එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 19ක ජයක්…..

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (22) පැවති තරගයෙන් ලකුණු 19ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 272ක ඉලක්කයට පිළිතුරු ලෙස එංගලන්තයට පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 252ක් පමණි.

එංගලන්ත ඉනිම ඔසවා තැබූ බෙන් ඩකට් (62) හා ජෝ රූට් (61) රැස්කළ අර්ධ ශතක රැස්කළහ.

අවසන් පන්දුවාර කිහිපයේ දී එංගලන්තයට බලාපොරොත්තුවක් රැගෙන ආ ජෙමී ඔවර්ටන් පන්දු 17කින් ලකුණු 34ක් රැස්කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජෙෆ්රි වැන්ඩර්සේ (2/39), දුනිත් වෙල්ලාලගේ (2/41) හා ප්‍රමෝද් මධුෂාන් (3/39) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ.

එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ එක්දින තරග සංචාරකට එක්ව ඇත්තේ වසර 7කට පමණ පසුවය.

අවසන්වරට ඔවුන් 2018 වසරේ දී මෙරට සංචාරයක නිරත වූ අතර, එහිදී තරග 5කින් යුත් තරගාවලිය තරග 3-1ක් ලෙස ජයගැනීමට ඔවුන් සමත් විය.

T20 ලෝක කුසලානය මෙරට ප්‍රදර්ශනය කිරීමේ සංචාරය නිල වශයෙන් ඇරඹේ…..

2026 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සම-සත්කාරකත්වය දරනු ලබන ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්‍රදර්ශනය කරමින්,  කරනු ලබන සංචාරය නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදව තිබේ.

අද සිට 24 දක්වා දින හතරක් දිවයිනේ ප්‍රධාන නගර කිහිපයකදී මෙය ප්‍රදර්ශනය කෙරෙන අතර, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා– එංගලන්ත එක්දින තරගය අතරතුරදී ක්‍රීඩා ලෝලීන්ට මෙම රන් කුසලානය සමීපව දැකබලා ගැනීමට අවස්ථාව හිමි වේ.

ඉන් අනතුරුව, මහනුවර, දඹුල්ල සහ යාපනය යන නගර කරා ද කුසලානය රැගෙන යාමට සැලසුම් කර ඇති අතර, එම ප්‍රදේශවල වෙසෙන ක්‍රීඩා ලෝලීන්ටද ලෝක කුසලානය සමඟ සමරු ඡායාරූප ලබා ගැනීමට සහ එය දැකබලා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

ලෝක කුසලාන තරගාවලියක් මෙරට පැවැත්වීමට පෙර ඒ සඳහා උද්‍යෝගය සහ ප්‍රේක්ෂක අවධානය ඉහළ නැංවීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වේ.

ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම-සත්කාරකත්වයෙන් පෙබරවාරි 07 වන දා සිට මාර්තු 08 වන දා දක්වා පැවැත්වීමට නියමිතය.

2012 වසරේ පවත් වන ලද පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන දැවැන්තම තරගාවලිය වන්නේ මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාල සටහන එළිදැක්වීම ඉකුත් 2025 වසරේ නොවැම්බර් 25 වන දා ඉන්දියාවේදී සිදු කෙරුණු අතර, එහිදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ශ්‍රී ලංකාවේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ ලෙස, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සහ කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණය තෝරා ගන්නා ලදී.

ඒ අනුව, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තරග 8ක්ද, කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ තරග 5ක්ද, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාගංණයේ තරග 7ක්ද වශයෙන් පැවැත්වීමට නියමිතය.

මෙවර තරගාවලිය සඳහා රටවල් 20ක් සහභාගි වීමට නියමිතය. මෙම තරගාවලියේ තරග 20ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත අතර, එහිදී පාකිස්තානු කණ්ඩායම සහභාගි වන සියලුම තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇත.

