනුම්වත්කිරීමක්…

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ජාතික නව්‍යකරණ නියෝජිතායතනයේ (NIA – National Innovation Agency) මෙහෙයවීම යටතේ, ගෝලීය නව්‍යකරණ දර්ශකයට (Global Innovation Index) අදාළ දත්ත අවශ්‍යතා පිළිබඳ උපදේශාත්මක රැස්වීමක්, විද්‍යා, තාක්ෂණ, අධ්‍යාපනික, සහ කාර්මික ආදී ක්ෂේත්‍ර නියෝජනය කරමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශවල ජ්‍යේෂඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද (14) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත්විණි.

ප්‍රධාන පද්ධති 7ක් යටතේ දර්ශක 80ක් යොදා ගෙන රටවල නව්‍යකරණ කාර්ය සාධනය මනින ජාත්‍යන්තරව පිළිගත් ගෝලීය නව්‍යකරණ දර්ශකයෙහි ශ්‍රේණිගත කිරීම තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය ඉහළට ඔසවා තැබීම සඳහා සියලු පාර්ශ්වයන් දායක කර ගැනීම මෙහි අරමුණ වී ඇත.

ඒ සඳහා ගෝලීය වශයෙන් මෙරට තරගකාරිත්වය ඉහළ නැංවීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම මෙන්ම, දැනුම, තාක්ෂණය සහ ව්‍යවසායකත්වය සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත් වීම ආදී කරුණු පිළිබඳව අවධානය යොමු තිබේ.

පර්යේෂණ සහ සංවර්ධන සංස්කෘතියක් පෝෂණය කිරීම, රාජ්‍ය-පෞද්ගලික සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ජාතික ප්‍රමුඛතාවන්ට අනුකූලව ශක්තිමත් නව්‍යකරණ පරිසර පද්ධතියක් ගොඩනැගීමත් පර්යේෂණ, තාක්ෂණය, නිර්මාණශීලිත්වය සහ නව්‍යකරණ මුල් කර ගත් ආර්ථිකයක් කරා මෙරට මෙහෙයවීම පිණිස වූ රජයේ කැපවීම මෙමගින් පිළිබිඹු වේ.

මෙම රැස්වීම සදහා අවශ්‍ය දත්තවල ප්‍රධාන භාරකරුවන් වන ප්‍රධාන අමාත්‍යාංශ, ජාතික ආයතන, විශ්ව විද්‍යාල සහ ප්‍රමුඛ පෞද්ගලික අංශයේ නියෝජිත ප්‍රධානීහු රැසක් එක් වූහ.

දත්ත පරතරයන් පියවීම, සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම සහ රටේ නව්‍යකරණ කාර්ය සාධනයට සහාය වීම සඳහා සියලුම පාර්ශ්වකරුවන් සඳහා පැහැදිලි භූමිකාවන් නිර්වචනය කිරීම මෙම වැඩසටහනේ අවධානයට ලක් විය.

සමාරම්භක සැසියෙන් පසුව, ශ්‍රී ලංකාවේ නව්‍යකරණ විභවය ගෝලීය වේදිකාවේ නිවැරදිව නිරූපණය වන බව සහතික කරමින්, දත්ත රැස් කිරීම සහ වාර්තා කිරීම සඳහා තිරසාර ජාතික යාන්ත්‍රණයක් සිතියම්ගත කිරීම සඳහා නිර්මාණය කරන ලද ක්‍රියාකාරී සැසියක්ද පැවැත්විණි.

නව්‍යකරණය ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාවයක් පමණක් නොව ජාතික ප්‍රගතියේ ප්‍රායෝගික ධාවකයක් බවට පත් කිරීමට රජයේ කැපවීම මෙම මුලපිරීම මගින් පිළිබිඹු කෙරේ.

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන, NIA පාලක සභාවේ සභාපති සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වයි. එල්. එම්. නවාවි යන මහත්වරු සහ රටේ විවිධ ප්‍රධාන ආයතන නියෝජනය කරමින් ආරාධිත පිරිසක් එක්ව සිටියහ.

ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා ඇතුළු පාර්ශ්ව කිහිපයක් එක් වී ප්‍රථම වරට කිරි කර්මාන්තයේ යන්ත්‍ර ක්‍රියාකරුවන් සඳහා නිපුණතා සම්මුතියක් හඳුන්වා දෙයි….

ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා (Fonterra Brands Lanka) සමාගම තෘතීක සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC), ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA), කම්කරු දෙපාර්තමේන්තුව සහ කිරි කර්මාන්තයට සම්බන්ධ තවත් සමාගම් 8 ක් සමග එක්ව සකස් කරන ලද, ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ යන්ත්‍ර ක්‍රියාකරුවන් සඳහා වන ප්‍රථම ජාතික වෘත්තීය නිපුණතා සම්මුතිය පසුගියදා නිල වශයෙන් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා වෙත භාරදෙන ලදි. ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගමට අමතරව මිල්කෝ (පුද්ගලික) සමාගම, මැලිබන් මිල්ක් ප්‍රඩක්ට්ස් (පුද්ගලික) සමාගම, රිච්ලයිෆ් ඩේරීස් සමාගම, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී, චෙලෝ ඩේරි ප්‍රඩක්ට්ස් (පුද්ගලික) සමාගම, නෙස්ලේ ලංකා සමාගම, පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් සමාගම සහ ලයන් බෲවරි (සිලෝන්) පීඑල්සී යන සමාගම් මෙම නිපුණතා සම්මුතිය  සකස් කිරීම සඳහා දායක විය.

කිරි කර්මාන්ත ක්ෂේත්‍රයේ නිපුණතා විධිමත් රාමුවක් තුළට කේන්ද්‍රගත කිරීම සහ දීර්ඝ කාලයක් පුරා කිරි කර්මාන්තය තුළ සේවය කර අත්දැකීම් ලැබූ, එහෙත් තම නිපුණතා සඳහා විධිමත් වෘත්තීමය සහතිකයක් නොමැති යන්ත්‍ර ක්‍රියාකරුවන්ට එම සුදුසුකම් ලබාගැනීමට උපකාරී වීම මෙම වැඩසටහනෙහි ප්‍රධානතම අරමුණ විය. කිරි නිෂ්පාදන කර්මාන්තයට සම්බන්ධ පාර්ශ්ව රැසක දායකත්වය සහ අරමුදල් සම්පාදනය ඔස්සේ වසරක අධික කාලයක් වැය කරමින් මෙම නිපුණතා සම්මුතිය  සකස් කරන ලදි. මෙය රටේ ජාතික මට්ටමේ නිපුණතා සංවර්ධනයට දායක වීම සඳහා කිරි කර්මාන්තය දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් පිළිබිඹු කළ සාමූහික ප්‍රයත්නයක් ලෙසද හැඳින්විය හැක.

මින් ඉදිරියට ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සමග සම්බන්ධ වී සිටින පුහුණු ආයතනවල මෙම නිපුණතා සම්මුතිය  ක්‍රියාවට නැංවෙනු ඇති අතර, එමගින් රට පුරා වෙසෙන කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ යන්ත්‍ර ක්‍රියාකරුවන්ට තම නිපුණතා සඳහා විධිමත් පිළිගැනීමක් හිමිකරගෙන තම වෘත්තීය ජීවිත වැඩිදියුණු කරගැනීමට අවස්ථාව උදා වනු ඇත.

“ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා යනු මෙරට කිරි කර්මාන්තය තුළ සුවිශේෂී පිළිගැනීමක් හිමි දැවැන්ත සමාගමක්. ඔවුන් රට වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටුකර තිබෙනවා. ෆොන්ටෙරා  සමාගම කිරි කර්මාන්තයට සම්බන්ධ තවත් සමාගම් කිහිපයක් සමග එක්ව මෙම වටිනා ප්‍රයත්නය සාර්ථක කරගැනීමට පුරෝගාමී දායකත්වයක් ලබාදුන්නා. අමාත්‍යාංශය වෙනුවෙන් අප එය බෙහෙවින් අගය කරනවා.” වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ගරු නලින් හේවගේ මහතා පැවසීය.

