හිටපු මන්ත්‍රී රාජිතට රාජිතට ඇප හිමිවෙයි….

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවටත් නියෝග කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.

බාහිර මැදිහත්වීම් ප්‍රතික්ෂේප කරනවා – ඇමති විජිත ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී කියයි…..

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද (08) පස්වරුවේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසි වාරය අමතන ලදී.

එහිදී අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කර සිටියේ, එල්ටීටීඊ සංවිධානය සමඟ පැවති යුද ගැටුම්වල දී සිදුවූ බවට කියැවෙන මානව හිමිකම් උල්ලංගණයන් විමර්ශනය කිරීම සඳහා යෝජිත කවරාකාරයේ හෝ බාහිර මැදිහත්වීමක් හෝ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බවය.

තවද, මෙම සැසිවාරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්තාවට ප්‍රතිචාර දක්වමින්, රජය වෙනුවෙන් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ ශ්‍රී ලංකාව වගවීමේ ක්‍රියාවලියට කැපවී සිටින්නේ දේශීය යාන්ත්‍රණයක් හරහා පමණක් බවය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අද ආරම්භ විය.

සැසිවාරය සඳහා ඉදිරිපත් කෙරුණු මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාවෙන් මෙරට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබාදී නොමැති බවට සඳහන් කර ඇත.

අද සිට ඔක්තෝබර් 8 වනදා දක්වා පැවැත්වෙන සමුළුව සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා එරටට ගොස් සිටියි.

සැසිවාරය අතරතුර ඒ ඒ රටවල, තරුණයින්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම, ප්‍රචණ්ඩත්වය පිටුදැකීම, ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් ආදි මාතෘකා යටතේ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එසේම මියන්මාරය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, සුඩානය‍, පලස්තීනය, සිරියාව ආදි රටවල මානව හිමිකම් තත්ත්වයන් පිළිබඳ වාර්තා සහ වාචික යාවත්කාලීන කිරීම් ඉදිරිපත් කිරීමට නියමිතය.

මානව හිමිකම් සැසිවාරය සඳහා ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණි.

එම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා රජය හමුදාවේ හා අනෙකුත් ආරක්ෂක අංශවල බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිගැනීමට වසර ගණනාවක් පුරා අසමත්ව ඇති බවය.

එමෙන්ම යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයට කටයුතු කිරීමට බලය හිමි වන රෝම ප්‍රඥප්තියට අත්සන් තැබීමටද මෙමගින් නිර්දේශ කර තිබේ.

කෙසේවෙතත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාවට ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ප්‍රතිචාර දක්වා තිබුණි.

එමගින් ශ්‍රී ලංකා දූත මණ්ඩලය පෙන්වා දී ඇත්තේ අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමට පදනම් වූ මානව හිමිකම් මණ්ඩලය සම්මත කළ 57/1 දරන යෝජනාව ශ්‍රී ලංකාව පිළිගෙන නොමැති බවය.

ඒ යටතේ ක්‍රියාත්මක වන වගවීම් ව්‍යාපෘතියට ශ්‍රී ලංකාව අඛණ්ඩව විරුද්ධත්වය පළකරන බවත්, දේශීය සංහිඳියා ක්‍රියාවලියට එවැනි බාහිර ව්‍යාපෘතීන් අගතිදායක වන බවත් එමගින් පෙන්වා දී ඇත.

සංචාරය අතරතුර විජිත හේරත් අමාත්‍යවරයා ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

නිමල් ලාන්සාට ඇප…..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා ඇප මත මුදා හැර තිබේ.

2006 වසරේ සිදුවූ සිදුවීමක් සම්බන්ධව කොච්චිඩේ පොලීසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ මහතා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

ඒ අනුව අද (07) දිනයේදී මීගමුව මහාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇප මත මුදා හැර තිබේ.

සජබ ඇතුළු විපක්ෂයේ බලවේග සමග එකට වැඩ කිරීමට එජාපයේ තීරණයක්…..

මූලික සාකච්ඡාවලදී එකඟතාවයට පැමිණි ආකාරයට සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කරගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

ඒ සඳහා සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ සමග කටයුතු කිරීම සඳහා කමිටුවක් හෝ ඒ හා සමාන යාන්ත්‍රණයක් මගින් ක්‍රියා කිරීමටද එක්සත් ජාතික පක්ෂය මෙහිදී අදහස් කර ඇත.

සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමඟ පොදු කාරණාවලදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් පසුගිය කාලය මුළුල්ලේම එක්සත් ජාතික පක්ෂය විරුද්ධ පක්ෂ සමග සාකච්ඡා කරනු ලැබිය.

