අපරාධ නැවැත්වීමට පොලීසියෙන් විධිමත් වැඩපිළි‍වෙළක්…..

පාතාල ක්‍රියා මර්දනය කිරීම් සඳහා පවතින ක්‍රමවේදයට වඩා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (17) මහනුවරට පැමිණ මහනායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී පොලිස්පතිවරයා පැවසුවේ මෙම අපරාධ මැඩලීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ මහජනතාවගෙන්ද සහාය ලබා ගනිමින් කටයුතු කරන බවය.

එමෙන්ම ඇතැම් පාතාල ක්‍රියාවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යම් යම් දේශපාලන ආශිර්වාද මෙන්ම පොලීසියේ ඇතැම් නිලධාරීන්ගේද සහාය ලැබී ඇති බවද පොලිස්පතිවරයා මෙහිදී පැවසීය.

තවද නීතිය ස්ථාපිත කිරීමේදි කිසිදු දේශපාලන බලපෑමක් ලැබී නැතැයිද ලැබී ඇති දේශපාලන පරිසරය ඉතා හොඳ බවත් පැවසූ පොලිස්පතිවරයා මෙහිදී පැවසුවේ යම් කිසි අපරාධයක් සඟවා තැබීමට හෝ නොසළකා හැරීමට කිසිදු අවස්ථාවක තමාගෙන් නියෝග නොලැබෙන බවය.

“වෙඩි තැබීම් ගත්තොත් ඒ සම්බන්ධව අපි විමර්ශනය කරලා සැකකරුවන් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ වගේම අපි මීට වඩා විදිමත් වැඩපිළිවෙළක් ඉදිරියට කරමින් පවතිනවා. ඒ සඳහා අවශ්‍ය අනෙකුත් ආයතන විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගෙන, මහජනතාවගේ සහාය ලබාගෙන සැලසුමකින් කරන්න වැඩපිළිවෙළක් තියෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම අද ඊයේ ඇතිවූවක් නෙමේ, ඒ වගේම පාතාල ජීවිත හානි කිරීම් අද ඊයේ ඇතිවූවක් නෙමෙයි. යම් යම් දේශපාලන ආශිර්වාද ලැබිලා තිබුණා, පොලීසියේ සහ නිලධාරීන්ගේ සහාය ලැබිලා තිබුණා, ත්‍රිවිධ හමුදාවේ පුද්ගලයින් ඒ සඳහා පාවිච්චි කරලා තිබුණා, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මේකට පාවිච්චි කරලා තිබුණා. ඉතිං මේවාවල මෙහෙයුම් කරන්නේ නිවට නියාලු පිරිසක් විදේශගතවෙලා. මේවාට අපි ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධවෙලා වැඩකටයුතු කරමින් පවතිනවා.”

රුපියල් ලක්ෂ පහකට අධික මත් කරල් තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට….

රුපියල් ලක්ෂ 05කට අධික මත්කරල් තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ.

සැකකාරිය සමග මත්කරල් 5,000ක් සහ එම ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් රුපියල්  134,000ක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන ඇත.

දෙහිවල ප්‍රදේශයේ දෙමහල් නිවසක පදිංචි කාන්තාවක් විසින් මත්කරල් අලෙවි කරන බවට ලද පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදුකර තිබේ.

එහිදී සිදුකරන ලද සෝදිසියේදී නිවසේ කාමරයක තිබූ අල්මාරියක සඟවා මෙම මත් කරල් තොගය පොලීසියි විසින් සොයාගෙන ඇත.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකාරිය මින් පෙරද හොරොයින් සමග පොලිස් අත්අඩංගුවට පත්වී ඇති බවය.

අත්අඩංගුවට ගත් කාන්තාව 31 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකාරිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද නියමිතය

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ පවත්වයි

රේගු ඉතිහාසයේ මාසයක් තුළ ලැබූ ඉහළම ආදායම රුපියල් බිලියන 235ක් වෙයි…..