එසේම, අවසන් පූර්ව සහ අවසන් මහා තරග සඳහා සහභාගි වීමට පාකිස්තානු කණ්ඩායම වරම් ලදහොත් එම තරග දෙකේ සත්කාරකත්වයද ශ්‍රී ලංකාව විසින් දරනු ලැබීමද විශේෂත්වයකි. එසේ වුවහොත් අවසන් මහා තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, එවිට ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත තරග සංඛ්‍යාව 22 දක්වා ඉහළ යනු ඇත.

සත්කාරක රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හැරුණු කොට එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්තානය යන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් මෙවර තරගාවලිය නියෝජනය කරන අතර,
ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඉතාලිය, නෙදර්ලන්තය, නැමීබියාව, නේපාලය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයද මෙවර තරගාවලියට දායකත්වය දක්වන සෙසු රටවල් වේ.

2026 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, රටේ ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට, ක්‍රීඩා සංවර්ධනයට, ජාත්‍යන්තර වශයෙන් ප්‍රචාරණයට සහ සමාජය  පිළිබඳ ඵලදායී වටිනාකමක් ලබා දීමට හැකි වන විශිෂ්ට අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

වි‌ශේෂයෙන්, විදේශීය සංචාරකයින් ඇතුළු කණ්ඩායම්, මාධ්‍ය කණ්ඩායම් සහ දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් විශාල විදේශ විනිමය ආදායමක් රටට හිමිවනු ඇත. එසේම හෝටල් සහ ආහාර-පාන ව්‍යාපාර, ප්‍රවාහන සේවා, තාක්ෂණික සහ වැඩබලන සේවා ඇතුළු විවිධ ක්ෂේත්‍රවල කෙටි සහ දිගු කාලීන රැකියා අවස්ථා උදා වනු ඇති බව අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ලෝකය හඳුනා ගැනීමත් සමඟ එමඟින් නව ආයෝජන අවස්ථා හිමි වීම මෙන්ම ශ්‍රී ලංකාව වසරේ සෑම මාසයකදීම ක්‍රීඩා සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස හඳුනා ගැනීමත්, ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ප්‍රචලිත වීම වැනි දිගුකාලීන ප්‍රතිලාභ මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය ලබා දීම මගින් හිමි වනු ඇත.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ශ්‍රී ලංකාවට දැනුම්දීමක්…..

එළැඹෙන අප්‍රේල් මස අවසානය වන විට වාර්ෂික මහා සභා රැස්වීම පවත්වන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) විසින් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවට (NOC) උපදෙස් දී තිබේ.

ඔවුන් වැඩිදුරටත් දන්වා ඇත්තේ ඒ වනවිට වෝහාරික විගණනය අවසන් කර ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවය.

ශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක්…..

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහි පළමු විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් කඩුලු 6ක පරාජයක් භාරගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට අද (7) සිදුවිය.

ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස පාකිස්තානය තරගාවලියේ පෙරමුණ ගත්තේය.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 129ක පහසු ඉලක්කය කඩුලු 4ක් දැවී තිබියදී තරගයේ 17( 16.4)වන පන්දුවාරයේදී පසුකර යෑමට පාකිස්තානය සමත් විය.

විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සහිබ්සදා ෆර්හාන් පන්දු 36කට මුහුණදෙමින් ලකුණු 51ක් රැස්කර පාකිස්තානු ජය පහසු කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග හා ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් දවාගත්හ.

ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ….

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කර ඇති බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.

එමෙන්ම එම තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ඉන්දික ද සේරම්, තරංග පරණ විතාන, විනෝතන් ජෝන් සහ රසාංජලි ද අල්විස් යන මහත්ම මහත්මීන් පත් කර ඇත.

1973 අංක 25 දරන ක්‍රීඩා නීතියේ 39 -1 වගන්තිය ප්‍රකාරව සහ 2437/24 2025 මැයි 21 අති විශේෂ ගැසට් පත්‍රය අනුව මෙම පත් කිරීම සිදුකර ඇති බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු පවරයි…

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු වන චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව යළි නඩු පවරා තිබේ.

ඒ, ස්විට්සර්ලන්තයේ අන්තර්ජාතික ක්‍රීඩා බේරුම්කරන අධිකරණයේදීය.

