සොදුරු කැරළිකරුවන් සමග පිළිසදරක්….

FB_IMG_1499148460645

තරුණයන් නිරන්තරව කැරළි ගසන්නේ වේදිකාවේය. මෙය අතීතයේ සිටම සිදුවූවකි. අද වන විට ප්‍රවීණත්වයට පත් නාට්‍ය කරුවන්ද ඒ අයුරින් අතීතයේදී වේදිකාවේ කැරළි ගැසූවන්ය. අද දින බොස්ටන් ලංකා අපි හමුවූයේද එවැනිම කැරළිකරුවන් පිරිසකි. නාලක හපුආරච්චි මේ නඩයේ ප්‍රධානියාය. මෙයට පෙර  ‘බමණ මධු’ නාට්‍ය නිර්මාණය කරමින් ප්‍රෙක්‍ෂක ආකර්ෂණය දිනාගැනීමට සමත්වූ මොහු මෙවර ඔබ හමුවට පැමිණ සිටින්නේ ‘Dark Room’ නාට්‍ය සමඟින්. මෙම නාට්‍ය මේ මස 22 වන දින සවස 6.30 ට කොළඹ ලූම්බිණි ර`ගහලේදී වේදිකා ගතවේ.

19030257_10213005587078238_8495029319576223916_n (1)

ඔබ නාට්‍යකරණය යෙදෙන්න හේතුව මොකද්ද?

මට මේ සමාජයත් එක්ක බෙදා සමඟ බෙදා හදාගැනීමට බොහෝ දේවල් තියෙනවා. මේ දෙවල් මට සමාජගත කිරිමට අවශ්‍යයි. විශේෂයෙන්ම මම මේ දේවල් සම්බන්ධයෙන් දරණ ආකල්පය. මේව නිකම්ම සමාජයට කියන්නත් මට බෑ. මම ඒ සඳහා මුලින්ම ක‍්‍රමවේදයක් සොයාගත යුතුයි. විශේෂයෙන්ම සමාජය ආකර්ෂණය කරණ ක‍්‍රමවේදයක්. මෙතනදී මගේ හැකියාවන් අනුව ඊට සුදුසුම මාධ්‍ය විදියට මට තේරුණේ නාට්‍ය, ඒ නිසා මම මේ මාධ්‍ය තෝරාගත්තා.

ඔබේ Dark Room නාට්‍ය පිලිබඳව කෙටි හැඳින්වීමක් කලොත්?

මේ නාට්‍යය තරුණයන් හතරදෙනෙකුගේ අත්දැකීම් ආශ්‍රය කරගෙනයි නිර්මාණය කරල තියෙන්නේ. විශේෂයෙන්ම මම අද සමාජයේ වැඩි පිළිගැනීමකට ලක්ව නැති සමරිසි තරුණයකුගේ චරිතයකුත් යොදාගනිමින් ඒ අයගේ අත්දැකීමත් සමාජගත කිරීමට යොමුවෙන්වා. පොදුවේ තරුණයන් විදියට වර්තමානයේ ගොඩනැගෙන ආර්ථික, දේශපාලන, සමාජ වගේම මානව සම්බන්ධතා අතරත් ඇති අර්බුධ හමුවේ ඔවුන්ගේ අනාගතය මොන ආකාරයේ ස්වරූපයක් ගනීද, එය ගොඩනැගීමේ ඇති අභියෝගාත්මක ස්වභාවය මම මේ නාට්‍යයෙන් සාකච්ඡා  කිරීමට උත්සාහ ගන්නවා.

FB_IMG_1499148460645

ඔබේ නාට්‍ය නිර්මාණය සඳහා රංග ආකෘතිය නිර්මාණය කරගැනීමේදී මොනවගේ කාරණා පිලිබවද අවධානය යොමුකලේ?

