ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රජයේ රැකියා….

ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ සුවිශේෂී හැකියාවන් සහිත හා ජයග්‍රහණ අත්කර ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා ව්‍යවස්ථාපිත ආයතනවල රැකියා අවස්ථා ලබා දීමට යෝග්‍ය ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එවැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙරටින් බිහි වී ඇතත්, ස්ථාවර රැකියා අවස්ථා නොමැතිකම හේතුවෙන් ඔවුන් අකාලයේ තම ක්‍රීඩා ජීවිතයෙන් සමුගන්නා ප්‍රවණතාවක් පවතින බව වාර්තා වනවා.

එම තත්ත්වය අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා රඳවා ගැනීම, උසස් කාර්ය සාධනයක් පවත්වා ගැනීම සහ ජාත්‍යන්තර තරගකාරීත්වය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඇති හැකියාව කෙරෙහි සෘණාත්මක බලපෑමක් එල්ල කර තිබෙනවා.

මේ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ත්‍රිවිධ හමුදාව තුළ ලබා දිය හැකි ස්ථිර රැකියා අවස්ථාවන් සංඛ්‍යාව ද ප්‍රමාණවත් මට්ටමක නොපවතින අතර, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතනවල පවතින ක්‍රීඩා ක්ෂේත්‍රයේ ස්ථිර රැකියා අවස්ථා සංඛ්‍යාව ද සීමිත බවයි හඳුනාගෙන ඇත්තේ.

එබැවින්, ජාතික ක්‍රීඩා පද්ධතිය තුළ ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රඳවා තබා ගැනීම සහ ජාත්‍යන්තර ජයග්‍රහණ සඳහා දිරි දීම අරමුණු කර ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දිගු කාලීන රැකියා සුරක්ෂිත භාවය සහතික කිරීමට හැකි වන පරිදි විනිවිද පෙනෙන, සාධාරණ හා කුසලතා මත පදනම් වූ තෝරා ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කෙරෙනු ඇති.

ඒ අනුව රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා ව්‍යවස්ථාපිත ආයතනවල රැකියා අවස්ථා ලබා දීමට යෝග්‍ය ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම පිණිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ශ්‍රි ලංකා රග්බි ක්‍රීඩාවේ අනාගතයට කුමක් සිදුවෙයිද ?