සිය කොන්ත්‍රාත් කාලය අවසන් වීමට පෙර කොන්ත්‍රාත්තුව අවසන් කිරීම හේතුවෙන් තමන්ට සිදුවූ අපහාසය සහ මුල්‍යමය පාඩුව වෙනුවෙන් වන්දි ඉල්ලා මීට පෙර ද ඔහු එම අධිකරණයේ නඩුවක් ගොනුකළේය.

එම නඩුව හරහා හතුරුසිංහ සිය ආදායම් අහිමි වීම, සාධාරණ අවස්ථාව අහිමි වීම සහ කීර්ති නාමයට හානි කිරීම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට චෝදනා කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 5ක වන්දියක් ඉල්ලා සිටියේය.

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා රුමේෂ් තරංග….

ඉන්දියාවේ රාංචි හි පැවති 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලාංකික හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග දක්ෂතම පිරිමි ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබ තිබේ.

ඊයේ  (26) පැවති පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කීමට රුමේෂ් තරංග සමත් විය.

ඔහු ඉසව්ව ජයග්‍රහණය කළේ මීටර් 84.29ක දුරක් හෙල්ල විසිකරමින්ය.

3 වන ආසියානු යොවුන් ක්‍රීඩා උලළේදී ශ්‍රී ලංකාට පදක්කම් රැසක් – චමෝද්ට රන් පදක්කමක්…

බහරේන් හිදී පැවැත්වෙන තුන්වන ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළේදී අද පැවැති මලල ක්‍රීඩා ඉසව් කිහිපයකින් ශ්‍රී ලංකාවට පදක්කම් කිහිපයක් දිනා ගැනීමට සමත්වූහ.

චමෝද් යෝධසිංහට රන් පදක්කමක්

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට චමෝද් යෝධසිංහ සමත් වුණි.

ඒ මිනිත්තු 10.30කින් තරගය අවසන් කරමිනි.

චතුර දුලාංජනගෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

බහරේනයේ පැවැති 3 වන ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළේදී පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

ඒ චතුර දුලාංජන විසින් මීටර් 62.51 ක දුරක් වාර්තා කරමිනි.

ශානුක කොස්තාගෙන් ලෝකඩ පදක්කමක්

බහරේනයේ පැවති 2025 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වෙන් තත්පර 47.72 ක කාලයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ ශානුක කොස්තා ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

යෙවාන් ඩේවිඩ්ට ඉතිහාසගත ජයක්….

ශ්‍රී ලංකා යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ් යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ රුකී ශූරතාව දිනා ගැනීමට සමත් වී තිබේ.

ඒ මෙම තරගාවලියේ ඉතාලියේ මොන්සා හි පැවැති 8 වැනි අදියරේ දෙවන තරගයේ දෙවන ස්ථානය දිනා ගනිමින්ය.

යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියක රුකී ශූරතාව දිනූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ යෙවාන් ඩේවිඩ් ය.

පාකිස්තාන ප්‍රහාරයකින් ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයින් 3ක් මරුට….

පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ක්‍රිකට් ආයතනය පවසයි.

පක්ටිකා පළාතට එල්ල වූ ප්‍රහාරයකින් මෙම ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් තිදෙනා මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කබීර්, සිබ්ගතුල්ලා සහ හරූන් නම් ක්‍රිකට් ක්‍රීඩකයන්ය.

ඔවුන් ක්‍රිකට් තරගයකට සහභාගී වී පක්ටිකා වෙත ගොස් යළි නිවසට පැමිණි අතරතුර මෙම ප්‍රහාරයට මුහුණ දී ඇත.

ඒ අනුව මෙම ප්‍රහාරයෙන් මියගිය අයට ගෞරව දැක්වීමක් ලෙස ශ්‍රී ලංකාව හා පාකිස්තානය සමගින් නොවැම්බර් මස පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වන බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය පවසයි.

මෙම ප්‍රහාරයෙන් එරට සිවිල් වැසියන් 5 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇත.