ටෙලිවිෂන් කියන්නේ ආනන්දය විතරයි

21617484_1028718297265305_3244871563046766695_n

මේ දිනවල නිතර කතා බහ වෙන ටෙලි නිර්මාණයක් තමයි දෙවෙනි ඉනිම කියන්නේ.දෙවෙනි ඉනිම ගැන කතා කරද්දි එම ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂක සාරංග මෙන්ඩිස් මහතාව අමතක කරන්න බෑ.අද බොස්ටන් ලංකා කතා බහ වෙන් වෙන්නේ සාරංග මෙන්ඩිස් වෙනුවෙන්.

සාරංග,කොහොමද මොනවද මේ දවස් වල විස්තර..?

 හොඳයි,හොඳින් ඉන්නවා.විස්තර ගැන කිව්වොත් දෙවෙනි ඉනිමේ වැඩ කටයුතු කරගෙන,දෙවෙනි ඉනිම ප්‍රසංගයේ වැඩ කටයුතුත් කරගෙන ඉන්නවා.

ඔබ කොහොමද ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට පැමිණෙන්නේඒ ගැන පොඩ්ඩක් කතා කරමුද 

ඔව්,ඇත්තටම අපේ පවුලේ සම්බන්ධයක් තියෙනවා කලාවත් එක්ක.මංගල සේනානායක කියන්නේ මගේ මාමා.ඒ වගේම ජයනි සේනානායක මගේ නෑදෑයෝ.ඒ වගේම මොරිස් මෙන්ඩිස් කියන්නේ මගේ මාමා.ඔහු පිටපත් රචකයෙක්.ඒ වගේ කලාවට සම්බන්ධතා තියෙන අය අපේ පවුලට සම්බන්ධවීම තුළ තමයි මමත් මේ ක්ෂේත්‍රය වෙතට ඇදිලා යන්නේ.ඊට පස්සේ උසස් පෙළින් අනතුරුව සුනෙර පදනමට බැඳිලා නාට්‍ය හා රංගකලාව ගැන ඉගෙනගත්තා.එහෙම පටන්ගැනීමෙන් අනතුරුව දෙවන සහාය අධ්‍යක්ෂවරයෙක්,පළමු සහය අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩ කරලා තමයි අන්තිමේ දී අධ්‍යක්ෂකවරයෙක් දක්වා මේ ගමන ආවේ. සිරස නාළිකාව ඔස්සේ විකාශනය වූ “සිහින වසන්තයක්” ටෙලිනාට්‍යය හරහා තමයි මම මගේම නිර්මාණයක් හරහා එළියට ආවේ.

සිහින වසන්තයක් ටෙලිනාට්‍යය ගැන කිව්වම මතක් වුණේඒ ටෙලිනාට්‍යයේ වගේම දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයෙත් ශානරය එකයි නේද සාරංග වැඩි ප්‍රියතාවයක් දක්වනවද මේ ශානරය එක්ක වැඩ කරන්න 

නෑ එහෙමම නෙවෙයි.ටෙලිනාට්‍ය කරන ඕන කෙනෙක්ට ධාරාවන් කිහිපයක යන්න පුළුවන්.හැබැයි මම විශ්වාස කරනවා ප්‍රධාන ධාරාව මේක කියලා.මොකද මම සිහින වසන්තයක් කරද්දිත් ඒක රේටින්ග් 11.5 ක තිබුණා.ඊට පස්සේ නාට්‍ය කිහිපයක් සිරස නාලිකාව එක්ක එකතුවෙලා සිදු කළා.පස්සේ මම “ගිණි අවි සහ ගිණි කෙළි” කළා.ඒක වෙනස්ම ආකාරයේ නිර්මාණයක්.ඒ නිර්මාණ බොහොමයක් මිනිසුන් අතරට ගියා.ඒත් මම කියන්නේ මම අදටත් හොයනවා මිනිස්සු හොයන්නේ මොකක්ද මිනිස්සු ඉල්ලන්නේ මොකක්ද කියන එක ගැන.

වාණිජ අරමුණු එක්ක කොහොමද නිර්මාණයක කලාත්මක අගය ඔබ බැලන්ස් කරන්නේ ?

රූපවාහිනිය මේ වෙනකොට ප්‍රබලම මාධ්‍යයක්.මේකේ පළවෙනි පරමාර්ථයම මුදල් තමයි.මම අධ්‍යක්ෂකවරයෙක් විතරක් නෙවෙයි.මගේම ආයතනයක් තියෙනවා.ඒ ආයතනයේ සභාපතිවරයා මම.එම ආයතනයේ සේවකයෝ 35 ක් විතර ඉන්නවා.නළු නිළියන් එක්ක ගත්තම සේරම 70 ක් විතර ඉන්නවා.මගේ ආයතනයේ ඉන්න සේවක පිරිස යැපෙන්නේ මේ කරන රස්සාවෙන්.ඒ අයගේ වැ‍ටුප් ආදිය ගෙවාගනිමින් මේ ආකාරයෙන් මේක යන්නේ මගේ නාට්‍යය ජනප්‍රිය නිසා.මම හිතනවා ටෙලිවිෂන් කියන්නේ ආනන්දය විතරක් කියන එක.ආනන්දයෙන් ප්‍රඥාවට යන්න අවශ්‍යනම් තව ඕන තරම් නිර්මාණාත්මක ප්‍රවේශයන් තියෙනවා.උදාහරණ විදිහට නවකතාව,කවිය,කෙටිකතාව,සිනමාව ආදිය මගින් ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන්. මම හිතන්නේ ටෙලිවිෂන් කියන්නේ දෛනික වැඩ රාජකාරී වලින් වෙහෙසට පත් වෙලා ඉන්න මිනිස්සුන්ගේ සතුට වෙනුවෙන්,පොඩ්ඩක් හිනාවෙලා ඉන්න සතුටින් තියන්න පුළුවන් මාධ්‍යයක්.ඒකට හරියන්නයි නිර්මාණ බිහි වෙන්න ඕන කියන එකයි මගේ පුද්ගලික මතය.

ඔබ ඔය කියන කාරණාවත් එක්ක මම මෙහෙම ඇහුවොත්පළිඟු මැණිකේ,කන්දේ ගෙදර,යශෝරාවය,කඩුල්ල ,ප්‍රභාතය වගේ නිර්මාණත් මෑත කාලීනව සහෝදරයා වගේ නිර්මාණත් මිනිස්සු ආනන්දයෙන් ප්‍රඥාවට අරන් ගිහින් නැද්ද කියලා ඔබේ උත්තරය කොයි වගේ වෙයි ද ?

ඒවා ඉතා විශිෂ්ඨ කෘති වෙන්න පුළුවන්.හැබැයි අද සමාජය බොහෝ දුරට වෙනස් වෙලා.සමාජය සංකීර්ණ වෙලා.අද ගෙනල්ලා යශෝරාවය හරි කඩුල්ල හරි ගහන්නකෝ බලන්න ටෙලිවිෂන් එකේ.මිනිස්සු බලයි ද කියලා.නෑනේ එහෙම කළානේ. එදා අට හමාරට තිබ්බේ ඒක විතරයි.ඒ නිසා මිනිස්සු ඒක බැලුවා.අද සමාජය සියලු දෙයින්ම දියුණු වෙලා.එදා යූ ටියුබ් තිබ්බේ නෑ.එෆ් බී තිබ්බේ නෑ.ඒ අවදියේ මිනිස්සුන්ට කාලය තිබුණා අද තරම් ඔවුන්ගේ ජීවිත සංකීර්ණ වෙලා තිබ්බේ නෑ.ඒත් අද තත්ත්වය සෑහෙන්න වෙනස්.ඔබ දන්නවද දඬුබස්නාමානය මාස තුනක් ශූට් කළා එපිසෝඩ් දාසයක්.අද අපි එපිසෝඩ් දාසයක් දවස් දාසයෙන් තමයි කරන්නේ.අද මිනිස්සු සතුට උනත් හොයන්නේ හරි ඉක්මනින්.එක එපිසෝඩ් එකක් අද බලලා තව සතියක් ඉන්න බෑ ඊළඟ එපිසෝඩ් එක එනකම්.අපිට අද හොලිවුඩ් වලින් එන නාට්‍යත් එක්ක,බොලිවුඩ් වලින් එන නාට්‍යත් එක්ක තරඟ කරන්න වෙලා තියෙනවා.ඒ ඔක්කොමත් එක්ක ඔබ කියන ආකාරයේ තැනක ‍රැ‍ඳෙන්න අපහසුයි

ඔබ කියන කාරණයට මම එක්තරා ආකාරයකට එකඟ වෙන්නම්,නමුත් පසුගිය වසරේ සම්මාන උළෙලේ ජනප්‍රියම නිර්මාණය වූ ඔබේ නාට්‍ය මේ අවුරුද්දේ සම්මාන උළෙලෙදි විකල්ප ධාරාවේ නාට්‍යක් ඉස්සරහා දෙවෙනි වෙනවා ?