රේගු ඉතිහාසයේ මසක් තුළ ලැබූ ඉහළම ආදායම පසුගිය මාසයේදී සටහන් කර ගැනීමට සමත් වූ බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් නෝනිස් මහතා පවසයි.

ඊයේ (15) පැවැති ශ්‍රී ලංකා රේගුව විසින් ආනයන හා අපනයනකරුවන්ගේ පහසුව සඳහා නිර්මාණය කරන ලද රේගු සටහන්කර දැනුම්දීමේ පද්ධතිය ජනගත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී අදහස් දක්වමින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ පසුගිය මාසයේදී රේගු ආදායම ලෙස රුපියල් බිලියන 235ක ආදායමක් ලැබූ බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් නෝනිස් මහතා,

“ගිය මාසේ අපිට මාසික රේගු ආදායම වුණේ රුපියල් බිලියන 235ක්. ඒක ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකට ලබපු වැඩිම ආදායම. අපි 2023 වර්ශයේදී රුපියල් බිලියන 100 ඉක්මවපු අපි මහා දැවැන්ත හඬගෑමක් කළා. අපි රුපියල් බිලියන 100ක් ඉක්මවා ගියා කියලා නමුත් අද අපි රුපියල් බිලියන 235 ඉක්මවන තැනට රේගුව ඇවිල්ලා තියෙනවා.”

රටට අවශ්‍ය මැද මාවතක් බව විපක්ෂ නායකවරයා කියයි….

Center for Poverty Analysis හරහා සිදු කළ පර්යේෂණයක් තුළින් අපේ රටෙහි දුප්පත්කම ගැන සෘජු දත්ත ඇති බවත් මේ දත්ත මගින් හෝ අප රටක් ලෙස පාඩමක් ඉගෙන ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අන්ත දක්ෂිණාංශික හෝ අන්ත වාමාංශික ප්‍රතිපත්ති රටට ඔබින නොවන බවත් දකුණ සහ වම යන වචන භාවිත කිරීම මෝස්තරයක් වී ඇති බවත් මේ වාමාංශික සහ දක්ෂිණාංශික ක්‍රමවල පවතින හොද ගුණාංග ගෙන සෘණාත්මක දේ පසෙකලා මැද මාවතේ එනම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ යා යුතු බවත් එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මානුෂීය ධනවාදය තුළ ධනය උත්පාදනය ආර්ථික වර්ධනය වේගවත් කිරීම මෙන්ම වෙළදපෙලේ ඉල්ලුමට සැපයුමට පමණක් බාර දී මෙම ධනය පහළට කාන්දු වෙයි කියන සිතුවිල්ල රටට සුදුසු නොවන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

Citizen Voice වැඩසටහන යටතේ ආර්ථික විශේෂඥයන් පිරිසක් සමග ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු හා දිළිඳුකම පිටු දැකීම පිළිබඳව හමුවකදී ඔහු මෙම අදහස් පළ කර සිටියේය.

පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත අවස්ථා ගණනාවක අස්වැසුම විද්‍යාත්මක නොවන බවට පෙන්වා දුන් බවත් IMF සහ ලෝක බැංකු ආදී මූල්‍ය ආයතනවලට මේ අස්වැසුම ගැන අවබෝධයක් ලබා ගත නොහැකි වී ඇති බවත් මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ සංඛ්‍යාලේඛන අනුව අස්වැසුම වැඩසටහනේ සිටිය යුතු 58%කට අස්වැසුම නොලැබීම බරපතළ ගැටලුවක් බවත් අස්වැසුම හා සමෘද්ධියේ අඩුපාඩුකම් ඇති බවත් අස්වැසුම සමෘද්ධියේ අඩුපාඩුවලින් පාඩම් ඉගෙන ගෙන නැති බවත් 23%ක් නුසුදුස්සන් ද අස්වැසුම ලබන බවත් ය.