“මෙය අතිශය කාලෝචිත පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. දැනටමත් කිරි කර්මාන්තය තුළ සේවය කරන්නන්ට මෙන්ම අලුතින් කර්මාන්තයට ප්‍රවේශ වන්නන්ටත් මෙය බෙහෙවින් වැදගත් වේවි. මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලැබුවේ ඒ සඳහා ඉල්ලීම් රැසක් ඉදිරිපත් වී තිබුණු නිසයි. මෙය සාර්ථක කරගැනීමට නන් අයුරින් දායක වූ සියලුම දෙනාට අප ස්තූතිවන්ත වනවා.” තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය කේ. ඒ. ලලිතධීර මහතා පැවසීය.

මෙම නිපුණතා සම්මුතිය  කිරි කර්මාන්තයේ වෘත්තීය පුහුණුව සම්බන්ධයෙන් ජාතික මට්ටමේ ආදර්ශයක් බවට පත්වනු ඇති අතර, එමගින් ප්‍රායෝගික පළපුරුද්දට ගැළපෙන විධිමත් වෘත්තීය සුදුසුකම් පිරිනැමීමට හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම මෙය ශ්‍රම බලකායේ තිරසාර සංවර්ධනය උදෙසා රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර හවුල්කාරීත්වයන් ගොඩනංවා ගැනීමේ වැදගත්කම මැනැවින් පෙන්වා දෙන වැඩසටහනක් ලෙසද හැඳින්විය හැකි වේ.

“මෙම නිපුණතා සම්මුතිය  වසරක් පුරා දැරූ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්. නිපුණතා සහිත පුද්ගලයන්ට ඒ සඳහා විධිමත් පිළිගැනීමක් හිමි විය යුතු බවට අප තුළ දැඩි විශ්වාසයක් තිබුණා. එය යථාර්ථයක් බවට පත් කරගැනීම සඳහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය, තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසම, කම්කරු දෙපාර්තමේන්තුව සහ කිරි කර්මාන්තයට සම්බන්ධ ප්‍රමුඛ පෙළේ සමාගම් ඇතුළු පාර්ශ්ව රැසක් සමග එක්ව කටයුතු කිරීමට හැකි වීම සතුටට කරුණක්. මෙය අපගේ සේවක සේවිකාවන්ට පමණක් නොව සමස්ත කර්මාන්තයටම වැදගත් පියවරක් බව අප විශ්වාස කරනවා. ඉදිරියේදී සමාගමක් වශයෙන් මෙන්ම කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සාමාජිකයෙකු සහ ශ්‍රී ලංකාවේ දියුණුවට කැපීපෙනෙන දායකත්වයක් ලබාදෙන ආයතනයක් වශයෙන් ශ්‍රම බලකායේ නිපුණතා වැඩිදියුණු කරමින් රටේ සංවර්ධනයට අත්වැලක් වීම අපගේ අරමුණයි.” ෆොන්ටෙරා සමාගමේ සාමාන්‍යාධිකාරී ෆස්ලාන් ෆයිසාල් මහතා පැවසීය.

මෙය හුදෙක් ව්‍යාපාර ක්ෂේත්‍රයේ යහපත වෙනුවෙන් පමණක් නොව, සමස්ත ශ්‍රී ලාංකීය වෘත්තීය අධ්‍යාපන පද්ධතියට අර්ථවත් පූර්වාදර්ශයක් ලෙස හැඳින්විය හැක. පොදු අරමුණක් මුල්කර ගනිමින් ක්‍රියාවට නංවනු ලැබූ මෙම සාමූහික ප්‍රයත්නය, මෙරට කිරි කර්මාන්තය තුළ වඩාත් දක්ෂ, තරගකාරී සහ අනාගත අභියෝගවලට මුහුණ දිය හැකි ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට සුවිශාල දායකත්වයක් ලබා දෙනු නිසැකය.