චීන තානාපති – මෛත්‍රී අතර හමුවක්….

මෙරට චීන තානාපතිවරයා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.

පසුගියදා මෙම හමුව සිදුව තිබුණේ හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදීය.

එහිදී වත්මන් දේශපාලන තත්ත්වය සහ ඉදිරි දේශපාලන තත්ත්තවය පිළිබඳව සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වෙයි.

චීන තානාපතිවරයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට පෙර හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ද හමුවී ඇති බව සඳහන්ය.

“ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඊට අදාළ ලියකියවිලි ලැබීමෙන් පසු නිල නිවස භාරදීමට කටයුතු කරන බව පසුගියදා පැවසීය.

හිටපු ජනපති මහින්දගෙන් සංවේදී ෆේස්බුක් සටහනක්…..

හැඟීම්වලින් රටවැසියන් සමඟ බැඳී නොමැති දේශපාලකයෙක්ට කිසිදා ජනතා නායකයෙකු විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, තමා කාල්ටන් නිවසට පැමිණි මොහොතේ සිට මේ දක්වා තමා වෙත පැමිණ ආශිර්වාද කරනු ලබන ගෞරවණීය මහා සංඝරත්නයට නමස්කාර පූර්වක කෘතඥතාවය පිරිනමන බවය.

– උපුටාගැනීම –

මාගේ ජීවිතයෙන් වැඩිම කාලයක් ගෙවුනේ ජනතාව අතරය. අද ද එසේමය. ධුර කාලයක් අවසන් විය හැකිය, නමුත් ජනතා ආදරය ධුර කාලය ඉක්මවයි. එය අවසන් නොවේ. බලය ඇති දා මෙන්ම බලය නොමැති දා ද ජනතාව මහින්ද රාජපක්ෂ සමඟ සිටියහ. 

හිතවත්කම්, බැදීම් ගමේ අපිට හුරුය. කුඩා දරුවන්ගේ කතාබහ මා සතුටට පත් කරයි. කුඩා දරුවන් කතා බස් කරන්නේ හිටපු ජනාධිපති කෙනෙකු සමඟ නොවන නිසාම මෙම කතා බහ රසවත්ය. එනිසාම මම එය විඳිමි. 

හැගීම් වලින් රට වැසියන් සමඟ බැඳී නොමැති දේශපාලකයෙක්ට කිසිදා ජනතා නායකයෙකු විය නොහැක. 

කාල්ටන් නිවසට පැමිණි දින සිට මේ මොහොත දක්වාම පැමිණ ආශිර්වාද කරනු ලබන ගෞරවණීය මහ සංඝරත්නයට නමස්කාර පූර්වක කෘතඥතාව පිරිනමමි. එමෙන්ම පැමිණ සුව දුක් විමසන ආදරණීය ජනතාවට ද, දේශපාලන සගයින්ට ද, විවිධ වෘත්තිකයින්ට ද මාගේ ස්තුතිය ප්‍රකාශ කරමි. 

ජාති ආගම් භේදයක් නොමැතිව ජන බලය කේන්ද්‍ර වූ ජනතා නායකයෙකු ද, ඔබේ අසල්වැසියෙකු ද, ඔබේ සමීපතමයෙකු ද වීමට ලැබීම පිළිබඳව මම නිහතමානීව ආඩම්බර වෙමි.

– උපුටාගැනීම අවසන් –

නියෝජ්‍ය ඇමති සුනිල් වටගලගෙන් CIDයට පැමිණිල්ලක්….

තමා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ද්වේශ සහගත සහ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්කළ බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ ප්‍රකාශය නිර්මාණය කළ හා සමාජ මාධ්‍ය හරහා එය ප්‍රචාරය කළ පාර්ශවයන්ට එරෙහිව සිවිල් හා අපරාධ නීතීය යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවය.

කොළඹ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නිවසක් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මිලදීගෙන ඇති බවට මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් සිදුව තිබුණි.

අදාළ ප්‍රචාරය සම්බන්ධයෙන සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පෙන්වා දෙන්නේ එය සාවද්‍ය සහ අවලාදාත්මක ප්‍රචාරයක් බවය.