ප‍්‍රධාන වශයෙන්ම රංගන කාර්යය සඳහා මම වැඩි අවධානයක් යොමුකලා. මොකද මේ නාට්‍යයේදී සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා විශාල රංග පසුතලයක් මම යොදාගන්නවා. මේ නිසා නළුවන් හට අභියෝගයක් තියෙනවා මේ විශාල රංග පසුතලය අභිබවමින් තමන්ගේ රංගනයන් ඉදිරිපත් කිරීමට. ඒක එක අතකට නළුවන්ට වගේම අධක්‍ෂණ කාර්යයේ නිරතවන මටත් විශාල අභියෝගාත්මක කාරණාවත් වූනා. එතනදී අපි විවිධාකාරයේ අත්හදාබැලීම් ගණනාවක් සිදුකලා. මෙතනදී මම විශේෂයෙන්ම මගේ සියලුම රංගන ශිල්පීන්ගේ කැපවීම වගේම උනන්දුව ඇගයීමට ලක්විය යුතුයි. ඇත්තටම ඒවගේ කැපවීමක් නොවන්නට මට මේ කාර්යය මේ ආකාරයෙන් සාර්ථකත්වයට පත්කරගැනීමට හැකිවෙන්නේ නැහැ. මේ නිසා අපි අපේ සම්ප‍්‍රදායික ප‍්‍රකාශන ක‍්‍රමවේදයන්ගේන් ඔබ්බට ගොස් නව ප‍්‍රකාශන ක‍්‍රමවෙද නිර්මාණය කරගැනීමට පවා යොමුවුනා. මේක ඇත්තටම ආශ්වාදනීය කාර්යයක් වුනා. එතනදී අපේ පිටුපස බොහෝ දෙනෙක් සිටියා ඒ සියලූම දෙනාටත්  Dark Room නාට්‍ය කණ්ඩායම විදියට අපේ ප‍්‍රශංසාව හිමිවිය යුතුයි.

ඔබ මෙවර වෙනත් රචකයෙකුගේ නිර්මාණයක් නාට්‍ය නිෂ්පාදන කාර්යය සහා යොදාගැනීමට යොමුවුනේ ඇයි?

සාමාන්‍යයෙන් ලෝක නාට්‍ය කලාවේ පවතින ප‍්‍රවණතාව තමයි නාට්‍ය රචකයා සහ නාට්‍ය අධ්‍යක්‍ෂක වරයා ස්වාධීන ලෙස ගොඩනැඟීම. නමුත් මේ ලක්‍ෂණය අපේ රටේ නාට්‍ය කලාවේ ආරම්භයේ ඉදලම තිබුනේ නෑ. සරච්චන්‍ද්‍ර මහත්තා එතුමන් ලියපු නාට්‍ය එතුමන්ම නිෂ්පාදනය කලා. හෙන්රි ජයසේන මහත්තයත් එහෙමයි. දනානන්ද ගුණවර්ධන ආදී උදාහරණ  ඕනතරම් පෙන්නන්න පුලූවන්. ඇත්තටම මේ කාර්යයන් දෙක දෙකක්. විදෙස් රටවල රචකයන් තමන්ට ලැබුණු වස්තු බීජය සාර්ථක අයුරින් රචනයකට ගොනු කිරීමකට උත්සාහ කරනවා. එතනදී ඒ අය ස්වාධීනව ඒ කාර්යය කරනවා. ඒ අය අභ්‍යාස කරන්නෙත් රචනය හා සම්බන්ධවයි. අධ්‍යක්‍ෂකවරු මේ රචනයන් ප‍්‍රශස්ත ආකාරයෙන් වේදිකාවට ගෙනඒම සඳහා විවිද අත්හදාබැලීම් සිදුකරනවා. මේ අය මේ සඳහා නිරන්තර අභ්‍යාස කරණයේ නිරතවී සිටිනවා. සමහර අවස්ථා වල මේ දෙදෙනාගේම සාකච්ඡා මත නැවත රචනයවීම් පවා සිදුවෙනවා. මේ නිසා එකම නිර්මාණයකට දෙදෙනෙකුගේ දායකත්වය ලැබීම තුල ඉතා සාර්ථක නිර්මාණයක් ගොඩනැඟීමේ පරිසරය නිර්මාණය වෙනවා. මේන්න මේ අත්දැකීම අධ්‍යක්‍ෂකවරයෙක් විදියට මටත්  ලබාගැනීමට අවශ්‍ය වී තිබුනා. ඒ සඳහා තමයි මම අපට සිටින ප‍්‍රවීණ පිටපත් රචකයෙකු වන රත්නසිරි පරණවිතානයන්ගෙ මේ Dark Room නාට්‍ය පිටපත අධ්‍යක්‍ෂණය කිරීමට යොමුවුනේ.

FB_IMG_1499148455016

නිර්මාණ කාර්යයේදී රචකයා සහ ඔබ අතර ගැටුමක් ඇතිවුනේ එහෙම නැද්ද?