 ඒක එස් එම් හරහා  වුණ දෙයක්.එක් කණ්ඩායමක් කූඹියෝ නාට්‍යය වෙනුවෙන් එස් එම් එස් දැම්මා.සම්මාන උළෙලත් එක්ක ගත්තම ඒක හරි.ඒකෙන් අදහස් වෙන්නේ නෑ කූඹියෝ තමයි ජනප්‍රියම නාට්‍යය කියන එක.ඒකට උදහරණ තමයි ඔබට බලන්න පුළුවන් යූ ටියුබ් එකෙන් දවසකට මගේ නාට්‍යය කොපමණ ප්‍රමාණයක් නරඹනවද කියන එක මත.

බිමල් ජයකොඩිගේ ඉවත් වීම මේ දවස් වල සමාජ ජාලා උණුසුම් කළා ?

ඇත්තටම අපි නාට්‍යය ආරම්භයේදීම ඒ චරිතය එක් අවස්ථාවක ඉවත් කරන්න සැලසුම් කරලා තිබුණේ.නමුත් ඊට කළින් ඔහුගේ පෞද්ගලික හේතුවක් මත ඔහු ඉවත් වුණා.නළුවෙක් හෝ කවුරුන් හෝ කියනවානම් දිගටම රඟපාන්න බෑ කියලා මට තවත් අවස්ථාවකට යන්න වෙනවා.ඉතින් මම ඒ අවස්ථාවෙන් දෙවෙනි අවස්ථාව ‍තෝරාගත්තා.

ඒ කියන්නේ ඉනිම තව කොච්චර දුර යනව ද  ?

තරඟය මැරතන් නම් මම දුවන්න ඕන මැරතන්.ඔක්කොම මැරතන් දුවද්දි මම මීටර් සීය දුවන්න ඕන නෑ.මමත් කොටස් දාහකටවත් යන්න ඕන.ඒක හරහා පෞද්ගලිකව මටත් මේ ක්ෂේත්‍රයටත් සෑහෙන්න ප්‍රයෝජනයක් වෙයි.

හදිසියේ හරි බිමල් වගේම තවත් චරිත ඉවත් වුනොත් ඔබ නැවතත් විකල්පයකට යනවද ?

නෑ නාට්‍යය නවත්තලා අලුත් නාට්‍යයකට යනවා.

 මොනවද ඔබේ නාට්‍යයට ප්‍රිය කරන ,ඔබට ප්‍රිය කරන ප්‍රේක්ෂකයට කියන්න තියෙන්නේ ?

 මේ නාට්‍යය නෙවෙයි ලංකාවේ හොඳම නාට්‍යය,අඩුපාඩු ඇත.හොලිවුඩ් ලෙවල් එකට යන්න බෑනේ තවම.ඇත්ත.මට ගන්න පුළුවන් එක මල්පෝච්චියයි.මම ඒ මල්පෝච්චිය හැම තැනම තියලා හරි ලස්සනට නිර්මාණය කරන්න පොරොන්දු වෙනවා.ඵල දරන ගහ කපන්න උත්සහ කරන්න එපා.අඩුපාඩු කියන්න.අපහාසයකින් තොරව.මම ලෑස්තී පුළුවන් උපරිමයෙන් ඒවා මඟ හරවා ගන්න.දේශීය විදේශීය වශයෙන් වශයෙන් විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් මේ වෙනකොට අපි එක්ක ඉන්නවා.ඉතින් ඒ හැමෝටම මම කියනවා හැමදාම අපිත් එක්ක ඉන්න කියලා.අපි පළවෙනි වරට නාට්‍යක් හරහා ප්‍රසංග සංවිධානය කරනවා.තරු බිහි කළා.අපි නූතන ඩිජිටල් පරපුර එක්ක ඉන්නවා.ඉතින් හැමෝටම ස්තූතියි කියලා තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ

සංඛ රඹුක්වැල්ල