එම ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවක් නොමැති අතර පක්ෂය ද මහජනතාව ද තමා කෙරෙහි තබා ඇති විශ්වාසයට අබමල් රේණුවකින් හානියක් සිදුවන කටයුත්තක් තමා විසින් සිදුකර නොමැති බවද ඔහු පවසයි.

නීතීඥවරයෙකු ලෙස ද, දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙසද අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් තමා අඛණ්ඩව කොන්දේසි විරහිතව පෙනී සිටින අතර, එම නිදහස දුෂ්ඨ ලෙස අවභාවිතා කිරීම, එය දිනාගැනීමට අනේකවිධ කැපකිරීම් සිදුකළ සියලු ශ්‍රේෂ්ඨ මිනිසුන්ට කෙරෙන අවමානයක් බවද නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පෙන්වා දෙයි.

අදාළ ද්වේශ සහගත සහ අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් හඳුනාගනු ලබන පාර්ශවයන්ට එරෙහිව සිවිල් නීතිය යටතේ වන්දි අයකර ගැනීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ෆේස්බුක් සටහනින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

පොලීසියේ ස්වාධීනත්වයට රජය බාධා නොකරන බව අගමැතිනිය කියයි….

පොලිස් සේවය ස්වාධීන, කාර්යක්ෂම, මිත්‍රශීලී හා මහජනයාට සමීප සේවාවක් බවට පත්කිරීම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කොළඹ ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ පැවති ශ්‍රී ලංකා පොලීසියේ 84 වැනි පොලිස් අන්තර් මළල ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අමතමින් ඇය මේ බව සඳහන් කළාය.

84 වැනි පොලිස් අන්තර් මළල ක්‍රීඩා උළෙලේ දක්ෂතම මළල ක්‍රීඩිකාව ලෙස අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ සචිත්‍රා ජයකාන්තන්, දක්ෂතම මළල ක්‍රීඩකයින් වන ටී.ජී.එස්. විජේතුංග, ඒ.එම්.එන්. පෙරේරා,  පො.ප. හේමන්ත යන ක්‍රීඩකයින් වෙතත්, සමස්ථ අනුශුරතාව වෙනුවෙන් අගමැති අභියෝගතා පලිහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවත්, සමස්ථ ශුරතාව වන ජනාධිපති අභියෝගතා පලිහ පොලිස් විශේෂ කාර්ය බලකාය වෙතත් පිරිනැමීම අග්‍රාමාත්‍යතුමිය අතින් සිදු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය,

”ක්‍රීඩාව, සහභාගිත්වය සහ ජයග්‍රහණය සඳහා පමණක් නෙමෙයි, නිරෝගීමත් විනයගරුක සහ බුද්ධිමත් ජන සමාජයක් නිර්මාණය කර ගැනීමට අතිශය වැදගත්. ජයග්‍රහණය, කීර්තිය සහ අභිමානය ගේනවා වගේම සහභාගීත්වය විසින් නිරෝගී ජාතියක් බිහිකරමින් විනයගරුක, ශක්තිමත් පෞරුෂයක් සහ උසස් මනෝ භාවයක් ඇති මිනිසුන් නිර්මාණය කරනවා. මහජනතාව සමග කටයුතු කරන පොලිස් සේවයට විනය, පෞරුෂය වගේම යහපත් මනෝභාවයක් පැවතීම ඉතාම වැදගත්. ඒනිසා පොලිස් අන්තර් මළල ක්‍රීඩා උළෙල ජාතික තලයේ ක්‍රීඩකයින් බිහි කිරීමට වගේම ඔබේ වෘත්තීය ගෞරවය වර්ධනය කරගැනීමටත්,  වෘත්තීය වටිනාකම වර්ධනයටත් බලපාන බව මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව වැනි සිහින බිඳ වැටී තිබුණ රටක ක්‍රීඩාවෙන් ලබා ගත හැකි බොහෝ දේ පැවතියත් ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව සිටින්නේ ඉතා පසුපසින් බව මම මතක් කරන්න අවශ්‍යයි.