එම සාකච්ඡාවලදී එකඟත්වයට පැමිණි කරුණු අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

මේ අනුව සමගි ජන බලවේගය සමඟ විවෘතව වැඩ කිරීමට තීරණය කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට දින නියම වෙයි…

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් පෙබරවාරි මස 12 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

මෙම පෙත්සම් අද (08) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුගේ සමන්විත ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම් පෙබරවාරි මස 12 වනදා විභාගයට ගන්නා බවය.

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව විසින් පෙත්සම් 09ක් ඉදිරිපත් කර තිබුණි.

පියල් මනම්පේරිගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර….

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගනු ලැබූ පියල් මනම්පේරිගෙන් රඳවාගෙන ප්‍රශ්නකිරීමට අධිකරණය අද (7) අවසර ලබා දී තිබේ.

ඔහු වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට අද පෙරවරුවේ ඉදිරිපත් කළ අතර, එහිදී දින 7ක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට මෙලෙස අවසර ලබා දී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභිකයෙකු වන මනම්පේරී මහතා ඊයේ (6) අත්අඩංගුවට ගනු ලැබීය.

බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පෙරේදා (05) සිදුකළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයාගනු ලැබීය.

සියඹලාණ්ඩුව රිවිදනවි සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ඇරඹේ…

වසර 2030 වන විට මෙරට ජාතික විදුලිබල අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ප්‍රධාන පියවරක් ලෙස මෙරට ඉදි කෙරෙන විශාලතම  පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය වන සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

මෙගාවොට් 100ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 140කි.

මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කොටියාගල ග්‍රාම නිලධාරී බල ප්‍රදේශයේ අක්කර 500 ක පමණ විශාල භූමි ප්‍රදේශයක ඉදි කිරීම කෙරෙන මෙම ව්‍යාපෘතිය සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් ව්‍යාපෘති භූමිය, ප්‍රවේශ මාර්ගය සහ ආදාළ සියලු අනුමැතීන් සහිතව ව්‍යාපෘති ආයෝජක වෙත ලබාදුන් පළමු ව්‍යාපෘතිය වේ.

මෙරට වාර්ෂික විදුලිබල පරිභෝජනය ගිගාවොට්පැය 15,000- 16,000ක අතර ප්‍රමාණයක් වන අතර මෙම ව්‍යාපෘතිය මගින් ගිගාවොට්පැය 219ක් වාර්ෂිකව ජාතික පද්ධතියට එක් වේ.

ඒ හේතුවෙන් විදුලි නිෂ්පාදනය සඳහා ඩීසල් ආනයනය වෙනුවෙන් දැරීමට සිදුවන  රුපියල් බිලියන 21ක විදේශ විනිමයක් වාර්ෂිකව රටට ඉතිරි කර ගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව එක අක්කරයකින් දළ වශයෙන් රුපියල් මිලියන 41ක විදේශ විනිමයක් රටට ඉතිරි වනු ඇත.

මෙරට තිරසර සංවර්ධනයේ සහ සුනිත්‍ය බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සලකුණක් වන රිවිදනවි ව්‍යාපෘතිය හේතුවෙන්,  වායුගෝලයට විමෝචනය වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වසරකට මෙට්‍රික් ටොන් 150,000ක් පමණ අඩුවේ යැයි අපේක්ෂිතය.

මෙම ව්‍යාපෘතිය මෙගාවොට් පැය 12ක බැටරි ගබඩා පහසුකම්ද සහිත වීම නිසා ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාමේදී විශාල සහයක් වනු ඇතැයිද සැලකේ.

මෙම සූර්ය බලශක්ති උද්‍යානයට අමතරව ජනනය කෙරෙන විදුලිය, ජනන  පද්ධතියක් වෙත සම්බන්ධ කිරීම සඳහා කිලෝමීටර් 27ක දිගින් යුත් 132 kv නව සම්ප්‍රේෂණ පද්ධතියක්ද ඉදි කෙරෙන අතර ආයෝජකයා විසින්  සම්ප්‍රේෂණ පද්ධතියක් ඉදි කරනු ලබන මෙරට පලමු බලශක්ති ව්‍යාපෘතියද මෙය වේ. එසේම මොනරාගල ප්‍රදේශයේ ඉදි කෙරෙන 132 kv නව ග්‍රිඩ් උපපොළක් ද මීට ඇතුළත්ය.