රජයෙන් ද ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ණය ගෙන අස්වැසුම දෙන බවත් මෙහි තෝරා ගැනීමේ ගැටලු ඇති නිසා විදුලි බිල කේන්ද්‍ර කර ගෙන සහන ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රජය බංකොලොත් රටේ සුදුසු අයට අස්වැසුම දෙනවා වෙනුවට නුසුදුසු අයට අස්වැසුම දෙන බවත් මෙය ගැටලුවක් බවත් අස්වැසුම පාර්භෝජන වැඩපිළිවෙළක් පමණක් වුනත් මෙහි ආයෝජනය නිෂ්පදනය අපනයනය ඉතිරි කිරීමද තිබිය යුතු බවත් ඊට අමතරව සදාකාලීක සහන නොලබා කිසියම් කාලයක් තුළ සවිබල ගැන්විය යුතු බවත් එහිදී ඔහු සඳහන් කළේය.

ගාලූ කුමරී පීලි පනී….

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබේ.

මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන අංක 8056A ගාලු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කිරීමට සිදුව ඇත.

දුම්රිය පිලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද විශාල වශයෙන් හානී සිදුව ඇතිබව වාර්තා වෙයි.

දක්ෂිණ අධිවේගයේ ගමන් ගත් බස් රථයක ගින්නක්….

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ දොඩංගොඩ අන්තර් හුවමාරුව ආසන්නයේදී බස් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබේ.

ගාල්ල සහ මාකුඹූර අතර ධාවනය වන බස් රථයක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත.

බස් රියේ කාර්මික දෝශයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇතැයි ද වාර්තා වේ.

පොලීසිය සහ අවට සිටි පිරිස් එක්ව මේ වන විට ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇත.

තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ…

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

අදාළ නිවේදනයට අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු හෙට (17)  දින සිට අවලංගු කිරීමට තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර මහතා පියවර ගෙන ඇත.

බස් රථයක ගැටී ග්‍රාම නිලධාරීවරයෙකු මරුට……

මාතලේ කයිකාවල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ගැටීමෙන් ග්‍රාම නිලධාරීවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම පුද්ගලයා රාජකාරී සඳහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වන මාතලේ රත්තොට කයිකාවල ප්‍රදේශයේ පදිංචි ග්‍රාම නිලධාරීවරයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර රත්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

කෝටි 5ක ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් කොටුවෙයි….

රුපියල් කෝටි 05කට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වනපරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව මෙම වැටලීම සිදුකර තිබුණි.

ඒ අනුව, ඊයේ (15) සවස් කාලයේ වත්තල පොලිස් වසමේ බංගලාවත්ත ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබුණි.

එහිදී කේරළ ගංජා කිලෝ 309 කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 43 සහ 49ක් වන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

සැකකරුවන් විසින් කුලී පදනම මත ලබාගත් නිවසක කාමරයක් තුළ සඟවා තිබියදී මෙම කේරළ ගංජා තොගය පොලිස් භාරයට ගැනුණි.

සැකකරුවන් අද (16) දින වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

බෙල්ලන්විල පෙරහැර හේතුවෙන් වාහන ගමනාගමනය සීමා කෙරේ…..

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඇසළ මහා පෙරහැර වීථී සංචාරය කිරීම හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

අද (16) රන්දෝලි මහා පෙරහර රාත්‍රී 07.00 සිට අලුයම දක්වා බොරලැස්ගමුව පොලිස් වසමේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානය අවට ප්‍රධාන මාර්ග මූලික කරගෙන වීථි සංචාරය කිරීමට නියමිතය.

මෙම පෙරහැර බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ දකුණු වාහල්කඩින් පිටත්ව බෙල්ලන්තර හන්දියෙන් කීල්ස් වටරවුම දක්වා ගමන් කර මාර්ග අංක 117 විහාර මාවත හන්දියෙන් විහාර මාවතට ගමන් කර මාර්ග අංක 119 විහාර මාවත දක්වා විහාරයේ දකුණු වාහල්කඩින් විහාරස්ථානය දක්වා ගමන් කිරීමට නියමියතය.

පෙරහර ගමන් ගන්නා කාලය තුළ පහත ස්ථානවලින් රථ වාහන ගමනාගමනය සීමා කරනු ලබයි.