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන බවට චෝදනා එල්ල වන ගරු සභාපති පවිත්‍ර ෆර්නෑන්ඩු මහතාගේ හැසිරීම, ඔහුගේම විධායක සභාව තුළ දැඩි විවේචනයට සහ ආන්දෝලනයට ලක්ව ඇත.
විශේෂයෙන්, මෑත කාලයේදී ගන්නා ලද තීරණ, ක්‍රියාමාර්ග, ඒවායේ පවතින දුර්වලතා සහ විනිවිදභාවයෙන් තොර බව මෙම තත්ත්වයට ප්‍රධාන හේතු වී ඇත.
අප විසින් අවධාරණය කරනුයේ, මේ වන විට ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව සහ එහි පරිපාලනය, රට තුළ දැඩි අප්‍රසාදයට ලක්ව ඇති බවයි. පසුගිය කාලය තුළ ගන්නා ලද තීරණ සහ ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් උග්‍රවෙමින් පවතී.
අන්තර්-ක්‍රීඩා සමාජ පළමු පෙළ කණ්ඩායම් වසර පුරාවට විශාල කැපවීමක් සහ මූල්‍ය භාරයක් දරමින්, නිසි අනුග්‍රහයක් නොමැතිව, සියවසකට ආසන්න ඉතිහාසයක් ඇති මෙම ක්‍රීඩාව ඉදිරියට ගෙන යන්නේ බොහෝ අපහසුතා මධ්‍යයේය.
එහෙත්, කනගාටුවට කරුණ වන්නේ ශ්‍රී ලංකා රග්බි සංගමය විසින් රග්බි ක්‍රීඩාවේ උන්නතිය පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් නොදක්වීමයි. විශේෂයෙන්, පළමු පෙළ කණ්ඩායම් අතරින් සී.ආර්. & එෆ්.සී. (CR & FC) වැනි කණ්ඩායමකට පමණක් විශේෂ සැලකිල්ලක් දැක්වීම පිළිබඳව බරපතළ ගැටළු මතුවී ඇත.
එමෙන්ම, පරිපාලන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මධ්‍යගත කරමින්, අනෙකුත් පාර්ශ්වයන්ට අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොදීම සහ සභාපතිවරයාගේ අභිමතය පරිදි දැඩි පාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳවද විවේචන ඉදිරිපත් වී ඇත.
මෙම තත්ත්වය හේතුවෙන්, රග්බි ක්‍රීඩාව සම්බන්ධ සියලු පාර්ශ්වයන් අතර දැඩි අප්‍රසාදයක් සහ අවිශ්වාසයක් පවතින අතර, එය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට ශෝකාන්ත තත්ත්වයක් බවට පත්ව ඇත.
වත්මන් රග්බි ක්‍රීඩා පද්ධතිය තුළ ගැටළු රැසක් උද්ගත වී ඇති අතර, එය ක්‍රීඩාවේ ගුණාත්මකභාවය සහ අනාගතය පිළිබඳව දැඩි අවදානමක් ඇති කරයි. විශේෂයෙන්, විදේශීය ක්‍රීඩකයන්—විශේෂයෙන් ඩුබායි හරහා ෆීජී ක්‍රීඩකයන්—ගෙන් සමන්විත කණ්ඩායම් ගෙන්වා අන්තර්-ක්‍රීඩා සමාජ සත්-සාමාජික තරඟාවලියට එක් කිරීම පිළිබඳව බරපතළ විවේචන එල්ල වී ඇත.
මෙය මුදල් විශුද්ධිකරණයක්ද, නැත්නම් අල්ලස් මත කණ්ඩායම් විශේෂ ප්‍රතිලාභ ලබාදීමට සම්බන්ධ කූට ක්‍රියාමාර්ගයක්ද යන්න පිළිබඳව සැක මතුවී ඇති අතර, ඒවා පිළිබඳව සම්පූර්ණ පරීක්ෂණයක් අවශ්‍ය වේ.
එමෙන්ම, දේශීය ක්‍රීඩකයන්ට සාධාරණ අවස්ථා නොලැබීම සහ විදේශීය ක්‍රීඩකයන්ට විශේෂ පහසුකම් සැලසීම ක්‍රීඩාවේ සාධාරණත්වයට හා එහි ආත්මයට පටහැනි වේ.
තරඟවල සාධාරණත්වය පිළිබඳවද ගැටළු මතුවී ඇති අතර, ක්‍රීඩාවේ ස්වභාවයට නොගැලපෙන එකඟතා මත තරඟ පැවැත්වීම පිළිබඳවද සැක පවතී. එවැනි තත්ත්වයන් දිගටම පවතින පරිදි නම්, රග්බි ක්‍රීඩාවද ලංසු තැබීම් සහ අනීතික ක්‍රියාකාරකම්වලට ලක්වීමේ අවදානමක් පවතින බව පැහැදිලි වේ.
පසුගිය කාලයේ පාලන දෝෂ හේතුවෙන් ජාත්‍යන්තර මට්ටමේ ගැටළු මතුවූ අතර, වර්ල්ඩ් රග්බි වර්ගීකරණය සම්බන්ධයෙන්ද අවදානම් තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය. එපමණක් නොව, කළමනාකරණ දුර්වලතා හේතුවෙන් ජාත්‍යන්තර රග්බි ආයතනවලට දඩ මුදල් ගෙවීමටද සිදුවී ඇත.
තරඟාවලි සම්බන්ධයෙන්ද ගැටළු රැසක් මතුවී ඇති අතර, ප්‍රමුඛ ක්‍රීඩා සමාජ කිහිපයක් එයින් ඉවත් වීම මෙම තත්ත්වය තවදුරටත් බරපතළ කර ඇත. විශේෂයෙන්, හැව්ලොක් ක්‍රීඩා සමාජය ඉවත් වීම මෙම අර්බුදයේ ගැඹුර පැහැදිලි කරයි.
එමෙන්ම, යූඊඩීඑස් (UUDS) වැනි ආයතනවල සම්බන්ධතාවය, මූල්‍ය පසුබිම සහ ඒවාට ලැබෙන විශේෂ සැලකිල්ල පිළිබඳවද විවෘත සහ පාරදෘශ්‍ය විග්‍රහයක් අවශ්‍ය වේ.එසේ එක් කණ්ඩායමක් පමණක් මෙවැනි දේශීය ක්‍රීඩකයන්ට පමණක් සීමිත වූ තරගාවලියක් සඳහා සහභාගි කරගන්නා ලද්දේ කුමන පදනමක් මතද යන්න විවෘත විග්‍රහයක් අවශ්‍ය වේ!

මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයා සහ අදාළ බලධාරීන්ගේ අවධානයද මේ සම්බන්ධයෙන් යොමු වී ඇති අතර, ක්‍රීඩා සමාජ විසින් මේ පිළිබඳව කෝප් කමිටුවට සහ නීතිමය මාර්ග වෙත යොමු වීමටද සැලසුම් කර ඇත.
දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා සමාජ දිනෙන් දින දුර්වල වෙමින් පවතින අතර, කොළඹ කේන්ද්‍ර කරගත් සීමිත කණ්ඩායම් කිහිපයකට පමණක් අවධානය යොමු කරන වත්මන් පරිපාලනය ඉක්මනින් නිවැරදි මාර්ගයට යොමු විය යුතුය.
එය ඉතා ඉක්මනින් සිදුවනු ඇතැයි අප බලාපොරොත්තු වන අතර, එය සිදු වන තුරු අප දැඩි අවධානයෙන් මෙම තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටිමු…

ශ්‍රී ලංකා රග්බි – කාගේ අතටද මේ ක්‍රීඩාව ගිහින් තියෙන්නේ?

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව අද වන විට බරපතල ප්‍රශ්න රැසකට මුහුණ දෙමින් පවතින බව ක්‍රීඩා ලෝලීන්ට රහසක් නොවේ. රටේ රග්බි ක්‍රීඩාව සංවර්ධනය කිරීම වෙනුවට, සංගමයේ ඇතැම් තීරණ පෞද්ගලික වාසි සහ සමාජශාලා බලය වටා ගමන් කරන බවට දැඩි විවේචන එල්ල වෙමින් පවතී.

සංගමයේ සභාපති ලෙස කටයුතු කරන පවිත්‍ර ප්‍රනාන්දු මහතා විසින් ගනු ලබන ඇතැම් තීරණ ක්‍රීඩාවේ සමස්ත සංවර්ධනයට වඩා, සමාජ කණ්ඩායම් කිහිපයකට පමණක් වාසිදායක වන බවට ක්‍රීඩා ලෝකයේ බොහෝ දෙනා අදහස් පළ කරති.

විනිසුරුවන්ගේ කටයුතු, තරඟ සංවිධානය සහ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද බරපතල ප්‍රශ්න මතුවී තිබේ. රටේ ගම් මට්ටමේ සිට පළාත් මට්ටම දක්වා රග්බි ක්‍රීඩාව සංවර්ධනය කිරීම වෙනුවට, ජාත්‍යන්තරයේ පෞද්ගලික බලය හා තනතුරු සඳහා වැඩි අවධානය යොමු කර ඇති බවටද විවේචන පවතී.

විශේෂයෙන් කාන්තා රග්බි ක්‍රීඩාව සහ බී කාණ්ඩයේ ක්‍රීඩා සමාජ සංවර්ධනය අද වන විට සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බව බොහෝ දෙනා පෙන්වා දෙති. එය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අනාගතයට බරපතල අනතුරකි.

මේ අතර, මේ සතියේ පැවැත්වීමට නියමිත අන්තර් ක්‍රීඩා සමාජීය සත් සාමාජික රග්බි තරඟාවලිය සම්බන්ධයෙන්ද විවිධ සැක සහ ප්‍රශ්න මතුව තිබේ.