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ඉදිකිරීම්වලින් සමන්විත මෙම ව්‍යාපෘතිය ලක්දනවි සමාගම සහ වින්ඩ් ෆෝස් (WindForce PLC)  සමාගම ඒකාබද්ධව පිහිටුවන ලද “රිවි දනව්” පුද්ගලික සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර මෙරට බලශක්ති ස්වාධීනත්වය සහ සුරක්ෂිතතාව ඇති කරමින් ව්‍යාපෘතියේ කටයුතු 2027 පළමු කාර්තුවේදී අවසන් කිරීමට නියමිතය.

එමෙන්ම මෙම ව්‍යාපෘතියට සමගාමීව පළාතේ  යටිතල පහසුකම් සංවර්ධනය, නව රැකියා අවස්ථා උදා කිරීම සහ සමාජ සුබසාධන ව්‍යාපෘති රැසක් සැලසුම් කර තිබේ. ඒ අතර උසස් පෙළ සිසුන් සඳහා රිවි නැණ ශිෂ්‍යත්ව වැඩසටහන, කොටියාගල අක්කර සීය සහ කම්මල්යාය ජල ගැටලුව හේතුවෙන් පීඩා විඳින නිවාස එකසිය තිස්පහක් පමණ ආවරණය වන පරිදි ජල පහසුකම් සැපයීමට අදාළ ව්‍යාපෘතිය,  මුත්තාවල වැව ( මුත්තකණ්ඩිය වැව) ප්‍රතිසංස්කරණය කිරීම, ඇතිමලේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියෙහි ක්‍රියාත්මක කර්මාන්ත ශාලා විදුලි කාර්මික තාක්ෂණ ශිල්පී පාඨමාලාව NVQ Level 4 දක්වා ඉහළ දැමීමට අදාළ පහසුකම් සැපයීම ඇතුළු වැඩසටහන් රැසක් ඊට අයත්ය.

මෙම උත්සව සභාව ඇමතූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ නව පරිවර්තනයක් සිදු කරන ව්‍යාපෘතියක් බවයි.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය ආයෝජකයන් දිරි ගන්වමින් ඔවුන්ට සහාය ලබා දීමේ රජයේ ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ඔප්පු කළ අවස්ථාවක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙරට බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය අනුව යමින්, ආයෝජකයන්ගේ සහාය සහ අත්දැකීම් සමඟ මෙම ව්‍යාපෘතිය සාර්ථකව ඉදිරියට ගෙන යාම අරමුණ බව සඳහන් කළ අමාත්‍ය කුමාර ජයකොඩි මහතා වත්මන් රජය කියන දේ, ක්‍රියාවෙන් ඔප්පු කරන රජයක් බවත්,  මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය සහ සුරක්ෂිතතාව වෙනුවෙන් කැපවී සිටින බවත් අවධාරණය කළේය.

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර මහතාද මෙහිදී අදහස් දැක්වු අතර අපේ රටට බලශක්ති ස්වාධීනත්වය ලබාගත හැකි ප්‍රභවයන් අප රට සතුව අවශ්‍ය තරම් පවතින බවත්,  එම සම්පත් උපරිමයෙන් භාවිතයට ගනිමින් බලශක්ති ස්වාධීනත්වය ඇති කර ගතහොක් බලශක්ති සුරක්ෂිතතාව ඇති රටක් නිර්මාණය වන බවත් පෙන්වා දුන්නේය.

දැනට පවතින ක්‍රමවේදය අනුව මෙවැනි ව්‍යාපෘතියක් වෙනුවෙන් ආයතන 12කින් පමණ අනුමැතිය ලබා ගැනීමට සිදුවන බවත් පසුගිය මාස 6-9ක කාලය තුළ එම කටයුතු කඩිනම් කර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලය ඇතුලු රාජ්‍ය ආයතන විශාල සහයෝගයක් දැක්වූ බවත් පැවසූ ඒ මහතා, ආයෝජකයන් වෙනුවෙන් එක් වහළක් තුළ මෙම කටයුතු වේගවත්ව සිදු කර ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් වෙනුවෙන් රජය සමඟ එක්ව කටයුතු කිරීමටත්, යෝජනා ලබා දීමටත් සූදානම් බව පැවසීය.

ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ යන මහත්වරු ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝද, මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරිහුද, විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරිහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අගමැතිනිය සහ ඉතාලියේ නියෝජ්‍ය මහලේකම් අතර හමුවක්…..

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතාව පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් Maria Tripodi මහත්මිය අතර හමුවක් සැප්තැම්බර් 4 වැනි දින අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.

දේශපාලන උපදේශන සඳහා අවස්ථාවැඩි කිරීම, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව පුළුල් කිරීම, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ සංස්කෘතික හා අධ්‍යාපනික හුවමාරු ශක්තිමත් කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය. ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම, මහජන විශ්වාසය තහවුරු කිරීම සහ දූෂණයෙන් තොර ස්ථාවර ජාතියක් ඉදිරියට ගෙන යාම සඳහා වන වත්මන් රජයේ වැඩපිළිවෙල පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළා ය. යුරෝපා සංගමය සමඟ පවතින සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමේ වැදගත්කම පිළිබඳ සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, ඉතාලිය සමඟ පවතින දිගුකාලීන මිත්‍රත්වය අගය කරමින් ජාත්‍යන්තර සංසදවලදී ශ්‍රී ලංකාවේ සහයෝගය ලබා දීම පිලිබඳවද අදහස් දැක්වීය. Tripodi මහත්මිය ද ශ්‍රී ලංකාවේ මෑත කාලීන ප්‍රගතිය පැසසුමට ලක් කළ අතර, වත්මන් වැඩපිලිවෙල සඳහා ඉතාලියේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවද සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති Damiano Francovig ඇතුළු ඉතාලි රජය නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශයේ යුරෝපය සහ උතුරු අමෙරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න එම අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ, ඉසුරිකා කරුණාරත්න යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී විය.

ජාතික සමාජ සංවර්ධන ආයතනය ජාතික විශ්ව විද්‍යාලයක් හා අනුබද්ධ කිරීමේ ව්‍යාපෘති යෝජනාව ඇමති අතට…..

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ පාඨමාලා මෙරට ජාතික මට්ටමේ විශ්ව විදදක්වා උසස් කිරීමේ ව්‍යාපෘති යෝජනාවක් මෙම මස පළමුවෙනිදා අමාත්‍යංශයේ පැවති ප‍්‍රගති සාමලෝචන රැස්විමේදී ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පේ‍්‍රමකුමාර් ද සිල්වා විසින් ග‍්‍රාමසංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප‍්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ වෙත භාරදෙන ලදී.

2025 මාර්තු 17 වන දින කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයකට අනුව, අමාත්‍යවරයා විසින් ජාතික සමාජ සංවර්ධන ආයතනයේ පාලක සභාව වෙත ලබාදුන් උපදෙස් මත පත්කළ තාක්ෂණික කමිටුවක් විසින් මෙම ව්‍යාපෘති යෝජනාව සකස්කර ඇත.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුව ක‍්‍රියාත්මක සංවර්ධන කටයුතු හරහා උත්පාදනය වන ඉල්ලූමට සරිලන සමාජ සංවර්ධන ක්ෂේත‍්‍රයේ වෘත්තිකයන් පුහුණු කිරීම අරමුණු කරගෙන ආයතනයේ පාඨමාලා විශ්ව විද්‍යාල මට්ටමේ ගුණාත්මක උපාධි බවට පත් කිරීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇත.

සමාජ වැඩ ස`දහා වන ලංකා ආයතනය ලෙස 1952 වසරේදී ආරම්භ කර ඇති ජාතික සමාජ සංවර්ධන ආයතනය මේ වනවිට සමාජ සංවර්ධන විශයට අදාලව පස්චාත් උපාධි පාඨමාලා, උපාධිපාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා සහ සහතික පත‍්‍ර පාඨමාලා පවත්වාගෙන යනු ලබයි. එයට අමතරව, පුහුණු වැඩසටහන් පවත්වාගනිමින් සමාජ සංවර්ධන ප‍්‍රතිපත්ති සම්පාදනය හා සමාජ සමීක්ෂණ කටයුතුද සිදුකරනු ලබයි. සී¥ව ලියනෙගෙමුල්ල මූලස්ථානය පිහිටා අති අතර තලාව අම්පාර හා කිිලිනොච්චි නගරවල මධ්‍යස්ථාන තුනක් පවත්වාගෙන යනු ලැබේ.

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පේ‍්‍රමකුමාර් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් තාක්ෂණික කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස අමාත්‍යංශ අතිරේක ලේකම් රාධා නානායක්කාර මහත්මිය, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ.ජී.දයාරත්න මහතා, ජාතික සමාජ සංවර්ධන ආයතන පාලක සභාවේ සාමාජික මහාචාර්ය ධම්මික බණ්ඩාර හේරත් මහතා, ජාතික සමාජ සංවර්ධන ආයතන පාලක සභාවේ සාමාජික ආචාර්ය දර්ශන සමරවීර මහතා, ජාතික සමාජ සංවර්ධන ආයතන පාලක සභාවේ සාමාජික ශාමිනී අත්තනායක මහත්මිය, ජාතික සමාජ සංවර්ධන ආයතන අධ්‍යන කටයුතු මණ්ඩලයේ සාමාජික මහාචාර්ය ධනපාල විජේසිංහ මහතා, ජාතික සමාජ සංවර්ධන ආයතන පාලක සභාවේ සාමාජික ආචාර්ය දුෂ්මන්ති සිල්වා මහත්මිය, ඇතුලූ නවදෙනෙකු කටයුතු කරන ලදී.

තේ කර්මාන්ත ශාලාවක් තුළ කලහකාරි ලෙස හැසිරුණු බව පවසන නඩුවට හිටපු අමාත්‍ය ජීවන්ට සහ ආධාරකරුවන් අද අධිකරණයට .

කැලණි වැලි වැවිලි සමාගමට අයත් පීඩෘ තේ කර්මාන්ත ශාලාවට බලහත්කාරයෙන් ඇතුලු වී කලහාකාරී ලෙස හැසිරීම සම්බන්ධව නඩුව අද (04) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අතර  හිටපු අමාත්‍ය ජීවන් තොන්ඩමන් ඇතුළු සිද්ධියට සම්බන්ධ ආධාරකරුවන් නුවරඑළි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වූ අතර නැවත 2026.01.26 නඩුව කැඳවීමට නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාංගනී මෙනවිය නියෝග කළාය.

එලෙස නියෝග කර ඇත්තේ අදාල සිදුවීම සම්බන්ධ සීසිටීවී දර්ශන මේ වන විට රජය රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර ඇතිි බැවින් එහි වාර්තාව ලබා ගැනීමෙන් අනතුරුව සිද්ධියේ වැරදිකරුවන් අදුනානාගැනීමට ඇති අවශ්‍යතාව මතය ,

පසුගිය 2024 වර්ෂයේ මැයි මස 30 වන දින එවකට ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් කැබිනට් අමාත්‍ය වශයෙන් කටයුතු කල ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා වත්මන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී  ජීවන් කුමාරවෙල් තොණ්ඩමන් මහතා ඇතුළු ආධාරකරුවන් පිරිසක් නුවරඑළිය කැලණි වැලි වතු සමාගමට අයත් පීඩුරු තේ කම්හල තුළට බලහත්කාරයෙන් ඇතුළු වී එහි නිලධාරි මණ්ඩලය කාර්යාල අඩස්සියේ තබා ගනිමින් කලහකාරී ලෙස හැසිරුනු බව පවසා වතු අධිකාරිය මගින් ගොනු කළ නඩුවට අනුව මෙම තීන්දු ලබාා දී ඇත ,

එහි ප්‍රධාන සැකකරුවන් වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් කුමාරවේල් තොන්ඩමන් , උප සභාපති පළනි ශක්තිවේල් , නුවරඑළියෙ ප්‍රාදේශීය සභාවේ ත්මන් සභාපති වේලු යෝගරාජ් , නුවරඑළිය මහ නගර සභාවේ වත්මන් නියෝජ්‍ය නගරාධිපති සිවන් ජෝති යෝගරාජා  ඇතුළු සැකකරුවන් දහ දෙනෙකුගේ නම් අධිකරණය වෙත මෙයට පෙර නඩු වාරවලදී ඉදිරිපත් කර ඇත ,

අධිකරණ කටයුතු අවසන් කර අධිකරණයෙන් පිටතට පැමිණි හිටපු අමාත්‍ය ජීවන් පෙන්නමන් මහතා කියා සිටියේ අපි දූෂණ වංචාවලට සම්බන්ධය වෙච්ච කට්ටිය නෙමෙයි වතු අධිකාරිය මගින් මහජනතාවට ලබාදෙන පීඩනය පිළිබඳව කතා කළාට තමයි අපිට මේ නඩු පවරලා තියෙන්නේ ,

මාධ්‍ය අපේ පිටිපස්සෙන් එන්නේ නැතුව ජනාධිපතිවරයා කියලා තියෙනවා වතුකම්කරුවන්ගේ පඩිය 2038 කින් වැඩි කරනවා කියලා ඒ ගැන ජනාධිපතිගෙන් ප්‍රශ්න කරානම් අහිංසක තේකම් කරුවන්ට සහනයක් වෙයි .

උක්ත නඩුව සඳහා ජීවන් තොන්ඩමන් මහතාගේ පාර්ශවය නියෝජනය කරමින් පෙරුමාල් රාජදුරෙයි ඇතුලු නීතීඥ කන්ඩායමක් ඉදිරිපත් වූ අතර වැවිලි සමාගම නියෝජනය කරමින් පාලිත සුභසිංහ සහ සුරේෂ් ගයාන් යන නීතීඥවරුන් ඉදිරිපත් විය .

නුවරඑළිය – ආර්.එෆ්.එම්.සුහෙල්