සහනදායී පිළිතුරක් නොලැබුණොත් නීතිමය පියවරකට යනවා:විමුක්ති ජයසුන්දර

chatrak_a_l

ලොව සුප්‍රකට කාන්ස් සිනමා උළෙල නියෝජනය කිරීමට වරම් ලද විමුක්ති ජයසුන්දරයන්ගේ චත්‍රක් සිනමා නිර්මාණය  ඉකුත් 24 වනදා දෙරණ රූපවාහිනී නාලිකාව ඔස්සේ නැරඹීට දේශිය සිනමා රසිකයින් අපේක්ෂා දල්වා බලා සිටියත් අවසන් මොහොතේ ඒ සිහිනය කඩව ගියේ  අවාසනාවන්ත ලෙසින්.

ඊට හේතුවූයේ චත්‍රක් සිනමා සිත්තම දෙරණ නාලිකාවේ විකාශනය කරන්නේ නම්  ලක්ෂ දෙකක බදු මුදලක් ගෙවන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයෙ විසින් නියෝග කර තිබීමයි.

chatrak_a_l

එම නියෝගය නිකුත් කළ අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා මාධ්‍ය වෙත සදහන් කර තිබුණේ විදේශීය සිනමා පටයක් ප්‍රදර්ශනය කිරීමේදී බලපැවැත්වෙන නීති රෙගුලාසි අනුව යමින් මෙම පියවර ගත් බවයි.

උණුසුම් වාද විවාද මැද ගලා ගිය එම සිදුවීම් අවසන චත්‍රක් සිනමා නිර්මාණය විකාශනය සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය පිළිබද බොස්ටන් ලංකා අපි කළ විමසීමකදී විමුක්ති ජයසුන්දරයන් සිය අදහස් පළ කළේ මෙලෙසින්.

Chathrak 3

“පසුගිය සතියේ අපි බලාපොරොත්තුවෙන් හිටියා මේ බදු මුදල ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමා හරහා යම්කිසි විදියක සහනයක් ලැබෙයි කියලා. මේ සම්බන්ධයෙන් සහනයක් ලබා දෙන ලෙස ඉල්ලා මම පෞද්ගලිකව එතුමාට ලිපියක් යොමු කළා .

මම දන්නවා දෙරණ ආයතනයත් ඉල්ලීමක් කළා මේ සිනමා කෘතිය විශේෂ අවස්ථාවක් ලෙස සළකා යම් සහනයක් ලබා දෙන ලෙස.

Chathrak 4Chathrak 2

ඔවුන් වාණිජ පරමාර්ථයෙන් නෙවයි මෙම සිනමා පටය ප්‍රදර්ශනය කිරීමට භාර ගත්තෙ. මෙය කලාත්මක සිනමා කෘති අතරට අයත් වන්නක්. ඒ වගේම මෙහි තිර රචනය සහ අධ්‍යක්ෂණය සිදු කළේ මා විසින්මයි. චන්න දේශප්‍රිය නැමති ශ්‍රී ලාංකිකයා තමයි මීට කැමරාකරණයෙන් දායක වුණේ.

නමුත් විකාශන දිනය වෙනතුරු අපිට එම සහනය ලැබුණෙ නැහැ. සාමාන්‍ය නීති සහ රෙගුලාසි අනුව විකාශන දිනයේ දහවල් 12ට කලින් ඒ මුදල ගෙවීම කරන්න ඕන. එනිසා අවසානයේ අපි තීරණය කළා මෙහි රූපවාහිනී විකාශනය නතර කිරීමට.

හෙට 27වන සදුදා දින වෙන විට අමාත්‍යංශය හරහා මේකට උත්තරයක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.  නමුත් සහනදායී ප්‍රතිචාරයක් නොලැබෙන්නේනම් පමණක් මා එය සළකන්නේ මට සහ මගේ සිනමා නිර්මාණයට වගේම සමස්ත ශ්‍රී ලාංකිකයන්ට කරන අසාධාරණයක් ලෙසයි.

එහෙම වුණොත් අපි එම අදාල පනත ප්‍රශ්න කරන ආකාරයේ යම් නීතිමය පියවරකට යන්න බලාපොරොත්තු වෙනවා.

ජාත්‍යන්තරයේ ඉහළ ඇගයීමකට ලත් මෙවැනි සිනමා කෘතියක් දේශීය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කිරීමට උත්සහ කළේ නැද්ද?

ඔබ දන්නවා ශ්‍රී ලාංකීය සිනමාපටයක් ලංකාවෙ පෙන්වනවනම් දිගු කාලීන පෝලිමක ඉන්න වෙනවා. ඒ වගේම ඒ සදහා දැරිය යුතු ප්‍රචාරක වියදමත් අතිවිශාලයි. මේ මොහොතේ එවැනි විශාල මුදලක් ආයෝජනය කිරීම සදහා සුදුසු තත්ත්වයක නෙවෙයි අපි ඉන්නෙ. එය අපහසු නිසයි අපි මෙම සිනමා පටය දෙරණ රූපවාහිනී නාලිකාව හරහා පෙන්වීමට සිතුවෙ.

නමුත් චත්‍රක් සිනමා සිත්තම කරලියට ප්‍රවිශ්ට වෙන්නෙ 2011 වසරෙදි?

ඔව් චත්‍රක් කාන්ස් සිනමා උළෙලේ ප්‍රදර්ශනය වුණේ ඒ කාල වකවානුවෙ. ඒ අනුව අපි කිහිප වතාවක්ම චත්‍රක් සිනමා ශාලාවල ප්‍රදර්ශනය කරවන්න උත්සහ කළා. මේ සිනමා පටයේ සිටින්නේ බොහොමයක් නවක එතරම් ප්‍රසිද්ධියට ලක් නොවූ නළු නිළියන්. එවැනි කාරණා හේතුකරගෙන ප්‍රදර්ශන මණ්ඩලයෙන් අනුමැතියක් ලැබුණෙ නැහැ.

සාකච්ඡා කළේ: නිරාශා පියවදනි

(Nirasha Piyawadani- nirashapiyawadani@gmail.com