විදේශීය ක්‍රීඩකයන් ගෙන්වා ක්‍රීඩා කිරීම රග්බි ඉතිහාසයේ අලුත් දෙයක් නොවුවද, එය සාධාරණ හා පැහැදිලි ක්‍රමවේදයකට අනුව සිදුවිය යුතුය. නමුත් මෙම තරඟාවලියේදී අනෙකුත් කණ්ඩායම්වලට එම අවස්ථාව නොලැබී, එක් කණ්ඩායමකට පමණක් විදේශීය ක්‍රීඩකයන් සමඟ ක්‍රීඩා කිරීමට අවසර ලබාදීම පිළිබඳව බරපතල ප්‍රශ්න මතුවී ඇත.

එමෙන්ම එක්සත් අරාබි එමීර රාජ්‍යයෙන් පැමිණෙන UUDS කණ්ඩායම මෙම තරඟාවලියට සහභාගී වීම සහ ඔවුන් සමඟ විදේශීය ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ක්‍රීඩා කිරීම පිළිබඳවද ක්‍රීඩා ලෝලීන් අතර දැඩි සැකයන් පවතී.

අනිත් සියලු කණ්ඩායම්වලට විදේශීය ක්‍රීඩකයන් ඇතුළත් කිරීමට නොහැකි බව පවසන අතර, එක් කණ්ඩායමකට පමණක් එම අවස්ථාව ලබා දීමේ සාධාරණත්වය කුමක්ද?

ශ්‍රී ලංකා අන්තර් ක්‍රීඩා සමාජීය තරඟාවලියට විදේශීය කණ්ඩායමක් සහභාගී වීම සඳහා නීතිමය සහ පාලනමය පදනම කුමක්ද?

මෙවැනි තීරණ හේතුවෙන් අද වන විට ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව තව තවත් පසුබැසෙමින් පවතින බව බොහෝ දෙනා පවසති.

ගරු ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය මේ සම්බන්ධයෙන් කඩිනමින් යොමු විය යුතු කාලය මේයයි.

රග්බි ක්‍රීඩාව පුද්ගලයන්ගේ හෝ කණ්ඩායම් කිහිපයකගේ අයිතියක් නොවේ.

එය රටේ සියලු ක්‍රීඩකයින්ගේ, ක්‍රීඩා සමාජයන්ගේ සහ ක්‍රීඩා ලෝලීන්ගේ ක්‍රීඩාවකි.

එබැවින්, ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ පාරදෘශ්‍යතාව, සාධාරණත්වය සහ ක්‍රීඩාවේ සැබෑ සංවර්ධනය සඳහා නිසි පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

එමෙන්ම මෙම තරඟාවලිය සම්බන්ධයෙන් ක්‍රීඩා සමාජ කිහිපයක් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවටද තොරතුරු වාර්තා වෙමින් පවතී.

SLR-–-Tournament-Committee-Meeting-Minutes-5-March-2026-2

ශ්‍රී ලංකා පරාජය දැක සංගා තැබූ සුවිශේෂී ‘X’ සටහන….

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිර 8 වටයේ අද (22) පැවති එංගලන්තයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාව  ලකුණු 51කින් ලැබූ පරාජය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබුණි.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දැකගත හැකි වූයේ ඉතා දුර්වල ක්‍රීඩා විලාසයක් බවත් ඔහු පෙන්වා දී තිබේ.

කමිල් මිෂාරගේ ක්‍රිඩා විලාසය ද එතරම් උසස් මට්ටමක නොතිබූ බව ඔහු එම සටහනෙන් විශේෂයෙන් පෙන්වා දී ඇත.

ක්‍රීඩාංගණයේ තණතිල්ලේ ස්වභාවය සහ තරගයේ පවතින තත්ත්වය නිවැරදිව වටහා ගැනීමට පිතිකරුවන් අපොහොසත් වීමෙන් ශ්‍රී ලංකාවට මෙම පරාජයට මුහුණ දීමට සිදු වූ බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

ඔස්ට්‍රේලියාව T20 තරගාවලියෙන් ඉවතට….

