ජැකලින් සුකේෂ්ගේ සල්ලිවලින් සැප වින්දේ අපරාධ ගැන දැනදැනමයි – අධිකරණයට වාර්තාවක්

jacaline

රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ නඩුවක චූදිතයකුව සිටින බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්, ප්‍රධාන චූදිතයා යැයි කියන සුකේෂ් චන්ද්‍රසේකර්ගේ අපරාධ මගින් ඉපැයූ ආදායම සන්තකයේ තබාගැනීමට සහ භාවිත කිරීමට දැනුවත්ව සම්බන්ධ වී ඇති බව ඉන්දීය විමර්ශකයන් දිල්ලි මහාධිකරණයට ප්‍රකාශ කර ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.

විමර්ශන ඒජන්සිය චෝදනා කළේ, බොලිවුඩ් නිළිය සුකේෂ් චන්ද්‍රසේකර් අපරාධ මගින් ඉපැයූ ආදායම භුක්ති විඳිමින්, භාවිත කරමින් සහ සන්තකයේ තබාගෙන සිටි බවට සාක්ෂි පෙන්නුම් කරන බවයි.

විමර්ශන ඒජන්සිය විසින් මෙම තර්කය ඉදිරිපත්කර ඇත්තේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ඇයට එරෙහිව ගොනුකර ඇති පෙත්සම අවලංගු කරන ලෙස ඉල්ලා ජැකලින් ෆර්නැන්ඩස් කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ගොනුකරන ලද දිවුරුම් ප්‍රකාශයකය.

විනිසුරු මනෝජ් කුමාර් ඔරි ඉදිරියේ එය ලැයිස්තුගත කර ඇති අතර ජැකලින් ෆර්නැන්ඩස්ගේ නීතීඥවරයා විමර්ශන ඒජන්සියේ තර්කයට ප්‍රතිචාර දැක්වීමට කාලය ඉල්ලා සිටියේය.

මෙම නඩුව අප්‍රේල් 15 වැනි දින මහාධිකරණය හමුවේ මීළඟට විභාගයට ගැනීමට නියමිතය.

සුකේෂ් චන්ද්‍රසේකර් සමඟ ඇති මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් ජැකලින් ෆර්නැන්ඩස් “අද වනතුරු සත්‍යය වසන් කළ” බවත් සාක්ෂි හමුවන තුරු කරුණු වසන්කළ බවත් විමර්ශන ඒජන්සිය සිය පිළිතුරේ ප්‍රකාශ කර ඇති බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.

“ඇය අද දක්වාම සත්‍යය වසන් කර තිබෙනවා. සුකේෂ් චන්ද්‍රසේකර් අත්අඩංගුවට ගැනීමෙන් පසු ෆර්නැන්ඩස් ඇගේ ජංගම දුරකථනයේ සම්පූර්ණ දත්ත මකා දමා සාක්ෂි විකෘති කළ බව ද සත්‍යයක්. සාක්ෂි විනාශ කරන ලෙස ඇය තම සගයන්ගෙන් ඉල්ලා සිටියා. එම සාක්‍ෂිවලින් සැකයෙන් තොරව ඔප්පු වන්නේ ඇය අපරාධවලින් උපයාගත් මුදල් පරිහරණය කරමින් සහ එම මුදල් ඇය සතුව තිබූ බවයි. මේ අනුව, චූදිත චන්ද්‍රසේකර්ගේ අපරාධයේ ආදායම සන්තකයේ තබාගැනීමට සහ භාවිත කිරීමට ෆර්නැන්ඩස් දැනුවත්ව සම්බන්ධ වී ඇති බව ඔප්පු වෙනවා,” යනුවෙන් ඔවුන් කරුණු දක්වා තිබේ.

විමර්ශන ඒජන්සිය චෝදනා එල්ල කරන ලද මෙම නිළිය, ඇය සුකේෂ් චන්ද්‍රසේකර්ගේ ගොදුරක් බව පවසමින් ඇයගේ හැසිරීම වසන් කිරීමට උත්සාහ කළ නමුත්, ඇයගේ ප්‍රකාශය තහවුරු කිරීමට සැළකිව යුතු සාක්ෂි කිසිවක් ඉදිරිපත් කිරීමට නොහැකි විය.

ජැකලින් ෆර්නැන්ඩස් අපරාධකරුගේ සාපරාධී චේතනාවන් පිළිබඳව දැන සිටි නමුත් තමාට සහ ඇගේ පවුලේ සාමාජිකයන්ට ඔහුගේ අපරාධවලින් ලැබෙන ආදායම භුක්ති විඳීමට ඇය සන්තකයේ තබාගෙන සිටි බව විමර්ශන ඒජන්සිය පවසයි.

සුකේෂ් චන්ද්‍රසේකර් විසින් තම පවුලට විශාල මුදලක් සහ වටිනා තෑගි ලැබුණු බව ඇය මුලින් පිළිනොගත් බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

මෙම සුඛෝපභෝගී ත්‍යාග සාපරාධී ක්‍රියාකාරකම් මගින් උපයාගත් සහ අපරාධවලින් උපයාගත් ඒවා බව ඒජන්සිය ප්‍රකාශ කළේය.

