ශ්රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම මලල ක්රීඩා තරුවක් වන හෙල්ල විසි කිරීමේ ක්රීඩක රුමේෂ් තරංග පතිරාජ හට ඔහුගේ ක්රීඩා කටයුතු තවදුරටත් සාර්ථක කර ගැනීම සඳහා රුපියල් මිලියන 10ක (රු. 10,000,000) මූල්ය අනුග්රහයක් පිරිනැමීම අද දින සිදු කෙරිණි.
තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව, ශ්රී ලංකා ක්රිකට් ආයතනය (SLC) මෙම මූල්ය අනුග්රහය ලබාදී ඇත. අද සන්ධ්යාවේ ශ්රී ලංකා ක්රිකට් මූලස්ථානයේදී මෙම චෙක්පත ප්රදානය කිරීම සිදු වූයේ ක්රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සහ විධායක කමිටුවේ අධීක්ෂණය යටතේය.
මෙම ප්රදානය පිළිබඳව අදහස් දක්වමින් ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා ප්රකාශ කළේ, මෑතකදී ජාත්යන්තර මට්ටමේ ඉහළ දක්ෂතා (මීටර් 89.37) පෙන්නුම් කළ රුමේෂ් තරංග වැනි දක්ෂ ක්රීඩකයින් හට ඔලිම්පික් පදක්කමක් දක්වා යන ගමනේදී අවශ්ය මූල්ය හා තාක්ෂණික සහාය ලබා දීම රජයේ මෙන්ම වගකිවයුතු ක්රීඩා සංවිධානවල ද වගකීමක් බවයි.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය ක්රිකට් ක්රීඩාවෙන් ඔබ්බට ගොස් මෙරට අනෙකුත් ක්රීඩාවන් නඟාසිටුවීම සඳහා දක්වන දායකත්වය අගය කළ අමාත්යවරයා, මෙරට ක්රීඩා ක්ෂේත්රය ජාත්යන්තරයේ ඉහළටම ඔසවා තැබීම සඳහා වූ අමාත්යාංශයේ “Mission Olympics” වැඩසටහනට ද මෙවැනි සහයෝගීතාවන් මහත් ශක්තියක් වන බව අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයින් සහ රුමේෂ් තරංග ඇතුළු පිරිසක් සහභාගී වූහ.

