“නාට්‍යයක් නිෂ්පාදනය කරන එකත් අපේ රටේ පවුලෙ බූදලයක් වෙලා! ඒත් ජාත්‍යන්තරයේ ස්වභාවය හාත්පසින්ම වෙනස්”

_MG_3675a (7)

තිරයේ සුලභව පෙනී සිටින්නට ප්‍රිය නොවූවද  ඔහුගේ ප්‍රියංකර රංගනය රසික හදවතින් බැහැරව නොයන්නේ එහි ඇති සුවිශේෂත්වය නිසාමය.  ප්‍රියංකර රත්නායක නම් මේ සොදුරු කලාකරුවාණන්  රංගනයෙන් මතු නොව  නිර්මාණකරණයෙන්  වේදිකාවට දායාදකළේ  විශිෂ්ට නිර්මාණ ගොන්නකි.  වත්මන් නාට්‍ය කලාවේ වෙසෙස් ඉසව්වක් ගැන බොස්ටන් ලංකා සමගින් ඔහු සිය අදහස් පළ කළේ මෙලෙසිනි.

සාකච්ඡා කළේ :පාලිත අබේලාල් (palithaabelal@gmail.com

Q – ඔබේ පරම්පරාව ගවේශණය කරල හොයාගත් දැනුම ඉගැන්වීම සදහා අද විවිධ ආයතන බිහිවී තිබෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

ඇත්තටම කලාව කියන්නේ අපිට විතරක් අයිති දෙයක් නෙවෙයි. විශ්වීය දෙයක්. මේ නිසා නාට්‍ය කලාව අතීතයේදී සමාජයේ ඒ ඒ අවස්ථාවන් හමුවේ ප්‍රතිචාරයන් දැක්වූ ආකාරය අධ්‍යනය කිරීම වැදගත් වෙනවා. මේක කරන්න පුළුවන් වෙන්නේ සංවිධිත අධ්‍යාපන ක්‍රමයක් ඇතුලේ විතරයි. මේ නිසා නාට්‍ය විෂය හැදෑරීම සදහා මේ වගේ විශ්වවිද්‍යාල වගේම වෙනත් අධ්‍යාපන ආයතන බිහිවීම සුබදායී තත්ත්වයක්.

Q – එතකොට මේ ආයතන වලින් බැහැරව නාට්‍ය නිර්මාණ කරුවන් බිහිවන්න ඉඩක් නෑ කියලද ඔබ කියන්නේ?

මම කියන්නේ නෑ බිහිවෙන්නේ නෑ කියල. නමුත් සංඛ්‍යාත්මකව අඩුයි. දැන් විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය ලැබුවේ නැති ජී.බී. සේනානායක, මාර්ටින් වික්‍රමසිංහ වගේ ප්‍රාඥයින් අද විශ්වවිද්‍යාල තුල හදාරණ බරපතළ කාරාණා මතුකර තිබීම වැදගත්. නමුත් ඒක ඇත්තටම හුදෙකලා තත්ත්වයක්. පොදු තත්ත්වයක් විදියට අපිට හදුන්වන්න අපහසුයි.

12729049_497796767067640_3730022304514582812_n

Q – පරිවර්තන නාට්‍ය නිසා ස්වතන්ත්‍ර නාට්‍ය කලාවට නියම තැන හිමිවෙන්නේ නෑ කියන චෝදනාව ඔබ පිළිගන්නවාද?

කොහෙත්ම නෑ. විචාර වලදී අපි සමහර සමහර විචාර ගැන සැළකිල්ලක් දැක්වුවත් සමහර විචාරයන් පිළිබදව ඇත්තටම අවධානයක් යොමුකරන්නේම නෑ. ඇත්තම කතාව නම් ස්වතන්ත්‍ර නිර්මාණයන් අඩුයි. ලෝක මට්ටමේ මේ තත්ත්වය මේ විදියමයි. විශ්වවිද්‍යාලයක් විදියට අපි අවුරුදු 12 ක් විතර නාට්‍ය කලාව ඉගැන්වීමේ කටයුතු කරනවා. මේ කාලය තුල අපි සාර්ථක ස්වතන්ත්‍ර නාට්‍ය නිෂ්පාදනය කරල තියෙනවා. නමුත් සංඛ්‍යාත්මකව අඩුයි. ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණය කරන්න කියල කෑගැහුවට විශ්වවිද්‍යාලවල හෝ ඉන් බාහිරව කීයෙන් කීදෙනාද ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණය කරන්නේ.

Q – විශ්වවිද්‍යාලයක අරමුන ඒ වගේ සාර්ථක ස්වතන්ත්‍ර නාට්‍යකරුවන් බිහිකිරීම නේද?

අරමුණ ඒක තමයි. නමුත් විශ්වවිද්‍යාල තුලදී නෙවෙයි. උදාහරණයක් විදියට අපි ඉන්න උසස්ම ස්තන්ත්‍ර නාට්‍යකරුවන්ගේ පසුබිම බැලුවහම ඒ අය නාට්‍ය ක්‍රියාවලියට ඇවිත් තියෙන්නේ විශාල පර්යේෂණ ක්‍රියාවලියකින් පසුවයි. 

මේ අය නාට්‍ය කලාවට ඇත්තටම ඔපපාතික අය නෙවෙයි. මේ අයගේ නාට්‍ය පිටපතක් බලද්දී කොච්චර පසු සටහන් ප්‍රමාණයක් තියෙනවාද. 