අතීතයේ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව සැලකිය යුතු මට්ටමක පැවතුණා. නමුත් මෑත ඉතිහාසයේ ක්‍රිකට් ක්‍රීඩාව යම් පසුබෑමකට ලක්වී තිබෙනවා. ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ජාතියට කීර්තියක් හා අභිමානයක් ගෙන ඒමට සමත් ඒ  වගේම නිරෝගී හා විනය ගරුක පුරවැසි ප්‍රජාවක් නිර්මාණය කිරීමට සමත් ක්‍රීඩා හා ශාරීරික සුවතා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම අපේ රජයේ අරමුණක්. පොලිස් සේවාව පිලිබඳ යම් අදහසක් පැවසීමටත් මම මෙය අවස්ථාවක් කර ගන්න කැමතියි. රටේ නීතිය සහ සාමය පවත්වා ගෙන යාමේදී මහජනතාවට වඩාත් සමීප ආයතනය ලෙස පොලීසිය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්ම වන ආකාරය සමාජයට පිළිඹිඹු වන වැදගත්ම සාධකයක් වන්නේ පොලිසියේ ස්වාධීන හා කාර්යක්ෂම ක්‍රියාකාරීත්වය. නමුත් ශ්‍රී ලංකා පොලිසිය පිළිබඳව ඇති පොදු මහජන මතය වන්නේ දේශපාලන හෝ වෙනත් සමාජ සම්බන්ධතාවයක් හෝ මුල්‍ය ප්‍රදානයක් නොමැතිව සේවය ලබා ගැනීමට නොහැකි ආයතනයක් ලෙසයි. ඒ මතය වෙනස් කර ගන්න ඔබේ විනය, නීතිගරුක බව සහ සාධාරණ ලෙස රාජකාරි සිදු කිරීම ඉතා වැදගත්.”

කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහි නඩුව කල්යයි…..

අයථා ලෙස රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු ඇති නඩුව ඔක්තෝබර් 01 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

ඒ මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන අතුරින් කිහිපයක් අල්ලස් කොමිසම විසින් විත්ති පාර්ශවයට විවෘත අධිකරණයේදී භාර දෙනු ලැබීය.

තවදුරටත් ලේඛන අවශ්‍ය නම් ඒවා අද දින සිට සති දෙකක් ඇතුළත අධිකරණයට දැනුම් දෙන ලෙස එහිදී අධිකරණය විසින් විත්ති පාර්ශවයට නියම කර ඇත.

ඉන් අනතුරුව නඩුව යළි ඔක්තෝබර් 01 වනදා කැඳවීමට දින නියම කෙරිණි.

2020 වසරේ අගෝස්තු මස 13 වනදා සිට 2024 වසරේ ජුනි මස 24 වනදා දක්වා කාල සීමාව තුළ ජනමාධ්‍ය , සෞඛ්‍ය හා පරිසර අමාත්‍යංශවල කටයුතු කරමින් අයථා ලෙස රුපියල් මිලියන 97කට අධික වත්කම් උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා, ඔහුගේ දියණියන් වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල, චන්දුලා රමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල සහ බෑණා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

කෙහෙළියගේ පුත් රමිත් මාස 21කට කෝටි 27ක වත්කම් උපයලා…..

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (12) අධිචෝදනා ගොනු කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ මාස 21ක කාලයක් තුළ රමිත් රඹුක්වැල්ල රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයාගෙන ඇතත්, උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අධිචෝදනා කර ඇත.

එලෙස උපයාගත් ආකාරය අනාවරණ කිරීමට නොහැකි වත්කම් අතර සුඛෝපභෝගි නිවාස, ජීප් රථ ඇතුළු වත්කම් රැසක් පවතින බව වාර්තා වේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන සමයේදී රමිත් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් ද කටයුතු කර තිබුණි.

එම ධුරයේ කටයුතු කරන අතරතුර 2022 වසරේ ජනවාරි මස 01 වනදා සහ 2023 වසරේ නොවැම්බර් මස 14 වනදා අතර දක්වා මාස 21ක කාලසීමාව තුළ ඔහු රුපියල් 296,566, 444.76 ක් වටිනා වත්කම් හා දේපොළ උපයාගෙන ඇත.

ඉන් රුපියල් 275,302,616.06ක වටිනාකමකින් යුත් මුදල් හා දේපළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට රමිත් රඹුක්වැල්ල අපොහොසත් වී තිබේ.