වසර 17කට පසුව පළමු වතාවට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකින් පළමු වටයෙන්ම ඉවතට යාමට  ඔස්ට්‍රේලියාවට සිදුවිය.

ඒ අද (17) පල්ලෙකැලේ දී පැවත්වීමට නියමිතව තිබූ සිම්බාබ්වේ – අයර්ලන්තය අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමඟ තරගය අත්හැර දැමීමට කටයුතු කිරීම හේතුවෙනි.

ඒ අනුව, සිම්බාබ්වේ සහ අයර්ලන්තය කණ්ඩායම් දෙකකටම ප්‍රසාද ලකුණ බැගින් හිමිවිය.

එහිදී සිම්බාබ්වේ කණ්ඩායමට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ ගිය අතර අයර්ලන්තය කණ්ඩායමට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ ගියේය.

එක් තරගයක් පමණක් ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියාවට ප්‍රසාද ලකුණු 2ක් හිමිව ඇත.

B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු 6ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුනේ සිටියි.

වනිඳු වෙනුවට දුෂාන් හේමන්තට ICCයෙන් අනුමැතිය….

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත කණ්ඩායමට ඇතුළත් කිරීම සඳහා ICCයේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලබාදී ඇත.

දුෂාන් හේමන්ත මේ වනවිට එක්දින ජාත්‍යන්තර තරග 5ක් සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 3ක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙකි.

අයර්ලන්තය එරෙහිව පෙබරවාරි 8 වැනිදා පැවැති තරගයේදී පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් වනිඳු හසරංගට විස්සයි20 තරගාවලියෙන් ඉවත් කිරීමට සිදුවිය.

ඊයේ දිනයේදී MRI පරීක්ෂණයකට මුහුණ දුන් වනිඳු හසරංගගේ ආබාධ තත්ත්වය සුව නොවී ඇති බව තහවුරු වීම හේතුවෙන්, මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

ශ්‍රී ලංකාව සහභාගීවන මීළඟ තරගය එළැඹෙන 12 වැනිදා ඕමානය සමඟ පැවැත්වෙන අතර තරගය එය පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංණයේදී පැවැත්වීමට නියමිතයි.

එෂාන් වෙනුවට ප්‍රමෝද් T20 ලෝක කුසලාන සංචිතයට…..

ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග වෙනුවට ප්‍රමෝද් මධුෂාන් T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන තිබේ.

ඒ සඳහා ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවී තිබේ.

කළගුණ නොසැලකීම ගැන ෂම්මිගෙන් පාකිස්තානයට ලිපියක්…..

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩි අවධායනයක් දිනූ ඉන්දු – පාකිස්තානය තරගය වර්ජනය කිරීමට පාකිස්තානය ගත් තීරණය සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා සිය අප්‍රසාදය පළකර තිබේ.

ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ, පාකිස්තානය  මුහුණදුන් අභියෝගකාරී අවස්ථාවලදී අවදානම නොතකා ශ්‍රී ලංකා ක්‍රිකට් ලබාදුන් සහාය අමතක කර ඇති බවය.

මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාගේත් වැඩි අවධානයක් දිනා ගත් ඉන්දු – පාකිස්තාන තරගය පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් පාකිස්තාන රජය ඉකුත්දා නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළේ, ඉන්දියාව සමග පැවැත්වෙන එම තරගය පාකිස්තානය වර්ජනය කරන බවය.

පාකිස්තානය රජය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත යොමුකළ ලිපියෙන් සඳහන් කර ඇත්තේ, පෙබරවාරි  15වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් මෙන්ම ඉන්දීය සහ පාකිස්තාන ක්‍රීඩාලෝලීන්ද ඉහළ බලාපොරොත්තු තබා සිටි තරගයක් බවය.

එම තරගයට අවශ්‍ය සියලු වාණිජ මෙහෙයුම් සේවා සැපයුම් සහ ආරක්ෂාවට අදාළ විධිවිධාන සියල්ල සලසා අවසන් කොට තිබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පෙන්වා දෙයි.

විශේෂයෙන්ම ඉන්දු – පාකිස්තාන තරගය සඳහා වන ප්‍රවේශපත්‍ර සඳහා ඉහළ ඉල්ලුමක් පැවති බවත්, එම ප්‍රවේශපත්‍ර සීඝ්‍රෙයන් අලෙවි වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

ඉන්දු පාකිස්තාන තරගය සඳහා වෙනත් කිසිදු තරගයකට නොවූ විරූ ජනතා උද්යෝගයක් පැවතුනා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් මෙන්ම මෙරට ආර්ථිකයටද වාණිජයමය වශයෙන් මෙම තරගයෙන් විශාල රුකුලක් සිදුවන්නට ඉඩ තිබු බවද පෙන්වා දී ඇත.

මේ නිසා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර ඇති ඕනෑම තරගයක් අවලංගු වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැවැන්ත මූල්‍යමය පාඩුවක් ඇති කරනවා මෙන්ම මෙරටට අපේක්ෂිත සංචාරක ආගමනයට බලපෑමක් ඇති කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා එම ලිපියෙන් පවසයි.

පාකිස්තානය මුහුණදුන් අභියෝගකාරී අවස්ථාවලදී සහ සංවේදී අවස්ථාවලදී අවදානම නොතකා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම  කිහිපවතාවක්ම පාකිස්තානයේ සංචාරවල නිරත වූ බවද ෂම්මි සිල්වා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත යැවූ ලිපියෙන් සිහිපත් කර තිබේ.

වෙනස්කම් රැසක් සමඟ ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය නම් කරයි…..

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇත.

එංගලන්තය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට එක් නොවූ  කුසල් ජනිත් පෙරේරා සහ කමිඳු මෙන්ඩිස් මෙම සංචිතයට එක් කර තිබීමත් විශේෂත්වයකි.

එමෙන්ම ධනංජය ද සිල්වා කණ්ඩායමෙන් ඉවත් කිරීමට ද පියවර ගෙන තිබේ.

දසුන් ශානක, පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ සහ එෂාන් මාලිංග මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් වෙති.

ශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක්….

සංචාරක එංගලන්ත කණ්ඩායම හමුවේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන්ද කඩුලු 6ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (1) සිදුවිය.

ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාව තරගාවලි පරාජය භාරගත්තේය.

ශ්‍රී ලංකාව ලැබූ මෙම පරාජය සැලකෙන්නේ ඔවුන් එංගලන්තය හමුවේ අඛණ්ඩව ලැබූ 10වන විස්සයි20 තරග පරාජය ලෙසය.

ශ්‍රී ලංකාව වසර 12කින් එනම්, 2014 වසරේ සිට මේ දක්වා එංගලන්තයට එරෙහිව පැවති කිසිදු විස්සයි20 තරගයක් ජයගෙන නොමැත.

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 189ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව එංගලන්ත කණ්ඩායමට ලකුණු 190ක ඉලක්කයක් හිමිවිය.

කෙසේ නමුත් ඔවුන් පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් සිටියදී වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 17කදී ලකුණු 168ක ඉලක්කයක් ලබාදීමට තරග තීරකවරයා කටයුතු කළේය.

ඒ අනුව කඩුලු 4ක් දැවී තිබියදී අවසන් පන්දුවාරයේදී (16.4) පසුකර යෑමට එංගලන්තයට හැකිවිය.

එංගලන්තය වෙනුවෙන් ටොම් බෙන්ටන් පන්දු 33කින් ලකුණු 54ක් රැස්කළ අතර, නායක හැරී බෘෘක් පන්දු 12කින් ලකුණු 36ක් රැස්කළහ.

පෙර තරගයේ දී සාර්ථක පන්දු යැවීමක නිරත වූ මතීෂ අද තරගයේ දී කඩුලු 2ක් දවාගැනීමට සමත්වුවද, ඒ වෙනුවෙන් ඔහු පන්දුවාර 4 තුළදී ලකුණු 47ක් ලබාදුන්නේය.