විමර්ශන ඒජන්සියට අනුව, ජැකලින් ෆර්නැන්ඩස් සුකේෂ් චන්ද්‍රසේකර්ගේ අපරාධ පූර්වාදර්ශ ගැන “හොඳින් දැන සිටි” අතර ලීනා මාරියා පෝල් ඔහුගේ බිරිඳ බව දැන් සිටිය ද ඔහු සමඟ දිගටම සම්බන්ධකම් පවත්වා ඇත.

අපරාධකරුගේ විවාහක තත්ත්වය පිළිබඳ දැන දැනත් ඇය ඔහුගෙන් මූල්‍ය ප්‍රතිලාභ ලබාගෙන ඇති අතර, ඒවා අපරාධවලින් ලැබුණු ආදායමක් බව විමර්ශන ඒජන්සිය පවසයි.

ජැකලින් ෆර්නැන්ඩස් සිය නීතීඥවරයා හරහා ගොනුකළ පෙත්සමේ මුලදී සඳහන් කළේ, විමර්ශන ඒජන්සිය විසින් ගොනුකරන ලද සාක්ෂි මගින් තමා චන්ද්‍රසේකර්ගේ ද්වේෂසහගත ලෙස ඉලක්ක කර එල්ල කරන ලද ප්‍රහාරයට ගොදුරු වූ අහිංසකයකු බවට ඔප්පු වනු ඇති බවයි.

“ඔහුගේ යැයි කියන අයථා ලෙස උපයාගත් ධනය විශුද්ධිකරණය කිරීමට ඔහුට සහය වීමට ඇයගේ කිසිදු සම්බන්ධයක් ඇති බවට කිසිදු සඳහනක් නොමැත. එබැවින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 සහ 4 වගන්ති යටතේ සිදුවන වැරදි සම්බන්ධයෙන් ඇයට නඩු පැවරිය නොහැක” යනුවෙන් එම පෙත්සමේ සඳහන් වේ.

පැමිණිලිකාර අදිති සිංගෙන් කප්පම් ගැනීමේදී චන්ද්‍රසේකර්ගේ නීච ක්‍රියා පිළිබඳ ඇයට දැනුමක් තිබූ බවට කොතැනකවත් චෝදනා කර නොමැති බව ඇයට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලෙන් තහවුරු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මුදල් විශුද්ධිකරණ නඩුවේ විත්තිකාරියක් ලෙස තමාව ඉදිරිපත් කිරීමේදී විමර්ශන ඒජන්සිය පක්ෂග්‍රාහී ලෙස ක්‍රියාකළ බවට ද ජැකලින් ෆර්නැන්ඩස් චෝදනා කර තිබේ.

“තවත් බොලිවුඩ් නිළියක වන නොරා ෆටේහිගේ උපදෙස් මත ඇයගේ පවුලේ සාමාජිකයකුට සුකේෂ් චන්ද්‍රසේකර්ගෙන් BMW මෝටර් රථයක් ලැබුණු බව වාර්තාගතව පිළිගත් කරුණක් වුවද, විමර්ශන ඒජන්සිය විසින් ඇයට චෝදනා එල්ල කර නැත. නෝරා ෆටේහි සුකේෂ් චන්ද්‍රසේකර්ගෙන් තෑගි ලබාගත් කාරණය ‘අපරාධයෙන් ලැබෙන ආදායම විසුරුවා හැරීම’ යන මාතෘකාව යටතේ විමර්ශන ඒජන්සිය වෙත ඉදිරිපත් කර ඇති බව සැළකිල්ලට ගැනීම වැදගත්ය.” යනුවෙන් එම චෝදනාව ඉදිරිපත් කර තිබේ.

සුකේෂ් චන්ද්‍රසේකර් ඇතුළු පිරිසට එරෙහි මුදල් විශුද්ධිකරණ විමර්ශනයේ ප්‍රශ්න කිරීම සඳහා ජැකලින් ෆර්නැන්ඩස් විමර්ශන ඒජන්සිය වෙත පැමිණ තිබේ.

Ranbaxyහි හිටපු ප්‍රවර්ධකයින් වන Shivinder Singh සහ Malvinder Singhගේ කලත්‍රයන්ට රුපියල් කෝටි 200ක් වංචා කළ බවට සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහිව දිල්ලි පොලිසිය විසින් පෙත්සම ගොනුකරන ලදී.

ඒ අනුව සුකේෂ් සහ ඔහුගේ බිරිඳ සහ අනෙකුත් අය දිල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, විමර්ශන ඒජන්සිය ඔවුන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණ නඩුවක් ලියාපදිංචි කරන ලදී.

සුකේෂ් චන්ද්‍රසේකර් සහ ඔහුගේ බිරිඳ හවාලා මාර්ග භාවිත කළ බවත්, අපරාධවලින් උපයාගත් මුදල් තැන්පත් කිරීම සඳහා ෂෙල් සමාගම් නිර්මාණය කළ බවත් දිල්ලි පොලිසිය චෝදනා කර තිබිණි.