රත්නසිරි පරණවිතාන මහතා කියන්නේ තරුණ අදහස් තියෙන වැඩුණු මිනිසෙක්. මේ නිසා ඔහුට තරුණයන්  හොඳින් තේරුම්ගැනීමේ හැකියාව තියෙනවා. මේක මට එතුමන්ගේ පිටපත මුලින්ම කියවීමෙන් අවබෝධ වුනා. ඒ නසා මම මේ පිටපත් කරන්න එකවරම තීරණය කලා. මේක ඇත්තටම අදට වගේම අනාගතයත් දැකල ලියපු පිටපතක්. මේකට එතුමන් සතු අත්දැකීම් විශාල ලෙස පාදකවෙන්න ඇති. තරුණයන් විදියට අපිට ඒ දැනුම බෙදාහදා ගැනීමටත් මේක හොඳ අවස්ථාවක් වුනා. මේ තුල අපි විශාල දැනුමක් එතුමගේන් ලබාගත්තා. ඇත්තටම Dark Room නාට්‍ය අපිට නාට්‍ය කලාවට නව දොරටුවක් විවරකලා කීවොත් නිවැරදියි.

FB_IMG_1499148479797

තරුණ නාට්‍යකරුවෙකු විදියට ඔබගේ අපේක්‍ෂාව කුමක්ද?

මගේ වගේම අපේ නාට්‍ය කණ්ඩායමේ මූලිකම අපේක්‍ෂව තමයි රසඥතාවයෙන් හෙබි, අන්‍යයන්ට ගරුකරන මනුෂ්‍යයෙක් නිර්මාණය කිරීම. මොකද අද අපිට ඒ අවශ්‍යතාවය විශේෂයෙන් දැනිල තියෙනවා. අද වෙනකොට සමාජයෙන් අතීතයේ තිබුණු සාර්ධර්මයන් ගිලිහී ගොස් තියෙනවා. මේව නැවත රෝපනය කලයුතු තත්ත්වයට අද පත්වෙලා තියෙන්නේ. මෙන්න මේ කාර්යය ආරම්භ කිරීමට හොඳම අවකාශය ගොඩනැඟී තියෙන්නේ කලාව තුල. මේ කලාවන් අතරිණුත් සජීව කලාවක් වන නාට්‍ය කලාවට විශාල කර්යභාරයක් කිරීමට පුලූවන්. අද වනවිට නාට්‍යයක් නරඹා සකච්ඡාවක් පවතින සංස්කෘතිය නැතිවී තියෙනවා. ඒකට ප‍්‍රධාන වශයෙන් ලංකාවේ කලාව සම්බන්ධයෙන් විචාර කලාවක් නොතිබීම ප‍්‍රධාන වශයෙන් බලපා තියෙනවා. ඉතිං තරුණයන් විදියට අපි අපිට හැකි ප‍්‍රමාණයකින් හෝ මේ කාර්යය ආර්භකිරීමටය යොමුවී සිටිනවා.

FB_IMG_1499148483997

ඔබේ නාට්‍ය කණ්ඩායම පිළිබඳව සඳහන් කලොත්?

මේ නාට්‍යට තරුණ පරපුරේ දක්‍ෂ රංගන ශිල්පීන් කිහිපදෙනෙක් වන විජිත හෙට්ටිගේ, නිශාලන්ත කුලරත්න, දිනිඳු ඒකනායක රංගනයෙන් දායකත්වය සපයනවා. මීට අමතරව මමත් එක් චරිතයක් නිරූපණය කරනවා. සංගීත අධ්‍යක්‍ෂණයෙන් දිනේෂ් හේවගේ, වේදිකා පරිපාලනයෙන් ගැමුණු රණවීර, පිටපත් රචනයෙන් රත්නසිරි පරණවිතාන, අධ්‍යක්‍ෂණ කාර්යයෙන් මමත් දායකත්වය සපයනවා. තරුණයෙක් වෙනස් ඇසකින් ලෝකය බැලීමට දරණ මේ උත්සාහයට දිරි දීමක් වශයෙන් මේ 22 වනදා කොළඹ ලූම්බිණි ර`ගහලේ සවස 6.30 ට පැවැත්වෙන Dark Room නාට්‍ය නිර්මාණය නැරඹීමට පැමිණන ලෙස නාට්‍ය ලෝලී සැමට  ගෞරවයෙන් ආරාධනා කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.

පාලිත අබේලාල්