මේ අය මුලින්ම විශ්වීය නාට්‍ය කලාව වගේම දේශීය නාට්‍ය කලාවේ විවිධාකාරයේ අධ්‍යනයන්, පර්යේෂණයන් සිදුකලා. දයානන්ද ගුණවර්ධන මහතා වාර්තා රංගය ගේනේනේ ජර්මනියෙන්. 

සරත්චන්ද්‍ර මහතා මනමේ නාට්‍යයට අවකාශය සකසාගන්නේ ජපානයේ නෝ, කබුකි නාට්‍ය, ඇමරිකාවේ සංගීත නාට්‍ය, ලංකාවේ ගැමි නාට්‍ය නරඹලා. එහෙමයි ස්වතන්ත්‍ර නාට්‍යකරුවන් බිහිවෙන්නේ. මේක ලෝකෙටම පොදු කරණයක්.

 හතු පිපෙන්නා වගේ ස්වතන්ත්‍ර නාට්‍යකරුවන් බිහිවෙන්නේ නෑ. වර්තමානයේ සාර්ථක ස්වතන්ත්‍ර නාට්‍යකරුවන් බිහිවෙන්නේ නැත්තං ඒකට ප්‍රධාන හේතුව මේ නාට්‍ය කලාව පිලිබද ශාස්ත්‍රීය හැදෑරීමක් සහිත පිරිසක් නොමැතිකමයි.

IMG_9638

Q – එතකොට දැන් ස්වතන්ත්‍ර නාට්‍යකරුවන් බිහිවෙන්නේ නැද්ද?

කෝ එහෙනං ඉන්නඑපාය.

 ඉදල හිටල එක්කෙනෙක්ගේ දෙන්කෙක්ගෙ ප්‍රශස්ථ නිර්මාණයක් දැකගන්න පුළුවන්. නමුත් ඒ අයත් දිගටම සාර්ථක විදියට ඒ කාර්යය කරනවාද. 

මං කතා කරන්නේ වෘත්තීය මට්ටමේ නාට්‍ය රචකයන් සම්බන්ධවයි. අනෙක් කාරණය තමයි අපේ රචකයන් කොච්චර තෘෂ්නාධිකද කිව්වොත් ඒ අයගෙ රචනයක් වෙනත් කෙනෙකුට නිෂ්පාදනය කරන්නවත් දෙන්නේ නෑ. 

දැන් බලන්න සරත්චන්ද්‍ර මහත්තයගෙ නාට්‍ය වෙනත් නිෂ්පාදකයෙකුට කරන්න ඉඩක් නෑ. ඒක පවුලේ බූදලයක් බවට පත්වෙලා. නමුත් ලොකයේ ස්වභාවය මීට හාත්පසින්ම වෙනස්. විවිද නාට්‍ය නිෂ්පාදකවරු නාට්‍ය කෘතිවලට විවිධ අර්තකථන ලබාදෙමින් නිෂ්පාදනය කරල තියෙනවා. ලංකාවේ එහෙම තත්ත්වයක් තියෙනවාද? නාට්‍යයක් ලියල ජනගත කලාට පස්සේ ඒක තවත් පුද්ගලික වෙන්නේ නෑ. ඒක පොදු දෙයක් බවට පත්වෙනවා. මෙන්න මේ පටු සීමාවේ ලංකාවේ නාට්‍ය කලාව හිරවී තිබීම නිසා අපේ නාට්‍ය කලාව වගේම ප්‍රේක්ෂකයා පවා යාවත්කාලීන නොවන ආකාරයක් මට පේනවා.

Q – ඇත්තටම විශ්වවිද්‍යාලයක හෝ නාට්‍ය හා රංගකලාව පිලිබඳ ඉගැන්වීම් කරන ආයතනයකින් වියු යුත්තේ කුමක්ද?

විශ්වවිද්‍යාලයක විද්‍යාර්ථියෙක් පැමිණෙන්නේ වසර හතරක කාලයක් රංග කලාවේ විවිධ ඉසව් පිලිබඳව හැදෑරීමටයි. පාඨමාලා වලත් ඒත කිසියම් කාලයක සීමාවෙනවා. ඒ කාලය තුල මේ විෂය පිලිබඳව අත්දැකීමක් ඒ අයට ලබාදීම සහ මඟපෙන්වීම තමයි ගරුවරුන් විදියට අපේ යුතුකම. විශ්ව විද්‍යාලයකට ඇතුළත් වූ පමණින් හෝ එයින් ඉවත්වූ පමණින් ඔහු හෝ ඇය සාර්ථක නාට්‍යකරුවෙක් වෙනවා කියන අදහස මගේ නම් නැහැ. එහෙම බලාපොරොත්තුවෙන්නත් බෑ. ඒ අය ඒ තුළින් ගොඩනඟා ගන්නා දේවල් තුල සහ අත්පත් කරගන්නා දේවල් තුල තමයි ඒ ඒ පුද්ගලයන් නිර්මාණය වෙන්නේ. නමුත් පොදුවේ අපි සැමදෙනා තුළම උසස් රසවින්දනයක් ඇතිකිරීමට කටයුතු කරනවා. ඒකත් නාට්‍ය කලාවේ දියුණුවට ප්‍රධාන කාරණයක්. මොකද උසස් රසවින්දනයකින් යුතු ප්‍රේක්ෂකාගාරයක් තියෙනවා කියන්නේ පොදුවේ නාට්‍ය කරුවන් ලබන භාග්‍යයක්.