ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්….

අල්ලස් කොමිසම මගින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළේය.

ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසින් අද (22) මෙම නියෝගය නිකුත් කර ඇත.

ශෂීන්ද්‍ර රාජපක්ෂට අයත් බව කියන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපොළ, 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පවත්ව ඇත.

එකී දේපොළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදුකර වන්දි ගෙවීමට බලපෑම්කර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

එහිදී රු. 8,850,000ක් (ලක්ෂ 88) වන්දි ලබාගැනීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපොළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ජනපති හෙට අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත් වෙයි…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (22) රාත්‍රියේ අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතය.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීමට නියමිත අතර, (24) බදාදා එරට වේලාවෙන් ප.ව 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිප දෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමටද නියමිතය.

ජනාධිපතිවරයා අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකටද සහභාගී වනු ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද එක් වේ.

ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්….

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එළැඹෙන සඳුදා (22) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කළේය.

එම නඩුව විභාගකරන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා අද නිවාඩු ලබාසිටීම හේතුවෙන් මෙලෙස එම නඩුව ලබන සඳුදා දක්වා කල් තැබීමට නියම වී ඇත.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන සිටින සැකකාර ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ද එදින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ශෂීන්ද්‍ර රාජපක්ෂට අයත් බව කියන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපොළ, 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පවත්ව ඇත.

එකී දේපොළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදුකර වන්දි ගෙවීමට බලපෑම්කර ඇති බව ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

එහිදී රු. 8,850,000ක් (ලක්ෂ 88) වන්දි ලබාගැනීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපොළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සබරගමුව පළාත් හිටපු මහාමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ රිමාන්ඩ්….

අත්අඩංගුවට ගනු ලැබූ සබරගමුව පළාත් හිටපු මහාමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මහතා ඔක්තෝබර් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.

2016 – 2017 කාලවකවානුවේ ඔහුගේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති කිහිපයක සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඔහු ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්, අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ කාලසීමාව තුළ දියත් කළ ව්‍යාපෘති 77ක් අතුරින් ව්‍යාපෘති 15කට අදාළව මුදල් වැයකර තිබුණත් අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක වී නොමැති බවය.

ඒ අනුව රුපියල් කෝටි 7ක මුදලක් රජයට පාඩුවන අන්දමින් වංචනිකව පරිහරණය කිරීමේ චෝදනාවට අදාළව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

තුසිත හල්ලොලුවට ඇප….

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තුසිත හල්ලොලුව මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව සැකකරුවරු ලක්ෂ 50 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා නියම කර ඇත.

ඉන් අනතුරුව සැකකරු විදේශගත වීම තහනම් කිරීමටද නියම කෙරුණු අතර, සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කළේය.

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා තමා ගමන්ගත් වාහනයට ඉකුත්දා නාරාහේන්පිට ප්‍රදේශයේදී වෙඩි තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

ඒ මහතාව පසුගිය අගෝස්තු මස 19 වන දා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ වැටලීමක දී කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණි.

ස්විස්ට්සර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ස්විස්ට්සර්ලන්ත පාර්ලිමේන්තු නියෝජිතයෝ හමුවෙති…..

ස්විස්ටර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නියෝජනය කරමින් එහි සභාපති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ නායකත්වයෙන් යුතු දූත පිරිස එරට පාර්ලිමේන්තුවේ අන්තර්ජාතික කටයුතු පිළිබඳ තානාපති ක්ලෝඩියෝ ෆිෂර් හමුවිය. පසුගිය සැප්තැම්බර් 15 දා ස්විට්සර්ලන්තයේ බර්න්හි පිහිටි එරට පාර්ලිමේන්තුවේදී මෙම හමුව සිදුවිය.

අනතුරුව දූත පිරිස ස්විස්ටර්ලන්ත පාර්ලිමේන්තුවේ ජාතික සභාව නියෝජනය කරන ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆාරා රූමි මහත්මිය හමුවූහ.

මෙහිදී ස්විස්ටර්ලන්ත පාර්ලිමේන්තුවේ ස්විස්ටර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සමාරම්භක අවස්ථාව සිදුවූ අතර එහි සභාපතිත්වය මන්ත්‍රී ෆාරා රූමි මහත්මිය දැරීම සුවිශේෂී සිදුවීමක් විය.

එම අවස්ථාවට ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, ශ්‍රී ලංකා-ස්විස්ටර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සි. අලවතුවල, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පද්මනාදන් සත්‍යලිංගම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, හිටපු කථිකාචාර්ය කබිලන් සුන්දර්මූර්ති ඇතුලු මහත්ම මහත්මීන් පිරිසක් එක්වී සිටියහ.

තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තීරණයක්….

සමගි ජන බලවේගයට එක්වීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පනවා තිබූ පක්ෂ තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

ඊයේ (16) සවස රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය වැඩිදුරටත් තීරණය කර ඇත්තේ, ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී පැන නැගිය හැකි නීතිමය පසුබිම සොයා බැලීම සඳහා හිටපු නීතිපති සහ ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටද පියවර ගත් බවය.

සමගි ජන බලවේගයට එක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගත් මෙම පියවර හේතුවෙන් යළි එක්සත් ජාතික පක්ෂය එක් වී සහයෝගයෙන් කටයුතු කිරීමට තිබූ බාධක ඉවත් වූ බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට පොදු සන්ධානයකින් කටයුතු කිරීම සඳහා සහභාගී වූ සියලු පාර්ශ්ව වෙත ස්තුතිය පළ කිරීමේ යෝජනාවක්ද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව සම්මත වී තිබේ.

ගම්මන්පිලගේ පෙත්සමක් සලකාබැලීමට දිනයක් දෙයි….

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකාබැලීම සඳහා ලබන 24 වනදාට කැදවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

පෙත්සම්කාර උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත.

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

කෙසේවෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා අභියාචනාධිකරණයට දැනුම් දී තිබුණේ, මෙම අවස්ථාවේදී උදය ගම්මන්පිල මහතාව අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගෙන නොමැති බවය.

බාල බෙහෙත් නඩුවට කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධිචෝදනා භාරදෙයි….

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්  පිරිසකට අද (16) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධිචෝදනා භාරදුන්නේය.

අධිචෝදනා භාර දීමෙන් අනතුරුව මෙම විත්තිකරුවන් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරුද්ධ වන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

ඒ අනුව විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් මේ වනවිට විත්තියේ නීතිඥවරු දැන් කරුණු ඉදිරිපත් කරති.

නාමල් රාජපක්ෂ සහ සන්තෝෂ් ජා අතර හමුවක්…..

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබේ.

ඒ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදීය.

එහිදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කළ බවත්  ඉදිරියටත් දෙරට අතර පවතින හවුල්කාරීත්වයන් ශක්තිමත් කිරීමටද බලාපොරොත්තු වන බව නාමල් රාජපක්ෂ මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.