අල්ලස් කොමිසම දූෂණ විරෝධී පනත යටතේ අධිචෝදනා ගොනු කර ඇත්තේ ඒ අනුවය.

තවද එලෙස උපයාගත් ආකාරය අනාවරණ කිරීමට නොහැකි වූ වත්කම් අතර, කොළඹ 07 ධර්මපාල මාවතේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක රුපියල් කෝටි 8ක් සහ රුපියල් හය කෝටි පනස් ලක්ෂයක් වටිනා නිවාස දෙකක් ඇත.

එමෙන්ම රමිත්ගේ නමින් තිබෙන බැංකු ගිණුම් 4ක්, ඔහුගේ බිරිඳට අයත් බැංකු ගිණුම් 4ක්, එක්කෝටි අසූ ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් discovery jeep රථයක් ඇතුළු වත්කම් රැසක් පවතින බව වාර්තා වේ.

එසේම විත්තිකරුගේ හා බිරිඳගේ නම්වලින් ඇති බැංකු ගිණුම්වල ස්ථාවර තැන්පතු ආරම්භ කර ඇතැයිද අල්ලස් කොමිසම අනාවරණ කරගෙන තිබේ.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු….

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.

අදාළ නඩුව මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඉදිරියේ ඊයේ (12) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ.

ජාතික ජන බලවේගයේ ප්‍රදේශීය සභා මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාර මහතාට මරණ තර්ජනය කල බව කියන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.

පසුගිය පළාත් පාලන මැතිවරණ සමයෙහි වැලිගම ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තරග වැදුණු නීතිඥ තාරක නානායක්කාර මහතාට තර්ජනය කිරීමේ චෝදනා මත වින්දිතයන් සුරැකීමේ පනත යටතේ ඔහුට මෙලෙස නඩු පවරා තිබේ.

එම නඩුව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී විත්තිකාර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඊට පෙනී නොසිටි අතර, ඔහු වෙනුවෙන් නීතිඥවරයෙකු අධිකරණයේ පෙනී සිටිමින් ඔහු රෝගාතුර බව දන්වා ඇත.

එහෙත් ඔහුගේ ඇපකරුවන් ද අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර තිබේ.

වත්තේගම නගර සභාවේ හිටපු සභාපති සහ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට….

වත්තේගම නගර සභාවේ හිටපු සභාපති සහ ඔහුගේ සමීපතමයෙකු නීතිවිරෝධීව ආනයනය කළ ජීප් රථ 2ක් සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ රවින්ද්‍ර කුමාර නම් 58 හැවිරිදි හිටපු සභාපතිවරයා සහ ලක්ෂිත මනෝජ් නමැති 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

හිටපු ජනපති චන්ද්‍රිකාත් නිවසින් පිටවෙන්න සුදානම් – මෛත්‍රී පිටව ගිහින්….

හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සිය නිල නිවසින් නික්ම යෑමට සුදානම් බව වාර්තා වේ.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල නිවසින් පිටව ගොස් තිබේ.

“ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව ඇත.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් නිල නිවසෙන් පිටව ගියේය.

ඒ ඊයේ (10) දිනයේ සම්මත වූ “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතට අනුව හිටපු ජනාධිපතිවරුන්ට එම වරප්‍රසාදය අහිමි වී යෑමත් සමඟය.

මේ අතර, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් රැඳී සිටින්නේ පෞද්ගලික නිවාසවලය.

එමෙන්ම හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස මහත්මියද පසුගිය වසරේ සිට නිල නිවසින් ඉවත්ව සිටී.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ඊයේ (10) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මෙම පනතට ඊයේ කථානායක අත්සන් තැබූ අතර ඒ අනුව එතැන් සිට හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹූවට සපයන ලද නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාවත්, මාසික ලේකම් දීමනාව සහ නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම් මෙන්ම වැන්දඹුවට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුපද අහිමි වනු ඇති.

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුවේ.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙට…..

“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)”  පනත් කෙටුම්පත හෙට දින (10) පෙ.ව 11.30 සිට ප.ව 3.30 දක්වා විවාදයට ගැනීමට (දෙවනවර කියවීම) තීරණය කර තිබේ.

අද (09)  කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙය තීරණය කළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මේ බව දැනුම් දී ඇත.